“මී රස පෙරූ මීමන...” | සිළුමිණ

“මී රස පෙරූ මීමන...”

“ආ! උඹ ආපු එක හොඳයි. අපේ පොඩි සම්ප්‍රදායක් තියෙනව අලුතෙන් කෙනෙක් ආපුවාම අපට බීරත් - බතුත් අරන් දෙන්න ඕන. ඒ මොකද දන්නවද? අදින් පස්සෙ උඹ ආශ්‍රය කරන්නෙ ලංකාවෙ ඉන්න ලොකුම පණ්ඩිත‍යන් දෙතුන් දෙනායි. එයිනුත් මා ගැන විශේෂයෙන් දැන ගනින්! උඹ කවදහරි මා ගැන ලියන්නෙ ලංකාවෙ ශේක්ස්පියර් හැටියටයි! උඹට කලින් මා මලොත් එහෙම ලියාපන්! මම ශේක්ස්පියර්ට හැම අතින් ම සමානයි.

ශේක්ස්පියර් බැන්දෙ ආලෙට. මාත් බැන්දෙ ආලෙට” ශේක්ස්පියර්ගෙ බිරියගේ නම “ඈන් හැකවේ” මගේ බිරියගේ නම “ඇඩ්ලින් හතමුනේ” කොයි තරම් සමානද?

සිය කතු මඬුල්ලේ ඩී.එම්. අභයසිංහ අමතා කිව් වදන් වලින් මීමන කොතරම් විනෝදකාමී රසවතෙක් දැයි අපට සිතා ගත හැකිය.

“එළියෙන් - විරිතින් - රසයෙන් අරුතින්

පිරිපුන් කවි ලියැවිණි! ඔහු සුරතින්!

සලකන්නෙමි! කවියෙකැ හේ උපතින්

එහෙයින් දුක්වෙමි! ඔහුගේ විපතින්!

යම් හෙයකින් ඔහුගේ මන වී සේ

විණි නම් එහෙයින් මීමන වූ සේ

සලකව් ඔහුගේ පැදියෙන් බෝසේ

සිරිඟර මී බිඳු නිතොරම වෑසේ!

මීමන කවියා මිය ගියදා සරත්චන්ද්‍ර සුබසිංහ කිවිඳු ‍එසේ ලීවේය.

මීමන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රසවතෙක් විය. ස්වාභාවික සෞන්දර්යයට බෙහෙවින් ඇලුම් කළ ඔහු සොබාදහම ගැන ලියූ කාව්‍ය රචනා පාඨකයන් අතර ඉතා ජනප්‍රිය විය.

1943 වර්ෂයේ “නිල්දියේ නළඟන” නමින් මීමන ලියූ ඔහුගේ දෙවැනි කාව්‍යය කැකුළු කෝරලයේ වනගතව පිහිටි “මියුණු ඇල්ල” ගැන ලියූවකි. ඒ පද්‍ය රචනය අප ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ රසවිඳි අයුරු මට තවමත් මතකය.

පැදියට මෙන් ම ගැදියට ද මීමන තුළ තිබුණේ එකසේ දස්කමකි. උපමා යොදා ලිවීමට හේ අති සමතෙක් විණි.

මීමන සුරත, පෑන වේගවත් විණි; එඩිතර විණි; නොවක් විණි; පහර දිය යුතු තැනට හේ, නොබියව පහර දුන්නේ ය.

කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් ලද ඉගෙනුමත් - හොරණ විද්‍යාරත්න පිරිවෙනින් ලද අධ්‍යාපනයත් ඇතිව ලේක්හවුස් මන්දිරයෙන් පත්‍ර කලාවට එළැඹෙන විට ඔහු දසඅට වියවත් සපිරී නැති ගැටවරයෙක් විය.

ඔහු සම්මුඛ පරීක්ෂණයට භාජන කළේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාම ය. ඒ 1936 ජුනි 15 දා ය.

“යුෂ්මතා මේ රක්ෂාවට කැමති මොකද?”

“පත්‍රවලට ලිවීමට මා ඉතා ආශා හෙයින්”

ඉන්පසු විජයවර්ධන මහතා මගේ හිස සිට දෙපතුල දක්වා බලමින් “හොඳයි! යුෂ්මතාට මේ රක්ෂාව දෙන්න පුළුවන්! හැබැයි මාසයකට රුපියල් තිහකට වඩා දෙන්න බැහැ. තවම වයස දහඅටවත් පිරී නැති හෙයින්”

කැමති නම් අද පටන් ම වැඩ කළ හැකියි. හැබැයි, හොඳට වැඩ කළහොත් හය මාසයකදී පඩිය වැඩි කරනවා!”

මගේ ඉහේ මලක් පිපුනාක් මෙන් දැණින. මම රක්ෂාව බාර ගැනීමට කැමති වූයෙමි. එහෙත් එදා නොව පසුදා එනම් 1936 ජුනි 16 දා රක්ෂාවට එන බව කීවෙමි.

(මගේ ප්‍රේමය කලාව හා ජීවිතය පිටු 68)

එවක් පටන් පත්‍ර කලාවේ ඔහුගේ ගමන් මග වේගවත් විය. දැනුමේ වැඩියෙන් වයසේ අඩුව පුරවා මීමන ගියේ විජයග්‍රාහී ගමනකි.

ඔහුගේ පෑන් තුඩින් බිහිවූ රසබර ලිපි ප්‍රමාණය ජීවිත කාලයටත් වඩා දිග්ගැස්සී ඇත.

ජාතියේ ගුණ වගාවට පහර වැදෙන හැම අවස්ථාවකම ඔහුගේ පෑන වේගවත් විය. සති අන්ත ඉරිදා දින “සිළුමිණ” අතට එනතුරු රසිකයන් සිටින්නේ නොඉවසිල්ලෙනි.

කොහේ ‍හෝ ඈත වනපෙතක, පිටිසර ගොවිගෙදරක ජනතාව රැස්කන කංකාරිපොලක සැහැල්ලු නැවතුමෙන් පැවතුමෙන් කල් ඇර නගරයට පැමිණෙන්නේ නාගරිකයන් මෙන්ම ගැමියන් ද විස්මයට පත් කරන රසබර ලිපියක් සක්සරගෙන ය.

“වනගත තානායමක, ගුවනින් පැය දෙකකින් අනුරාධපුරය - බුදුරුවගල බුදු රදුනි” ආදී ලිපි රසිකයන් රසයෙන් මෝහනය කළ රචනයන් ය. ‍

“කෙහෙරැළි අතර දෙපසින් කිමිදුණු නළලයි

රිසි බව කලාවට හෙළි කර දෙන දෙතොලයි

ඇති ඔබ ලියූ කව්වල අදහස් ඉහළයි!

ඊටත් වඩා ගැදි ලිපියෙහි බස සරලයි!

“මීමන” මිය ගිය දා යූ.ඒ.ඇස්. පෙරේරා කවියා 1965 ජූලි 14 වැනිදා “කවියාගේ මළගම” යන මැයෙන් “දිනමිණ” පත්‍රයට කවි පෙළ ආරම්භ කර තිබුණේ එසේය.

සිංහල සාහිත්‍යය පවත්නාතුරු “මීමන ප්‍රේමතිලක” යන නාමය කාලයත් සමඟ නොනැසී පවතිනු ඇත.

අදහස්