උපාලි තෙන්නකෝන්ගේ ප්‍රහාරකයා අල්ලා දුන් ඇඟිල්ලේ සාක්ෂිය | සිළුමිණ

උපාලි තෙන්නකෝන්ගේ ප්‍රහාරකයා අල්ලා දුන් ඇඟිල්ලේ සාක්ෂිය

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම , රිවිර පුවත්පතේ ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී ඝාතනය කිරීමට තැත් කිරීම, ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් සහ මාධ්‍ය‍වේදී පෝද්දල ජයන්ත මහත්වරුන් පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කිරීමට තැත් කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඉකුත් ආණ්ඩුව සමයේදී ජනමාධ්‍යවේදීන්ට එල්ලවුණු බරපතළම ප්‍රහාරයන්ය. ඒ හැරුණුකොට සිරස සහ සියත මාධ්‍ය ආයතන ගිනිබත් වූයේද ලංකා ඊ නිවුස් වෙඩ් අඩවියට පහරදුන්නේද යාපනයේ පළ වන උදයන් පුවත්පතට 33 වතාවක් ප්‍රහාර එල්ල වූයේද එම වකවානුවේදීමය.

ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල වූයේ සැබෑ ලෙසම කාගේ උවමනාවටදැයි තවමත් ඇත්තේ අබිරහසකි . එම බිහිසුණු ප්‍රහාරයන්ට ඇඟිල්ල දිගු වී ඇත්තේ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. ඒ වෙන කිසිවක් නිසා නොව, එකී ප්‍රහාරයන්ට වගකිව යුතු බවට හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදාවේ බුද්ධි අංශයේ සාමාජිකයන් ඔහුගේ ඍජු නියෝග යටතේ ක්‍රියාත්මක වූ පිරිසක් වූ බැවිනි.

එසේ අත්අඩංගුවට ගෙන සිටින්නේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයටත්, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන මහත්වරුන්ට පහරදී ඝාතනය කිරීමට තැත් කිරීමටත් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමටත් සම්බන්ධ බවට විමර්ශනවලින් අනාවරණය වූ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකි.

එදා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයෙන් මෙරට සියලුම ජනමාධ්‍ය හෙල්ලී ගියේය. මරණ බිය මාධ්‍යවේදීන්ට තදින්ම දැනෙන්නට ගත්තේය. ලසන්ත වික්‍රමතුංග මහතාව මාරයා එසේ සොයා ආවේ ඔහු විසින් ආණ්ඩුවේ දූෂණ වංචා දිගින් දිගටම හෙළි කිරීම බව කොයි කවුරුත් දැන සිටියහ. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම ගැන දැඩි විවේචනාත්මක ලිපි පළ වන්නට විය. ලසන්ත ඝාතනයෙන් හරියටම ගෙවී ගියේ සති තුනක් පමණි. ලසන්තගේ ඝාතකයෝ උපාලි තෙන්නකෝන් මහතා ද හඹා ආවෝය.

එදා ජනවාරි 29 වැනිදාය. උදෑසනම සිය බිරිද ධම්මිකා සමඟ මෝටර් රථයේ නැඟුණු තෙන්නකෝන් මහතා පුංචිබොරැල්ලේ පිහිටි කාර්යාලය වෙත යෑමට සූදානමින් ගමන් ආරම්භ කළා පමණි. ඒ මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය පසුපසින් හඹා ආ යතුරුපැදි දෙකක් ඉඹුල්ගොඩදී මාර්ගය හරස් කර ගමන වළකාලනු ලැබීය. එම යතුරුපැදි දෙකේ සිව් දෙනෙකි. මුළුමනින්ම මුහුණු ආවරණය වන ලෙස හිස් වැසුම් පැලද සිටි ඔවුන් කළු පැහැති ජැකට් හැඳ සිටියේ හඳුනාගැනීමට නොහැකි වන ලෙසිනි. ඔවුන් කෙළින්ම ආවේ රියැදුරු අසුන දෙසටය. එහි සිටි උපාලි තෙන්නකොන් මහතාට පහරදෙන්නට ගත්තේ අමානුෂික ලෙසිනි. පහර දුන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාට පහරදුන් ආකාරයට මුහුණටමය.

එදා ඔවුන්ගේ ඉලක්කය වැරදී යන්නේ මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිටි උපාලි තෙන්නකෝන් මහතාගේ බිරිය තම සැමියාගේ ජීවිතය රැකගැනීමට ගත් උත්සහාය නිසාය. එහිදී ඇයටද තුවාල සිදු වූවත් සිය සැමියාගේ ජීවිතය රැකගන්නට ඇය සමත් වූවාය.

එම ප්‍රහාරයෙන් පසු වැඩි කලක් උපාලි තෙන්නකෝන් මහතා මෙරට රැඳී සිටියේ නැත. සිය ජීවිතාරක්ෂාව පතා ඇමරිකාවට හොර රහසේම යන්නේ සිය බිරියත් සමඟිනි. අදටත් ඒ මහතා සිටින්නේ ඇමරිකාවේය.

ද නේෂන් පුවත්පත රිවිර පවුලේම පුවත්පතකි. එහි ආරක්ෂක තොරතුරු වාර්තාකාරු මෙන්ම නියෝජ්‍ය කර්තෘවරයාව සිටි කීත් නොයාර් මහතාද ප්‍රහාරයකට ලක් වන්නේ ඊට මාස අටකට පෙරය. දෙහිවල පිහිටි නිවස ආසන්නයේදී පැහැරගත් ඔහු මල්වානේ පිහිටි ආරක්ෂක නිවසක රඳවාගෙන පහරදී තිබුණේ අමානුෂික ආකාරයකනටය. එදා කීත් නොයාර් මහතාගේ ජීවිතය රැකෙන්නේ රිවිර කළමනාකාරීත්වය සිය සගයා වෙනුවෙන් ගත් ආරක්ෂක පියවර හේතුවෙනි. ඒ අය අතර ලේක්හවුස් ආයතනයේ වත්මන් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාද සිටියේය.

කීත් නොයාර්ට පහරදීමෙන් හෝ ලසන්ත ඝාතනයෙන් හෝ උපාලි තෙන්නකෝන් ඝාතනයට තැත් කිරීමෙන් හෝ මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ පිපාසය සංසිදුණේ නැත. පොද්දල ජයන්ත මහතා ඇඹුල්දෙණියේදී පැහැරගනු ලැබීය. කකුල් අතපය කඩා දමා දෙතිස් වද බන්ධනයට ලක් කළේය. එදා පෝද්දල ජයන්ත මහතාගේ ජීවිතය බේරෙන්නේ පැහැරගත් මොහොත්ම ඒ ගැන මාධ්‍ය සගයන් දැනගැනීම නිසාය. එසේ නොවන්නට පෝද්දල ජයන්තට සිදු වන්නේද ප්‍රගීත් එක්නැලිගොඩට වූ දෙයමය.

2010 වසරේ ජනවාරි මාසයේදී පැහැර ගැනුණු ප්‍රගීත්ට සිදු වූයේ කුමක්දැයි අදටත් ඇත්තේ අබිරහසකි. විමර්ශකයන් නම් කියන්නේ ප්‍රගීත්ව ඝාතනය කර ඇති බවකි. එය එසේ වූවත් මෙතෙක් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සිරුර හෝ සිරුරේ කොටසක්වත් හමු වී නැත. ඒ තරමට සූක්ෂම ලෙස එදා සියල්ල සිදු විණි.

පසුගිය ආණ්ඩු සමයේදී බලධාරීන්ගේ දැනුවත්කම ඇතිව හෝ නැතිව මාධ්‍යවේදීන්ට වූ එකී අපරාධ ගැන නිසි විමර්ශනයක් සිදු වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟිනි. එය එක්තරා ආකාරයකට ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීමකි. මුලින්ම විමර්ශනයට ලක් වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් විසින් ඒ සඳහා පත් කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන ඒකකයේ ප්‍රධානී පොලිස් අධිකාරී බී.එස්.තිසේරා මහතාය. එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන් ද සිල්වා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවමින් පොලිස් අධිකාරී තිසේරා කරන ලද දීර්ඝ වූත් වෙහෙසකර වූත් විමර්ශනයක් අවසානයේදී එළියට එන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ වූවන් කොටු කරගැනීමට ඇවැසි විද්‍යාත්මක සාක්ෂියකි. ඒ ජංගම දුරකතන 05ක් ගැනය. එම ජංගම දුරකතන සාක්ෂිය ලසන්ත ඝාතකයන් නිශ්චිත ලෙස හඳුනාගැනීමට විමර්ශකයන්ට ලැබෙන්නේ මහත් පිටිවහලකි. මරදානේ පිහිටි ත්‍රිපෝලි කඳවුරේ බුද්ධි නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් වන්නේ ඒත් සමඟය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේදී පොලිස් අධිකාරී තිසේරා ඇතුළු නිලධාරීන්ට පෙනී යන්නේ උපාලි තෙන්නකොන් මහතාට පහරදීමට පෙර දිනවල එම ජංගම දුරකතන ඒ මහතා පදිංචි වී සිටින නිවස අවට භාවිතයේ තිබී ඇති බවය. එය හෙළි වන්නේ ජංගම දුරකතන ජාල පරීක්ෂාවකදීය. ඒ අනුව පැහැදිලි වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් උපාලි තෙන්නකෝන් මහතාට පහරදී ඝාතනය කිරීමට තැත් කිරීමත් එකම කණ්ඩායමක වැඩක් බවකි. ලසන්ත ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් උපාලි තෙන්නකොන් ඝාතන තැතේද සැකකරුවන් බවට පත් වන්නේ ඒ අනුවය.

එදා උපාලි තෙන්නකෝන් මහතාටත් ඔහුගේ බිරියටත් තමන්ට පහරදුන් අයගෙන් කිහිප දෙනෙකුගේ මුහුණු හොඳ හැටි මතකයේ ලියැවී තිබිණි. එම මුහුණු පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවමකටද එකල නඟා තිබිණි. ඒ නිසාම තීරණය වන්නේ ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගෙන උපාලි තෙන්නකොන් ඝාතනයේ සැකකරුවන් බවට පත් කළ මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත, ප්‍රේම් ආනන්ද උදුලාගම, එස්.ඒ.ප්‍රේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක, එම්.ආර්. නිශාන්ත කුමාර යන බුද්ධි අංශයේ සාමාජිකයන් හත් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නටය.

ඇමරිකාවේ සිටියත් එකී හඳුනාගැනීමේ පෙරට්ටුවට සහභාගි වීමට උපාලි තෙන්නකොන් මහතා සිය බිරිය ධම්මිකා මල්කාන්ති මහත්මිය සමඟ ආවේ යුක්තිය ඉටු වනු දැකීමට ඇති කැමැත්ත නිසාය. එම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වෙන්නේ 2016 වසරේ අගොස්තු 26 වැනිදා ගම්පහ අධිකරණයේදීය. එහිදී තමන්ට පහරදුන් අයගෙන් එක් අයෙකු ඔවුන් දෙදෙනාම හදුනාගන්නේ පැහැදිලිවමය. ඒ ප්‍රේම් ආනන්ද උදුලාගම නැමැත්තාය. 2002 වසරේදී මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිදු කළ වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබූ 09 දෙනා අතරද උදුලාගම සිටියේය. ඔහු සේවයේ නිරතව සිටියේ සන්නද්ධ බුද්ධි අංශයට අනුයුක්තවය.

ලසන්ත ඝාතනය, උපාලි තෙන්නකොන් ඝාතන තැත පමණක් නොව, ඒ පිරිස කීත් නොයාර් පැහැරගැනීමටද සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයෝ පැහැදිලිවම හඳුනා ගත්හ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ දින ඔහු ගමන් කළ මෝටර් රථයේ ඝාතකයන්ගේ බවට සැක කළ හැකි ඇඟිලි සටහන් දෙකක්ද තිබී ඇඟිලි සලකුණු විමර්ශකයෝ එදා සොයාගත්හ. උපාලි තෙන්නකෝන් මහතාගේ මෝටර් රථයේත් එදා සැකකටයුතු ඇඟිලි සටහනක් තිබිණි. ඒ කිසිදු ඇඟිලි සලකුණක් අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිතයන්ගේ ඇඟිලි සලකුණු සමඟ සැසදුණේ නැත. එබැවින් විමර්ශකයන් සැක කරන්නේ තවත් පිරිසක් එම ප්‍රහාරයන්ට සම්බන්ධ බවය. එය තහවුරු කරගැනීමට අදහස් කරන්නේ ත්‍රිපෝලි කඳවුරට අනුයුක්තව එකල සේවයේ නිරතව සිටි බුද්ධි අංශ සාමාජිකයන් සියලු දෙනාගේම ඇඟිලි සටහන් පරීක්ෂා කිරීමක් මඟිනි. බුද්ධි අංශ දඩයම් කිරීමට යන බවට හඬක් විපක්ෂයේ දේශපාලන වේදිකාවෙන් ඇසෙන්නේ ඒත් එක්කමය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අපවාද සහ අපහාස මැද බුද්ධි අංශයේ 285 දෙනෙකුගේම ඇඟිලි සටහන් වසරක් තිස්සේම ලබාගත්හ. එම ඇඟිලි සටහන් විමර්ශනයට ලක් වූයේ කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි ඇඟිලි සටහන් කාර්යාංශයේදීය. දීර්ඝ කාලයක් තිස්සේ එම ඇගිලි සටහන් විමර්ශනයට ලක් වූවත් ලසන්තගේ මෝටර් රථයේ තිබී සොයාගත් සැකකටයුතු ඇඟිලි සලකුණු සමඟ ඒ කිසිදු ඇඟිලි සටහනක් ගැළපුණේ නැත. උපාලිගේ වාහනයේ තිබී සොයාගත් ඇඟිලි සලකුණ බුද්ධි අංශ සාමාජිකයන්ගේ ඇඟිලි සලකුණ හා සැසඳේදැයි පරීක්ෂාවට ලක් වන්නේ අනතුරුවය.

එම සැකකටයුතු ඇඟිලි සටහනේ හිමිකරු හඳුනාගන්නට හැකි වන්නේ එවිටය. ඔහු රාජපක්ෂලාගේ ලලිත් රාජපක්ෂය. බලලත් නිලධාරියෙකු වන ඔහු ඒ වන විට සිටියේ හමුදා සේවයෙන් විශ්‍රාම ගොසිනි. 2014 වසරේදී සිට 2017 වසර දක්වා ඔහු ජර්මනියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක ලිපිකරුවෙකු ලෙසද සේවයේ නිරතවද සිටියෙකි. තානාපති සේවයට ඔහු එදා යොමු කර ඇත්තේද ඉහළ නියෝගයකිනි. 2018 වසරේ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව අඹු දරුවන් සමඟ ඔහු රැඳී සිටියේ හංවැල්ලේ පිහිටි නිවසේය.

උපාලි තෙන්නකොන් මහතා ඝාතන තැතේ සැඟවුණු චරිතයක් වන ලලිත් රාජපක්ෂ ඉකුත් 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේ එම නිවසේ සිටියදීය. බොරු කළ නොහැකි සාක්ෂියක් ද සහිතව අත්අඩංගුවට ගනු ලැබූ ලලිත් රාජපක්ෂ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවකි. කිසිවක් ඔහු නොදන්නේ නම් උපාලි තෙන්නකෝන් මහතාගේ මෝටර් රථයේ ඇඟිලි සලකුණ සටහන් වූයේ කෙසේදැයි විමසන විට ඔහු නිරුත්තරය. ලලිත් රාජපක්ෂට චෝදනා එල්ල වන්නේ උපාලි තෙන්නකෝන් ඝාතනයට තැත් කිරීම පමණක් නොව, කීත් නොයාර් පැහැර ගැනීමටද ඉදිරියේදී චෝදනා එල්ලවනු ඇත. ඒ කීත් නොයාර් පැහැර ගැනීමටද ලලිත් රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බව විශේෂිත වූ සාක්ෂියකින් හෙළි වී ඇති බැවිනි. එම සාක්ෂිය කුමක්දැයි ඉදිරි දිනක අධිකරණයේදීම හෙළි වනු ඇත.

අදහස්