මාස දෙකක් යනකල් වතුරත් රත්තරන් | සිළුමිණ

මාස දෙකක් යනකල් වතුරත් රත්තරන්

අන්තර් මෝසම් වැස්සත් නිරිතදිග මෝසම් වැස්සත් 50%ට වඩා අඩුවෙලා - ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන

නියඟයට විසඳුම මහ ගංගා ඉහළ ජලාශ සැදීමයි - ආචාර්ය පී.බී. ධර්මසේන

තෙත් කලාපයට වැස්ස වැඩිවේවි වියළි කලාපයට වැස්ස අඩුවේවි - ආචාර්ය සුනිමල් ජයතුංග

රස්නය වැඩි වුණාම භූගත ජලයත් හිඟවෙනවා

අපේ රටේ කාලගුණය දැන් අරුම පුදුම විධියට වෙනස් වෙමින් පවතී. නිරිතදිගට වැස්ස තිබුණත් රටේ අන් ප්‍රදේශවලට දැඩි නියඟයකි. යල මහ දෙකන්නයම භෝග වගා කළ අපේ ගොවි පරපුරට මේ නිසා ගැටලු රැසකට මුහුණ දී ඇත.

මෙවර පසුගිය මාර්තු - අප්‍රේල් මාසවල ලැබිය යුතු අන්තර් මෝසම් වැස්ස හරියට ලැබුණේ නැත. මැයි මස ලැබිය යුතු නිරිතදිග මෝසම් වැස්ස ආරම්භ වූයේ පරක්කු වීය. ඒ නිසා ඒ වැස්ස ද හරියට ලැබුණේ නැත. මේ නිසා දැන් රටේ දිස්ත්‍රික්ක 18 ක නියඟයක් ඇති වෙමින් පවතී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කෘෂි කාලගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා පවසන පරිදි 2019 පළමු අන්තර් මෝසම මඟින් ලැබිය යුතු වැස්සෙන් ලැබී ඇත්තේ සියයට 50 - 70 අතර ප්‍රමාණයකි. මධ්‍යම කඳුකරයට 2019 නිරිතදිග මෝසම මඟින් ලැබී ඇත්තේ ලැබිය යුතු වැස්ස මෙන් සියයට 30 - 50 % අතර ප්‍රමාණයකි. මේ නිසා වෙන වසරවල මේ වකවානුවේ වාන් දමන තත්ත්වයට හෝ සියයට 80 - 90 ජලය පිරුණු තත්ත්වයෙන් තිබෙන මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ එකක්වත් සියයට 50 කට වඩා පිරී නැත. කොත්මලේ ජලාශයේ ඇත්තේ සියයට 30 කටත් අඩු ජල මට්ටමකි. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 10% කි. එහි අඩිය පේන තත්ත්වයට පත්ව තිබේ. සමනලවැව, උඩවලව ජලාශවල ජල මට්ටම ද බැසයමින් පවතී. ඒ ජලාශවල අත්තේ මුළු ජල ප්‍රමාණයෙන් සියයට 13 ක් පමණි. කාසල්රි හා මවුස්සාකැලේ ජලාශවල මට්ටම සියයට 25 කි. අම්පාරේ සේනානායක සමුද්‍රය ද සිඳී යමින් පවතී. ඊට අමතරව රටේ සියලු වැව්වල ජලය දැන් අඩු වෙමින් පවතී. ඒ අනුව තිසා වැවේ ජල ධාරිතාව දැන් මුළු ධාරිතාවෙන් සියයට 17 කි. හුරුළුවැව සියයට 25 කි. රාජාංගණය වැව ජල ධාරිතාව සියයට 31 කි. තබ්බෝව ජලාශය හොඳටම සිඳී ඇත. මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, කුරුණෑගල යන ප්‍රදේශවල සියලු ජලාශ හා වැව්වල ජල ධාරිතාව සියයට 25කට වඩා අඩුවෙමින් පවතී, ඒ සමඟම පසුගිය දිනවල අපේ රටේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි වීම නිසා වාෂ්පීකරණය වැඩි වීමෙන් ජලාශ සිඳීම වේගවත් විය.

සාමාන්‍ය ෙයන් ජුනි මාසයේ තෙත් කලාපයට ලැබෙන වැස්ස මෙවර ලැබුණේ ඉතා අඩුවෙනි. වෙනදා ජුනි මාසයේ මහ ගංවතුර ගලන රත්නපුර, කළුතර ගංගා යාබද ප්‍රදේශවලට මෙවර සුළු ගංවතුරක්වත් නැත. කැලණි ගඟ ආශ්‍රිත පහත බිම්වත් ජලයට යටවුනේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෙවර නිරිතදිග මෝසම් වැස්ස ඉතා අඩු මට්ටමක් බවයි.

“සිංහල අවුරුද්ද පසුවී දින 45 න් ගලනවා” යැයි අපේ මුතුන්මිත්තන් ගේ මතයක් පවතී. එය පසුගිය වසරවලදී සැබැවින්ම සිදුවිය. 2016 - 17 - 18 වසරවලදි තෙත් කලාපයට සිංහල අවුරුද්ද පසුවී දින 45 අතර ගංවතුර ආවේය. කළුතර, ගම්පහ, රත්නපුර යට විය. නමුත් මේ වසරේ කිසිම ගංවතුරක් නැත. නායයෑම් නැත. ඒ අනුව වැස්ස අඩුය.

ඒ අනුව පසුගිය මාස හතරේ මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි මෙරටට ලැබුණු වැස්ස ලැබිය යුතු වැස්ස මෙවර සියයට 50 කටත් අඩුය.

මෙයට වඩා දරුණු තත්ත්වය ඇ‍ත්තේ ඉදිරියට බවද ආචාර්ය පුණ්‍යවර්ධන පෙන්වා දෙයි. ඒ අනුව ජූලි 20 න් පසුව යළිත් ඔක්තෝබර් පමණ වන තෙක් ඉදිරි මාස 2 1/2 ක් ඇතුළත අපේ රටට සාමාන්‍යයෙන් වැස්ස ලැබෙන්නේ නැත. මේ අනුව ඉදිරි මාස දෙක දරුණු නියඟයක් ඒමට ඉඩ ඇත. ඒ කාලයේදි වැව්වල හා ජලාශවල පවතින ජලය ඉතා පරෙස්සමෙන් පාව්ච්චි කළ යුතුය.

2019 යල කන්නයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගා කළ මුළු කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 280,000 ක වෙනදාට හෙක්ටයාර 320,000 ක වී වගාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගා කරනු ලැබුවත් මේ ප්‍රමාණය අක්කර 60,000 කින් අඩු කරනු ලැබුවේ මේ වසරේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවට ලෝක කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබූ බැවිනි.

කෙසේ වුවත් එසේ 2019 යල කන්නයේ වැවූ වී වගාවට දැන් ජල හිඟය දරුණු ලෙස බලපා ඇත. තව සති දෙකක් මේ තත්ත්වය දිගටම තිබුණොත් කුරුණෑගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර යන ප්‍රදේශවල බෝග තොගයම හරකුන්ට කෑමට දීමට සිදුවෙන ලකුණු පහළවී ඇත. එසේත් නැත්නම් මේ වී වගාවන්ට ජලය බවුසර් මඟින් හෝ ලබාදිය යුතුය. මේ අනුව ඒ හෙක්ටයාර් 260,000 න් හෙක්ටයාර 60,000 ක් නම් සම්පූර්ණයෙන් ජල හිඟයනිසා විනාශ වීමට ඉඩ ඇතැයි ආචාර්ය පුණ්‍යවර්ධන අනතුරු අඟවයි.

පසුගිය වසර තුන ඇතුළත ද අපේ නියඟයන් තිබිණි. ඒ අනුව 2015 - 16 - 17 වසරවලදී පැවතුනු නියඟය නිසා වියළි කලාපයේ කන්න 5ක් අස්වැද්දුවේ නැත.

අලුත්ම ගවේෂණවලට අනුව ඉදිරි මාස 2 ඇතුළත අපේ රටේ සියලු පළාත්වලට දැඩි නියං තත්ත්වයක් ඇතිවේ. ඒ නියඟ තත්ත්වය සමහරවිට පසුගිය වසර තුනෙහි තිබූ නියඟ තත්ත්වයට වඩා දරුණු වීමට ඉඩකඩ තිබේ.

ඒ අනුව ඒ තත්ත්වයට මුහුණ දීමට කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි අමාත්‍යාංශවල නිලධාරින් බලධාරින් යම් ජල සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. පසුගිය දිනවලත් මේ දිනවලත් රටේ බොහෝ ප්‍රදේශවල දහවල හා රාත්‍රි උෂ්ණත්වය තිබිය යුතු උෂ්ණත්වය මෙන් අංශක 3 - 4 ප්‍රමාණයකින් අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය. ඒ පිළිබඳව අදහස් දක්වන පුණ්‍යවර්ධන මහතා පවසන්නේ මේ උෂ්ණත්වය ඉහළයාම් නිසා වගා කළ බෝගවලින් වාෂ්පීකරණ උත්ස්වේදනයෙන් ශාකවල ඇති ජලය වැඩි වැඩියෙන් වාෂ්ප වෙන බවයි. එවිට ඒ ශාක සිය මුල් මඟින් ජලය වැඩිපුර උරා ගැනීම නිසා භූගත ජලය අඩුවෙන බවත් ඉන් ජල හිඟය නියඟය තව තීව්‍ර වන බවත් පුණ්‍යවර්ධන මහතා පෙන්වා දෙයි. 2019 ජුනි හා ජූලි මාසවල රටේ සමහර දිස්ත්‍රික්වල පැවතුණු උෂ්ණත්වය ඉහළ යාම අසාමාන්‍ය දෙයක් බවත් එය මීට පෙර ඇතිවී ඇත්තේ 2012 දී බවත් රංජිත් මහතා කියයි.

කුඩා වැව්වල හා මහවැලි මහ ජලාශවල තිබෙන සුළු ජලය ප්‍රමාණය කෘෂිකර්මයට පමණක් නොව බීමට හා ජල විදුලියටත් අවශ්‍ය වේ. ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත විධිමත් ජල සංරක්ෂණ වැඩපිළිවෙළක් මෙන්ම ජනතාව ජලය අරපරිස්සමෙන් භාවිත කරන උනන්දුවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා පවසයි.

අපේ රටේ සිදුවෙන දේශගුණ කාලගුණ විපර්යාස පිළිබඳව පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා ද හමු වී විමසුවෙමු. ඔහු පවසන පරිදි අපේ රටේ සිදුවන වැස්ස අඩුකම හා දිවා රස්නය ගතිය වැඩිකම යන සංසිද්ධීන්වලට ලොව දේශගුණ විපර්යාසවල බලපෑමක් තිබේදැයි කෙළින්ම තීරණය කිරීම අපහසුය. කෙසේ වුවත් අලුත් පර්යේෂණ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන වැස්ස අඩු වෙලා නැති බවත් වැස්ස ලැබෙන රටාව වෙනස් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි. ඒ අනුව වියළි කලාපයට ලැබෙන වැස්ස අඩුවී තෙත් කලාපයට ලැබෙන වැස්ස වැඩි වී තිබේ. ඒ සමඟම ඉස්සර සතියක් දෙකක් තුළ වහින වැස්ස දැන් එක් දිනක් තුළ වසින අවස්ථා ද තිබේ. එවිට ඇතිවන වැඩි ජලය එක්වරම මහාමාර්ග ඇළ මාර්ගවලට යොමුවීම නිසා එක්වරම ගංවතුර ඇතිවීමද සිදුවේ. නායයෑම්ද ඇති වේ.

මුහුදු රළ මට්ටම ඉහළ යෑම ඉදිරියට සිදුවෙන අතර දේශගුණික විපර්යාස පිළිබඳව යම් යම් බලපෑම් ද අප රටට ඇති වේ.

මේ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය දැනටමත් මේ ගෝලීය දේහගුණ විපර්යාසවලට අපරට අනුහුරු වීමේ ජාතික සැලැස්ම දැන් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර කර්මාන්තය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, ජෛව විවිධත්වය, වෙරළ සංරක්ෂණය හා අපනයන කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල විවිධ ප්‍රතිලාභින්ට හා ක්‍රියාවට නංවන පුද්ගලයන්ට මේ පිළිබඳව දැනුම්වත් කරනු ලැබේ. 2016 සිට 2025 දක්වා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර පළාත් මට්ටමෙන් ද මෙය ක්‍රියාවට නැංවීමට කටයුතු සකස් කර ඇත. ඊට අමතරව මේ ඉදිරියේදී ඇතිවීමට ඉඩ ඇති දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට තවත් වැඩපිළිවෙළ 3 ක් ක්‍රියාවට නංවා තිබේ. අපේ රටේ ඇති කුඩා හා මහ වැව් රැසක් ඒකාබද්ධවූ එල්ලංගා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය මේ වැඩපි‍ළිවෙළේ ප්‍රධානම අංගයයි. ඒ මඟින් වියළි කලාපයේ අධික වැසි සමයේදි ජලය ගබඩා කිරීමට ඉඩ ලැබේ. ඒ සමඟම මධ්‍යම කඳුකරයේ ඇති ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට ද දැන් අලුත් වැඩසටහනක් අරඹා ඇත. ඒ යටතේ කඳුකරයට ලැබෙන ඉහළ වර්ෂාව ගබඩා කර ගැනීමට අවස්ථාව සැලසේ. එමඟින් ඒ වැස්ස පහළට පැමිණ ගංවතුර ඇති කිරීම වැළැක්වෙන අතර මෙම ජලාධාරාවල ජලය භූගත ජල මාර්ග ද පෝෂණය කරනු ලැබේ.

තෙත් කලාපයට ලැබෙන වැස්ස වැඩිවීම නිසා ඇතිවෙන වැඩි ජල ධාරිතාව වියළි කලාපයට රැගෙන යාමට අලුත් ව්‍යාපෘතියක් ද දැන් අමාත්‍යාංශය යෝජනා කර ඇත. ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කාර්ය සාධක බළකායක් ද පත්කර ඇතැයි දේශගුණ විපර්යාස පිළිබද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා කියයි. මේ අතර මේ පිළිබඳව අදහස් දක්වන කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ දිනවල හා පසුගිය දිනවල තිබූ දැඩි උෂ්ණත්වය වෙන වසරවල මේ මාසවල නොතිබූ දෙයක් බවයි. එය පර්යේෂණ කළ යුතු කාලගුණ සංසිද්ධියක් බවද ඔහු කියයි. මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජල සංරක්ෂණ පිළිබඳ හිටපු ජාතික උපදේශක හා මහවැලි සංවර්ධන වැඩසටහනේ කෘෂිකර්ම විශේෂඥ ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පැවැසුවේ 2018 නොවැම්බර් ඊසාන දිග මෝසම මඟින් ද 2019 අප්‍රේල් අන්තර් මෝසම මඟින්ද 2019 මැයි නිරිතදිග මෝසම මඟින්ද අපේ රටට ලැබුණු වැස්ස ඉතා අඩුවූ බවයි. ඒ අනුව පසුගිය මාස 9 පුරා අපට ලැබුණේ අඩු වැස්සකි.

මේ තත්ත්වය මත දැන් රටේ දිස්ත්‍රික්ක 18කට පමණ නියං තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා ලක්ෂ 5ක් විතර අවතැන් වෙලා. අපි මේ පිළිබඳව මේ වසරේ මුලදිම පැවසුවා. වගකිවයුත්තන්ට දැන්වුවා. ඒත් අපේ ජල සංරක්ෂණයට කිසිම ක්‍රමවේදයක් යෙදුවේ නැහැ.

දැන් කළුගඟ, මොරගහකන්ද, කොත්මලේ වගේ ජලාශවල ජලය ටිකක් තිබෙනවා. ඒ ජලය ටික දේශපාලනික කරුණු මත වී වගාවටම යැවීම නොකළ යුතුයි. මේ ජලයත් රටේ යම් යම් ජලාශවල, වැව්වල තිබෙන සුළු ජල ප්‍රමාණයත් අපි පාවිච්චි කළ යුත්තේ බීමට හා මානව අවශ්‍යතා සඳහා පමණයි.

අපේ රටට සාමාන්‍යයෙන් අපේ පර්යේෂණ අත්දැකීම් අනුව ජූලි 20 සිට ඔක්තෝබර් මුල සතිය වන තෙක් හොඳ වැසි ලැබෙන්නේ නැහැ. ඒ අනුව පසුගිය ජල හිඟයත් එක්ක බලන විට ඉදිරි මාස 2 ඇතුළත රටටම දරුණු නියඟයක් ඒවි. ඒ කාලයේ තිබෙන ජලය ටික ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. අපේ ජන ජීවිතය පවත්වාගෙන යන්න පමණයි ඒවා පාවිච්චි කරන්න ඕනෑ. පුංචි වැව්වලට ජලාශවලට ඒවා යැවීම කළ යුතුයි. ඒ මඟින් භූගත ජලය ඉහළ මට්ටමට ඒවි.

කෙසේ වුවත් මේ මාස දෙකේ නියඟයට පසුව එන ඔක්තෝබර් අන්තර් මෝසම් වැස්ස මඟින් අපේ රටට හොඳ වැස්සක් ලැබීමට ඉඩ ඇති බවත් ආචාර්ය ධර්මසේන මහතා පවසයි.

අපේ රටේ දිස්ත්‍රික්ක 18ක නියඟ තිබුණත් අපේ රටේ ප්‍රධාන ගංගාවල ජලය ඕනෑ තරම් ඇත. ඒවායින් ප්‍රයෝජනයක් ගන්නේ නැත. ආචාර්ය ධර්මසේන කළ පර්යේෂණ අනුව පවසන පරිදි අපේ ප්‍රධාන ගංගාවලට වැස්සෙන් ලැබෙන ජලයෙන් සියයට 52.5ක්ම වාර්ෂිකව කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා යයි. ඒ ප්‍රමාණය ඝනමීටර් මිලියන නම් 66,000 ක් වෙයි. මේ අනුව කළු ග‍ඟේ ජලයෙන් සියයට 77ක්ද කැලණි ග‍ඟේ ජලයෙන් සියයට 62ක්ද ගිංග‍ඟේ ජලයෙන් සියයට 62ක්ද මහවැලි ‍ග‍ඟේ ජලයෙන් සියයට 41ක්ද කිසිම වැඩක් නොගෙන මහමුහුදට ගලායයි.

වැඩිම ජල ධාරිතාවක් මෙසේ වැඩක් නොගෙන මුහුදට යන්නේ මහවැලි ‍ග‍ඟෙනි. ඒ ප්‍රමාණය ඝනමීටර් මිලියන 11000 කි.

ඊට අමතරව කළුගඟෙන් ජලය ඝනමීටර් මිලියන 7800ක් සහ කැලණි ග‍ඟෙන් සහ ඝනමීටර් මිලියන 5500 ක්ද පමණ වාර්ෂිකව කිසිම වැඩක් නොගෙන මුහුදට ගලා යන්නේ ජාතික අපරාධයකට සහාය දෙමිනි.

මේ අපතේ යන ජලයෙන් කළ හැකි දේවල් අති විශාලය. ඒවා වියළි කලාපයේ දිගුකාලීන නියඟයටත් කළුතර, රත්නපුර හා කැලණි මිටියාවතේ ගංවතුර වැළැක්වීමටත් සුදුසු දිගුකාලීන විසඳුම්ය.

ඉහත ගංගාවල මැද හා ඉහළ ප්‍රදේශවල විශාල ජලාශ සාදා මේ මහ මුහුදට යන ජලය ගබඩා කරන්නේ නම් වියළි කලාපයේ නියඟයටත් තෙත් කලාපයේ ගංවතුරටත් එය කදිම විසඳුමක් බවද ආචාර්ය ධර්මසේන වගකිවයුත්තන්ට පෙන්වා දෙයි. මේ ජලාශවල ජලය ගුරුත්වාකර්ෂණය මඟින් වියළි කලාපයට යවා නියඟයට විසඳුම් ලබා දිය හැකියි. මේ පිළිබඳව වසර ගණනාවක් තිස්සේ වගකිව යුත්තන්ට පෙන්වා දුන්නත් ප්‍රයෝජනයක් වී නැති බවද ඒ මහතා අවධාරණය කරයි.

අදහස්