ධර්මසේන සහ අයි.සී.සී‍.ය එංගලන්තයට බන්දේසියක තබා ක්‍රිකට් කිරුළ දුන්නාද? | සිළුමිණ

ධර්මසේන සහ අයි.සී.සී‍.ය එංගලන්තයට බන්දේසියක තබා ක්‍රිකට් කිරුළ දුන්නාද?

මම මගේ ජීවිත කාලය පුරාවට කේන්ගෙන් සමාව  ඉල්ලනවා. මේ දෙය අපිට මෙහෙම වෙන්න කියලා තරුවල ලියලා තිබුණා වෙන්න පුළුවන්.

- ස්ටෝක්ස්

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසානය ක්‍රිකට් ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතියි. මෙකී තරගයේදී කණ්ඩායම් දෙකම (එංගලන්තය සහ නවසීලන්තය අතර) පන්දුවාර 100 දී සහ සුපිරි පන්දුවාරයේ ලකුණු සමාන වූ අතර, එහිදී වැඩිම හතරේ සහ හයේ පහරවල් එල්ල කළ එංගලන්ත කණ්ඩායමට මෙවර ක්‍රිකට් කිරුළ හිමි විය. මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ මරායස් එරුස්මස් කටයුතු කළහ.

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය උඩුයටි කුරු කරමින් එංගලන්තයට ලැබුණු වාසි සහගත තීරණ රැසක් පිළිබඳ මේ වන විට දැඩි කතා බහක් මතුව තිබේ. තරගයේ අවසන් ඕවරයේ 04 වැනි පන්දුවේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ගිය පන්දුවට ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ධර්මසේන ලකුණු හයක් ප්‍රදානය කළේය. ධ්ඛ්ඛ් විනිසුරු පුහුණු කිරීමේ කළමනාකරු (2015 දක්වා) සයිමන් ටෝෆල් ප්‍රකාශ කරන්නේ ධර්මසේනගේ තීරණය වැරැදි බවත්, එංගලන්තයට හිමි විය යුත්තේ ලකුණු හයක් නොව ලකුණු පහක් බවයි.

මෙහිදි ටෝෆල් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ බෙන් පහර එල්ල කර ලකුණු දෙකක් දිව්වත් පන්දු රකින්නා එල්ල කළ පන්දුව හතරේ සීමාවට ගියහොත් පිතිකරුවා ඒ මොහොතේ සම්පූර්ණ කර තිබූ ලකුණු ගණනත් එක්ක ලකුණු හතරක් හිමිවන බව ටෝෆල් පවසයි.

එහිදී ලකුණු හතර සමගින් ලකුණු දෙක සංඥා කිරීම නිසා ලකුණු හයක් ලෙස දැක්වුවත්, නීතියට අනුව එය ලකුණු පහක් විය යුතු බව ඔහු පෙන්වා දෙයි. පන්දු රකින්නා (මාර්ටින් ගප්ටිල්) පන්දුව එල්ල කරන විට බෙන් සම්පූර්ණ කර තිබුණේ එක් ලකුණකි. මෙහිදී ටෝෆල් පවසන්නේ එහිදි තරග විනිසුරුවන් වැරැදි ආකාරයට ක්‍රියා කර ඇතැයි බවයි.

ධර්මසේන එංගලන්තයට ලබා දුන් අතිරේක ලකුණ නොතිබෙන්නට නවසීලන්තයට ලෙහෙසියෙන් ලෝක ශූරයන් වීමට හැකියාව තිබූ බව ඇතැම් විදේශ මාධ්‍ය පවා ප්‍රකාශ කර තිබුණි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ඉන්දියාවේ රෝහිත් ෂර්මා ඇතුළු බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ වැඩිම හයේ සහ හතරේ යන සාධක මුල් කරගෙන ලෝක කුසලානයක ජයග්‍රහණයන් තීරණය කිරීම ප්‍රශ්නකාරි බවයි. ෂර්මා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් නීතින්ට සංශෝධන එක් කළ යුතු බවයි.

සුපිරි පන්දුවාරයේ නීති සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෑ. එම තරගයේ මෙවර ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහකයන් තීරණය කළ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෑ. බ්‍රේට් ලී එසේ පවසා තිබේ.

ඉන්දියාවේ ගෞතම් ගම්භීර් ද මේ සම්බන්ධයෙන් විවේචනාත්මක සිය අදහස් ප්‍රකාශ කරමින් පවසන්නේ අවසන් තරගයේ තීරණය හාස්‍යජනක බවයි.

ක්‍රිකට් ලෝක කිරුළ හිමිකර ගත් හයවැනි රට බවට පත් වූ එංගලන්තය අඛණ්ඩව දෙවැනිවරට අවසන් මහා තරගයට පිවිසි නවසීලන්තය පරාජය කරමින් හාපුරා කියා ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට මෙවර සමත්විය.

ක්‍රිකට් ‍ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් තරගය ප්‍රථම වරට සමවීම, සුපිරි පන්දු වාරය සමවීම මත වැඩිම හතරේ පහරවල් එල්ල කළ කණ්ඩායමට මේ අනුව ක්‍රිකට් කිරුළ හිමි විය. ඓතිහාසික ලෝඩ්ස් පිටියේ පැවැති අවසන් තරගයට එංගලන්තය සහ නවසීලන්තය සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. මේ අනුව කාසියේ වාසිය දිනා ගෙන මුලින් පන්දුවට පහර ‍දුන් නවසීලන්තය ලකුණු 241- 08 ක් රැස් කළ අතර ලකුණු 242 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සත්කාර එංගලන්තයට සියලුම දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 241ක් පමණි. මේ අනුව අතිරේක පන්දුවාරයට තරගයේ ජය තීරණය කිරීමට අවස්ථාව උදා විය. එහිදි මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 15ක් රැස් කළ අතර ජයග්‍රාහි ඉලක්කය ලකුණු 16ක් වූ නමුත් නවසීලන්ත පන්දුවාරය ද ලකුණු 15 කට සීමා කිරීමට එංගලන්ත‍යේ ජොෆ්රා ආචර් සමත්විය. එකි පන්දුවාරය ද සම වූ බැවින් ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම හතරේ සහ හයේ පහරවල් එල්ල කළ කණ්ඩා‍යම සැලකිල්ලට ගනිමින් ජයග්‍රාහකයා නම් කළේය. ඒ අනුව එංගලන්තය මෙවර ක්‍රිකට් කිරුළට හිමිකම් කියූ හයවැනි රට බවට පත් විය.

සමස්ත තරගයේදී නවසීලන්තය හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබූ අතර එංගලන්තය හතරේ පහර 24ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබුණි.

අවසන් පූර්ව තරගවලදී නවසීලන්තය විසින් ඉන්දියාව සහ එංගලන්තය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කිරිමත් සමඟම මෙවර ක්‍රිකට් කිරු‍ළේ අවසන් මහා තරගය නව මඟකට යොමු විය. එනම් එතෙක් ක්‍රිකට් ලෝක ශූරයන් නොවූ රටවල් දෙකක් අවසන් මහා තරගය සඳහා පිටියට පිවිසීමයි. මීට පෙර නවසීලන්තය 2015 දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඔස්ට්‍රේලියාව අතින් පරාජය වූ අතර, එංගලන්තය 1979,1987,1992 යන වර්ෂවල අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතින් අවසන් මහා තරගවලදී පරාජය විය.

මේ අනුව මෙවර අවසන් මහා තරගයේ විශේෂත්වය වූයේ 1996 ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් පසු ලෝක ශූරයන් නොවු රටකට එකී අවස්ථාව මෙවර උදාවිමයි. එංගලන්තය 1992 අවසන් මහා තරගයට පිවිසීමෙන් අනතුරුව මෙවර අවසන් තරගයට පිවිසුණේ වසර 27කට පසුවය. 1992 දී එංගලන්තය පාකිස්තානය අතින් පරාජයට පත් විය. මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය මෙවර ක්‍රිකට් ලෝක කිරුළට හිමිකම් කියූ හය වැනි රට බවට පත්විය.

ලෝක කුසලානයක අවසන් තරගයක විනිසුරු තීරණ වැරදීම් සිදුවීම් කිසිලෙසකවත් අනුමත කළ නොහැකිය. එම අතිරේක ලකුණ හේතුවෙන් ලෝක කුසලානයේ සැබෑ ජයග්‍රහකයා යටව ගිය බවද පැහැදිලි විය.

කෙසේ වෙතත් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක මෙවන් අවසානයක් කිසිවෙකුත් බලාපොරොත්තු නොවන්නට ඇත. පන්දුවාර 102ක් අවසානයෙත් සැබෑ ජයග්‍රහකයන් සොයා ගැනීමට නොහැකි වීම ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය නැවත වරක් ලොවටම කියා පාන්නකි. නමුත් වැඩිම හයේ සහ හතර පහර මගින් ජයග්‍රාහකයන් තේරීම, පළමු පන්දු වාරයේ වැඩිම ලකුණු, පළමු හතරේ පහර එල්ල කළ පන්දුව ආදිය ගණනය කර ජයග්‍රාහකයන් තීරණය කිරීම අලුත් දේවල් නොවේ. විශේෂයෙන් මෙය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් නොව අවසන් මහා තරගයයි. එහිදී වැඩිම හතරේ හෝ හයේ පහර මගින් ජයග්‍රහකයන් තීරණය නොකර දෙපිලම මුළු තරගය පුරාම එක හා සමාන දස්කම් දක්වා තිබීම නිසා දෙපිලම සම ශූරයන් ලෙස පිළිගත්තේ නම් මේ බොහෝ අවලාද හිස් වචන බවට පත්වනු ඇත.

අදහස්