භූතයා ‍නොදරුවාගේ සිරුරට රිංගුවේ ගිය ආත්මේ කෝන්තරයක් පිරිමහින්න | සිළුමිණ

භූතයා ‍නොදරුවාගේ සිරුරට රිංගුවේ ගිය ආත්මේ කෝන්තරයක් පිරිමහින්න

ලෝකයේ ජීවත්වන සත්ත්වයන් අතරින් දියුණු කැර ගත හැකි, මනසක් ඇත්තේ මිනිසුන්ට පමණි. එසේ ම ලෝභ, ද්වේෂ, මෝහ, කුණු කිලිටි සිතෙන් ඉවත් කැර පිරිසුදු කැර උසස් මනසක් ගොඩ නගාගත හැක්කේ ද මිනිසුන්ට ම පමණි.

මේ සංසාර ගමන කවදා කොතැනින් පටන්ගත් දීර්ඝ එකක් දැයි කිව හැක්කේ බුදු වරයෙකුට පමණි. ඒ තරම් දීර්ඝ වූ මේ ගමනේ දී අපේ මවුපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් දූ දරුවන්, ඥාති මිත්‍රයන් නොවූ කෙනෙකු සියලු සක්වළ සියලු ලෝකවල නැති තරම් ය. එහෙත් පින් අනුමෝදන් කරන විට අපට මතක් වන්නේ මේ ජාතියේ මවුපියන් දෙදෙනා පමණි? එහෙත් මේ දෙදෙනාටත් වඩා උසස් මවුපියන් සිටින්නට ඇත. බලු බළල් ආදී මවුපියන් ද සිටින්නට ඇත.

හේතු ඵල දහමට අනුව, පවු පින්වල විපාක වශයෙන් තල 31 ක් තුළ සංක්‍රමණය වන සත්ත්වයා අනෙකුත් සත්ත්වයන් සමඟ සිදු කරන්නේ ණය ගනුදෙනුවකි. අන්‍යොන්‍ය වශයෙන් සාත්තු සප්පායම් හා ගහ මරා ගැනීම් වශයෙන් ද මේ ණය ගනු දෙනුව පවත්වාගෙන යති. යළි යළි අලුත් ජාතිවල ඉපදෙමින් ඒ ණය ගනුදෙනුව සිදු කරන අතර ජරා, ව්‍යාධි, මරණ, සෝක, හැඬීම්, වැලපීම්, පසුතැවීම් ලෙස ද දුක් විඳිති මේ සියල්ල සිදු වන්නේ හේතු ඵල දහමට අනුවය. තල වැපුරූ අය තල අස්වනු නෙළති. අමු වැපුරූ අය අමු අස්වනු නෙළති.

කොට්ටාවේ නාමල් තිස් පස් හැවිරිදි ය. මානෙල් තිස් හැවිරිදි ය. ඒ මවුපිය දෙදෙනාට සිටින එකම පුතා පස් හැවිරිදි අවිශ්කය. අවිශ්ක පස් හැවිරිදි වුවද ක්‍රියාකාරකම් දෙහැවිරිදි දරුවෙකු මෙනි. ඒ දරුවා කතා කරන්නේ නැත. ඇවිදින්නේ ද නැත. එහෙත් දරුවා නිරෝගි යැයි වෛද්‍යවරු පවසති. කට පැත්තෙන් කෙළ වැගිරෙයි. වයස අවුරුද්දේ සිට දරුවා වෛද්‍යවරුන් කරා ගෙන ගිය ද ප්‍රතිකාරවලින් කිසිදු වෙනසක් දකින්නට නැත. පරීක්ෂණ වාර්තා යහපත් ය.

අවුරුදු පහක් තිස්සේ කරන ලද වෛද්‍ය ප්‍රතිකාරවලින් සහනයක් නොලද මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දරුවා ගෙන ගියහ.

රෝග පරීක්ෂාවේ යෙදෙන විට දරුවා ඉස්සරහටත් පස්සටත් පැද්දෙන්නට විය. ඒ අසාමාණ්‍යතාව භූතාත්මයක බලපෑමක් යැයි අනුමාන කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා එන්නැයි නියම කළේය.

බෝධි පූජා අවසන් කළ ඔවුහු නැවත පැමිණියහ. එදින රෝග පරීක්ෂාවේ යෙදෙන විට අම්මා මානෙල් දිෂ්ටි ගැන් වී කතා කරන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයෙන් මතු වෙලා ඉන්නේ?” ඇසීය.

“මම උපාලි” භූතාත්මය කීවේය.

“කවුද උපාලියි කියන්නේ?”

“ඔබ ඇඹිලිපිටියේ කෙනෙක්. මේ ඉන්නේ ඇඹිලිපිටිය වැවෙ මා එක්ක මාළු අල්ලපු තිස්ස” යැයි අවිශ්ක දරුවා දෙසට අත දිගු කොට පෙන්වීය.

“මේ තිස්ස නොවෙයි. අවිශ්ක.” ගවේෂකවරයා කීවේය.

“නෑ...... නෑ......... මූ තිස්ස ම තමයි.” ප්‍රේතයා කීවේය.

“ඔබ මොනවා වෙලාද මැරුණේ?”

“මමයි තිස්සයි ඇඹිලිපිටිය වැවේ මාළු අල්ලන එක තමයි රස්සාවට කළේ. මූ මගේ යාළුවා. මිත්‍ර ද්‍රෝහියා. මූ මගේ ගෑනි එක්ක යාළු වුණා. දවසක් මගේ ඇස් දෙකටම දැක්කා. මම ගෙදර නැති වේලාවක කාමරේක ඉන්නවා. මම නොදැක්කා වගේ හිටියා. එදා කිසි දෙයක් අඟවන්නේ නැතුව දෙන්නා එක්ක මාළු අල්ලන්න ඔරුවෙන් වැවට ගියා. වැව මැද්දෙදි තිස්සට ගහල මරන්න හිතාගෙනයි ගියේ. වැව මැද්දෙදි අපි දෙන්නා ගහ ගත්තා. තිස්ස මාව වැවට තල්ලු කරලා හබලෙන් ගැහුවා. මම දියේ ගිලී මැරුණා. මම මැරුණේ මූ එක්ක වෛරයෙන්. මැරුණට පස‍්සේ මම මූව අතහැරියෙ නෑ. පස්සෙන් ම ඉඳලා‍ ලෙඩ කරලා මැරුවා. ඊට පස්සෙ මූ පෙර පිනකට කොට්ටාවෙ උපන්නා. මම පස්සෙන් ම හොයාගෙන ආවා.”

“කොහොමද මේ ළමයා තිස්ස බව අඳුනා ගන්නේ?”

“අමනුෂ්‍යයන් වන අපට ප්‍රබල ඉවක් වගේ දැනීමක් තියෙනවා. ඒ ඉව අනුව හොයාගෙන ආවා. මූට වයස අවුරුද්දෙදි මම ඇඟට රිංගුවා. දැන් මම මුගේ පස්සෙන් පළිගන්න පන්නනවා. මම දැන් මූව අත හරින්නේ නෑ.” යි යළි ප්‍රේතයා කීවේය.

“මම දැන් වතාවකුත් පැහැදිලිව කිවුවා. මේ තිස්ස නොවෙයි. මේ අවිශ්ක. එදා හිටපු තිස්සට උපාලිගේ අමනුෂ්‍යයා බලපෑම් කැර මැරුවා. උපාලි එදත් මාළු මරලා පවු කැර ගත්තා. දැනුත් මේ අවිශ්කට හිරිහැර කරලා පවු සිද්ධ කැර ගන්නවා. කරුණාකර මේ අය අතහැර ඉවත් වෙලා යන්න. උපාලි ප්‍රේතයෙක් වෙලා දුක් විඳිනවා. වෛරයෙන් ‍දැවි දැවී ගින්නකින් දුක් විඳිනවා. ඔය ප්‍රේත ආත්මයෙන් මිදෙන්න අධිෂ්ඨාන කැර ගන්න.

තමන් කරන කියන හිතන දේවල් තමන් කරාම ආපහු එනවා. අනුන්ට රිදවන්න පාඩු කරන්න වැරදි දහයක් කළොත් සියයක් විපාක ආපහු එනවා. මේ ඔබට දුක් කරදරවලින් නිදහස් වෙන්න පෙර පිනකට මතු වෙච්ච හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැත්නම් මේ සසර පුරාවට ම ඔබට අපා දුක් විඳ විඳ ඉන්න වේවි. අවිශ්කත් පින් දහම්කර දිව්‍ය ලෝකයකට යාවි.”

“ඒ... මු දිව්‍ය ලෝකයකට යාවි? අනේ මටත් දිව්‍ය ලෝකයකට යන්න ඕනෑ. මට උදව් කරන්න.”

“දිව්‍ය ලෝකයකට යන්න දන් පින් කරන්න ඕනෑ. ඔබ දැන් මිනිස් ශරීරයකට ආවේශ වෙලා ඉන්නේ. ඒ නිසා මම මේ මානෙල්ට කියන්නම් ලොකු පිනක් කරන හැටි. බෝධි පූජාවක් තියලා පරම මෛත්‍රිය පතුරවන්න කියන්නම්. ඔබ ඒ වෙලාවට ඒ මෛත්‍රී සිතුවිලි ගොඩනඟා ගන්න. මොහොතක් පරම මෛත්‍රී වැඩීම බුදුවර 100ට දන් දුන්නාට වඩා ආනිසංසයි කියලා වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා” යැයි කී ගවේෂකවරයා මානෙල් පියවි සිහියට පත් කොට නාමල් හා පුතා සමඟ බෝධි පූජාවක් පවත්වා පරම මෛත්‍රීය වඩන හැටි උපදෙස් දුන්නේය.

“මේ සියලු ලෝකවල සිටින සියලු සත්ත්වයෝ මගේ සංසාර ගත ඥාතීන් බව සිතා දස දිග් භාගයේ අනන්තය දක්වා සිටින සියලු සත්ත්වයෝ සුවපත් වේවායි සිතන්න.

මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. (සසර අපා දුකින් මිදෙත්වා.)

මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ සකදාගාමි ඵලයෙන් නීරෝග වෙත්වා. (කාම රාග පටිඝ තුනී වී තුන්දොස් සමනය වී නීරෝග වෙත්වා.)

මම ද සියලු ලෝකසියලු සත්ත්වයෝ අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. (ආමිසයෙන් මිදී නිරාමිස වී ආපසු සසරයට නොඑන නිවන කරාම යන ගමනට එක්වෙත්වා.)

මම ද සියලු ලෝක සියලු සත්ත්වයෝ අරහත් ඵලයෙන් නිවන් දකිත්වා. දුකින් මිදෙත්වා” යි පරම මෛත්‍රියයේ යෙදෙන හැටි කියා දුන්නේය.

සතියක් බෝධි පූජා පවත්වා මෛත්‍රී වඩා නැවත පැමිණි දිනයේ “මම ඉවත් වෙලා යන්න කැමතියි” ප්‍රේතයා කීවේය.

ගවේෂකවරයා සුදු මල්වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කොට ඔවුන් අත ම අනුරාධපුරයට යැවීය.

මේ වන විට අවිශ්ක පස් හැවිරිදි වයසට ගැළපෙන පරිදි ක්‍රමයෙන් කායිකව මානසිකව වර්ධනය වෙමින් සිටී. ඔහු දැන් හොඳින් කතා කරයි. විශේෂ අධ්‍යාපන ආයතනයක උගෙනිමින් සිටී.

Comments