ගීතය ඔසුවක් වාගේ | Page 2 | සිළුමිණ

ගීතය ඔසුවක් වාගේ

අපි ජීවත් වෙන්නෙ දහසක් ප්‍රශ්න හිස මත තබාගෙන. මේ කාලේ නම් බියෙන් - භීතියෙන් වාගේ. ජීවත් වෙන්න ආර්ථිකය හා ලොකු සටනක් කරන්න වෙලා. සතුට සැනසීම කියන දේ අද ලොකු දුරක ගිහිල්ලා. එහෙමයි කියලා ජීවිතය කඳුළට ම සින්න කරන්න පුළුවන්ද? දුක් - කරදර - ප්‍රශ්න එන්නෙ මිනිසුන් වූ අපිටමයි. ලෝකේ දියුණු රටවල මිනිසුන් සතුටින් ජීවත් වීමේ ක්‍රමයක් නිරන්තරයෙන්ම වාගේ සොයනවා. මෙහෙම සොයාගෙන යද්දී තමා සතුටින් ජීවිතය විඳින්න සංගීතය මහෝපකාරී වන බව සොයාගෙන තිබෙන්නේ. සිතේ අසීමිත දුක් වේදනා ඇති මිනිසුන් මියුරු ගීත ඇසීම තුළින් සිතට සතුටක් සැනසීමක් ලබාගෙන ඇති බව පැවසෙනවා. ඔව්.. ඒක ඇත්ත... බුද්ධිමතුන් බොහෝ පිරිසක් පවසන්නේ ගීතයට ළංවූ ජීවිතය රස ගඟුලක් වගේ කියලා. ගීතය විඳින මිනිසුන් හරිම සංවේදී... ආදරය පිරුණු හිත් ඇති අය කියලා පැවසෙනවා. එහෙම අය තවත් කෙනෙකුට කරදරයක් කරන්නෙ නෑ. වෛරය... ක්‍රෝධය... ඒ අයගේ හිත්වල නෑ. බොහෝ දේ සම සිතින් මේ අයට දරාගන්න පුළුවන්ලු. කෙනෙකුගේ දියුණුවක් මිස පරාජයක් මේ අය බලාපොරොත්තු වන්නේ නෑ. ඒ වාගේම හදවතින්ම ඕනෑම කෙනෙකුට උදව්වක් කරන්න මිස කේලම් කියමින් කෙනෙකුව නැති කරලා දාන්න මේ අය බලන්නේ නෑ.

අනිත් දේ නම් රෝගීන් සුවපත් කිරීමේ මහා බලය ගීතයට තිබෙනවා. එය වෛද්‍යවරුන් පවා පවසන කරුණක්. ඇතැම් අසාධ්‍ය රෝගීන් ඉන්න වාට්ටුවල ළයාන්විත සංගීතය රෝගීන්ට ඇහෙන්න දාලා තිබෙන්නෙත් මේ හින්දාමයි. මේ නිසා සමහරු මරණින් බේරුණු බවත්... දීර්ඝායු විඳින්න ලැබූ බවත් පැවසෙනවා.

ඉතිං ඔබත් දහසක් වැඩ අතර හදවතට දැනෙන... හදවත ප්‍රිය කරන ගීතයට ඉඩදීලා බලන්න. දවස පුරා විඳවන ජීවිතයට ගීතය ළං කරන් බලන්න. ඔබටම වෙනස තේරේවි. ගීතය හා දැහැන්ගත වුණහම මේ ජීවිතේ විඳින වේදනා ඉබේම පහව යාවි. ඔබ ප්‍රියජනක කෙනෙක් වේවි. ප්‍රශ්න නැති කෙනෙක් වේවි. ඇත්තට ම ඔබ සතුටින් ජීවත්වෙන... යහගුණ පිරි අපූරු මිනිසෙකු වේවි.

Comments