තිරුකෙතීස්වරන් කෝවිලට එල්ල වුණ අන්තවාදී ක්‍රිස්තියානි ප්‍රහාරය | සිළුමිණ

තිරුකෙතීස්වරන් කෝවිලට එල්ල වුණ අන්තවාදී ක්‍රිස්තියානි ප්‍රහාරය

උතුරේ ආගමික යුද්ධය කලක් තිස්සේ පවතින්නේ අළු යට ගිනි සේය. බෞද්ධයන් අතළොස්සක් දෙනා ජීවත් වන නිසා තවමත් උතුරේ ආගමික ඇන කොටාගැනීම්වලදී පළමු විරෝධතාව එල්ල වන්නේ බෞද්ධාගමටය. එහෙත් මෑතක සිට මන්නාරමේ තිරුකේතීස්වරන් කෝවිලට වෙනත් ආගමිකයන් පිරිසකගෙන් විවිධ තර්ජන එල්ල වන බවට උතුරේ හින්දු සංගම් චෝදනා කරති.

පසුගිය මාර්තු මස අට වැනි දා මන්නාරමේ තිරුකේතීස්වරන් ඓතිහාසික කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබියදී මාර්තු තුන් වැනිදා මහ දවල් විශාල පිරිසක් පැමිණ කෝවිලේ තොරණ ගලවා බිම දැමූහ.

ඒ ක්‍රියාවට තරුණයන් මෙන්ම තරුණියෝද, කාන්තාවන් මෙන්ම පිරිමිද විශාල පිරිසක් පැමිණ සිටියහ.

කෝවිලට ඇතුළු වන ස්ථානයේ පිහිටි තොරණ ගලවා බිම දමා එහි වූ යකඩ බට කඩාගත් පිරිසක් කෝවිලේ දොර ජනෙල්වලට පහර දී විශාල අලාභයක් සිදු කළහ.

ප්‍රහාරය සඳහා පැමිණි පිරිස අවසානයේ කෝවිලේ තොරණ ට්‍රැක්ටරයක පටවාගෙන යන්නට ගියහ.

පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කොට කෝවිලේ තොරණ ගැලවූ පිරිස අතර සිටි එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන් ක්‍රිස්තියානි ආගමේ වෙනම නිකායකට අයත් පිරිසක් බවට තොරතුරු හෙළි විය. ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සිටම ඔවුන් නිදහස් කරගැනීමට අදාළ නිකායේ පූජකවරු දැඩි ප්‍රයත්නයක යෙදුණාහ.

කෙසේ වෙතත් අධිකරණයෙන් ඒ පිරිසට ඇප නියම වූ අතර ඒ තරුණයන්ට ඇප ලබාදීමට ඉදිරිපත් වූයේද එම පූජකවරු පිරිසය.

මන්නාරම තිරුකේතීස්වරන් කෝවිලේ තොරණ ගලවා කුඩු කොට දමා කෝවිලේ දේපළ විනාශ කරන ලද්දේ ආගමික උමතුවේ එක් මුහුණුවරක් ලෙසය. හින්දු හා මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායක ගැටුම මෙතෙක් අප රටේ ප්‍රකටව හෙළි වූ තත්ත්වයක් නොවේ. ගෝත්‍රික ආගමික අන්තවාදයේ අප්‍රකට තත්ත්ව තව කුමන ආකාරයකින් රට තුළ පවතීදැයි අප දන්නේ නැත.

මන්නාරම තිරුකේතීස්වරන් කෝවිලේ සිද්ධියෙන් පසුව ඊට සම්බන්ධ වූවන්ට එරෙහි නඩු විභාගය තවමත් පැවැත්වේ. ඒ අතරතුර එම කෝවිල විනාශ කිරීම සඳහා යළිත් පිරිසක් උත්සාහ දරමින් සිටින බවට චෝදනා කරමින් උතුරේ හින්දු සංගම් කීපයක් මේ දිනවල උතුරේ තැනින් තැන විරෝධතා පවත්වමින් සිටී.

වවුනියාවේ එවැනි විරෝධතාවක් පැවැත්වුණේ වවුනියාව කන්දසාමී කෝවිල ඉදිරිපිටදීය. ඒ විරෝධතාවෙන් පසුව විශාල පෙළපාළියකින් වවුනියාව දිසාපති කාර්යාලය දක්වා ගිය පිරිස දිසාපතිවරයාට ලිපියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මන්නාරම තිරුකේතීස්වරන් කෝවිල බේරාදීමට මැදිහත් වන ලෙසයි. ඒ අවස්ථාවට සහභාගි වී සිටි හින්දු සංගමයේ වවුනියාව දිස්ත්‍රික් පාලක ලේකම් පී. සෞන්ද්‍රමූර්තී කුරුක්කල්වරයා කියා සිටියේ ආගමික ස්ථාන සියලු ජනයාගේ ශුද්ධ වූ ස්ථාන බවට පත් විය යුතු බවය. එසේ නැතිව ආගමික ස්ථාන මුල් කරගෙන මිනිසුන් ඇනකොටා ගන්නේ නම් ඒ මිනිසුන් මෘගයන් බවය.

'' මන්නාරමේ තිරුකේතීස්වරන් කෝවිල ඓතිහාසික කෝවිලක්. ඒ කෝවිල ඉතා ඈත අතීතයේ මේ රටට මුහුදේ සිට පාවී ආ කෝවිල් තුනෙන් එකක් විදිහට හින්දූන් සලකනු ලබනවා. හලාවත මුන්නේස්වරන් කෝවිලත් ත්‍රිකුණාමලයේ කෝනේස්වරන් කෝවිලත් මන්නාරමේ තිරුකේතීස්වරන් කෝවිලත් ඒ කෝවිල් තුනයි. ඒ කෝවිල්වල ඉතා තදබල හාස්කම් තියෙන නිසා හින්දු බැතිමතුන් ඒ කෝවිල්වලට ඉතා ඉහළින් ගරු කරනවා.

නමුත් අන්තවාදී ආගම් කොටස් ඔවුන්ගේ ආගමටවත් නිසි ලෙස ගරු කිරීමක් කරන්නේ නැහැ. වෙනත් ආගම්වලට ගරු කිරීමක් කරන්නෙත් නැහැ. ඔවුන් කරන්නේ එකම දෙයක් විතරයි. යාන්තමට හරි මිනිසුන් වැඩියෙන් එන මිනිසුන් නිතර කතා බහ කරන ආගමික ස්ථාන කොහොම හරි විනාශ කිරීම තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව.

දැන් මන්නාරම තිරුකේතීස්වරන් කෝවිලට ක්‍රිස්තියානි එක් නිකායකින් විශාල විරෝධයක් ඇවිත් තියනවා. ඔවුන්ම පළාතේ තැන් තැන්වල තියන ඔවුන්ගේ ආගමට අයත් කුඩා සුරුවම් කඩලා බිදලා දානවා. ඊට පස්සේ ඒවා කැඩුවේ අහවල් අය කියලා බොරුවට චෝදනා ඉදිරිපත් කරලා අවුල් ගොඩාක් හදනවා.

තිරුකේතීස්වරන් කෝවිලේ ප්‍රධාන තොරණ කැඩුව එකට හින්දු පූජකවරුන් පොලීසියට ගිහින් ඒකට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීමත් එක්ක ඒ අය වෛරය පිරිමහන්න හදන්නේ කෝවිලත් එක්කයි.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ ඉන්නවා එයාලට පක්ෂපාත පිරිසක්. ඒ අයගේ සහයෝගයෙන් දැන් මේ කෝවිල නීති විරෝධී ඉදිකිරීමක් කියලා පෙන්වන්න හදනවා. අවුරුදු සිය ගණනක් පැරණි කෝවිල් නීත්‍යනුකූල කෝවිල් මිසක් අනවසර ඉදිකිරීම් නොවෙයි. ඒ තත්ත්වය දැන් පැහැදිලි කරන්න විදිහක් නැති තරමට හින්දූන් අසරණ වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉල්ලලා මනෝ ගනේෂන් අමාත්‍යවරයාට අපි ලිපි කීපයක්ම ඉදිරිපත් කළා. ඒ ගැන කතා කළා. ඒත් ඒ එකකටවත් කාගෙන්වත් උත්තරයක් නැහැ. බලධාරීන් නිහඬව ඉන්නකොට අන්තවාදී ආගමික කොටස් නැඟී සිටිනවා. ඔවුන් ඔවුන්ට කැමති දේ කරනවා. ඒ දේ ඉතාම විනාශකාරී නිසා තමයි අපි මේ වගේ විරෝධතාවක් සංවිධානය කරලා පෙළපාළි ගිහින් වවුනියාව දිසාපතිවරයා දැනුවත් කළේ. මේකටත් විසඳුමක් නැති නම් අපි අපේ කෝවිල රැකගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. අපි ඒක අපේ ලිපියෙත් සඳහන් කළා. ඊළඟට අපි කරන්නේ කෝවිල ළඟට ගිහින් මාරාන්තික උපවාසය කිරීමයි.

උතුරේ හින්දු බැතිමතුන් කියා සිටින්නේ හින්දු ආගම සුරැකීමට සිටින අමාත්‍යවරුන් ලේකම්වරුන් සහ සෙසු උදවිය ඒ ගැන සොයා බැලීමක් නොකරන බවයි.

උතුරේ ක්‍රියාත්මක වන්නේ හින්දු ආගමට මූලික තැනක් දෙන හා දිය යුතු පරිසරයක් බව කියමින් දෙමළ දේශපාලනඥයන් විසින් මෑතක සිට උතුරු පළාත තුළ ගෙන යන විකෘතිය දැඩි වී තිබේ. මේ හේතුව නිසාම උතුරේ ආගමික සංහිඳියාව බිඳවැටෙමින් ඇත. බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා රටේ සිදු නොවිය යුතු දේ දිනෙන් දින සිදු වෙමින් තිබේ. එය ඉදිරියට ගමන් කරන්නේ ඉතාම කනගාටුදායක ආකාරයටය.

Comments