පොහොට්ටු ප්‍රබලයන්ගෙන් මහින්දට බැසිල්ට බලපෑම් | Page 2 | සිළුමිණ

පොහොට්ටු ප්‍රබලයන්ගෙන් මහින්දට බැසිල්ට බලපෑම්

පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ පවතින අවිනිශ්චිතතා ඉවත් කර, ඒ පිළිබඳ ස්ථිරසාර තීරණයකට එළඹෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවේ ‍බලපෑම් කරන බව ඒ පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සිළුමිණට අනාවරණය කළේය.

පසුගිය 9 විපක්ෂ නායක නිල නිවෙසේ පැවැති මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමෙන් අනතුරුව මේ තත්ත්වය උද්ගත වී ඇති බවත්, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එහිදීද නිශ්චිත තීරණයකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් මෙසේ මන්ත්‍රී කණඩායම් තමන් කැමැති ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් වැඩි අවධානයක් පෙන්වා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවේ කරුණු දක්වන බවත් මේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රී පිරිසක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ යුතු බව පෙන්වා දී ඇති අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරියේදී මුහුණ දීමට සිදු වන අධිකරණ ක්‍රියාදාම පිළිබඳ යම් අවිනිශ්චිතතාවක් පළ කර තිබේ.

නිසි ලෙස මේ අධිකරණ ක්‍රියාමාර්ග දියත් වුව හොත් ඔහුට ජනාධිපති අපෙක්ෂකත්වය කෙරෙහි වාසි සහගත අයුරින් බලපාන ලෙස කටයුතු යෙදෙනු ඇතැයි ඔවුන්ගේ මතය වී තිබේ. කෙසේ වුවද ඔවුන් ජනාධිපති අපෙක්ෂකයා නම් කිරීමේ තීරණය මහින්ද රාජපක්ෂ මහතාට භාර කොට ඇත.

මේ විශේෂ රැස්වීමේදී ලබන මස අගෝස්තු 11 වැනිදා වන විට පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පොදුජන පෙරමුණ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ව සන්ධානගත වීමක් පිළිබඳද සාකච්ඡා වී ඇත.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් පිළිබඳව කතාබහ වුණද මේ රැස්වීමෙන් අනතුරුව ඒකාබාද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ නමද ජනාධිපති අපෙක්ෂකත්වයට යෝජනා කොට ඇති බව මේ ආරංචි මාර්ගවල දැක්වේ.

Comments