වැටුණු ව්‍යාපාර නැංවීමට රජය ගන්නා යහපත් තීන්දු අගය කරනවා | සිළුමිණ

වැටුණු ව්‍යාපාර නැංවීමට රජය ගන්නා යහපත් තීන්දු අගය කරනවා

කොළඹ ව්‍යාපාරික සංගම් ප්‍රධානීහු කියති

ජයසිරි මුණසිංහ

බිඳවැටුණු ආර්ථික ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කළ යුතු දේ පිළිබඳ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කථානායකතුමාට හා මුදල් ඇමැතිතුමාට යෝජනා මාලාවක් තම සංගමය විසින් ලබා දුන් බවත්, ඊට ප්‍රතිචාර ලෙස වහාම තමන් සමඟ සාකච්ඡා වට පැවැත්වූ සියලු දේශපාලන අධිකාරියේ ප්‍රධාන පිරිසට ස්තූතිවන්ත වන බවත් සංගම් ප්‍රධානීහු සඳහන් කරති.

එහෙත්, රටේ මූල්‍ය හා බැංකු පද්ධතිය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දිය යුතු සහන පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ඉහළම බලධාරීන් ගන්නා යහපත් තීරණ තීන්දු පහළ මට්ටමේ සිටින නිලධාරීහු ක්‍රියාවට නැංවීමේ දී දක්වන ඇල්මැරුණු හා උදාසීනභාවය පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන බව ද ඔව්හු කියා සිටිති.

“අපේ රටේ ආර්ථිකයට සියයට 70 දායකත්වයක් සපයන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. ඒ වාගේම රැකියා නියුක්තිකයින්ගෙන් සියයට 40 දායකත්වය සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ අංශයයි. එතකොට මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අහිතකර බලපෑම් ඇති වූයේ සංචාරක ව්‍යාපාරයට පමණක් නොවෙයි. සංචාරක ව්‍යාපාරයත් සමඟ රටේ සියලුම ව්‍යාපාර එකින් එක සම්බන්ධ වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට කොළඹ නගරය ගනිමු. කොළඹ නගරය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වාණිජ නගරය. එය අපේ රටේ තොග වෙළඳාමේ මධ්‍යස්ථානයයි. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන සියලුම බඩු බාහිරාදිය, රෙදි පිළි, ඇඟලුම්, ගෘහ උපකරණ විදුලි උපකරණ, ගොඩනැඟිලි ද්‍රව්‍ය, සියල්ල මෙහි තිබෙනවා. මේ වූ විනාශයත් සමඟ මේ සියලු අංශවල තොග වෙළඳාමත්, සිල්ලර වෙළඳාමත් කඩාවැටිල තියෙන්නේ.

අපි මේ සම්බන්ධයෙන් කොළඹ ව්‍යාපාරික සංගමය ලෙස ප්‍රහාරය සිදු වී සතියක් ගත වන විට අප්‍රේල් 30 වැනිදා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමාට, කථානායකතුමාට, මුදල් ඇමැති, මුදල් රාජ්‍ය ඇමැතිතුමන්ලාට, මුදල් ලේකම්තුමාට වාගේම මහ බැංකු අධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කෙටුම්පත් භාර දුන්නා. මේ ප්‍රහාරය දේශීය ව්‍යාපාරිකයින්ට සිදු වූ බලපෑම හා ඒවා අවම කර ගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනා මාලාව ලබාදීමෙන් පසු ජනාධිපතිතුමා, කථානායකතුමා, මුදල් රාජ්‍ය ඇමැතිතුමා, මහ බැංකු අධිපතිතුමා ප්‍රධාන පිරිස් අපට සාකච්ඡා පැවැත්වූවා. එහිදී සියලුම දෙනා පිළිගත්තා, අනෙකුත් සියලුම අංශවලට සහනයක් ලබාදිය යුතුයි කියා. ඒ පිළිබඳ මහබැංකු අධිපතිතුමා විසින් අපට ලිඛිතව දැනුම් දී තිබෙනවා. බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව. අපගේ ව්‍යාපාරිකයින්ට බැංකු ණය ගෙවා ගැනීමට යාමේදී මතුවන ගැටලු එක්කෙනා එක්කෙනාගේ අවශ්‍යතා මත සහ යම් සහනයක් ලබා කථානායකතුමා විසින් ලිඛිතව මුදල් අමාත්‍යාංශයට දැනුම්වත් කළා. දේශීය ව්‍යාපාරිකයා සුළු හා මධ්‍ය රැකගැනීමේ වැඩපිළිවෙළක් හදන්න කියා එයින් කියා තිබෙනවා.

එහිදී අප බලාපොරොත්තු වුණේ මේ වන විට ව්‍යාපාරවල ආදායම් තත්ත්වය පසුගිය මාස 2 1/2ක කාලය තුළ සමහර ක්ෂේත්‍රවලට 90% - 95%ක පහත වැටීමක් සිදුවී තිබෙනවා. ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, රෙදි පිළි, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ යන අංශවල මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් බලපා තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත පිරිස්වල 60%ක පමණ ආදායම් අඩුවීමක් වාර්තා වෙනවා. මේ අඩුවීම නිසා ව්‍යාපාරිකයින් ගෙවිය යුතු ණය හා වාරික බැංකු අයිරා සහ බදු මුදල් නිසි ලෙස ගෙවා දැමීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ නිසා අප රජයට යෝජනා කළා නැවත නැඟී සිටීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙසට. ඒ මාස 6ක වැනි කාලසීමාවක් වුවත් ප්‍රමාණවත්. ඇත්තටම දැනට මාස 2 1/2ක් ගතවී ඇතත් තවමත් මේ පිළිබඳ විධිමත් සහන කාලයක් අපට ලැබී නෑ. එමෙන්ම බොහෝ ව්‍යාපාරිකයින් වාහන මිලදීගෙන තිබෙනුයේ කල්බදු ක්‍රමයටයි. කල්බදු ක්‍රමයට මිලදී ගත් වාහන යොදා ගනිමින් සංචාරක කර්මාන්තයේ සංචාරකයින් ප්‍රවාහනය, ඊට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය, වැනි දේ සිදු කරන පිරිස් වෙත මේ වන විට ආපදා මතුවී තිබෙනවා. ඒ නිසා කල්බදු නොගෙවූ වාහන නැවත අත්පත් කර ගැනීමට කල්බදු සහ මූල්‍ය සමාගම් පියවර ගනිමින් සිටිනවා. එය වැළැක්විය යුතුයි. එසේ වනුයේ කල්බදු නොගෙවූ ‍වාහන කල්බදු ආයතනවල රථගාල්වල ගාල් කර තැබීමෙන් ආර්ථිකයට කිසිදු යහපතක් සිදු නොවන නිසයි. ව්‍යාපාරිකයින් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අත මේ වාහන තිබු‍ණහොත් ඔවුන් කුමන හෝ ‍ආර්ථික ක්‍රියාකාරකමක යෙදී කිසියම් ආදායමක් උත්පාදනය කරාවි.

මේ තත්ත්වය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අප සංගම් නියෝජිතයෝ පැවැත්වූ සාකච්ඡාවේ දී අවධාරණය කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා වහාම ලීසිං වාහන වාරික ගෙවාගත නොහැකි අයගේ ඒවා අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නැයි කල්බදු ආයතනවලට උපදෙස් දෙන ලෙස මහ බැංකුවට දැනුම් දුන්නා. ඊට අමතරව දැනට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළී සිටින බොහෝ දෙනා බැංකු ණයක් ලබාගෙන ඇත්නම් එය ආපසු ගෙවීමට සහන කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එපමණක් නොව ඔවුන් ලබාගත් ණය මුදලට අදාළව ඇපකර ලෙස බැංකුවලට ඉදිරිපත් කොට තිබෙන වත්කම්වල වටිනාකමින් 80%ක ණය මුදලක් නැවත නිකුත් කරන ලෙස ඉල්ලීමක් ද කළා. ඒ අනුව ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගන්නැයි මහ බැංකුවට මෙහි දී උපදෙස් දුන්නා. රටේ මතුව ඇති ආර්ථික, සමාජීය මන්දගාමී වර්ධනය වැඩිදියුණු කිරීමට සමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කිරීමට මෙම රජයෙන් ලැබෙන සහන ඉතා විශාල ශක්තියක් වේවි.

Comments