කුණු වෙන්න දැමූ මාතර මිනිස්සු රටට කියන කුණු කතාව | සිළුමිණ

කුණු වෙන්න දැමූ මාතර මිනිස්සු රටට කියන කුණු කතාව

දවස් 12ක් කුණු එකතු කරලා නෑ. නගරයම කුණු වෙලා

අවුරුදු එක හමාරක් කසළ අංගණය ගැන නඩුව ඇහෙද්දි කිසිම විකල්ප ක්‍රියාමාර්ගයක් අරන් නෑ

ජනතාව පීඩාවට පත් වුණේ බයෝ ගෑස් ගිවිසුම බොරුවක් නිසා

මාතර කුණුවෙමිනි. දරාගත නොහැකි දුඟඳ හාත්පස පැතිරෙමින් ඇත. විදී අසල ගොඩගැසී ඕජස් ගලන කුණු කඳු මත කපුටු සේනාවෝය. තැනක දඩාවතේ යන බල්ලන් කුණු වෙනුවෙන් පොරකමිනි. නිලමැස්සන් පොදිකමින් ඇති කුණු කඳු අතරින් එන සිහි සුන් කරන තරමේ දුගඳ මුසු වූ කරදිය කාරම සහිත සුළඟ හමා එයි. එම පීඩාව දරාගෙන වීදි අතර සැරිසරමින් සිටියෙමු. හිරු රැස් මාතර ගිනියම් කර ඇත. මිනිස්සු නැහැපුඩු වසාගෙන තැම්බෙන කුණු කඳු අසලින් දිව යති.

මේ ලියන මොහොත වන විට පුරා දින 9ක් මාතර නගරයේ කුණු එකතු කර නැත. මාතර නගර සභාව එම කටයුත්ත නවතා දමා තිබේ. මාතර කොටවිල කසළ අංගණයට කසළ බැහැර කිරීම මාස තුනක කාලයකට වළකාලමින් මාතර මහ නගර සභාවට එරෙහිව අධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව එසේ කසළ එකතු කිරීම නැවතී තිබේ.

මේ මොහොත වන විට මාතර නොසන්සුන්ය. කුණු කසළ එකතු නොකිරීම සම්බන්ධව ජනතා විරෝධය නාගරික පරිපාලනය වෙත එල්ල වෙමින් තිබේ. දිනපතා මාතර නගරයේ එකතු වෙන කුණු ප්‍රමාණය ටොන් 30කි. දින නවයට එකතු වී ඇති කුණු ප්‍රමාණය ටොන් දෙසීය පනහක් ඉක්මවයි. ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව පසුගිය 08 දා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අැමතූ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නියෝග කළේ මාතර මහජන පොළ වසා දමන ලෙසය. බදාදා සහ සිකුරාදා පොළ පැවැත්වූයේ නැත. මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේ ඩෙංගු අවදානම ඉහළ යා හැකි බවය.

ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බවත් ආණ්ඩුකාරවරයා කීවේය. රුහුණු විශ්වවිද්‍යාලයත්, පාසල් ගණනාවක දරුවනුත් මේ තත්වයෙන් පීඩා විඳින අයුරු වාර්තා වී ඇති බවත්, දරුවන්ගේ ජීවිත වැදගත් නිසා එවැනි තීන්දුවක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. එහෙත් සිකුරාදා වන තුරු මාතර පාසල් නොවැසී පැවැත්විණි.

මාතර නගර සභාව කසළ බැහැර කරමින් සිටි කොටවිල කසළ අංගණයට කසළ බැහැර කිරීමට එරෙහිව ලද පැමිණිලි ප්‍රකාරව මීට වසර එක හමාරකට පෙර කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයේ නඩු පවරා තිබිණු බවත් එහි තීන්දුව පසුගිය 27 වැනිදා ලබා දී ඇති බවත් කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා කීවේය. දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා කීවේ පුද්ගලයන් 25 දෙනෙකුගේ පීඩාවට විසඳුම් ලබා දීමට ක්‍රියා කළ පොලිසිය නිසා අද වන විට මාතර ලක්ෂ ගණනකගේ ජීවිත අනතුරකට ඇද වැටී ඇති බවය. මාතර දිස්ත්‍රික් කමිටුවේ සභාපති හා කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ කියා සිටියේ මෝසමක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කර ඉතා ඉක්මනින් මේ තත්ත්වයට විසැඳුමක් සොයාගත යුතු ආකාරය ගැනය. ඒ කෙසේ වෙතත් මේ ලියන මොහොත වන විට ගැටලුව එතැනමය. කාලයක් තිස්සේ වැඩී වර්ධනය වීමට ඉඩ හල ගැටලුව පිපිරී ගොස්ය.

ප්‍රශ්නයේ ඉතිහාසය

මහින්ද රාජපක්ෂ රජය මාතර නගරයේ පරිපාලනය ගමට ගෙන යෑමට යැයි පවසා දැයට කිරුළ සංවර්ධන වැඩසටහන සඳහා කොටවිල ලැබීම ප්‍රදේශය තෝරා ගත්තේය. ඊට සමගාමීව පරිපාලන ගොඩනැගිලි ලෙස උසාවි සංකීර්ණය, සුරාබදු දිස්ත්‍රික් කාර්යාලය කොටවිල පොලිසිය, මාතර නව මහ ‍රෝහල පිහිනුම් තටාංගණය ඇතුළු ක්‍රීඩාංගණය ඉදි කෙරිණි. ඊට යාබදව කොම්පෝස්ට් පොහොර නිපදවීම ඉලක්ක කරගත් කසළ අංගණයක් ඉදි විණි.

එහෙත් එම කුණු කොම්පෝස්ට් පොහොර නිපදවීමට යැයි පවසා රැගෙනවිත් අංගණයේ ගොඩ ගැසුවද පසුගිය රජය සමයේම එය ඇනහිටියේය. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය වසරකටත් අඩු කාලයකට සීමා විය. කොම්පෝස්ට් නිපදවන කාල සීමාවේ එම කුණු නිසා ප්‍රදේශවාසීන්ට දැඩි අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වූයේ නැත. කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටිය පසු මාතර නගර සභාව මධ්‍යම පරිසර අධිකාරිය හා මොරටුව විශ්වවිද්‍යාලය එක්තරා සමාගමක් හා එක්ව බයෝ ගෑස් නිපදවීමට ගිවිසුමක් අස්සන් කළේය. එහෙත් නිෂ්පාදනය වූ බයෝ ගෑස් එකක් නැත. මොහොතින් මොහොත එම කසළ අංගණයට එක් රැස් වන කුණු කන්දේ ඉහළ ගියේය.

මීතොටමුල්ලට නොදෙවැනිව ගොඩගැහුණු කඹුරුගමුව කොටවිල ලැබීම ප්‍රදේශයේ පිහිටි කුණු කන්ද නිසා එම ප්‍රදේශවල ජනතාව මහත් පීඩාවට පත් වූහ. මාතර මහ නගර සභා බල ප්‍රදේශයේ ඇති සියලුම කැළිකසළ දිනකට ටොන් තිස් පහක් හතළිහක් වැනි ප්‍රමාණයක් ට්‍රැක්ටර් හා ටිපර් හැත්තෑවක් පමණ යොදා රැගෙන විත් එම කුණු අංගණයේ තැන්පත් කෙරේ.

ඒ සමඟම කඹුරුගමුව, ලැබීම, කලටියාවල, සුල්තානාගොඩ වරකපිටිය, නිදංගල යන ගම්මාන හරහා මහා දුඟඳක් හමායන්නට විය. තමන්ට නිදහසේ හුස්ම ගන්නට ඇති අයිතිය ගැන පවසමින් ප්‍රදේශවාසීහු ඒ කුණු කන්දට එරෙහිව පුරා වසර පහක් තිස්සේ අරගල කළහ.

හොර ගිවිසුම

මොරටුව විශ්වවිද්‍යාලය එම කුණු කන්ද ආශ්‍රයෙන් බයෝගෑස් නිෂ්පාදනයට මැදිහත් වී තාක්ෂණය ලබා දෙන බවට ගිවිසුම් ගත වූවා යැයි කී පුවත අර්ධ සත්‍යයක් බව හෙළි විය. මේ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකු රැගෙන විත් බයෝ ගෑස් ව්‍යාපෘතියක් මවා ජනතාව මුළා කිරීමක් කර ඇති බවට තොරතුරු ලැබෙමින් තිබිණි. රුපියල් මිලියන හැට හයක ව්‍යාපෘතියක් ලෙස එම ගිවිසුම අස්සන් කළ ද මේ වන විට රුපියල් මිලියනයක් වත් වැය කර නැති බව වාර්තා විය. මේ වන විට ගිවිසුම් ගත පෞද්ගලික සමාගම ගිවිසුමෙන් කර ඇර ඇතැයි වාර්තා වේ. ඊට එරෙහිව කටයුතු කිරීමට තරම් මාතර නගර සභාවට හෝ මධ්‍යම පරිසර අධිකාරියට පෞරුෂයක් නැති බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

ප්‍රදේශයේ ළිංවල ජලය කළු පාට තාර බවට පත්ව ඇතැයි කොටවිල පොලිසියට පැමිණි මිනිස්සු කීහ. පොලිස් පැමිණිලිවලින් පසු මේ අශිෂ්ටත්වයට එරෙහිව මිනිස්සු විරෝධතා කිහිපයක්ම සිදු කළහ. එහෙත් එ මානුෂික ව්‍යසනයට මාතර මහනගර සභාව අල්ප වශයෙන් හෝ කන් දුන්නේ නැත. ඔවුහු කොටවිල ලැබීම ප්‍රදේශයට නොකඩවා කුණු ගොඩ ගසන්නට වූහ. ජීවිත නිස්කාංසුව මුළුමනින්ම බිඳී තිබිණි. ප්‍රදේශයේ හමා යන දැඩි දුගඳ නිසා ජනතාවට පිසගත් ආහාර අනුභවය පවා රුචි නොවීය. මැස්සන් හා මදුරුවන්ගේ පාරාදීසයක් වූ කොටවිල ලැබීම ප්‍රදේශයේ දරු පැටව් ජීවත් වූයේ මරණය දකිමිනි. මේ අපහසුතා මැද මේ පුංචි පැටවුන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමන්නිම පාහේ ඇනහිටියේය.

වැසි දිනවලට කුණු කන්ද සේදී පහත් බිම්වලට කුණු ජලය ගලාගෙන ආවේය. ඒ ජලය පෑගීම නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ කකුල් ඇඟිලි කරු කුණු වී තුවාල සිදු විය. ගොවිතැන ඇනහිටියේය. ගොවීන්ට කුඹුරුවලට බැසගන්නට හැකි වුණේ නැත. කළුපාට කිසිවක් සේදී කුඹුරුවල තැන්පත් වී ඇති බවත් මේ අපද්‍රව්‍ය මත ගොයම් වගාව සිදු කළ නොහැකි බවත් ගොවීහු රටට කීහ.

මේ අතර තවත් අශිෂ්ට වැඩක් සිදු විය. කුණු ට්‍රැක්ටර්වලට මුදල් දී මාතර නගරයේ සුනඛයන් කොටවිල ප්‍රදේශයට ගෙනත් දැමිණි. ඒ සුනඛ ගහනය මේ වන විට දහසක් පමණය. එම කුඩා ප්‍රදේශයේ සැරි සරන සුනඛයන් කුඩා දරුවන්ට නිදහසේ මහමඟට බැසීමටවත් ඉඩක් තැබුවේ නැත. සුනඛයන්ගේ බුරා හැලීම් නිසා කුණු ගඳ ඉවසාගෙන හෝ එම ප්‍රදේශවල ජනතාවට රාත්‍රිය නිදාගැනීම හැකියාවක් නැති විය.

මාතර වල්බල්ලොත් කොටවිලට

මාතර නගරයේ ආපන ශාලාවල මස්කටු ඉඳුල් බෑග් ආදිය සුනඛයන් විසින් ගම්මානයේ නිවාස අසලට රැගෙන එන අවස්ථා විය. ඒ සත්තු කුණු කන්ද ගෙවල් ගාවට ගෙනාවේය. සුනඛයන් විසින් ගවයන් හපා කෑම් බොහෝමයක් වාර්තා විය. ප්‍රදේශවාසීන් කීවේ මේ වන විට වසු පැටව් පනහකට (50) අධික සංඛ්‍යාවක් ගොවි ජනතාවට අහිමි වූ බවය.

අධිකරණයේ පිහිට පැතීම

එම තත්ත්වය හමුවේ දිනෙන් දින මහජනතාවගේ අඳෝනා ගලා එන්නට වූයේ ‍කොටවිල පොලිසියටය. කොටවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජානක තුෂාර කොරලේට ලැබෙන මහජන පැමිණිලි හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 98 වගන්තිය යටතේ මහජන පීඩා ලෙස එ පිළිබඳ මාතර නගර සභාවට එරෙහිව නඩු පැවරුවේය. පසුගිය 29 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව විභාග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තව දුරටත් එම ප්‍රදේශයේ කැළිකසළ නොදමන ලෙස අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවේය.

උසාවි නියෝගය ලිඛිතව මේ 03 වැනි දින මාතර නගර සභා කොමසාරිස්වරයාට ලැබිණි. නගර සභාව එදිනම සවස් යාමේ සිට කුණු කසළ කොටවිල කුණු අංගණයට බැහැර කිරීම වහා නතර කළේය.

දැන් තත්වය

දැන් දින 12කට අධික කාලයක් මාතර නගරයේ කුණු එකතු කර නැත. කුණු ටොන් දෙසිය පනහකට අධික ප්‍රමාණයක් නගරයේ ගොඩ ගැසී ඇත. එම කුණු තොග නරක් වී ප්‍රදේශය පුරාම දැඩි දුගඳකින් වෙළී ගොස්ය. මේ හේතුවෙන් මාතර නගරයේ දෛනික කටයුතු දැඩි ලෙස අකර්මණ්‍ය වී තිබේ. මාතර පොදු වෙළඳ පොළ මේ වන විට තහනම් කර තිබේ. මාතර මහ රෝහලේ අපද්‍රව්‍ය මෙන්ම මාතර නගරයේ ආපන ශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය නරක් වී නගරයම කුණු වෙමිනි. මාතර පාසල්වල ද කුණු ගොඩගැසී ඇත. මැසි මදුරු උවදුරුද මැද ඔවුන් සෞඛ්‍යමය වශයෙන් බරපතළ අර්බුදයකය.

එම තත්ත්වය පාලනය කිරීමට මාතර මහ නගර සභාවේ නගරාධිපතිවරයා අපොහොසත් වීම ගැන නාගරික මන්ත්‍රීවරු කනගාටුවෙනි. එම පාරිසරික ගැටලුව අධිකරණයේ වසර එකහමාරක් විභාග වෙමින් පැවතිය ද යම් හෙයකින් මෙවැනි තීන්දුව ලැබු‍ණහොත් ඊට මුහුණ දිය යුතු ආකාරය සහ තෝරාගත යුතු ප්‍රායෝගික විකල්ප කිසිවක් නගරාධිපතිවරයා සතු නොවුණු බව දැන් පැහැදිලි වී තිබේ.

මාතර ව්‍යාපාරික ප්‍රජාව අපේක්ෂා භංගත්වයෙනි. මාතර නගරය වසා පැතිරෙන දැඩි දුගඳ නිසා නගරයේ කිසිදු ආපනශාලාවකින් ආහාර ගැනීමට මහජනතාව ප්‍රිය නොකරන බව ආපනශාලා හිමියෝ කියති. මේ හේතුවෙන් මාතර ආපන ශාලාවල ආදායම සම්පූර්ණයෙන් බිඳ වැටී ඇත. පොළේ වෙළෙඳාම් කරන වෙළන්දාගේ සිට දැවැන්ත ව්‍යාපාරිකයන් දක්වා සියලු දෙනාම මේ බිඳවැටීමට ලක්වී සිටිති. මාතර වෙළෙඳ සංගමය කියන්නේ සමස්ත වෙළෙඳ ආර්ථිකයම බිඳ වැටී ඇති බවය.

“මොකක්ද මේ වෙන්නෙ... ලයිට් බිල ගෙවා ගන්නවත් ආදායමක් පහුගිය සතිය පුරා තිබුණෙ නෑ. තත්ත්වය මේක නම් මීට පස්සේ නගර සභාවට බදු ගෙවන්නෙ නෑ...” එසේ කියන්නේ ඒ අතර සිටින පීඩාවට පත් එක් ව්‍යාපාරිකයෙකි.

ඒ පිළිබඳ මාතර නගර සභාවේ කොමසාරිස් ඩබ්ලිව්. එච්.ඩී. ශාමලීගෙන් විමසුවෙමු.

“එම තත්ත්වය අපේ අඩුපාඩුවක් මත සිදුවූවක්. මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර එම තත්ත්වය විසඳාගන්නා තෙක් සහනයක් අපේක්ෂා කරනවා. පාසල්වල කුණු පාසල්වලම වළවල් හාරා වසා දමනවා. මාතර නගර සභාවේ සේවකයන් මේ වන විටත් ඒ කටයුතු සිදු කරනවා.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ කොම්පෝස්ට් අංගණයට මාතර නගර සභාවේ කුණු යම් ප්‍රමාණයක් දැමීමට සභාපති පුෂ්ප කුමාර බැටිටගේ මහතා අවසර දී ඇත. මේ වන විටත් කුණු ටොන් දහයකට අධික ප්‍රමාණයක් එහි රැගෙන ගොස් තිබේ. එහෙත් මේ කිසිවක් තිරසාර විසඳුම් නොවේ. මිනිස්සුන් කුණුවන්ට ඉඩදී බලා සිටීමටනම් බලධාරීන් අවශ්‍ය නැත. මාතර මිනිස්සු රටට කියන්නේ ඒ කතාවය. කොටවිල කසළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා විසැඳුමක් ලබා දී තිබියදී එම තත්වය ඇති වී තිබෙන බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මාතර කොටවිල කසළ අංගණය හේතුවෙන් තමන් පීඩාවට පත් වන බවට ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පැමිණිලි මහජන පීඩා යටතේ කොටවිල පොලිසිය මාතර අධිකරණයට කරුණු වාර්තා කර මාතර මහ නගර සභාවට එරෙහිව නඩුවක් පවරා තිබුණේ මීට වසර එක හමාරකට පමණ පෙරදීය.

එම නඩුවේ තීන්දුව ඉකුත් 27 වැනි දින ප්‍රකාශ කළ අතර මාස තුනක කාලයක් එම අංගණයට කසළ බැහැර කිරීම වළක්වමින් හා කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙස ඉන් නියෝග කර තිබිණි.

ඒ අනුව කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයක් නැතිකම නිසා මාතර මහ නගර සභාව ඉකුත් 04 වැනිදා සිට කසළ ඉවත් කිරීම නවතා දමා තිබේ.

අදහස්