ඇවන්ගාඩ් නඩුවට මොකද වෙන්නේ? | සිළුමිණ

ඇවන්ගාඩ් නඩුවට මොකද වෙන්නේ?

“සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් “ කාලයක් තිස්සේ අපේ රටට නුහුරු වචනයක් නොවීය. ඒ වෙන කිසිවක් නිසා නොව, සෝමාලියානු මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහනයට ලක්වූ ජාත්‍යන්තර වෙළද නෞකාවලින් වැඩි හරියකගේම ශ්‍රී ලාකීය කාර්ය මණ්ඩල සාමාජිකයන් සිටි බැවිණි. කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණු ඇතැම් නෞකාවල කපිතාන්වරු ලෙස සේවයේ නිරතව සිටියේද ශ්‍රී ලාංකිකයන්ය.

සන්නද්ධ කැරලිකරුවන් කණ්ඩායම් කිහිපයක පාලනයට නතුව ඇතැයි පැවසෙන නීතියක් නොමැති අරාජික රටක් වන සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් ලෙසද ක්‍රියාත්මකව සිටින්නේද කැරලි කණ්ඩායම්වල සාමාජිකයින්මය. ඒ අයගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය බවට පත්ව ඇත්තේ සෝමාලියානු මුහුදු කලාපය හරහා ගමන්කරන වෙළෙඳ නෞකා අත්පත් කරගනිමින් නෞකා සමාගම් වලින් විශාල වශයෙන් කප්පම් ගැනීමය.

සෝමාලියානු මුහුදු කලාපය මග හැර වෙනත් මුහුදු මාර්ග ඔස්සේ නෞකා ගමන් කරවීමට හැකියාව ඇතත් වෙළෙඳ නෞකා එකී මාර්ග ඔස්සේ ගමන් නොකරන්නේ විශාල පිරිවැයක් මෙන්ම කාලයක් ඒ සදහා මිඩංගු කිරීමට සිදුවන බැවිනි. ඊටත් වඩා එම මුහුදු මාර්ගය භාවිතා නොකිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම මුහුදු මාර්ගය ඉතා දුෂ්කර එකක් වන බැවිනි. ආර්ථිකමය අතින් බලන කළ වෙළෙඳ නෞකාවකට එම මාර්ගයේ ගමන් කරනවා වෙනුවට එම ගමන මුළු මනින්ම අතහැර දැමීම වඩාත් වාසි සහගතය. මුහුදු කොල්ලකරුවන්ගේ අවධානමක් ඇතත් වෙළෙඳ නෞකා සිය ගමන් මාර්ගය ලෙස සෝමාලියානු මුහුදු තීරයම යොදා ගන්නේ එබැවිණි.

ආසියා සහ අප්‍රිකානු කළාප අතරත් බටහිර කළාපයේත් නිෂ්පාදන හුවමාරුවන්නේද සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අරක්ගත් මුහුදු කලාපය ඔස්සේය. වර්ග කිලෝමීටර් මිලියන 8.5 ක මුහුදු වපසරියක් පුරා ක්‍රියාත්මක වන එම කොල්ලකරුවන් පාලනය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවත් පසුගිය දසක දෙකක කාලය තුළ ඒ අයගේ ක්‍රියා කලාපයන් ලෝක ආර්ථිකයටද යම් බලපෑමක් එක් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට පවා සෝමාලියානු කොල්ලකරුවන් යොමුවන්නේ එබැවිණි. බලවත් රටවල් මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළෙඳ නෞකා ආරක්ෂා කර ගන්නට විවිධ ආරක්ෂක උපක්‍රම යොදන්නේ ඒත් එක්කමය. ශ්‍රී ලංකාවද වැඩි කල් නොගොස් එහි කොටස් කරුවෙක් බවට පත්වන්නේ සෝමාලියානු කොල්ලකරුවන්ට එරෙහිව නෞකාවන්ට ආරක්ෂාව ලබාදෙන ආරක්ෂක කේන්ද්‍රස්ථානය බවට පත්වෙමිනි. එම කේන්ද්‍රස්ථාය වන්නේ ගාලු වරායයි.

මුහුදු කොල්ලකරුවන්ට එරෙහි ආරක්ෂක කේන්ද්‍රස්ථානය බවට ගාලු වරාය පත්වන්නේ යුරෝපීය දිසාවට යාත්‍රා කරන නෞකා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ රජ දහනට ඇතුළුවන්නට පෙර හමුවන අවසන් ආරක්ෂක ස්ථානය වන්නේ ගාල්ල වරාය වන බැවිණි. මුහුදු කොල්ලකරුවන්ගේ රජ දහන පිහිටි අවදානම් කලාපය ඇත්තේද ගාල්ලේ සිට මුහුදු සැතපුම් 20 ක් ගිය තැනය. එබැවින් වෙළෙඳ නෞකා ආරක්ෂකයන් සෝමාලියානු අවදානම් මුහුදු කළාපය පසුකර යන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව දෙන්නට ජාත්‍යන්තර මුහුදු තීරයේ ගමන් කරන නෞකාවලට ගොඩවන්නට එන්නේ ගාලු වරයාටය. ගාලු වරායේ සිට බෝට්ටුවක නැගී ජාත්‍යන්තර මුහුදු මාර්ගය වෙත යන ඔවුන් වෙළෙඳ නෞකාවන්ට ගොඩවනවා මෙන්ම සෝමාලියානු මුහුදු කලාපය පසුකර යන නෞකාවල සිටින නෞකා ආරක්ෂකයින්ද සිය ආරක්ෂක රාජකාරි නිමකොට එන්නේද ගාලු වරායටය.

ඒ අය නෞකා ආරක්ෂක කටයුතු සඳහා ගාලු වරයේ සිට පිටව යන්නේත් නැවත ගාලු වරයාට එන්නේත් අතවනමින් නොව, සන්නද්ධවය. එම සන්නද්ධ ආරක්ෂකයින්ජාත්‍යන්තර මුහුදේ යාත්‍රාකරමින් ඇති වෙළෙඳ නෞකා වලට රැගෙන යාමේත්, ඒ අය නැවත රැගෙන ඒමේත් සේවා සපයන්නා වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවය. එසේම එම ආරක්ෂකයන් සතු අවි ආයුධ රැකබලා ගැනීමේ වගකීමද පැවරී තිබුණේ නාවික හමුදාවටමය. එම සේවා සැපයීම වෙනුවෙන් ගෙවීම්කරනු ලැබුවේ ඩොලර්වලිනි. එය රාජ්‍ය ආදායමට මෙන්ම රටේ ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් කරන්නට විය.

රක්නා ලංකා නමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව රජයේ පාලනයට යටත් පෞද්ගලික ආරක්ෂක සමාගමක් බිහිවන්නේ මේ අතරතුරදීය. රාජ්‍ය හා පුද්ගලිත අංශයේ ආයතනවලට ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් රක්නා ලංකා සමාගම බිහිවන්නේද එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුවය. ඒ 2008 වසරේ පෙබරවාරි 07 වෙනිදාය. වැඩි කල් නොගොස් රක්නා ලංකා සමාගමද මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙළෙඳ නෞකා ආරක්ෂා කිරීමේ මෙහෙයුම් වලට අත තැබුවේය. ඒ ජාත්‍යන්තර වෙළෙඳ නෞකා නියෝජිතායතන සමග අත්වැල් බැදගණිමිනි.

ඒ අනුව සෝමාලියානු මුහුදු කොල්ලනරුවන්ට එරෙහිව වෙළෙඳ නෞකා ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා පළමු කණ්ඩායම ගාලු වරායෙන් පිටව යන්නේ 2011 වසරේ මාර්තු 18 වෙනිදාය. එදා එම කණ්ඩායමට නායකත්වය දුන්නේ යැයි සදහන් වන්නේ නාවික හමුදාවේ සුළු නිලධාරීන්ගේ ප්‍රධානියෙක් ලෙස සේවයේ නිරතව සිටි වීරසිංහ නමැති නිලධාරියෙක් විසිනි. ඒ වන විට සෝමාලියානු මුහුදු කලාපය පසුකරන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැලයීමට ලෝකයේ සමාගම් කිහිපයක්ම බිහිවී තිබුණත් රජයක අනුමැතිය ඇතිව එම ආරක්ෂක සේවාව සැලසූ එකම රට වූයේ ශ්‍රී ලංකාවය.

එදා රක්නා ලංකා සමාගම වෙළෙඳ නෞකා ආරක්ෂාවට ගාලු වරායෙන් පිටත්ව යන විට එම වසරේ ජනවාර් 01 වෙනිදා සිට ඒ දක්වා ගාලු වරාය හරහා නෞකා ආරක්ෂක සේවා සදහා පිටවූ විදේශිය සමාගම්වල ආරක්ෂකයින් ගණන පමණක් 678 දෙනෙකි. ඒ එක් ආරක්ෂකයෙක් වෙනුවෙන් එක් ගමන් වාරයක් වෙනුවෙන් එකල ලැබුණු දීමනාව ඩොලර් 1000 කි. මේ ගමන දවසක දෙකක ගමණක් නොව, අඩුම තරමින් දින විස්සක්වත් නෞකාවේ රැදී සිටිය යුතුය. ගාලු වරායෙන් වෙළෙඳ නෞකාවකට ගොඩවන ආරක්ෂකයකුගේ ගමනාන්තය වන්නේ ඊජිප්තුව, ඕමාන්, ඩුබායි, ටැන්සානියාව, මැඩගස්කරය, කෙන්යාව, දකුණු අප්‍රිකාව, යන රටවල් වලින් එකකි. මේ අතරින් දීර්ඝතම ගමනාන්තය වන්නේ ඊජිප්තුවේ සූවස්ය. ඒ සෑම රටකින්ම වෙළෙඳ නෞකාවලට ගොඩවන ආරක්ෂකයින්ගේ ගමනාන්තය වන්නේ ගාලු වරායයි. එසේ ඒ කාලය තුළ ගාලු වරාය ගමනාන්තය බවට පත්කරගත් විදේශීය ආරක්ෂකයින්ගේ ගණන 1000 ට කිට්ටුය. මේ අයට සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාවට විශාල මුදලක් ලැබුනද රක්නා ලංකා සමාගමද නෞකා ආරක්ෂාවට අත තැබීමත් සමග එය පත්වන්නේ රටට විදේශ විනිමය ගලන උල්පතක් බවටය.

රක්නා ලංකා සමාගම හරහා නෞකා ආරක්ෂක සේවාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය්‍යාංශය අත තබන්නේද පිට රටවලට ඇදී යන එම විදේශ විනිමය මෙරටට අද්දා ගන්නටය. නාවික හමුදාව විසින් නෞකා ආරක්ෂකයින්ගේ ගිනි අවි පාලන කටයුතු වල නිරතව සිටි බැවින් රක්නා ලංකා සමාගමට නෞකා ආරක්ෂක කටයුතු සදහා එය පිටුවහලක් වී තිබුණි.

ත්‍රිවිධ හමුදාවලින් ඉවත් වූ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් රක්නා ලංකා ආරක්ෂක සමාගම නාවික හමුදාවේ ද සහය ඇතිව වෙළෙඳ නෞකා ආරක්ෂක සේවය ඔස්සේ ඉතා කෙටි කලක් තුළ විදේශ විනිමය විශාල ලෙස රටට ගෙන එමින් තිබියදී හදිසියේම ඊට තුන්වැනි පාර්ශවයක් සම්බන්ධ වන්නේ 2012 වසරේ පෙබරවාරි 18 වෙනිදාය. ඒ ඇවන්ගාඩ් සමාගමයි. එතෙක් කාලයක් නාවික හමුදාව සතුව තිබුණු වෙළෙඳ නෞකා ආරක්ෂයින්ගේ අවි ආරක්ෂා කිරීමේ කටයුත්ත පවා ඇවන්ගාඩ් සමාගමට පවරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයකිනි. එය එසේ වූවත් සුපුරුදු ලෙස නෞකා ආරක්ෂකයින් ජාත්‍යන්තර මුහුදු සීමාවට රැගෙන ගොස් වෙළෙඳ නෞකාවලට ගොඩ කිරීමේත් ආරක්ෂාව සපයා පැමිනෙන ආරක්ෂකයින් නැවත ගාලු වරායට රැගෙන ඒමේත් කටයුත්ත නාවික හමුදාවටම පැවරී තිබුණේය. ඇවන්ගාඩ් සමාගම පැමිණීමට පෙර ඒ සදහා එක් ගමන් වාරයක් සදහා ඇමරිකානු ඩොලර් 3500 ක මුදල් නාවික හමුදාවට ලැබුණද ඇවන්ගාඩ් සමාගමේ ආගමනයත් සමග නාවික හමුදාවට හිමිවූයේ යැයි සදහන් වූයේ එම මුදලින් සියයට 17 ක මුදල් පමණි.

මෙම ව්‍යාපාරය ඇවන්ගාඩ් සමාගමට ධන උල්පතක් විය. ඒ නිසාම ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්සංක සේනාධිපති නෞකා ආරක්ෂක ව්‍යාපාරය පුළුල් කරන්නේ සිය ව්‍යාපාරික ඥානය මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධකම්ද යොදා ගනිමිනි. එය රටට ධන උල්පතක් වූවත් එහි වැඩි වාසිය බෙදී ගියේ රජයට නොව, ඇවන්ගාඩ් සමාගමටය. ඊට පැවැති ආණ්ඩුවේ ඇතැම් බලධාරීන්ගේද ආශිර්වාදය පවා ඇවන්ගාඩ් සමාගමට ලැබුණු බව සදහන්ය. ඒ සියල්ල ඇවන්ගාඩ් සමාගමට අහිමි වන්නේ ආණ්ඩු පෙරලියත් සමගිණි. ඇවන්ගාඩ් සමාගමට පහර වදින්නේ ගාලු වරායේ නැංගුරම්ලා තිබුණු මුහුදු ආරක්ෂකයින්ගේ අවි ගබඩාකර තිබුණු නෞකාව පොලිස් වැටලීමකට ලක්වීමත් සමගිනි. පාවෙන අවි ගබඩාව ලෙසින් ප්‍රසිද්ධියට පත්වූයේ එම නෞකාවය.

එකල දකුණු පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටියේ වත්මන් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාය. ගාල්ල වරායේ නැංගුරම්ලා තිබුණු පාවෙන අවි ගබඩාව 2015 වසරේදී පරීක්ෂාවට ලක්කරන්නේ ඔහු යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසිනි. එදා එම නෞකාවේ විවිධ වර්ගයේ මැෂින් තුවක්කු දහසකට වැඩි ප්‍රමාණයක් මෙන්ම පතුරොම් දහස් ගණනක් ගබඩාකර තිබුණේය. එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් ඇවන්ගාඩ් නෞකාව ගැන වැඩිදුර විමර්ශන පවරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද විමර්ශනයක් අරඹන්නේ රජය සතුව පැවැති ව්‍යාපාරයක් වූ වෙළෙඳ නෞකා ආරක්ෂක සේවාව ඇවන්ගාඩ් සමාගමට පැවරීම තුළින් රජයට සිදුවූ පාඩුව මෙන්ම එම ගණුදෙනුවේ දූෂණ ගැන සොයා බලන්නටය. එහිදී හෙළිවන්නේ රජය සතු එකී ව්‍යාපාරයට ඇවන්ගාඩ් සමාගම හවුල්කර ගැනීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩුවක් සිදුවූයේ යැයි කියාය.

අල්ලස් කොමිසම විසින් එහි පළමු වගඋත්තරකරු ලෙස නම්කරන්නේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාවය. දෙවැනි වගඋත්තර කරු වන්නේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්සංක සේනාධිපති මහතාය. තුන්වැනි වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ විශ්‍රාමික මේජර් ජනරාල් පියසිරි ප්‍රනාන්දුය. රක්නා ලංකා සමාගමේ එවකට සිටි සභාපතිවන්නේ ඔහුය. මෙහි සෙසු වගඋත්තරකරුවන්කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයන්ත කොළඹගේ, ජයන්ත පෙරේරා, සහ විශ්‍රාමික මේජර් ජනරාල් බණ්ඩා අධිකාරි යන මහත්වරුන්ය. මේ අය සිය තනතුරුවලින් විශ්‍රාම ගැනීමෙන් පසු පත්ව සිටින්නේ ඇවන්ගාඩ් සමාගමේ උපදේශකයන් ලෙසිනි. ඒ වෙනුවෙන් ඔහුන්ට වැටුප් ලැබෙන්නේ ලක්ෂ ගණනනි. මේ අයට එරෙහිව අල්ලස් කොමිසම දැනටමත් නීතිමය කටයුතුවලට අත තබා හමාරය. ඒ සදහා නඩු විභාගයත් ආරම්භවී ඇත්තේද එබැවිනි.

අල්ලස් කොමිසම විසින් එසේ නඩු පවරා ඇත්තේඅධික ලාභ ලැබූ ආණ්ඩුවේ ව්‍යාපාරයකටඇවන්ගාඩ් සමාගම හවුල්කර ගැනීමෙන් ආණ්ඩුවට සිදුවූයේ යැයි කියනපාඩුව වෙනුවෙනි. රුපියල් බිලියන 11.4 ක් යැයි කියන්නේ එකී පාඩුවයි. මෙම පාඩුව සිදුව ඇත්තේ 2012 වසරේ ඇවන්ගාඩ් සමාගම රජයේ ව්‍යාපාරයට හවුල් වූ මොහොතේ සිට ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව 2015 වසරේ වැටලීමට ලක්වන තුරු වසර තුනක් හෝ ඒ ආසන්න කාලයක තුළය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇවන්ගාඩ් සමාගමට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඇත්තේ අල්ලස් කොමිසම මෙන් රජයට සිදුවූ පාඩුව ගැන නොව, ගාලුවරායේ නැංගුරම්ලා තිබුණු පාවෙන අවි ගබඩාව ගැනය. එකී විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ නීති විරෝධී ලෙස බවය. ඒ අනුව නීතිපතිවරයා තීරණය කරන්නේ එම නීති විරෝධි අවි ගබඩාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු අට දෙනෙක් වගකිව යුතු බවකි. ඒ අය වන්නේරක්නා ලංකා සමාගමේ සභාපතිවරයෙක්වූ විශ්‍රාමික මේජර් ජනරාල් වඩුගේ පාලිත ප්‍රනාන්දු, රක්නා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලේ, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් පී.බී.ප්‍රේමචන්ද්‍ර, විශ්‍රාමික කොමාදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට හිටපු අතිරේක ලේකම්වරයෙක් වන ජාතික පොලිස් කොමිසමේ ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට සිටි ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස් දමයන්ති ජයරත්න සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතිවරයෙක් වන වික්ටර් සමරසිංහ යන වගකිව යුතු බවය.

නීතිපතිවරයාගේ එම තීරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන විට වගඋත්තර කාරියක් වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයසූරිය මහත්මිය සිටින්නේ රටින් පලා ගොසිනි. ඇය එසේ රටින් පලායන්නේ රජය සතු වෙළෙඳ නෞකා ආරක්ෂක කටයුත්තට ඇවන්ගාඩ් සමාගම හවුල්කර ගැනීමේ මහමොළකරුවන්ගේ රහස් ගොන්නක්ද සගවාගෙනය. ඇයව අනුගමනය කරමින් සෙසු විත්තිකරුවන්ට රටින් පලායන්නට ඉඩක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත හැකි සියලුම ආරක්ෂක පියවර ගත්තේය. එබැවින් ඒ අයගෙන් කොටසක් පොලිස් අත්අඩංගුවට පත්ව හිරේ විලංගුවේ නොවැටී සිටින්නට උත්සහයක් දරන්නේ ශ්‍රේෂ්ඨාධීකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකරමිනි. නිශ්සංක සේනාධිපති, පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, විශ්වජිත් නන්දන දියබලනගේ සහ දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක යන පස් දෙනා ඒ අතර වූහ. එම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අයට අතක්වත් තබන්නට ගියේ නැත. දුර තියා ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළේය. ඒ තීන්දුවට අනුව ක්‍රියාත්මත වන්නටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස ගණනාවක් තිස්සේ බලා සිටි එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන්නේ පසුගිය 05 වෙනිදාය. ඒ පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කරමිණි. එවන් තීන්දුවක් පෙත්සම්කරුවන් කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. ඒත් එක්කම පොලිස් අත්අඩංගුවෙන් බේරී හිරේ විලංගුවේ නොවැටී සිටින්නට තිබුණු සුවිශේෂි අවස්ථාවද ඔවුන්ට අහිමි වී ගියේය. ඒ බව කල්තියා ඉව වැටී තිබුණු නිසාදෝ ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපති ඒ වන විටත් සිටියේ සිය සමීපතයෙක් වන විශ්වජිත් නන්දන දියබලනගේ සමග රටින් පිටව ගොසිනි. ඒ අතර පී.බී ප්‍රේමචන්ද්‍ර ද හොර රහසේ රටින් පැනගන්නේ වෙන කරන්නටම යමක් නැති නිසාය. එසේ තවත් කිහිප දෙනෙක් රටින් පැනයන්නට සූදානම් වූවත් ඒ අයට ඊට ඉඩක් නොලැබෙන්නේ රටින් පැන යන්නට නොහැකිවන ලෙස ආරක්ෂක වැඩපිළිවෙලක් ක්ෂණිකව ක්‍රියාත්මක කළ බැවිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් නිෂ්ප්‍රභා වීමත් සමග විත්තිකරුවන් එසේ හැසිරෙන විට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ නිශ්සංක සේනාධිපති ඇතුළු සැකකරුවන් අට දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ වන විටත් අත්අඩංගුවට ගැනීමට නියම වූ සැකකරුවන් සිව් දෙනෙක්ම සිටින්නේ රටින් පිටව ගොසිනි. ප්‍රධාන චූදිතයන් එසේ රටින් පිටව ගොස් සිටින විට රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතිවරයෙක් වන වික්ටර් සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවෙන්නේ සෙසු අය මෙන් කට්ටි පනිමින් සැගව සිටින්නට බැරිකම නිසාය.

ඒත් එක්කම ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපේකෂිත ඇපයක් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ පොලිස් අත්අඩංගුවට පත්වූවත් හිරේ විලංගුවේ නොවැටී සිටින්නටය. එම ඇප අයදුම්පත ඉකුත් 08 වෙනිදා අධිකරණයට ඉදිරිපත්කරන සමන් දිසානායක මහතා පොලිස් කොමිසමට පැමිණ ලේකම්ධුරයේ වැඩ කටයුතු කරන්නට සූදානම් වන්නේ සුපුරුදු ලෙසිණි. එහෙත් ඊට කොමිසමේ බලධාරීන්ගෙන් ඉඩත් නොවීය. එබැවින් ඔහුට සිදුවන්නේ අධිකරණයෙන් නිවැරදි කරුවෙක් වන තුරු පොලිස් කොමිසමේ ලේකම්ධුරයට සමුදෙන්නටය. ඒ නිවාඩු ලබන්නටය.

මෙහිදී ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් අතර කථාබහක් ඇති වන්නේ අපරාධමය චෝදනාවක් එල්ලවී ඇති සමන් දිසානායක තවදුරටත් ජාතින පොලිස් කොමිසමේ ලේකම්ධුරයේ තබා ගැනීම සදාචාරාත්මක නොවන බවකි. ඒ අනුව නව ලේකම්වරයෙක් බදවා ගැනීමට කථිකාකරගන්නා කොමිසමේ සාමාජිකයින් එතෙක් වැඩ බලන ලේකම් ලෙස පත්කර ගන්නේ කමිටු අධ්‍යක්ෂකවරයෙක් වන නිශ්සංක වීරසිංහ මහතාවය. සමන් දිසානායකක මහතාගේ අපේක්ෂිත ඇපය ප්‍රතිකේෂප වන්නේද මේ අතරතුරදීය. ඒ ඉකුත් 17 වෙනිදාය. සමන් දිසානායක මහතාට එල්ලවී ඇත්තේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්පුපුරණ ද්‍රව්‍ය ආඥාපනතේ සහ ගිනි අවි පනතේ චෝදනා පමණක් නොව, බොරු සාක්ෂි ගෙතීම සහ ඊට අධාර අනුබලදීමේ චෝදනාද එල්ලවී ඇත. නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 වගන්ති වලින්ද නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය. සමන් දිසානායක මහතාට පමණක් නොව, ඇවන්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති සහ පී.බී. ප්‍රේමචන්ද්‍ර යන අයට එරෙහිවද එම චෝදනා ගොනුකල හැකි බව නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේය. ඒ අනුව පෙනී යන්නේ මේ අයට එරෙහිව ඇති චෝදනා සුළුපටු ඒවා නොවන බවකි.

සමන් දිසානායක මහතා දන්නා ශිල්ප සියල්ලක්ම දමා බේරෙන්නට උත්සහ ගත්තේ එල්ලවන එකී චෝදනාවලට අත්අඩංගුවට පත්වුව බන්ධනාගාරගතවුවහොත් මාස දෙක තුනක් යන තුරු ඇප ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව වටහාගෙනය. අපේක්ෂිත ඇපය ප්‍රතිකේෂ්ප වීමත් සමග ඔහු එදා මුළු දවසම දිව්වේ අත්අඩංගුවෙන් ගැලවෙන්නට මගක් සොයාය. එහෙත් ඔහුට උපකාර කරන්නට කිසිවෙක් නොවීය. ඉහළම බලධාරීන් පවා අහක බලා ගත්තේය. ඒ සියල්ල අසාර්ථක වූ තැන ඔහු 18 වෙනිදා උදෑසනම ජයවර්ධනපුර රෝහලට ගොස් ඇතුළු වන්නේ නේවාසික රෝගියෙක් ලෙසිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එදින සවස ඔහුව අත්අඩංගුවට ගන්නේ එහිදීය.

ඒ වන විට ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි ඇවන්ගාඩ් නඩුවේ එකම චූදිතයා වූයේ සමන් දිසානායක මහතා පමණක් නොව, රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතිවරයෙක් වන වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු සහ රක්නා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙලේ යන මහත්වරුන්ද ප්‍රතිකාර ලබමින් සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගන්නේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඒ අනුව ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව චෝදනා එල්ලවී ඇති අට දෙනාගෙන් සිව් දෙනෙක්ම සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතවය. සිව් දෙනෙක් සිටින්නේ රටින් බැහැරවය. ඒ අය අතර ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාද සිටී.

මෙහිදී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්සංක සේනාධිපති මහතා නම් පෙන්වා දෙන්නේ ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාව පවත්වාගෙන යාම මෙන්ම නෞකා ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම් තුළ නීති විරෝධි ආකාරයේ කිසිවක් සිය සමාගම විසින් සිදුකර නොමැති බවය. සියල්ල සිදුවූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත නීති රාමුවකට යටතව බව ඔහු පෙන්වා දෙන්නේය. ඔහුට අනුව ඇවන්ගාඩ් මැරයින්යිට් සර්විස් සමගාගම වෙළද නෞකා සදහා ආරක්ෂාව සැපයීම වෙනුවෙන් රක්නා ලංකා සමගාම සමග ගිවිසුම්ගත වන්නේ 2011 වසරේ ජුනි 24 වෙනිදාය. ඇවන්ගාඩ් සමාගම එකී ව්‍යාපාරයට සම්බන්ධවීමෙන් නෞකා ආරක්ෂක කටයුතු පුළුල්වූවා පමණක් නොව ආදායම පවා ඉහළ ගිය බව ඔහු පෙන්වා දෙන්නේය.

නාවික හමුදාව ඩොලර් 1000 කට ලබාදුන් සේවාව, ඩොලර් 3500 දක්වා ඉහළට ගෙන ගියේද ඇවන්ගාඩ් සමාගම ඊට සම්බන්ධවීමත් සමග බවද ඔහු පෙන්වා දෙන්නේ රටට වාසියක් මිස අවාසියක් මේ තුළින් සිදු නොවූ බව සදහන් කරමිනි. මේ වන විට නිශ්සංක සේනාධිපති මහතා රැදී සිටින්නේ සිංගප්පුරුවේය. ඔහු සදහන් කරන්නේ තමන් රටින් පිටවූයේ අධිකරණයට පවා දැනුම් දී නීත්‍යානූකූළව බවය. සිංගප්පූරුවට ඒමට තමන්ට සිදුවූයේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට බවද ඔහු පෙන්වා දෙන්නේය. ප්‍රතිකාර කටයුතු අවසන් වූ වහාම තමන් ලංකාවට පැමිණෙන බව ඔහු පවසන්නේ අවධාරණයෙනි.

අදහස්