තේ විපතේ සැබෑව | Page 2 | සිළුමිණ

තේ විපතේ සැබෑව

කුඩා තේ වතු පවුල් ලක්ෂ 5ක් අනාථයි - කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත්

තේ කම්හල් හුඟක් දුවන්නේ පාඩුවට 200ක් වහලා - වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියැද්ද

නැවත තේ වගාවට හෙක්ටයාරයකට ලක්ෂ 5ක් - කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

ලෝකයේ අර්බුද තේවලට බලපානවා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රන්ජිත්

තේ කම්හල් හිමියන්ට සහන දෙනවා - තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ

වැවිලිකරුවන්ගේ ගැටලු ගොඩයි මූල්‍ය සහන අවශ්‍යයි - වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති රොෂාන් රාජදුරෙයි

තේ’ අපේ ආර්ථිකයේ ප්‍රධාන අපනයන භෝගයකි. වර්තමානයේ මෙරට ප්‍රධානතම වැවිලි භෝගය ලෙස හැඳින්විය හැකි තේ නිසා ර‍ෙට් ලක්ෂ 25 කට අධික පිරිසක් ජීවත්වෙති. රටේ භූමියෙන් හෙක්ටයාර 187000 කට වඩා දැන් තේ වගා කර ඇත. 1839 දී පේරාදෙණි උද්භිද උද්‍යානයේ ප්‍රථම තේ පැළය රෝපණය කර තිබිණි.

කැමෙලියා සිනෙන්සින් (Camellia Sinensis) යන විද්‍යාත්මක නාමයෙන් ‘තේ’ පැළය හඳුන්වා දී තිබේ. ඉන්දියාවේ හිමාලය පාමුල ඇසෑම් පළාතේ වනාන්තරවල තේ පැළ වැවී ඇති නිසා එය ඉන්දියානු සම්භවයක් ඇති ශාකයක් ලෙස සැලකේ. 1824 දී ලංකාවට මුල්ම තේ බීජ හඳුන්වා දෙන ලදී. 1839 වර්ෂයේ නැවත වරක් මෙරටට තේ බීජ ගෙන්නුවද වගා කිරීම පිළිබඳ අදහසක් මතු නොවීය. 1860 දී ජේමිස් ට්‍රේටර් විසින් මුල්වරට තේ වගාවක් ලෙස ඇරඹීය. එය මහනුවර හේවාහැට ලූල්කඳුර වතුයායේ වගා කළ බව ද වැඩිදුරටත් සඳහන් විය.

ශ්‍රී ලංකාවේ තේ වගා කරන ප්‍රධාන ප්‍රදේශ කිහිපයක්ම හඳුනාගත හැකියි. නුවරඑළිය, මහනුවර, තලවාකැලේ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, මොනරාගල, කුරුණෑගල, බදුල්ල මේවා අතරින් ප්‍රධාන වෙයි. බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත තේ වගා කිරීම බහුල වශයෙන් දැකගත හැක්කේ පස්සර ‘මඩොල්සිම’, නමුණුකුල, වැලිමඩ යන ප්‍රදේශවල ය.

මෙහිදී පරණ තේ සහ අලුත් වී.පී. තේ යනුවෙන් දෙවර්ගයක් වෙයි. මේවා වගා කරන්නේ බීජවලින් හෝ අතුරිකිලිවලිනි. එහෙත් වර්තමානයේ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක්කේ බීජ තේ වේ.

කෙසේ වුවත් තේ වගාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණ පා සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන පරිදි අපේ ‍රටේ තේ කර්මාන්ත ක්ෂේත්‍රය එතෙර මෙතෙර පවතින විවිධ ගැටලු නිසා අභියෝග රැසකට මුහුණ දී ඇත. අපේ පසේ සාරවත් බව අඩුවීම තේ නැවත වගාව ප්‍රමාද වීම වතු සේවක වැටුප් වැඩිවීම, ශ්‍රමිකයන් අඩුකම තේ අලෙවි කිරීමේදී තැරැව්කරුවන් සම්බන්ධ වීම නිසා දැන් අපේ තේ කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් පවතියි.

සමස්ත ලෙස ගත්විට පුද්ගලයන් ලක්ෂ 20 – 25 අතර පිරිසක් තේ කර්මාන්තයේ කඩා වැටීම නිසා දුෂ්කරතාවට ලක්වෙමින් සිටිති.

මේ පිළිබඳව අදහස් දැක්වූ කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පවසන්නේ තේ දලු මිල පහත යාමත් ප්‍රමිතිගත තේ නිපදවීම් අඩුවීමත් සෙස් බද්ධ මඟින් තේ වගා ක්ෂේත්‍රයට සහන නොසැලැස‍ීමත් නිසා අපේ තේ වගා ක්ෂේත්‍රය දරුණු ලෙස යළි ඉහළ නැංවීමට අපහසු පරිදි අර්බුදයකට පත් වෙමින් පවතින බවයි.

රටපුරා අපේ සාමාජික සාමාජිකයන් ලක්ෂ 5 ක් දිස්ත්‍රික්ක 14 ක පුරා පැතිරී සිටිනවා. දැන් මේ අයට අමු තේ දලු කිලෝවක් දෙන්න වෙලා තිබෙන්නේ රුපියල් 70 ක් වැනි අඩු මුදලකට. ජීවන වියදම ඉහළ යද්දී තේ දලු මිල එන්න එන්න පහළ බසිනවා. පසුගිය අප්‍රේල් මාසේ තේ දලු කිලෝවක් රුපියල් 125 ට විතර තිබුණා. පසුගිය වසර 20 ඇතුළත තේ මිල රුපියල් 100 පමණ මිලත් වඩා උච්චාවචනය වුණා. නමුත් මෙච්චර දලු මිල පහළ බැස්සේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට” ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.

අපේ රටේ තේ අර්බුදයට හා තේ දලුවල මිල අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ තේ දලුවල ප්‍රමිතිය අඩුවෙමින් පැවතීමයි.

පස නිසරුවීම කලට වේලාවට පෝර නොදැමීම කාලගුණ විපර්යාස නිසා වගාවට සුදුසු පරිදි වැස්ස හා හිරු එළිය නොලැබීම නිසාත් තේ දලුවල ප්‍රමිතිය අඩුවී ඇත. ඒ තේ දලුවල ප්‍රමිතිය අඩුවීම නිසා නිමි තේ පිටරටවලට යැවීමේදී ගැටලු ඇතිවී තිබීම තේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රබල ගැටලුවකි.

කෙසේ වුවත් මේ ගැටලුවටත් වඩා ප්‍රධාන ගැටලුව වන්නේ අපේ රටේ තේ ආශ්‍රිතව කරන වංචා දූෂණ අක්‍රමිකතාය. මේ නිසා ජගත් මට්ටමින් අපේ තේ වල තත්ත්වය පහළ බැසීම සිදුවන බව ද ලාල් ප්‍රේමනාත් මහතා පෙන්වා දෙයි.

අද අපේ කසළ තේ පිටරට‍ යැවීම රටේ ඉහළම නිලධාරීන්ගේ උදව් ඇතිව සිදු කෙරේ. ඒ අනුව නරක කසළ තේ කිලෝ දහස් ගණනක් අපේ රටේ නමින් ලොව පුරා එහේ මෙහේ යාම අපේ තේ ක්ෂේත්‍රයට මහත් කැලලකි; බාධාවකි.

මීට අමතරව අපේ රටේ නිපදවන තේවල බර හා පෙනුම වැ‍ඩිකර ගැනීම පිණිස නිමි තේවලට විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ද නිසා අපේ තේවල තත්ත්වය බාල වී ඇත. පසුගිය වසර 3 ඇතුළත මේ විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර තේ පිටරටට යැව‍ූ පසු ආපසු එවූ අවස්ථා ද තිබිණි. ඉන් අපේ තේවල ප්‍රෞඪත්වය කෙලෙසී ඇත.

පිටරට යවන සෑම තේ කිලෝවකින්ම දැන් වරාය මඟින් ‘සෙස් බද්ද’ ලෙස කිලෝවකට රුපියල් 13.50 ක් බද්දක් අය කළත් ඉන් තේ කර්මාන්ත ක්ෂේත්‍රයට කිසිම පිළිසරණක් නැත.

මීට වසර 3 කට පමණ පෙර මේ ‘සෙස් බද්ද’ තේ මණ්ඩලයට ලබාදී තිබිණි. ඒ නිසා මේ මුදලින් තේ පර්යේෂණායතනයට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට මූල්‍ය ආධාර ලබා දුන්නේ ය. ඒ ප්‍රතිලාභ ගොවීන්ට ද ලැබිණි. නමුත් දැන් මේ බදු මුදල වරාය අධිකාරියෙන් කෙළින්ම මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට යොමු කරනු ලැබේ. එයින් තේ ක්ෂේත්‍රයට සහන ලබාදී‍මක් නොමැත.

ඒ නිසා අද මේ රටේ තේ වතු ක්ෂේත්‍රය නගා සිටුවීමට මූල්‍ය පිළිසරණක් නැති තත්ත්වයක් උදාවී තිබේ. මෙ නිසා අද අපේ රටේ තේ වතුවල සහනාධර ලබාදීමේ වැඩපිළිවෙළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක නොවේ.

පසුගිය රජය කාලයේ සිට පොහොර සහනාධාරය ලෙස අපිට කිලෝ 50 ක පෝර මල්ලක් රුපියල් 1400කට දෙනවා. ඒත් දැන් ඒකේ ප්‍රමිතිය බාලයි. ඒකට අනෙක් මූලද්‍රව්‍ය පිටින් අරන් දමන්න ඕනෑ. ඒ රුපියල් 250ක් පිට කඩවලට අපි දෙන්න ඕනෑ. මේ බාල පෝර නිසාත් දලුවල ප්‍රමිතිය අඩුවෙලා තිබෙනවා. සමස්ත ලංකා තේ වතු හිමියන්ගේ සංගමය රජයට පෙන්වා දෙයි‍. නමුත් ඊට කිසිම පිළියමක් මේ දක්වා සිදුකර නැතැයි ද ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.

අපේ රටේ හොඳින් වැවුණු තේ වගාවකින් මසකට ලබාගත හැකි අස්වැන්න තේ දලු කිලෝ 1000 කි. නමුත් දැන් අපේ රටේ සමහර කුඩා තේ වතුවලින් මසකට තේ දලු කිලෝ 200 ක් ලබාගැනීමත් අසීරු වී තිබේ. මේ නිසා කුඩා තේ වතු හිමියන්ගේ ආදායම අඩු වී ඇත.

ඒ සමඟම අද පිටරටවල මිල අනුව අපේ නිමි තේ වලට ලැබෙන්නේ කිලෝවකට රුපියල් 300 – 330 ක් අතර මුදලකි. මේ මුදල වසර 20 – 25 ක් තුළ සිට තේ කිලෝවකට ලැබුණු අඩුම මිල ලෙස වාර්තා වෙයි‍. අප්‍රේල් මාසයේ දී නිමි තේ කිලෝවකට රුපියල් 500 – 600 අතර ඉහළ මිලක් ලැබුණි.

කෙසේ ‍වුවත් පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ යම් බලපෑමක් ද මේ තේ මිල අඩුවීමට බලපා තිබෙන බවත් කිව යුතු ය.

මේ තේ අර්බුදය නිසා අද අපේ රටේ කුඩා තේ වතු හිමියන් තේ දලු මිල දී ගන්නා තේ කර්මාන්ත ශාලා 250 - 350 ක් අතර ගණනක් වැසී යාමේ තර්ජනයක් පවතී. දැනට කර්මාන්ත ශාලා 190 ක් වැසී ගොස් ඇත. අධික බදු බර, විදුලි මිල ආදී ගැටලු මෙන් ම නිෂ්පාදන වියදම් අධිකවීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

මේ කරුණු අනුව අපේ රටේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයට උදාවී ඇති අර්බුදකාරී වාතාවරණයෙන් මිදීමට නම් රජය තේ වගා කරුවන්ට ‍ෙසස් අරමුදල මගින් උදව් ලබාදිය යුතු යැයි ද ලාල් මහතා යෝජනා කරයි.

මේ පිළිබඳව සමස්ත කුඩා තේ වතු හිමියන්ගේ දුක රටට කියන උද්ඝෝෂණ මාලාවක් 18 වැනිදා සිට රට පුරා පැවැත්වීමට කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය කටයුතු සූදානම් කර ඇත. ප්‍රථම උද්ඝෝෂණය 18 වැනිදා මොරවකදී පැවැත්වීමට නියමිත ය.

අද අපේ රටේ තේ ක්ෂේත්‍රයේ ඇති කඩා වැටීම අපේ රටේ සියලු වැවිලිකරුවන්ට ගැටලුවක් වී තිබේ. ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියැද්ද මහතා පවසන පරිදි පසුගිය මාස 2 – 3 ඇතුළත නම් තේ මිල කිලෝ 1 ක් රුපියල් 100 කින් අඩු වී ඇත. අද සේරම තේ කම්හල් දුවන්නේ පාඩුවට. මීට‍ පෙර 2017 – 2018 වසරේ ජූනි ජූලි මාසවලදී නිමි තේ කිලෝ 1 ක මිල රුපියල් 650 – 700 ට තිබුණා. දැන් ඒ මිල රුපියල් 500 – 400 ට අඩු වී තිබෙනවා.

තේ කම්හල් හුඟක් දැන් අරන් යන්නේ පාඩුවට‍. ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළයි. විදුලි බලයට ඉහළ මිලක් යනවා‍. ඇමෙරිකාව යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන ආර්ථික සම්බාධක හේතුවෙන් ‍අපේ තේවලට ලොකු බලපෑම් එල්ල වෙලා තිබෙනවා.

මේකට විසඳුම් ලෙස තේ, පොල්, රබර් සමඟ කටු පොල් වගේ වාණිජ බෝග වගාවට වැවිලි කරුවන් ඉල්ලා සිටියත් රජය ඒකට අවසර දුන්නේ නැහැ. රුපියල් මිලියන 400 ක් විතර වටිනා කටු පොල් පැළ අපි ගෙනත් තිබෙනවා. ඒවා දැන් මැරිලා යාවි. කටුපොල් වගාව කළොත් අපට මේ ආර්ථික ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

තේ මිල අර්බුදය දැන් රටේ ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වෙලා‍. ඒ පමණක් නොව තේ වගා කරන කුඩා තේ වතු හිමියන් තේ කම්හල් සේවකයින් ඇතුළු ලක්ෂ 25 කට පමණ පිරිසක් මේකෙන් පීඩාවට පත් වෙලා.

රජය මේ පිළිබඳව සලකා බලා සැමට සහන ලබාදීමට අපට කටු පොල් වගා කිරීමට උදව් දිය යුතුයි” සුනිල් මහතා ර‍ජයෙන් ඉල්ලීමක් කරයි.

අපේ රටේ තේ වගාව වර්තමානයේ වැටී ඇති තත්ත්වය පිළිබඳව අපට කරුණු දැක්වූ ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති රොෂාන් රාජදු‍රෙයි මහතා පැවසුවේ තේ කම්හල් බොහොමයක් දැන් පවත්වාගෙන යන්නේ ඉතා අපහසුවෙන් පාඩු පිට බවයි.

“අද වනවිට නිමි තේ කිලෝවක මිල රුපියල් 600 සිට 470 දක්වා පහළ බැහැලා. ඒ අනුව 2018 ට වඩා තේ මිල දැන් සියයට 25 ක් අඩුවෙලා. පසුගිය වසරේ මහා පරිමාණ තේ වතු වල සේවකයන්ගේ වැටුප සියයට 40 කින් වැඩි වුණා. ඒ නිසා වතු හිමියන්ට දැන් තම ව්‍යාපාර කරගෙන යන්න බැරිවෙලා. ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබෙනවා.

අද අපේ රටේ තේ වවන ප්‍රමාණයෙන් සියයට 75 ක් වවන්නේ කුඩා තේ වතු හිමියන්. ඒ අයටම අමු තේ දලුවලට ලැබෙන්නේ අඩු මුදලක්. ඒ අමු තේ දලු ගන්න සමහර කුඩා තේ කම්හල් වැහිලා. ඒ නිසා කුඩා තේ වතු හිමියන් අර්බුදයකට පත්වෙනවා.

අද අපේ තේ මිල වගේ ම ලැබෙන තේ අස්වැන්නත් අඩුවෙලා. නියඟය ඊට ප්‍රධාන හේතුවක්. කසළ තේ හා තේ වලට විවිධ තේ මිශ්‍ර කිරීමත් අපේ තේ කර්මාන්තයට ලොකු මරු පහරක්. අපේ තේවල කොලිටි එක නම් අඩු වෙලා නැහැ. අපේ තේ මිල ලෝක මිල අනුව තවමත් ඉහළින් තිබෙනවා.

රජය සංචාරක හා ප්‍රවාහන කටයුතුවලට දැන් විවිධ සහන දෙනවා. ඒ වගේ අපේ වැවිලි සමාගම්වලටත් කුඩා තේ වතු හිමියන්ටත් යම් යම් මූල්‍ය සහන දුන්නොත් මේ කඩා වැටෙමින් යන තේ කර්මාන්තය ඉක්මනින්ම නගා සිටුවන්න පුළුවන්” රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ‍යේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා මේ පිළිබඳව පවසන්නේ තේ කර්මාන්තය දියුණු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් එතෙර මෙතර සහාය ඇතිව ක්‍රියාවට නංවන බවයි.

තේ නැවත වගාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ 5කට අධික සහනාධාර දෙන බවත් පවසන ලේකම්වරයා තේ වගාව නැවත වගා කරන කාලයේ ගොවියන්ගේ ආදායම පවත්වාගෙන යාමට පාළු තේ සිටුවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

දැනට අපේ රටේ අමු තේ මිල අඩුවූ බව අපි පිළිගන්නවා. ඒකට ප්‍රධාන හේතු තේවල ප්‍රමිතිය අඩු වීමයි. තේ ගසට දමන පෝර බාලවීම පැරණි තේ වගාවල අස්වැන්න අඩුවීම හා කාලගුණ වෙනස්වීම් ආදිය නිසා මේ අමු දල්ලේ තත්ත්වය අඩුවී තිබෙනවා.

තේ කම්හල් වැඩිපුර වැහෙන්නේ ඒවා නවීන තාක්ෂණයට අනුව නවීකරණය කිරීමට අපහසු නිසයි. සමහර තේ කර්මාන්ත ශාලාවලින් තේ වලට විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කරනවා. ඒවා නැවැත්වීමට අපි පියවර ගන්නවා. කසළ තේ ගැටලුව විසඳීමටත් තේවලට විවිධ විවිධ දේ දමන වැරැදි කරන තේ කම්හල් අයිතිකරුවන්ට දඬුවම් දීමත් කරන්න සිදුවෙලා තිබෙනවා.

නැවත වගාවට තේ පැළ පොහොර ආදිය ලබා දෙනවා සහනාධාර ක්‍රමයකට. ඩොලර් මිලියන 65.5 ක අලුත් විදේශ ආධාර ව්‍යාපෘතියක් මඟින් දැන අපි තේ වගාව නැංවීමට කටයුතු කරමින් ඉන්නේ. දැන් අපිට පෙරටත් වඩා සවිමත් මුල්‍ය අනුග්‍රහයක් තිබෙනවා. ලේකම්වරයා කීය.

අපේ තේ කර්මාන්තයට අද බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන‍්නේ ජගත් සම්බාධක වගේ ජගත් මට්ටමේ ගැටලු නිසයි. නමුත් අපේ ඇමැති නවීන් දිසානාක මහතා මේ පිළිබඳව ජගත් මට්ටමෙන් සාකච්ඡා කරමින් ගැටලුවලට පිළියම් දෙන්න උත්සාහ කරනවා. ඊට අමතරව වැසෙන තේ කම්හල්වලට ආධාර දීම ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතියෙන් දැන් ක්‍රියාත්මක වෙන බවත් ලේකම්වරයා පවසයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී අපට කරුණු දැක්වූ තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පැවසුවේ තේ කර්මාන්තයේ ගැටලු අවම කිරීමට දැන් කටයුතු කරන බවයි. ඒ අනුව තේ මණ්ඩලය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියත් එක්ව තේ ගොවියනට හා තේ කම්හල් හිමියන්ට සහන සැලසීමට කටයුතු කරනවා.

අපේ රටේ දැන් තේ කම්හල් වැහෙන බව මාධ්‍යවල පළවෙනවා. ඒ තේ කම්හල් වැඩිපුර වැසී අත්තේ රජය නියම කරන මිලටත් වඩා වැඩියෙන් ගොවින්ට අමු තේ දලුවලට මුදල් ලබා දීම නිසයි. එවිට ඒ කම්හල් බංකොලොත් වී වසා දමන්න සිදුවෙනවා. ඒ අනුව තේ කම්හල්වල මූල්‍ය කළමනාකරණය අත්‍යවශ්‍ය දෙයක් බවද ජයන්ත මහතා කියයි.

මේ අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සංවර්ධන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තිලක් ප්‍රනාන්දු මහතා පැවසුවේ තේ නැවත වගාවට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5ක සහනාධාර දෙන බවයි. ඊට අමතරව අලුත් වගාවලට හෙක්ටයාරයකට ලක්ෂ 4ක්ද පාළු සිටුවීමට පැළයකට රුපියල් 100 ක්ද සහනාධාර ලබාදෙන බවද ඒ මහතා කියයි.

අවුරුද්දකට නැවත වගාව හෙක්ටයාර 800 ක් සිදු කරන බවත් පසු ඇගැයීම් නිරන්තරයෙන් සිදු කරන බවත් ඒ මහතා පැවසීය.

Comments