බංග්ලාදේශය එක්දින තරග තුනකට එයි | සිළුමිණ

බංග්ලාදේශය එක්දින තරග තුනකට එයි

 පළමු තරගය 26

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වෙයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම එළියට විසි විය. මෙම තරග තුන 26 - 28 සහ 31 දා දිවා රාත්‍රි තරග ලෙස ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබුණේ මෙකී සංචාරයට පෙර ආරක්ෂක තත්ත්වය පිළිබද සොයා බැලිය යුතු බවයි. අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයෙන් උපදෙස් ලබා ගන්නා බවද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක මීට පෙර ප්‍රකාශ කර තිබුණි. මීට මාස කිහිපයකට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකට ද මැදි විය. වෙඩි තැබීමකට සීමා වූ එකී ප්‍රහාරය අතරතුර තරග දෙකක් අවසානයේ එකී සංචාරය අවලංගු කිරීමට බංග්ලාදේශය කටයුතු කළේය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙතෙක් තරග 45ක් පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව තරග 36ක් ජයගෙන තිබෙන අතර බංග්ලාදේශය තරග 7ක් ජය ගෙන තිබේ. නොවිසඳුණු තරග දෙකකි. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙපිල අතර පැවැත්වීමට නියමිත වූ මූලික වටයේ තරගය වර්ෂාව නිසා නොපැවැත්විණි. අවසන් වරට හමු වූ ආසියානු කුසලාන (2018) තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය විය.

ශ්‍රී ලංකා - බංග්ල‍ාදේශ එක්දින තරගාවලියේ එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු ලසිත් මාලිංග එක්දින පිටියෙන් ද සමුගැනීමට තීරණය කර ඇති බව තේරීම් කමිටු සභාපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. එහිදී අසන්ත ද මෙල් මාලිංගගෙන් තරග තුනම ක්‍රීඩා කරන ලෙස ඉල්ලා ඇති බවද වැඩිදුරටත් කියැවෙයි. නමුත් මාලිංග එහිදී අසන්ත ද මෙල්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ වන විට දැඩිව වෙහෙසට පත්ව ඇති බවයි.

මාලිංග මේ වන විට එක්දින තරග 225 කදි කඩුලු 335ක් බිඳ දමා තිබේ. බංග්ලාදේශය සිය සුපිරි ක්‍රීඩක ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ෂකිබ් අල්හසන් මේ තරගාවලියට එක්කර නොමැති අතර, එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරන්නේ ඔහුට විවේකයක් ඇවැසි බවය.

 

 

Comments