සියොත්මඟ ටෙහෙරානයේ මරණය | සිළුමිණ

සියොත්මඟ ටෙහෙරානයේ මරණය

ඉතාම ධනවත්, ඒ ධනවන්තබව නිසාම ඉතාම බලවත් වූ එක් පර්සියානු ජාතිකයෙක් සිය උයනේ සක්මන් කරමින් සිටියේය. ඔහු සිය උයනේ සිරි නරඹමින් විවේකී සුවයෙන් සිටින කල, ඔහු සමඟ සිටි සේවකයකු ඔහු සමීපයට වේගයෙන් දුව ආවේ, මහත් උපකාරයක් බලාපොරොත්තුවෙනි.

“මේ දැන් මට මරුවා හමු වුණා. මට කොහෙත්ම මැරෙන්න වුවමනාවක් නෑ. මට ටෙහෙරානයට යන්න ඕනේ. මේ දැන් යන්න ඕනේ. ඔබතුමාගේ ජවසම්පන්නම අශ්වයා මට දෙන්න.”

පොහොසතකු වුවත් කරුණාවන්තකමෙන් සිත් පිරුණු පර්සියානු ජාතිකයා තමන් සතු ජවසම්පන්නම අශ්වයා සිය සේවකයාට දුන්නේය. සේවකයා ටෙහෙරානය බලා උපරිම වේගයෙන් අසු පැදෙව්වේය. උයනේ සිට ආපසු එන ගමනේදී, පර්සියානු ජාතිකයාට මරුවා මුණ ගැසුණේය.

“ඇයි ඔබ මගේ සේවකයාට තර්ජනය කරලා බය කළේ?” ඔහු මරුවාගෙන් ඇසුවේය.

“මම ඔහුට තර්ජනය කළේ නෑ. මම අද රෑ ඔහුව ටෙහෙරානයේදී හමුවෙන්නයි හිටියේ. ඉතිං, මෙපමණ වෙලා මෙහි කුමක් කරනවාද කියලයි මම ඔහුගෙන් ඇසුවේ.” යැයි මරුවා කීය.

“ටෙහෙරානයේ මරණය” පිළිබඳ මට කියවන්නට ලැබුණේ, සුප්‍රසිද්ධ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙන වික්ටර් ෆ්රෑන්කල්ගේ ස්වයං අපදාන කෘතියෙනි. (මිනිස් දිවියේ අරුත සොයා - පරිවර්තනය - ලීලානන්ද ගමාච්චි) දෙවැනි ලෝක මහා යුද්ධයේදී නාසි වද කඳවුරක ජීවිතය ගෙවන්නට වූ ෆ්රෑන්කල් සිය ජීවිත කතාව ලියා තැබුවද, සිරකඳවුරුවල වූ අතිභයානක, අතිශය දුක්බර දේ ඔහු එම කෘතියේ නොලියුව්වේය. නමුත් ඔහු ලියූ වාක්‍යයක් පාසා ජීවිත ගොඩනගන්නට මෙන්ම ජීවිතය පිළිබඳ යළි යළිත් මෙනෙහි කරන්නට අප යොමු කරන බව කිව යුතුය.

ටෙහෙරානයේ මරණය නම් වූ කතාන්දරය ෆ්රෑන්කල්ට වරින් වර සිහිවන්නේ මරණයට ගොදුරුවෙන එමෙන්ම මරණයෙන් පුදුමාකාර ලෙස බේරී යෑමට හැකි වෙන තමන් හා තම සඟයන්ගේ අත්දැකීම් අනුවය. මරණය තමා කරා ආ පසු කොහේ සිටියත් තමා මරණයට ගොදුරුවෙන බව ෆ්රෑන්කල් මේ කතාව මඟින් අපට පසක් කර දෙන්නේය. වර්තමානයේ අප බොහෝ දෙනා ජීවත්වන්නේ නොමැරෙන මිනිසුන් ලෙසය. තරගකාරිත්වයේ උච්චතම අවධියකට අපි අවතීර්ණ වී සිටිමු. මාවතක ගමන්ගත්තද, කාර්යාලයක සේවයට පැමිණියද, පාසලකට ඉගෙනුමට ගියද, කොතැනකටද ගියද දකින්නට ඇත්තේ තරගයකි. එකී තරගය වෙනුවෙන් තමන් කරන කියන දෑ, තවත් මිනිසකුට හෝ මිනිස් කණ්ඩායමකට හෝ ඇති කරන පීඩා පිළිබඳ තැකීමක් ඇතැම් මිනිසුන්ට නැත්තා සේය.

දුම්රිය වර්ජනයක් පැවති දිනෙක මම මීගමුවෙන් කොළඹ බලා ඒමට බස් නැවතුම්පොළේ දිගු පෝලිමේ රැඳී සිටියෙමි. කොළඹ අධිවේගී බස් රථවලට පෝලිම් දෙකක් විය. එක් පෝලිමක් සම්පූර්ණ අසුන්වලටය. අනෙක් පෝලිම අකුලන අසුන්(jumping seat)වලටය. එවැනි අකුලන අසුන් පෝලිම් මින් පෙර කිසිදිනෙක නොදුටුවෙමි. (අධිවේගී බස් රථවල මැද ඇත්තේ අකුලන අසුන්ය. ඒවායේ හිඳ ගැනීමට බොහෝ මගීහු අකැමැතිය. එය ප්‍රමාණයෙන් කුඩා, හිඳ ගැනීමට අපහසු අසුන්ය) සම්පූර්ණ අසුන් පෝලිමේ සෑහෙන වේලාවක් රැඳී සිටි පසුවය කෙටි පෝලිමක් වූ අකුලන අසුන් පෝලිම දුටුවේ. අකුලන අසුන් ඇත්තේ පහක් හයකි. එබැවින් අකුලන අසුන් පෝලිමට පෙර සම්පූර්ණ අසුන් පෝලිමේ සිට බස්රථයට නැග ගැනීමට හැකි බව මට පසක් විය.

එහෙත් එදෙස බලා සිටි මට පෙනුණේ අකුලන අසුන් පෝලිම වේගවත් බවය. මා සිතුවේ සම්පූර්ණ අසුන් පෝලිමේ හදිසියක් නැති මගීන්, අසුන් තෝරමින් තවත් කල් මරමින් සිටින බැවින් අකුලන අසුන් පෝලිමේ මගීන් ඉක්මන් වෙනු ඇති බවකි. එහෙත් අකුලන අසුන් පෝලිම, සිටගෙන යන පෝලිම බවට හැරී ඇති බව දැනුණේ බස් රථයේ අසුන්ගත් පසුවය. පිටුපසම තිබූ අකුලන අසුන් දිග හැරුණේ මගීන් දෙදෙනෙකුට පමණි. තවත් හතර දෙනකුට පමණ ඉදිරි අකුලන අසුන් ඉතිරිව තිබුණද ඒවා දිග නොහැරී තිබුණේ සිටගෙන යන මගීන් පහළොවකට පමණ සිටගෙන යෑමටය. මගීන්ට තිබුණ හදිසිය නිසා බස් රථයට නැගුණද, ඔවුන්ට කිටිකිටියේ තදවෙමින් කොළඹ තෙක් ඒමට සිදුවෙතැයි සිතන්නට නැති වගට සාක්ෂි වූයේ මිමිනුම් ලෙස ඇසුණු මැසිවිලි සහ ඇකිළුණු මුහුණුය. එහෙත් ඉක්මණින් කොළඹ ඒමේ වුවමනාව සහ සිය කැමැත්තෙන් සිටගෙන යෑමට බස් රථයට ගොඩ වූ නිසා ඔවුන් සිය අමනාපය ශබ්ද නගා ප්‍රකාශ නොකළහ.

දුම්රිය සේවකයන් සිය වැටුප ඉහළ දමා ගැනීම පිළිබඳ ආණ්ඩුව සමඟ තරගයකට අවතීර්ණ වී සිටි අතර, බොර දියේ මාළු බෑමේ තරගයට අවතීර්ණ වී සිටියේ පෞද්ගලික බස් රථය. මෙලෙස අනියමින් සොයන මුදල් සිය හාම්පුතුන්ට ලබාදෙනවාද නැද්ද යන්න මම නොදනිමි. කෙසේ වුවද බස් රථයෙන් බසින විට කොන්දොස්තර මහතා කියූ යමක් මා සවන් වැකිණි.

“ලංකාවේ ගුණධර්ම කියන ඒවා දවසින් දවස නැතිවෙලා යනවා. අපි ළඟ තියෙන ගුණධර්මත් එහෙමයි. ඒවත් ටිකෙන් ටික නැති වෙලා යනවා.” කලකිරුණු, විඩාබර මුහුණින් යුතුව ඔහු කීය.

තෙරෙපෙමින් ආ මගියකු සමහර විට ඔහුට මැසිවිල්ලක් කියාගෙන බැස යන්නට ඇත‍. හදිසිය නිසා සිටගෙන පැමිණියද මුළු මුදලම ගෙවන්නට වූ නිසා මගීන්ගේ සිතේ කේන්තියක් ඇතිවෙන්නටද ඇත. කෙසේ වුවද, දුම්රිය සේවකයාගේ වැඩ වර්ජනය මෙන්ම පෞද්ගලික බස් රථ සේවකයන්ගේ ගසා කෑම පිළිබඳ සිතන විට මේ දෙපිරිසම සමාන බවකි මට හැඟුණේ. එක් පැත්තකින් අසරණ වෙන මගියා තවත් පැත්තකින් අසරණ නොකර තැබීමට පෞද්ගලික බස්රථ සේවකයාට හැකියාව නොතිබුණේ මුදල් ඉපැයීමේ තරගය නිසාය.

වර්තමානයේ අප සියලු දෙනාගේ සිත් පීඩනයෙන් දැවෙන බවට සාක්ෂි ඕනෑ තරම්ය. සිය මල්ල වැටුපෙන් හා වරප්‍රසාදයෙන් පුරවා ගැනීම උදෙසා අනෙකා පීඩනයට පත්කරමින් තමන්ද පීඩනයට පත්වෙමින් සිටින මිනිසුන් වැඩි බව මුසාවක් නොවේ. අනෙකා පීඩනයට පත්කරමින් මුදල් ඉපැයීමේ මහා තරගයක යෙදී සිටින අපි ඉඳහිට හෝ ටෙහෙරානයේ මරණය නම් වූ කතාන්දරය කියවන්නේ නම් මැනවි.

ජීවත්වීමට මුදල් ඉපැයිය යුතුය. ප්‍රීතිමත්, සැපපහසු ජීවිතයක් ගතකිරීමේ වරදක් නැත. එහෙත් ඒ අනෙකා පීඩාවට සහ දුකට පත්කරමින් නම්, ටෙහෙරානයේ මරණය ගැන සිතුවාට කම් නැත. මන්ද එවිට හෝ අප අතින් අනෙකා පීඩාවට පත්වෙන ප්‍රමාණය අවම වෙනු ඇත. තරගය නිසාම අපද පීඩාවට පත්වෙන ප්‍රමාණය අවම වෙනු ඇත.

Comments