‘ඔබ සඳක් වෙලා සිනාසෙන්න, | සිළුමිණ

‘ඔබ සඳක් වෙලා සිනාසෙන්න,

විරහව අහිංසකව විඳ දරාගන්නා පෙම්වතුන්-පෙම්වතියන්ගේ සිතුවිල්ල

පෙම්වතුන්ට දහසකුත් එකක් බලාපොරොත්තු ඇත. එකිනෙකා හමු වූ විට කතාබහ කරන විට ඔවුන් කතා කරන්නේ ඒ බලාපොරොත්තු ගැනය. දුර බැහැර සිටින පෙම්වතුන් මීට කලකට පෙර තම අදහස් හුවමාරු කර ගත්තේ ලියුම් ලිවීමෙනි. මා දන්නා කිහිප දෙනෙකුගේම යොවුන් වියේ හුවමාරු කරගත් ලිපි අදත් ඔවුන් සන්තකයේ ඇත. එය එක්තරා යුගයක් නියෝජනය කරන්නා සේය. රාජකාරි ලිපියක් හැරෙන්නට තැපෑල අතරමැදියෙකු කරගත් රස වෑහෙන පෙම් හසුන් හුවමාරු කර ගන්නෝ අද සමාජයේ නැති තරම්ය. කොහොම වුණත් අද නම් දකින්නට ඇත්තේ SMS ප්‍රේමයන්ය. දිනෙක SMS සේ ප්‍රේමයද Delete වන්නේ නොදැනුවත්වමය.

ආදරයට ආදරය කරන්නට කවුරුත් කැමැතිය. ඒ ආදරය සදා නොමියෙන්නේ නම් වඩා කැමතිය. නමුදු අරුමය නම් මේ සමාජ ක්‍රමය තුළ සදාකාලික වූ ප්‍රේමයන් සොයා ගැනීමය.

ආදරයේ බැඳී සිට වෙන් වූ දිනෙකත් ඒ ආදරය උපේක්ෂාවෙන් විඳ දරාගන්නට හැකියාව ඇත්තන් සිටින්නේ අතළොස්සකි. ප්‍රේමය නිසා ගෙවීගිය අතීතයේ, වර්තමානයේ මෙන්ම අනාගතයේදි සිදු විය හැකි ව්‍යසනයන් නවතාලිය හැකි ක්‍රමයක් නැති තරම්ය. ප්‍රේමයෙන් බිඳවැටෙන හිත් සනසා ගැනීමට, දරාගැනීමට පුද්ගලයා තුළ යම් සංයමයක් තිබිය යුතුය. මේ සංයමය ඇති කරන්නේ පවුලෙනි, පාසලෙනි, අප සිටිනා සමාජයෙනි. ප්‍රේමය බිඳී ගිය විට හදට දැනෙන්නේ අප්‍රමාණ වූ වේදනාවකි. විටෙක මුළු ජීවිතයම කඩා වැටුණා සේ දැනේ. යළිත් ගොඩනැගෙන්නට බැහැ. කෙනෙකු එසේ තැවෙනු දැක ඇත. ‘එයා මාව දාලා ගියා. ඒත් මගෙ හිතේ වෛරයක් නැහැ. මම හැම විටම ප්‍රාර්ථනා කරන්නේ එයාගේ සතුට.‘

කෙනෙක් එලෙසින් පවසන විට තවත් කෙනෙකු බිඳුණු ප්‍රේමය දෙස බලන්නේ වෛරයෙන්. ද්වේෂයෙන්. සැබෑ ප්‍රේමයක් තිබණේ නම් දෙදෙනෙක් අතර එලෙස වෛරයෙන් බැලිය හැකි ද ඈ දෙස. ඔහු දෙස. අපට එසේ සිතේ. නමුත් පැරදුණු ප්‍රේමයේ පළිය ගන්නට දිවිතොර කරගත් අවස්ථා මෙන්ම අනෙකාගේ දිවියෙන් පළිගත් අවස්ථා ද අපට මේ සමාජයේදි අනන්තවත් හමු වේ.

ආදරය සුන්දරය. එය පරිත්‍යාගයක් වූ තරමට තව තවත් සුන්දරය. ප්‍රේමය බිඳී ගියදා ද අනෙකා දෙස ආදරයෙන් දයාවෙන් උපේක්ෂාවෙන් බලන්නට හැකි නම් එය අගනේය. අතරින් පතර දුරාවාරයෙන් අපට එවැනි පෙම්වතුන් හමුවේ. තමන් අතහැර ගිය පෙම්වතියගේ සිනහවට පෙම් කරන, තමන්ට නොලැබුණ ද දුරින් හිඳ හෝ ඇයගේ සතුට ප්‍රාර්ථනා කරන බෝසත් පෙම්වතුන් පෙම්වතියන් මේ සමාජයේදි හමු නොවෙනවාම නොවේ. මේ එවන් හැගීම් සමුදායක් කැටි කරගත් නිර්මාණකාරියකගේ පද පෙළකි. ප්‍රතිභාපූර්ණ යොවුන් ගායන ශිල්පි හර්ෂණ දිසානායකගේ හඬින් ගැයෙන ගීතය සංගීතවත් කරන්නේ ද අද අපට සිටින අපූරු තනු නිර්මාණ ශිල්පියෙක් වන විශාරද දර්ශන වික්‍රමතුංගයන්ය.

ගී පද රචිකා වෛද්‍ය කුමුදිනී වේලාරත්න සිය පද බැඳුම ගැන මෙසේ කියන්නීය.

“අද සමාජයේ සිටින, ඇතැම් විට අසන්නට දකින්නට ලැබෙන ඛේද ජනක සිදුවීම් නිසා මගේ හිතේ මතුවන සිතු විලි තමයි මේ ලිව්වේ. අපේ තරුණ කාලේ අපි ආදරේ දැක්කේ බොහෝම සුන්දර විදිහට. අප අතර අපේ යහළු යෙහෙළියන් අතර තිබුණ ආදර බැඳිම් බිඳිලා ගියත් ඒ අය එකිනෙකාගෙන් පළිගන්නවා අපි දුටුවේ නැහැ. මේ ගොල්ලෝ බොහෝම ඉවසීමෙන් සියල්ල දරා ගත්තා. එදා සමාජයත් අද සමාජයත් දැකීමෙන් ඇති වුණ වෙනස නිසා ආදරය බිඳී ගිය පසු එය දරා ගන්නා ආකාරයයි මට ලියන්න ඕන වුණේ. ඇය වෙනතක ගියත් ඒ ආදරය සෙනෙහස බැල්මට ඔහු තවම පෙම් කරනවා. හරියට ඇය දුර සිටින සඳක් වගෙයි. ඒ සඳේ ආලෝකය ලෝකයටම ලැබෙනවා. ඒ ලැබෙන විට මටත් ආලෝකයෙන් බිඳක් හෝ ලැබේවා. ඔහුගේ අහිංසක ප්‍රාර්ථනාවයි ඒ. විරහව බොහෝම අහිංසකව විද දරා ගන්නා පෙම්වතුන් පෙම්වතියන්ගේ හිත උපන් සිතුවිලි තමයි මගෙ අතින් ලියැවුණේ. දර්ශනගේ සංගීතයත්, හර්ෂණගේ තාරුණ්‍යයේ හඬත් මා ලියු පද පෙළට වඩාත් අර්ථයක් ගෙනාවා කියලා මම විශ්වාස කරනවා.”

ඔබ සඳක් වෙලා සිනාසෙන්න

සඳ එළියෙන් මුළු ලෝකය එළිය වුණාවේ

මටත් රැයක මඟ කියන්න

එළිය බින්දුවක් ලැබුණාවේ....

ඔබ මලක් වෙලා පිපී ඉන්න

සුවඳ දැනී සමනල් කැල රොද බැඳුණාවේ

දුරින් ඉඳන් විඳ ගන්නට

සුවඳ පොදක් ළඟ රැඳුණාවේ...

ඔබ විලක් වෙලා පිරී යන්න

සිහිල සොයන සැම දනහට සුව සැදුණාවේ

පවස නිවා සනහන්නට

එක බිඳුවක් ඉතිරි වුණාවේ....

ඔබ ගසක් වෙලා සෙවණ දෙන්න

සෙවණට එන කාගේ හෝ ගිම් නිවුණාවේ

තනි මඟ යන යම් දවසක

මා හිසටත් සෙවණ වුණාවේ...

ගායනය - හර්ෂණ දිසානායක

පදරචනය - කුමුදිනී වේලාරත්න.

සංගීතය - දර්ශන වික්‍රමතුංග

 

අදහස්