දඩයම්තලාවෙන් පෙනෙන ශ්‍රී ලාංකික ජාතියක ආදර්ශය | සිළුමිණ

දඩයම්තලාවෙන් පෙනෙන ශ්‍රී ලාංකික ජාතියක ආදර්ශය

ත්‍රස්තවාදී යුද්ධය නිසා අප රටේ උතුරු නැඟෙනහිර පිහිටි බහුතරයක් ගම්මානවල වැසියෝ බැට කෑහ. එයින් වඩාත්ම පීඩාවට පත් වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ගම්මාන එකට යාව පිහිටි ප්‍රදේශයන්හි මිනිස්සුය. ඒ අතුරින් වැඩිවශයෙන් තර්ජනයට හා පීඩාවට පත් වූයේ අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි අවසන් මායිම්හි පිහිටි ගම්මානවල ජනතාවය.

අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව ජීවත් වූ දඩයම්තලාව වැඩි වශයෙන් තර්ජනයට ලක්වූ ගම්මානයකි. ඒ දෙපසින් පිහිටි චවලකඩේ දෙමළ වැසියන් හා මජීඩ්පුර මුස්ලිම් වාසීන්ද යුද සමයේ දැඩි පීඩාවකට පත්ව සිටියහ.

වර්ෂ 2009 දී රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් විය. අනතුරුව මේ ගම්මාන වටා සැකය බිය හා වෛරය වෙනුවට ගොඩනැඟුණේ අප්‍රමාණ සහෝදරත්වයකි. ගමේ පිහිටි පන්සල සිංහල මෙන්ම දෙමළ ජනතාවගේද වන්දනාවට හා ගෞරවයට පාත්‍ර විය. සමාජ අසාධාරණයකදී ගම් තුනේම වැසියෝ එකට එක් වූහ. සිංහල දෙමළ මුස්ලිම් හෝ බෞද්ධ ඉස්ලාම් හින්දු භේදයක් මේ ගම්වලට නොවීය.

තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ දුරස්ව තිබූ සහෝදරත්වය යළි ගොඩ නඟා ගත්හ. රටේ අනෙක් ජනතාව කන්න දෙකක් වගා කරද්දී මේ ගොවීහු සහයෝගයෙන් කන්න තුනක් වගා කළහ. ඔවුහු රටට බත සපයන්නට විශාල දායකත්වයක් දැක්වූහ.

එහෙත් පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා මේ ගම්මාන තුනම යළි කෑලි තුනකට වෙන්වී ගියේය. සැකය දළුලා වැඩුනි. එකට එක්ව ජීවිතය බෙදා ගත් මිනිස්සු සිද්ධියෙන් පසු එකිනෙකාගේ මුහුණ දෙසවත් නොබැලූහ.

අම්පාර කල්මුණේ මාර්ගයේ මල්වත්තෙන් හැරී දඩයම්තලාවට යා යුත්තේ මජීඩ්පුර හරහාය. දඩයම්තලාව පසු කරගෙන චවලකඩේට යා යුතුය. ඔවුන් එකිනෙකා පසුකර ගියේ මුහුණවත් නොබලාය. වෙනදා මල්වත්ත යුද හමුදා කඳවුරේ නිලධාරීන් සමඟ සිනහමුසු මුහුණින් ගමන් ගන්නා මුස්ලිම් ජනතාව හැකි තරම් ඔවුන් මගහැර කඳවුර පසුකළහ.

මේ අසමඟිය තව දුරටත් පැවතුණහොත් ජාතීන් අතර අසමගිය ත්‍රස්තවාදයක් දක්වා අනාගතයේදී පැතිර යාමට හැකි බව සිතූ අම්පාර 24 වන සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ විසින් 242 බලසේනාධිපති බ්‍රිගේඩියර් රණසිංහ හා 241 බලසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරි ගේ මූලිකත්වයෙන් කල්මුණේ ව්‍යාපාරික ජනතාව හා කල්මුණේ නගර සභාව හා එක්ව වෙසක් උළෙල වෙනුවෙන් දන්සලක් සංවිධානය කළේය. ඒ සඳහා සිංහල දෙමළ හා මුස්ලිම් සියලු ජනතාවෝ සහභාගි වූහ. ඒ ආරංචිය අම්පාර දක්වා පැතිර ගියේය. අම්පාරේ වෙසක් කලාපයක්ද පැවැත් වුණේ ඒ අනුවය.

එකිනෙකා දෙස‍ නොබලා යන්නට වූ දඩයම්තලාව මජීඩ්පුර හා චවලකඩේ ජනතාව යළි එක්ව ගොවිතැන් කරන්නට පටන් ගත්හ. එක්ව එක් මග යන්නට පටන් ගත්හ. සාද කතා ඇතිවිනි. අපි ඔවුන්ගෙන් ඒ ගැන විමසුවෙමු.

‘මජීඩ් පුර ගොවිතැන් කරන්න පටන් අරගෙන අවුරුදු 25කටත් වැඩියි. යුද්ධ කාලෙ කුඹුරු ගොවිතැන් කරන එක පරිස්සමින් කරන්න වුණේ. 2009 අවුරුද්දෙන් පස්සෙ ගම් සේරම එකතු වෙලා වී ගොවිතැන් කෙළේ දඩයම්තලාව වැවෙන්. සිංහල දෙමළ මුස්ලිම් කියල බේදයක් තිබුණෙ නැහැ. වැවේ වතුර ටික හැම කෙනාම ප්‍රයෝජනයට ගත්ත. අප්‍රේල් මාසෙ 21 වැනිදා ප්‍රහාරය එල්ල උනාට පස්සෙ ආයෙත් යුද්ද කාලෙ පටන් ගත්ත වගේ කියල අපට හිතුණා. ඒ වුණත් දැන් අපි අතර ඇතිවෙන්න ගිය බිඳවැටීම් නැවතිලා. ඒක ඇත්තටම ලොකු සතුටක්. දඩයම්තලාවෙ තියෙන රංගන කඩේ කියන සිංහල කඩේට තමයි අපි හැමෝම උදේට තේ බොන්න එන්නේ. එතැන ජාති ආගම් කුල භේද මුකුත් නැහැ. ඒ කඩේට පහුගිය දවස්වල අපි ගියේ නැහැ බයට. ඒත් දැන් ඒ බය නැහැ.‘‘ ඒ මජීඩ්පුර පදිංචි 45 හැවිරිදි අස්පර්ය. චවලකඩේ පදිංචි 46 හැවිරිදි අමිර්තලිංගම් පැවසුවේද එවැනිම කතාවකි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා ඉන්ධන ලබා ගන්න එන්නෙ චවලකඩේ ඉන්ධන පිරවුම්හලට. අපි හැමෝම අඳුන ගන්නෙ එතෙන්දි. අපේ ජාති ආගම් භේදයක් මුකුත් තිබුණෙ නැහැ. සිංහල අයත් එක්ක විවාහ වෙච්ච දෙමළ කාන්තාවන් ඉන්නවා. මේ ගම් තුනම වෙන් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් කිව්වට තව ටික කාලයකින් එකම ශ්‍රී ලාංකික ජාතිකයින් වෙසෙන ගම්මාන 3ක් බවට පත්වෙයි. අපේ බලාපොරොත්තුවත් එයයි. දඩයම්තලාව රජමහා විහාරාධිපති අරංතලාවේ සුධම්ම හිමියන්ට පැවසුවේ තමන් විහාරස්ථානයට පැමිණ වසර 10ක් පමණ බවය. උන්වහන්සේ අපට කියන්නේ සියලු ජාතීන් සමඟිව විහාරස්ථානයට පැමිණෙන බවය.

‘‘දෙමළ ජනතාවත් මේ පන්සලට එනවා. 2002 අවුරුද්දේ මේ පන්සලේ බෝම්බයක් පුපුරලා නායක හාමුදුරුවන් ඇතුළු කීප දෙනෙකුම මිය ගියා. ඒත් දැන් සාමයෙන් මේ ජනතාව දිවි ගෙවනවා. ඒ සාමය ඉදිරියටත් පවත්වා ගන්න සියලුම ආගමික නායකයන් විසින් කටයුතු කළ යුතුයි‘‘ අප සියලු දෙනා කටයුතු කළ යුත්තේ තවදුරටත් ඒ සාමය සමඟිය ආරක්ෂා කර ගන්නටය. මේ ගම්මානයන් අපට කියා පාන්නේ ශ්‍රී ලාංකක ජාතියක ආදර්ශය ය.

සේයාරූ - විමල් කරුණාතිලක

අදහස්