උණුවතුර ළිං අසලින් ත්‍රිකුණාමලය අවුළන්න හදන දෙමළ ජාතිවාදීන්ගේ සැලසුම | සිළුමිණ

උණුවතුර ළිං අසලින් ත්‍රිකුණාමලය අවුළන්න හදන දෙමළ ජාතිවාදීන්ගේ සැලසුම

යළිත් ඒ ගෝත්‍රිකයෝ වීදි බැස සිටියහ. ඒ කන්නියා උණුවතුර ළිං පරිශ්‍රයේ ශාස්ත්‍රීය පුරාවිද්‍යාත්මක කටයුතුවලට විරෝධය පළ කරමිනි. රටේ වලංගු නීතියත්, විද්‍යාත්මක සාධක මඟින් තහවුරු කරන ඓතිහාසික යථාර්ථයත් අශිෂ්ට ලෙස නොසලකා හරිමින් වීදි බැස සිටින මේ අර්ධ මනුෂ්‍යයෝ ඉතිහාසයක් තුළ නොතිබුණු හින්දු පුදබිමක හිමිකම සොයති. තේරෙන ආකාරයට නම් ඔවුන් මෙහෙයවමින් ඇත්තේ මේ පොළොවේ දේශපාලනය නොවේ.

මෑත කතාව

කන්නියා උණුවතුර ළිං පරිශ්‍රය පුරාවිද්‍යා භූමියකි. එම ස්ථානයේ පිහිටා තිබූ පුරාණ දාගැබක අවශේෂ, ප්‍රතිමා ගෘහයක නටබුන් හා එම ඉතිහාසය සමඟ බද්ධ වී ඇති උණුවතුර ළිං හත සම්බන්ධයෙන් කෙරෙන ශාස්ත්‍රීය ගවේෂණයකින් වර්ෂ 2011.09.09 දිනැති 1723 දරන ගැසට් පත්‍රය මඟින් එම නටබුන් ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

පසුව කරන ලද ගවේෂණයකින් එම භූමියෙන් තරමක් ඛාදනය වූ පුරාණ ශිලා ලේඛනයක් හමුවිය. එම සෙල්ලිපියේ දැක්වුණේ යම් මහරජෙකු විසින් කුරුවිය, මරුදවිය, පලවැව ආදී යාබදව පිහිටි වැව් කිහිපයකින් ලද දිය බද්ද එම ස්ථානයේ පිහිටි බෞද්ධ විහාරයට පුජා කළ බවය.

ඒ වටිනා ලිඛිත සාධකය එම භූමියේ පිහිටා තිබූ බෞද්ධ ආරාම පද්ධතිය සක්‍රීයව තිබූ කාල පරිච්ජේදය තහවුරු කරයි. ඒ ආරාම පද්ධතිය ප්‍රභාමත්ව පැවතී තිබුණේ අනුරාධපුර මුල් යුගයට සමගාමීවය. ඒ වකවානුව වන විට එම ප්‍රදේශයේ තිබූ ප්‍රමුඛතම විහාරයක් ලෙස එම භූමිය පැවති ආකාරයත්, වැව් තුනකින් ලද ජල බද්ද රජු විසින්ම පූජා කරනු ලැබූ, භික්ෂූන් විශාල ප්‍රමාණයක් වැඩ සිටි ආරාමයක් ලෙසත් පැවතුණු ආකාරය නිශ්චය කළේය.

භූමියේ පුරාවිද්‍යා කැණීමක් ආරම්භ වන්නේ ඒ ඉතිහාසය විද්‍යාත්මකව යළි මතු කරගැනීම සඳහාය. එහිදී මතු වුණ සිරිපතුල්ගල්, ආසන, යූපගල්, ප්‍රතිමා කොටස් සහ මැටි බඳුන් සහ මෙවලම මේ භූමියේ අතීත බොදු උරුමය තහවුරු ස්ථාවර ලෙස තහවුරු කළේය.

එහෙත් කැණීම් මඟින් මතු කරගත් පුරාවිද්‍යා උරුමය සංරක්ෂණය කිරීමට සැරසෙද්දී හින්දු ආගමික පුදබිමක් විනාශ කරමින් බෞද්ධ ඉදිකිරීම් සිදු කරන බවට මතයක් ආගම්වාදීන් පිරිසක් විසින් පතුරුවනු ලැබීය. ඊට මුල් වූයේ බෞද්ධ ආරාමික නටබුන් මත මෑත කාලයේ කෝවිලක් ඉදි කරගත් තරුණ පූසාරිවරයෙකු හා ඔහු වටා සිටි කණ්ඩායමකි. ඒ පිරිස පැමිණ රාජකාරියේ යෙදී සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කර ගැටුමකට සූදානම් වූහ. පොලිසිය හා දිසාපතිවරයාගේ මැදිහත්වීමෙන් පුරාවිද්‍යා ශාස්ත්‍රීය කටයුතු ජුනි 10 දා තෙක් අත්හිටවනු ලැබුවේය. ඒ එම භූමිය පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැහැදිලි කිරීමක් ලැබෙන තුරුය.

පසුගිය ජුනි මස 06 වන දින ත්‍රිකුණාමලය දිසාපතිතුමන්ගේ ආරාධනයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ පුරාවිද්‍යා අඥා පනතට අනුව ඒ භූමියේ නීතිමය තත්ත්වය සහ සහ එම ස්ථානයේ ඇති උරුමයේ ස්වභාවය පැහැදිලි කළේය. එම ප්‍රමාණවත් පැහැදිලි කිරීමෙන් රටේ උරුමය මෙන්ම පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය කරන නෛතික ස්වරූපය පිළිබඳ ඉතා නිරවුල් විග්‍රහයක් විය. ඒ සමඟම ශාස්ත්‍රීය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට යළිත් බාධා නොවිය හැකි තැනට සියල්ල පෙළ ගැසිණි.

උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දා ගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා උපදෙස් ලබාදුන්නේ ඉන් පසුවය. ඒ නියෝග ප්‍රකාරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය.

යළි පැමිණි විරෝධය

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට එරෙහිව යළිත් පසුගිය අඟහරුවාදා (16) හින්දු ගෝත්‍රිකවාදීන් පිරිසක් සංවිධානය වන්නේ එම වටපිටාවේදී ය. දින කීපයක විරෝධතාවකට ඒ පිරිස සූදානම් වන ආකාරය බුද්ධි අංශ වාර්තා කළේය. මුලින්ම ඔවුන් මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා තිබුණේ දැනට පුරාවිද්‍යා රක්ෂිතයෙන් ඉවත් නොකර පවතින උණුවතුර ළිං පරිශ්‍රයේ ඇති හින්දු ශිවම් කෝවිලේය.

“ අපට මේ තොරතුරු ලැබුණට පස්සේ පොලිසියට දැනුම් දුන්නා. පොලිසියේ උපදෙස් මත පැමිණිල්ලක් කළා. පොලිසිය විරෝධතා කරුවන්ට එරෙහි උසාවි තීන්දුවක් ගැනීමට මේ පැමිණිල්ල තමයි හේතු වූණේ” පුරාවිද්‍යා නිලධාරියෙක් අපට කීවේය. විරෝධතාව සඳහා පිරිස පැමිණ සිටියේ වෙනත් ප්‍රදේශවලිනි. මඩකලපුවෙන් හා උතුරෙන් විශාල පිරිසක් පැමිණ සිටියහ. විශේෂත්වය වූයේ ඒ අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලකයන් කිසිවෙකු එක් වී නොසිටීමය. එහෙත් සෑම දේශපාලන පක්ෂයම ප්‍රාදේශීය දේශපාලකයන්, උද්ඝෝෂකයන් හා ඊට එරෙහිව පෙළ ගැසුණ පිරිස් අතර දක්නට ලැබිණි.

විරෝධතාව මෙහෙයවනු ලැබුවේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය. ඊට අමතරව දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් හා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් ඊට එක්වී සිටියහ. ඔවුන් එම ප්‍රදේශවලින් පැමිණ සිටියේ සැලකිය යුතු කණ්ඩායමක් සමඟිනි.

එම පිරිස උණුවතුර ළිං පරිශ්‍රයට ළඟා වන්නට උත්සාහ කළේ පින්කමක් පැවැත්වීමට බව පවසමිනි. ඉලක්කය වී තිබුණේ එම භූමියට ළඟා වී එහි විරෝධතාවක් පවත්වා උපවාසයක් කිරීමය. පිරිස පවසමින් සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බොරු කරන බවය. සඳකඩ පහන්, යූප.......... ගල් ඇතුළු පුරාවිද්‍යා සාධක පිටින් රැගෙන විත් එම භූමියේ වළලා දැමූ බවය. මේ සිදු වන්නේ ඔවුන්ගේ ශුද්ධ වූ පුදබිමක හිමිකම පැහැර ගැනීමේ කූට ව්‍යාපාරයක් බවය. පුරාවිද්‍යා ශාස්ත්‍රීය කැණීමක ඇති විද්‍යාත්මක භාවය සම්බන්ධව එවැනි අතාර්කික කතා ගොඩ නඟන්නන් අතර පොන්ම්බලම්ලා මෙන්ම පාර්ලිමේන්තු නියෝජිතයෝද වූහ.

නූගත් අහිංසක දෙමළ මිනිසුන් හෝ මෙතැන පැවති කෝවිලෙන් එදාවේල සොයාගත් පූසාරි තැන එසේ කීවාට කමක් නැත. විමසිය යුතු බිහිසුණු ව්‍යසන සැලසුම ඇත්තේ විද්‍යාත්මකව පැහැදිලි වන යථාර්ථයක් නිරවුල්ව දකිමින් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැන්නන් නූගත් දුගී දෙමළ මිනිසුන්ගේ හැඟීම් අවුළුවා ඔවුන් ඇස් පනාපිටම ආගම්වාදී ගින්නක දවා හළුවන්නට ඇද දැමීම තුළය. ටී.එන්.ඒ නායකයන් එම අවස්ථාව වර්ජනය කරද්දී පක්ෂය තුළ ඇති ඒකමිතියත් ප්‍රශ්න කරමින් දෙමළ ප්‍රජාව ජාතිවාදී ගොහොරුවට ඇද දමන්නට සැලසුම් කරන ටී.එන්.ඒ දේශපාලකයන් පමණක් ඊට සම්බන්ධ වීමේ පසුබිම තුළය.

කෙසේ වෙතත් උප්පුවේලි පොලිසිය විරෝධතාව වාරණයට ලක් කරමින් අධිකරණ නියෝගයක් ගෙන අදාළ අවස්ථාව එළඹෙන තෙක් බලා සිටියේය. මේ අතර ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හිමිවරුන් හා ප්‍රදේශවාසී සිංහල ජනතාවගෙන් විශාල පිරිසක්ද විවිධ පක්ෂවලට අයත් පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් ද උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානය ආසන්නයට පැමිණ රැඳී උන්හ. පෙනෙන්නට තිබුණේ නිශ්චිත ගැටුමක ස්වරූපයකි. නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මාර්ග බාධක යොදා දෙපාර්ශ්වයේම මාර්ග ඇහිරුවේය.

සිද්ධියෙන් පීඩාවට පත් වූයේ උණුවතුර ළිං නැරඹීමට පැමිණි සංචාරකයෝය. ඔවුහු ඒ අතටත් මේ අතටත් යා නොහී එම භූමියේ පැය ගණනාවක් සිර වූහ. ඇති වන තත්ත්වය පොලිසියට පාලනය කරගත නොහැකි වුවහොත් විශේෂ අවස්ථාවක ක්‍රියාත්මක වීම සඳහා අමතර පොලිස් භට පිරිස් හා විශේෂ කාර්ය බළකායේ භට පිරිස් කැඳවනු ලැබ සිටියහ. 221 බල සේනා මුලස්ථානයට අයත් හමුදාව කැඳවා ඒ අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අයුරු පෙනිණි. සිහියට නැඟුණේ එක් වකවානුවක ත්‍රිකුණාමලය වෙළාගත් යුද සමයේ භීෂණයය.

පැය කීපයකට පසු ඔවුහු විසිර ගියහ. ආර්. සම්පන්දන් හිටපු විපක්ෂ නායකවරයා එම භූමියේ ඓතිහාසික තත්ත්වය පිළිගෙන ඇති බවත්, දැනට එහි ඇති කෝවිල උණුවතුර ළිං පරිශ්‍රයෙන් ඉවත් කරන්නේ නම් යළි නව කෝවිලක් ඉදිකිරීමට සාධාරණ ඉඩක් රජය ලබාදිය යුතු බවත් අවධාරණය කළේ යැයි ඇසිණි. ගැටුමට මැදි වූ අනෙක් පාර්ශවයක් කියන්නේ දිසාපතිවරයා දේශපාලන අධිකාරියේ හැසීරීම් අනුව කටයුතු කරමින් නිසි තීන්දුවක් ලබාගැනීමට අපොහොසත් වීම නිසා මේ ගැටුම ඇවිළෙන බවය.

ඒ කෙසේ වෙතත් අපට පෙනෙන්නේ කාගේ හෝ න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාත්මක කරන අශිෂ්ට අන්තගාමීන් නැවත ත්‍රිකුණාමලයට ගිනි තබන්නට සූදානම් වන බවය. රටේ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ නම් ඇති වීමට නියමිත මහා ව්‍යසනය නවත්වා ගත හැකි බව පමණක් හැඟෙයි.

අදහස්