ජනපති නිල නිවෙසේ රත්රන් පිස්තෝලයක්! | සිළුමිණ

ජනපති නිල නිවෙසේ රත්රන් පිස්තෝලයක්!

සම්පූර්ණයෙන්ම රනින් නිමවූ පිස්තෝලයක් ජනපති නිල නිවෙසේ ඇති බව ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් සිළුමිණට ප්‍රකාශ කළේය. ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ පවතින මේ රනින් නිමැවූ පිස්තෝලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ත්‍යාගයක් වශයෙන් ලැබී ඇත්තේ පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයා වෙතින් යැයි පැවසේ. මීට අමතරව ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායක-නායිකාවන් රැසක් විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති ඉතා වටිනා විවිධාකාර භාණ්ඩ රැසක්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා භාරයේ මේ වන විටත් පවතී.

වාර්තා වන අන්දමට රන් පිස්තෝලය ඇතුළු මේ සියලු ත්‍යාග භාණ්ඩ කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පැවසෙන අතර, සියලු භාණ්ඩ පොලොන්නරුවේ පසුගියදා විවෘත කළ තාක්ෂණ කෞතුකාගාරයේ විශේෂ අංශයක තැන්පත් කිරීමට නියමිතය. මේ භාණ්ඩ අතර ජනාධිපතිවරයාගේ පෞද්ගලික පුස්තකාලයට අයත් දහස් ගණනක් වූ වටිනා ග්‍රන්ථ සම්භාරයක්ද ඇතුළත් බව ඒ නිලධාරියා තවදුරටත් ප්‍රකාශ කළේය.

Comments