මවුබිමට ද්‍රෝහියකු වී එංගලන්තයට වීරයකු වූ බෙන් ස්ටෝක්ස් | සිළුමිණ

මවුබිමට ද්‍රෝහියකු වී එංගලන්තයට වීරයකු වූ බෙන් ස්ටෝක්ස්

මීට සිවු වසරකට පමණ පෙර පැවැති 2015 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයකදී තරග කළේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවයි. ඉතා තියුණු තරගයකින් පසුව නවසීලන්තය තරගය ජය ගත්තේය. එදා තරගයේ වීරයා වූයේ දකුණත් පිතිකරුවෙකු වූ ග්‍රාන්ට් එලියට්ය.

එලියට් (උපත 1979 මාර්තු 21) නොදැවී ලකුණු 84 ක් රැස් කරමින් කිවියන්ගේ දේශය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එලියට්ගේ දස්කම් දැක නවසීලන්තය සතුටු වුහ. එහෙත් දකුණු අප්‍රිකානුවන්ට සිදු වූයේ කණගාටුවට පත් වීමයි. ඊට හේතු දෙකක් බලපෑවේය. එනම් තරගයෙන් පරාජයට පත් වීමයි. එමෙන්ම එලියට් උපතින් දකුණු අප්‍රිකානුවෙකු වීමයි. එදා දකුණු අප්‍රිකාවට සිදු වූයේ ‘දෛවයේ සරදමට’ ලක් වීමටයි.

තවත් සිවු වසරක් ගත වූයේය. 2019 වසරේ ජුලි මස 14 වැනිදාය. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි. එය පැවැත්වූයේ ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එහිදී ප්‍රථම වරට ලෝක ශූරයෝ වීමට එංගලන්තය සහ නවසීලන්තය තරග කළහ.

තරගය නියමිත ඕවර සියය නිමාවන විට දෙපිළම සම ලකුණු ලබා සිටියහ. අනතුරුව සුපිරි ඕවරයෙත් දෙපිළම සම මට්ටමක සිටියහ. අවසානයේදී එංගලන්තයට ලෝක ශූරතාව හිමි වූයේ සම්පූර්ණ තරගය පුරාවට වැඩිම 4 සහ 6 පහරවල් එල්ල කළ බැවිනි. තරගයේ වීරයා වූයේ එංගලන්තයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක් වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස්ය. ඔහු නොදැවී ලකුණු 84ක් සහ 08 ක් රැස් කළේය.

මීට සිවු වසරකට පෙර දකුණු අප්‍රිකාවට වූ ආකාරයටම මෙවර ‘දෛවයේ සරදමට’ ලක්වීමට නවසීලන්තයට සිදු වුයේය. ඒ බෙන්ගේ උපන් රට නවසීලන්තය වූ නිසාය.

බෙන්ගේ දක්ෂතා නිසා එංගලන්තය ලෝක ශූරයෝ වන විට ඔහුගේ මවුපියන් වන ජෙරාර්ඩ් සහ ඩෙබ් හට සිදු වූයේ මිශ්‍රඵලදායක අත්දැකීමකට පත් වීමටයි.

“සමහර විට මේ වන විට නවසීලන්තයේ සිටින වඩාත්ම වෛරයට පත් වූ පියා මම වෙන්න පුළුවන්” ජෙරාර්ඩ් තරගයට පසුව පැවසීය.

“එය හරියට සුරංගනා කතාවක් වගේ” ස්ටෝක්ස් මවුපියන් ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි සිය නිවසේ සිට රූපවාහිනියෙන් තරගය නැරැඹීමෙන් පසුව වැඩිදුරටත් එසේ පැවසුහ.

“ඇත්තම කියනවානම් මම සහාය පළ කළේ නවසීලන්තයටයි. ඒ වුනත් පුතා එංගලන්තයේ වීරයා වීම ගැන හරිම ආඩම්බරයි. ඔහුට දක්ෂතාවය තිබුණා.” ජෙරාර්ඩ් වැඩිදුරටත් පැවසුවේය.

එංගලන්තය කවදත් හැඳින්වුයේ ක්‍රිකට් ලොවේ එක්සත් ජාතින්ගේ සංවිධානය ලෙසටයි. ඒ බොහෝ විට විදෙස් රටවල උපත ලැබූ ක්‍රීඩකයන් එංගලන්තයට ක්‍රීඩා කළ බැවිනි. එම නිසාම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම එමෙන්ම වටිනාම එක්දින ජයග්‍රහණයට විදෙස් රටවල උපත ලැබූ ක්‍රීඩකයින්ගේ දායකත්වයත් ලැබීම ගැන පුදුමයට පත් විය යුතු නැත.

මෙවර ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සංචිතයට විදෙස් රටවල උපත ලැබූ ක්‍රීඩකයන් 05 ක්ම සිටියහ. ඒ නායක ඔයින් මෝර්ගන් (උපන් රට අයර්ලන්තය), ජොෆ්රා ආචර් (බාර්බෙඩොස්), ටොම් කරන් සහ ජේසන් රෝයි (දකුණු අප්‍රිකාව) මෙන්ම බෙන් ස්ටෝක්ස් (නවසීලන්තය) වශයෙනි. මීට අමතරව එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු වුයේ ඔස්ට්‍රේලියාවේ ට්‍රෙවර් බේලිස්ය. හෙතෙම 2011 එක්දින ලෝක කුසලාන අනුශුරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට ප්‍රධාන පුහුණුකරුවාත් වුයේය.

බෙන්ගේ පියා වන ජෙරාර්ඩ් (උපත 1955) රග්බි ලීග් හිටපු ක්‍රීඩකයෙකි. එමෙන්ම පුහුණුකරුවෙකි. හෙතෙම 80 දශකයේදී අන්තර්ජාතිකවත් නවසීලන්තය නියෝජනය කළේය. මව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවකි.

පසු කළෙක පියාට එංගලන්තයේ වර්කිංග්ටන් ටවුන් රග්බි ලීග් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිමි විය. ඒ අනුව ස්ටෝක්ස් පවුලම එංගලන්තයේ පදිංචියට පැමිණියහ. එවිට බෙන්ගේ වයස අවුරුදු 12කි.

මෙවර ලෝක ශූරයන් වන බවට තරගාවලිය ඇරැඹීමට පෙර සිටම බලාපොරොත්තු වූ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ එංගලන්තයයි. තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ අනපේක්ෂිත පරාජයන්ට ඔවුන් ලක් වුහ. එසේ වුවත් සෙසු තරගවලදී විශිෂ්ට දස්කම් දක්වමින් ප්‍රථම වරට එක්දින ලෝක ශුරයෝ බවට පත් වීමට ඔවුනට හැකි වුහ.

ඒ සඳහා සිය තුන් ඉරියව් හැකියාවෙන් බෙන් ස්ටෝක්ස් විශාල දායකත්වයක් ලබා දෙනු ලැබීය. මෙවර ලෝක කුසලානයේදී බෙන්ගේ දස්කම් මෙසේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව - ලකුණු 89, 12 – 2 (පන්දු යැවීම)
පාකිස්තානයට - ලකුණු 13, 43-0
බංග්ලාදේශයට - ලකුණු 06, 23 -3
බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට - නොදැවී ලකුණු 10, 25 – 0
ඇෆ්ගනිස්තානයට - ලකුණු 02, 12-0
ශ්‍රී ලංකාවට - නොදැවී ලකුණු 82, 16-0
ඔස්ට්‍රේලියාවට - ලකුණු 89, 29-1
ඉන්දියාවට - ලකුණු 79, 34-0
නවසීලන්තයට - ලකුණු 11, 10-1
(අවසන් පූර්ව ) - ඔස්ට්‍රේලියාවට - පන්දුවට පහර දුන්නේ නැත. 22 – 0
(අවසන් තරගය) - නවසීලන්තයට - නොදැවී ලකුණු 84, නොදැවී 08, 20-0

මෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු සහ නවසීලන්තයට එරෙහිව අවසන් තරගවලත් බෙන් වීරයා වුයේය.

මෙවර ලෝක කුසලාන කණ්ඩායමටත් ඔහුව තෝරා ගනු ලැබීය. (නායක) කේන් විලියම්සන්, ලොකී ෆර්ගියුසන් (නවසීලන්තය), ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොෆ්රා ආචර් (එංගලන්තය), රෝහිත් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව), ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය), මිචෙල් ස්ටාර්ක් සහ ඇලෙක්ස් කේරි (ඔස්ට්‍රේලියාව) මෙම කණ්ඩායමට අයත් වූහ.

අවසන් මහා තරගයේදී එංගලන්තය මෙන්ම බෙන් ද වාසනාවන්ත වූයේය. බෙන් ලකුණු 02ක් කරා දුවන විට මාටින් ගප්ටිල් විසින් කඩුල්ල වෙතට පන්දුව යොමු කළේය. එවිට පන්දුව බෙන්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ගියේය. එම නිසාම එංගලන්තයට තරගයේ අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවට ලකුණු 06 ක්ම ලැබිණි.
“එහෙම නොවේ මට කරන්න ඕනෑ වුණේ. මම කේන් විලියම්සන්ගෙන් (නවසීලන්ත නායක) සමාව ගත්තා.” බෙන් පසුව පැවසීය. ඉහත ලකුණු 06න් 04ක් ඉවත් කර ගන්නා ලෙසට බෙන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළ බවටත් වාර්තාවිය.

මේ අතර ඊට පෙර ඕවරයේදී ඔහු එල්ල කරන ලද පහරකින් පන්දුව 4 සීමාව අසළ සිටිය ට්‍රෙන්ට් බෝල්ට් උඩපන්දුවක් ලෙසට රැක ගත්තේය. එසේ වුවත් පන්දුවක් සමඟම බෝල්ට් 4 සීමාව ඉක්මවා ගියේය. එම නිසාම බෙන්ට ලකුණු 06ක් ලැබිණි. කිසියම් හෙයකින් එම අවස්ථාවේදී බෙන් දැවී ගියේ නම් මෙවර ලෝක ශුරයෝ ලෙසට අභිෂේක ලබන්නේ නවසීලන්තයයි.

මෙවර තරගාවලිය තුළදී බෙන්ගේ සටන්කාමී පිතිහරඹයන් අවස්ථා 03 කදී දක්නට ලැබිණි. එහිදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය පරාජයට පත් විය. එහෙත් වැදගත්ම තරගයේදී තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුට හැකි වුයේය.

“බෙන් ස්ටොක්ස් සුපිරි මිනිසෙක් බවට පත්වුනා.” ලෝක ශුර නායක මෝර්ගන් පවසයි. “2016 වසරේදී කොල්කටාවේදී සිදු වූ දෙය වෙනත් ක්‍රීඩකයන්ට වුවා නම් ඔවුන්ගේ තරග දිවිය නිමා වෙන්න තිබුණා. නමුත් බෙන් එහෙම කෙනෙක් නොවේ. ඔහු තනිවම නැඟිටිමින් අපිව එක් කරනවා. ඔහු පුදුමාකාර ක්‍රිකටර් කෙනෙක්” මෝර්ගන් තවදුරටත් පැවසීය.

එය සත්‍යයකි. 2016 පන්දු ඕවර 20 -20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් තරග කළේය. තරගයෙන් ජය ගැනීමට අවසන් ඕවරයේදී කොදෙව්වන්ට ලකුණු 19 ක් ලබා ගත යුතු විය.

එම තීරණාත්මක පන්දු ඕවරය යවනු ලැබුවේ බෙන් ස්ටො‍්ක්ස්ය. එහෙත් දකුණත් පිතිකරුවෙකු වූ කාර්ලොස් බ්‍රැත්වෙයිට් (උපත 1988 ජුලි 18) පිට පිට 6 පහරවල් 4ක්ම එල්ල කරමින් කොදෙව්වන්ට ජයග්‍රහණය අත්කර දුන්නේය. එසේ වුවත් එදා ලැබූ අමිහිරි අත්දැකීම මෙවර අමතක කර දැමීමට බෙන්ට හැකි වුයේය. එමෙන්ම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක් බවටත් හෙතෙම පත් විය.

බෙන්ජමින් ඇන්ඩෘ ස්ටෝක්ස් 1991 වසරේ ජුනි මස 04 වැනි දා මෙලොව එළිය දුටුවේය. ඒ ක්‍රයිස්ට්චර්ච් නුවරදීය. හෙතෙම අඩි 6 අඟල් 1ක් උසැතිය. ඔහු වමත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යවයි. එමෙන්ම විශිෂ්ට පන්දු රකින්නෙකි.

ස්ටෝක්ස් පවුල එංගලන්තයට පැමිණි පසුව ජීවත් වූයේ කොකර්මවුත් නැමැති කුඩා නගරයේය. බෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ කොකර්මවුත් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරමිනි.

2013 වසරේදී ඔහුගේ මවුපියන් සහ සොහොයුරන් යළිත් නවසීලන්තයේ පදිංචියට ගියහ. ස්ටෝක්ස් පවුල මාඕරි පරම්පරාවටත් අයත්ය. බෙන් තුළ පවතින සටන්කාමිත්වය පරම්පරාව නිසා ලැබුණු බවට ඔහුගේ මවුපියන් පවසති.

බෙන් මුලින්ම එංගලන්තය නියෝජනය කරමින් අන්තර්ජාතික තරගාවලියකට සහභාගි වුයේ 2010 වසරේදීය. ඒ නවසීලන්තයේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදීය.

එම කණ්ඩායමට මෙවර ලෝක ශුරයෝ වූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෝ සිවුදෙනෙක්ම අයත් වුහ. ඒ ජේම්ස් වින්ස්, ජොෂ් බට්ලර්, ජෝ රූට් සහ බෙන් ස්ටෝක්ස්ය.

හෙතෙම 2011 වසරේ සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරයි. මංගල ටෙස්ට් වරම 2013 වසරේදීය . ටෙස්ට් තරග 52, ලකුණු 3152, වැඩිම 258, ශතක 06, අර්ධ ශතක 17, උඩපන්දු 55, කඩුලු 127, ඉනිමක හොඳම 22 – 6

මංගල එක්දින ජගත් වරම 2011 වසරේදීය. තරග 95, ලකුණු 2682, වැඩිම නොදැවී 102, ශතක 03, අර්ධ ශතක 20, උඩපන්දු 45, කඩුලු 70, හොඳම 61-5

20-20 මංගල එක්දින ජගත් වරම 2011 වසරේදීය. තරග 23, ලකුණු 232, වැඩිම 38, උඩපන්දු 09, කඩුලු 10, හොඳම 26 – 3

වාර්තා

බෙන් ස්ටෝක්ස් මේ වන විටත් ක්‍රිකට් වාර්තා කිහිපයකටමත් සිය දායකත්වය ලබා දි ඇත. මින් ඇතැම් දස්කම් ලෝක ව‍ාර්තාය.

ටෙස්ට් තරගයක ඉනිමකදී පන්දු අනුව වේගවත්ම ද්විත්ව ශතකලාභින් අතර ඔහු දෙවැනියාය. ඒ පන්දු 163 කදී ද්විත්ව ශතකය රැස් කරමිනි. එම දස්කම දැක්වුයේ 2016 වසරේ ජනවාරි 02 සිට 06 දක්වා කේප්ටවුන් නුවර පැවැති දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 258ක් රැස් කරමින්ය.

ඊට පන්දු 198 කි. 4 පහර 30 කි. 6 පහර 11කි. ඔහුගේ ඉනිම නිමා වූයේ දුවද්දී දැවී යෑම නිසාය. තරගයේ වීරයා වුයේත් බෙන්මය.

ටෙස්ට් ඉනිමක පන්දු අනුව වේගවත්ම ද්විත්ව ශතකලාභියා වන්නේ නවසීලන්තයේ නේදන් ඇස්ටල්ය. දකුණත් පිතිකරුවකු වූ ඇස්ටල් (උපත 1971 සැප්තැම්බර් 15) පන්දු 153කින් සිය ද්විත්ව ශතකය රැස් කළේය. ඒ 2002 වස‍රේදී එංගලන්තයට එරෙහිවයි.

ඉහත පිතිහරඹය නිසාම ටෙස්ට් තරගවල වේගවත්ම ලකුණු 250 ලෝක වාර්තාවේ හිමිකාරිත්වය මේ වන විට බෙන් සතුවෙයි. එමෙන්ම මෙහිදී ඔහු එල්ල කරන ලද 6 පහරවල් 11 සම දෙවැනි ස්ථානයට ඔහුව පත් කර ඇත. ඒ ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කරනු ලැබූ දෙවැනි වැඩිම 6 පහර ගණන ලෙසටයි.

එහි ලෝක වාර්තාව පාකිස්තාන් වමත් පිතිකරු වසිම් අක්රම්ටය. පන්දු යවන්නකු ලෙසට ප්‍රචලිත අක්රම් (උපත 1966 ජුනි 03) සිම්බා‍බ්වේට එරෙහිව 6 පහරවල් 12ක්ම එල්ල කළේ 1996 වසරේදීය.

ටෙස්ට් තරගයක අංක 06 ස්ථානයට ක්‍රීඩා කරමින් ඉනිමකදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ගණන වන්නේත් බෙන් ස්ටෝක්ස්ගේ ඉහත 258 ය.

ටෙස්ට් තරගයක ඉනිමකදී වැඩිම 06 වැනි කඩුලු සබඳතාවයේ ලෝක වාර්තාවටත් බෙන් තම දායකත්වය ලබා දෙනු ලැබීය. ඒ ඉහත දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයේදීමය.

එහිදී බෙන් සහ දකුණත් පිතිකරු ජොනී බෙයාර්ස්ටොව් (උපත 1989 සැප්තැම්බර් 26) අතර ලකුණු 399 ක සබඳතාවයක් 06 වැනි කඩුල්ලට පිහිටුවූහ. බෙන්ට ලකුණු 258කි.

බෙන්ගේ තුන් ඉරියව් හැකියාව නිසාම ඔහුට තිබෙන ඉල්ලුමත් වැඩිය. ඊට හොඳම නිදසුන 2017 ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (අයි. පී.එල්.) ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් මිලියන 145 ක මුදලක් ඔහුට හිමි වීමයි.

එය අයි.පී.එල්. ඉතිහාසයේදී විදෙස් ක්‍රීඩකයෙකුට පිරිනැමූ විශාලතම මුදල් ප්‍රමාණය වේ. තමන්ගේ වටිනාකමට සාධාරණය ඉටු කරමින් එවර අයි.පී.එල්. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවටත් පත් වූයේ බෙන්මය. බෙන් මේ වන විට එංගලන්ත ලයන්ස් (ඒ), දරම් (එංගලන්තය), මෙල්බර්න් රෙනෙගේඩ්ස් (ඕස්ට්‍රේලියාව), කැන්ටබරි (නවසීලන්තය), රයිසින් පුනේ සුපර් ජයන්ට් සහ රාජස්ථාන් රෝයල්ස් (ඉන්දියාව ) වැනි කණ්ඩායම්වලට ක්‍රීඩා කර තිබේ.

මතභේදාත්මක චරිතයක්

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ශුරයා ලෙස සැලකෙන්නේ ශ්‍රීමත් ඉයන් බෝතම්ය. හෙතෙම (උපත 1955 නොවැම්බර් 24) ක්‍රිකට් පිටිය තුළ දැක් වූ දස්කම් නිසා මෙන්ම පිටතදී හැසිරුණු ආකාරය නිසාත් මතභේදාත්මක චරිතයක් බවට පත් වූයේය.

බෙන් ස්ටෝක්ස් ද එවැනි චරිතයක් සහිත පුද්ගලයෙකි. ඒ නිසාම මීට කළෙකට පෙර ඔහුට හිමි වී තිබූ එංගලන්ත උපනායකත්වයත් අහිමි වූයේය. වත්මන් උපනායකයා වන්නේ ජොෂ් බට්ලර්ය.

බෙන් ස්ටෝක්ස්ගේ ජීවිතයට කළු පැල්ලම් එකතු වූයේ 2017 වසරේදීය. එම වසරේ සැප්තැම්බර් මාසයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගය නිමා වූයේ බ්‍රිස්ටල් නුවරදීය.

පසුදින උදෑසනම රාත්‍රී සමාජශාලාවක් අසළදී ඇති වූ ගැටුමකට බෙන් සහ තවත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඇලෙක්ස් හේල්ස් මැදිහත් වුහ. පසුව ඔවුන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත් වුහ. හේල්ස්ට පමණක් නිදහස ලැබුණි.

එංගලන්තයේ ඉතා ජනප්‍රිය ද සන් පුවත්පත සිදුවීමට අදාළ වීඩියෝ පටයක් පසුව ප්‍රසිද්ධියට පත් කළේය. එහිදී බෙන් පුද්ගලයන් දෙදෙනකුට පහර දෙන ආකාරයක් දක්නට ලැබිණි. මේ සිදුවීම අවසානයේ පැවැති නඩුවෙන් 2018 වසරේ අගෝස්තු මාසයේදී බෙන් නිදහස් වූයේය.

ඉහත පහර දීමේ සිදුවීමෙන් පසුව එම මාසයේදීම තවත් වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් විය. එමඟින් දිස් වූයේ කේටි ප්‍රයිස් (උපත 1978 මැයි 22) නැමැති එංගලන්තයේ ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම ව්‍යාපාරික කතගේ ආබාධිත පුතුව බෙන් විසින් අනුකරණය කිරීමයි. පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් කේට් සහ ඇගේ පුතුගෙන් බෙන් සමාව ගත්තේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම් නිසා බෙන්ට ක්‍රිකට් තරග 08ක තහනමක් පැනවිණි. එමෙන්ම එංගලන්ත ක්‍රිකට් විනය කොමිසම විසින් බෙන්ට ස්ටර්ලිං පවුම් 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසටත් නියම කරනු ලැබීය.

මෙවැනි විවිධ හේතු නිසාම බෙන් එංගලන්තයේ ජනප්‍රියව සිටියි. ඔහු 2013 වසරේදී විවාහ ගිවිස ගත්තේය. ඒ කුඩා කළ සිටම හඳුනන ක්ලෙයාර් රැට්ක්ලිෆ් සමඟිනි. 2017 වසරේදී ඔවුන් විවාහ වුහ. ක්ලෙයාර් ප්‍රාථමික පාසල් ගුරුවරියකි. මෙම යුවළට ලේටන් සහ ලිබී යන දූ දරුවෝ සිටිති.

එක්දින ලෝක ශුර එංගලන්තයේ මීළඟ අභියෝගය වන්නේ සුප්‍රකට අළු බඳුන ටෙස්ට් තරග මාලාවයි. මේ වන විට එහි හිමිකරුවන් වන්නේ ඔස්ට්‍රේලියාවයි. මෙවර තරමාලාව අගෝස්තු 01 දා ඇරැඹේ.

එසේ වුවත් මෙවර සත්කාරකත්වය දරනු ලබන්නේ එංගලන්තයයි. ඊ‍ට එංගලන්තය මෙන්ම බෙන් ස්ටෝක්ස් ද සූදානම්ය. “අපි ලෝක ශූරයෝ වෙන්න පුළුවන්. ඒ වුණත් අපිට අළු බඳුන ශූරයෝ වෙන්නත් ඕනෑ.” බෙන් ස්ටෝක්ස් පවසයි.

Comments