ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් එකතු කරනවා | සිළුමිණ

ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් එකතු කරනවා

ඔබතුමාලගේ පොදු ජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා බහුතරයක් මන්ත්‍රිවරු එකහෙළාම කියනවා. රාජපක්ෂවරුන් හැරුණාම ‍මේ රටේ වෙන නායකත්වයට සුදුස්සන් නැද්ද?

රට පුරා අපි යනවා; ගියාම ඒ අයගෙන් අපි අහනවා ජනතාව බලාපොරොත්තු වෙන්නේ කාවද කියලා. එ හැම අවස්ථාවක ම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා තමයි මේ රටේ ජනතාව කියන්නේ. මම ඉන්න පෞද්ගලික දේශපාලන ස්ථාවරත්වය මහින්ද මහත්තයා නම් කරන කෙනාට අපි සහය දෙනවා කියලා. හේතුව 2015 ජනවාරි 08 පස්සේ මේ රටේ ජනතාව ගොනු වුණේ මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා කරන්න.

ව්‍යවස්ථානුකූලව එතුමාට බැරි නිසා තමයි අපි විකල්පයක් හොයන්නේ එසේ නම් ඒ හොයන අපේක්ෂකයා තෝරා ගැනීමේ මහින්ද රාජපක්ෂ මහතා අපි ඒ වගකීම බාර දෙනවා. මේ රටට‍ ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. ඒ නිසා එතුමා නම් කරන්නේ කවුද පරිණත දේශපාලඥයෙක්, අපි ඒ කෙනාට සහය දෙනවා.

එසේ නම් ගෝඨාභය මහතාට වඩා පරිණත දේශපාලඥයෙක් නේද චමල් රාජපක්ෂ මහතා. ජ්‍යෙෂ්ඨත්වය සලකනවා නම් එතුමාට වඩා ජ්‍යෙෂ්ඨයෝ පොදුජන පෙරමුණේ ඉන්නවා නේද?

ජනතාවගෙන් තෝරන කෙනෙක් නම් ජනතාව කැමැති කෙනෙක් විය යුතුයි. එසේ නම් අපේ පක්ෂයේ මහින්ද මහත්තයාට පස්සේ වැඩියෙන් ම ඡන්දය අරන් තියන්නෙ මම. එසේ නම් මමත් සුදුස්සෙක් වෙන්න ඕන. ජ්‍යෙෂ්ඨත්වය ගැන කතා කරනවා නම් ජ්‍යෙෂ්ඨත්වය ද වැඩිම ඡන්ද ගත්ත කෙනාද කියන එක නොවෙයි වැදගත් වෙන්නේ.

ඒ නිසා අපේ පොදු ජන පෙරමුණ මේ පොහොට්ටුව නිර්මාණය කරන්න අපි මෙහෙය වන ලද ගම් මට්ටමේ දේශපාලඥයන් තමයි එය කියන්න ඕන. ජනතාව කියන කෙනයි මහින්ද මහත්තයා ජනතාවට දෙන්න අවශ්‍ය වෙන්නේ. ගෝඨාභය ද; චමල් ද කියලා වැඩක් නැහැ.

කවුරු හරි ජනතාව නම් කරන කෙනා අපි දෙන්න අවශ්‍යයි. 2015 දි මුළු පාර්ලිමේන්තුවේ කීදෙනෙක් ගියාද මහින්ද මහත්තයාව දාලා. ඡන්ද පැරදුණාම නුගේගොඩ රැස්වීමට නගින්න හිටියේ අතලොස්සයි. හුඟක් අය ගියා මහින්ද මහත්තයා දාලා. කාලය‍ාගේ ඇවෑමෙන් ජනතාව ඉල්ලන්නේ කාවද කියලා දැනගත්තාම ඒ අය දැන් අපේ පක්ෂයට එකතු වෙලා මහ ලොකු වීරයෝ වෙලා ඉන්නවා.

ඔබ චෝදනාවක් කරනවා ද දේශපාලන වාසි අපේක්ෂාවෙන් ජනතා බලවේග පොදු ජන පෙරමුණ වටා ගොඩනැඟෙන විට ඒ අය එකතු වෙනවා කියලා?

ජනතාව පොදු ජන පෙරමුණ වටා ඒකරාශි වන බව කාටත් පේන කරුණක්. මෙය කෙටි කාලයක් තුළ ඉතා විශාල පිරිස් ඒකරාශි වූ පක්ෂයක්. පක්ෂය හොඳ අත්තිවාරමකයි ගොඩ නැඟෙන්නේ. අපේ පක්ෂයේ සංවිධාන ව්‍යුහයක් තියනවා' පොදු ඉලක්කයක් කරායන්න පුළුවන් එකම පක්ෂය මෙය පමණයි. සිවිල් සංවිධාන වෘත්තිකයන් කාන්තා සංවිධාන අනෙකුත් දේශපාලන පක්ෂ ටික ඒකරාශි වෙනවා. පොදු ඉලක්කයක් වටා ඒකරාශි වෙන එකම පක්ෂය පොදු ජන පෙරමුණ පමණයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා කියලා ඔබතුමාලා යෝජනා කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණයේ පැමිණිලි දහයක් තියනවා නේද ? ‍මේ තත්ත්වය යටතේ එතුමාට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙන්න පුළුවන් වේවිද.?

කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ; එතුමා ද්විත්ව පුරවැසි බව ඉවත් කරලා මේ රටට එන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. එතුමා ඒ අභියෝගය බාර අරගෙන තියෙන්නේ. නඩු දාන්න ඇමරිකාවaේ යුරෝපයේ රාජපක්ෂ විරෝධි කදවුරු පසු බිමේ ඉන්නවා.

ඒ අයට ඕන විදිහට රට හසුරුවා ගන්න පුළුවන් පඹයන්ව තමයි ඒ අය මේ රටේ නායකත්වයට ගේන්න බලන්නේ. ඒ නිසා රාජපක්ෂලාව ගෙන ඒම ම ඒ අයට අභියෝගයක් නිසා තමයි මේ තරම් අකුල් හෙළන්නේ. තව ඉස්සරහට සමාජ ජාලා වෙබ් අඩවිවලත් යයි. 2015 කරපු බොරුව වගෙ මේ රටේ මිනිස්සුන්ව ආයේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න උත්සාහ කරයි. නමුත් අද ජනතාව හුගාක් බුද්ධිමත්.

ශ්‍රිලනිප ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා පොදුජන පෙරමුණත් සමඟ එකඟතාවයකට පැමිණිමට නොහැකි වුණොත් වෙනම සන්ධානයක් ගොඩ නඟනවා. එය පොදු ජන පෙරමුණට අභියෝගයක් වෙන්න පුළුවන් නේද.?

කිසිසේත් නැහැ. අපි ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් එකතු කරගන්න සූදානම්. ඒත් කොන්දේසි වලට එකඟතාව තිබිය යුතුයි. ජනාධිපති අපේක්ෂකයා, අගමැති අපේක්ෂකයා පිළිබඳව මතවාද නොතිබිය යුතුයි. පොදු අරමුණක් උදෙසා මේ ජනාධිපතිමැතිවරණය ජයග්‍රහණය කරගැනීමට සියලු දෙනා එකමුතුවී කටයුතු කළ යුතුයි. හැබැයි තනතුරු සඳහා නොවිය යුතුයි. පො‍හොට්ටුවේ ගමනට යන්න පුළුවන් අයට යන්න පුළුවන් අපිත් එක්ක. කොන්දේසි වලට නම් අපි එකඟ වෙන්නේ නැහැ.

දෙපාර්ශ්වය ගොඩ නැඟීමට යන මේ සන්ධානය ඇති කරගනු ලබන්නේ කොන්දේසි මත ද; එසේ නැති නම් එකඟතාවන් මැද ද?

එකඟතා ඇති වෙන්න ඕන ඉහළ තනතුරු වල අය අතර පමණක් නොවෙයි; දෙපාර්ශ්වයන් අතර සාකච්ඡා කරලා දෙපාර්ශ්වයන් අතර පලාත්, දිස්ත්‍රික්ක, ජාතික මට්ටමේ එකඟතාවන් ඇතිවෙන්න ඕන. ඒ එකඟතාවන් මත එකට කටයුතු කරනවා නම් අපේ ‍විරෝධයක් නැහැ.

ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සියලු දෙනාගේ වගකීමක්. ජාතික ආණ්ඩු හදන්න තනතුරු අරගෙන ගියාම රටේ ජනතාව, ඡන්ද දායකයා ලොකු අසීරුතාවයකට පත් වුණා. ශ්‍රිලංනිප ගැන තිබුණ විශ්වාසය නැතිව ගියා. ඒ නිසා ඒ අයගේ දේශපාලන ස්ථාවරත්වය නැවත ගොඩ නඟන්නට නම් යුඑන්පී විරෝධි පිලකට එකතු විය යුතුයි. විස්වාසය ගොඩනඟා ගැනීම ඒ අයගේ වගකීමක්.

අදහස්