මුලිනුදුරා දැමෙන මනුෂ්‍යාත්මයක වේදනාවේ ප්‍රකාශනය | සිළුමිණ

මුලිනුදුරා දැමෙන මනුෂ්‍යාත්මයක වේදනාවේ ප්‍රකාශනය

පැටි වියෙහි පටන් පාසලේදී ලංකාව ගැන කියාදෙන විට භාවිත කරනා එක් විශේෂණයක් අප පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන උ(ක)රුමයක් බවට පත්ව තිබේ. ඒ ‘ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි’ යන්නය. සංවර්ධනය යන්න සංකල්පයක් වශයෙන් කෙතරම් ආකර්ෂණීය වුවද අපේ ඉතිහාසය පුරා එය භාවිත වී ඇත්තේ කෙතරම් සාධනීය අර්ථයකින්දැයි කල්පනා කළ යුතුව ඇත්තේ සංවර්ධනය වෙමින් ගත කළ කාලය තුළ අප දිගටම ගමන් කර ඇත්තේ රිවර්ස් ගියරයෙහි නිසාවෙනි. දේශපාලකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර රටෙහි න්‍යාය පත්‍රය බවට මහජන ඡන්දයෙන් තෝරාගනු ලබනා සෑම රටකම සංවර්ධනය යනු බියකරු සිහිනයක් පමණක්ම වෙයි. ලොවෙහි මේ සඳහා ඇති උදාහරණ අනල්පය.

එහෙත් මේ ලියනුයේ එවන් රටවල් ගැන වාර්තාවක් නොවන බව මුලින්ම සඳහන් කළ යුතුය. එසේම සංවර්ධනය යනු රටක් කෙසේවත් බැහැර කළ යුතු ක්‍රියාවලියක් නොවන බවද ඒ සමගම සටහන් කළ යුතුය. අප ඉදිරියෙහි ඇති අභියෝගය වන්නේම සංවර්ධන යන්නට නියම අර්ථය දීම සම්බන්ධයෙනි. භෞතික සංවර්ධනය සැම විටම ජනතාවට ඉන් සැලසෙන යහපත ගැන අලංකාරවත් නිරූපණයන් ඉදිරිපත් කරයි.

මානව දිවියෙහි ප්‍රගමනය, ආර්ථික බර සැහැල්ලු කිරීම, පරිසර දූෂණය අවම කිරීම, සාගතය සහ පිපාසයට තිත තැබීම, විදුලි බලයෙන් රට විස්මලන්තයක් බවට පත් කිරීම ආදී වශයෙන් එක් එක් ව්‍යාපෘතියට අදාළව මවා පානා ලෝකය ඉතා සුරම්‍ය බව සැබැවි. නමුදු ඉතිහාසයෙහි පිටු අතර ලියැවී ඇති අත්දැකීම් මගින් කියැවෙනුයේ මේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එක් අංශයක් පිළිබඳව දක්වා ඇති බරපතළ අසංවේදීකම ගැනය. ඒ අන් කිසිවක් නොව සංවර්ධන ව්‍යාපෘතීන් නාමයෙන් බිල්ලට දෙනු ලබනා ප්‍රජාවන්හී හැඟීම් ගැනය.

ලංකාවෙහි මෑත ඉතිහාසයෙහි මෙවන් සංවර්ධන ව්‍යාපෘතියක් ගැන ඉහළම ප්‍රසිද්ධිය සහ ප්‍රචාරය දෙන ලද්දේ මහවැලි ව්‍යාපාරය ඇරඹීමේදීය. පොල්ගොල්ල වේල්ල බැඳීම යනු බාල වියෙහි අපේ දෙනෙත් සහ දෙසවන් පුරවාලූ විස්මයක් බවට එකල දේශපාලනය සහ මාධ්‍ය මගින් මවාපාන ලද ක්‍රියාවලියක්ම වීය. මහවැලිය හැරවීම ඉතිහාසයෙහි හැරවුම් ලක්ෂ්‍යයක් යයි එකල අපට කියාදෙනු ලැබිණි.

මහවැලි දියෙන් රට ස්වර්ණමය යුගයක් කරා ගෙන යන ආකාරය පිළිබඳව මහගම සේකර විසින් උත්කර්ෂයෙන් ගීතයක් රචනා කරන ලදුව එය අමරදේවයන්ගේ මධුර හඬින් ගයනු ලැබිණි. කවියෙන් අතිශය ප්‍රබල සමාජ විචාරයක් ඉදිරිපත් කළ සේකර මහවැලි නදිය ගේය පද රචනාවකට ගොනු කලේ සුවිසල් අනාගතයක ස්වර්ණ ද්වාරය ගැන අපට ඉඟි කරමිනි. රටක සංවර්ධන ප්‍රයත්නයෙහිදී එය වර්ණනා කිරීමට සාහිත්‍යකරුවන් පෙලඹීම අරුමයක් නොවේ. රුසියානු විප්ලවයෙන් පසුව සෝවියට් දේශය පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් දියත් වෙද්දී සෝවියට් දේශයෙන් බිහිවූ අග්‍රගණ්‍ය කවියකු වූ යෙවුගිනි යෙවුටුෂෙන්කෝ එකී සංවර්ධනය සමග එක පෙළට සිටගත්තේ මෙසේ ලියමිනි.

“වේල්ලට හසුව

දියබත් වනු ඇත මගේ පුංචි නිවහන

අතුරුදන්ව යනු ඇත මගේ පුංචි නිවහන

කම් නැති, ගියාවේ එය එලෙසම......”

අප රටෙහිදී සේකර මහවැලි මහවැලි මහාවැලී යන ගීතයෙන් කළේද එවන් කාර්යයකි.

නමුදු අන් රටවල පරිද්දෙන්ම අප රටෙහිද මහවැලි සංවර්ධන ව්‍යාපාරය හරහා ස්වකීය පරම්පරාගත උරුමයන් අහිමි කරන ලද ජන කොට්ඨාසයක් ඉතිරි වූවේය. මහවැලි දියවරට යටවීමට නියමිතව තිබූ භූමි ප්‍රදේශයන්හී ජීවත්වූ ද ඒ පළාත්වලින් ඉවත් කර වෙනත් උස් බිම් හී නැවත පදිංචි කරවීමට නියමිතව සිටියාවූද ජනතාවට කවර සහන දුන්නද කිසිසේත්ම පියවිය නොහැකි හිඩසක් මේ මිනිසුන් සිය පොලව සමග පැවති බැඳීම් සහ ස්මරණයන්හී සම්බන්ධයෙන් පැවතියේය. ඉදින් සේකර මහවැලියෙ දියවරෙහි අභිරමණීය ආගමනය ගීතයෙන් වර්ණනා කරද්දී ජලාශයට යටවන බිම් කඩවල්හී හිමිකරුවන් වූ මිනිසුන්ගේ මේ අතිශය සංවේදී පාර්ශ­්වය කවියෙන් නියෝජනය කරන ලද්දේ තවත් විශිෂ්ට කවියකු විසිනි. ඒ කවියා යනු ලාංකීය කවියෙහි විශේෂයෙන්ම සංක්ෂිප්ත කාව්‍ය ක්ෂේත්‍රයෙහි ස්වකීය ප්‍රතිභාව ඉහළින්ම පළ කෙරූ නන්දන වීරසිංහ කවියා ය. නන්දන එකල පරිණත කවියා වන සේකර ගේ ගීතයට හසුනොවූ මානව හැඟුම් විෂය ප්‍රදේශය ග්‍රහණය කරගත්තේ සාහිත්‍යකරුවාගේ වගකීමද මනාව ඉටු කරමිනි. ඔහු මේ කවිය රචනා කරනුයේ අලුත් උළු ගෙයි පළමු රාත්‍රිය නමිනි. ඒ කවිය ඔහුගේ කිරි සුවඳැති රාත්‍රිය නම් කාව්‍ය සංග්‍රහයේ එන අගනාම කවි කිහිපයෙන් එකකි. මහවැලි දියෙන් රට අස්වද්දන්නට සිහින මවන පාර්ශ්වය වෙනුවට නන්දන මෙහිදී තෝරා ගන්නේ ඒ සංවර්ධන ව්‍යාපෘතිය ගිලටීනයක්ව පැමිණ මුලිනුදුරා දමන ලද ජන කොටසය. ඔහු එහිදී ස්වකීය කාව්‍ය ප්‍රතිභාව භාවිතා කරන්නේ තම උරුමයන් අහිමි කර, රවටනු ලැබ, අමතක කර දමනු ලැබීමේ ඉරණමට හසුව බලවත් සිත් වේදනාවෙන් පසුවන මිනිසුන්ගේ සිත්හී නළියන වේදනාව ප්‍රතිනිර්මාණය කිරීම අරමුණු කරගනිමිනි. ඔහු සිය කවියෙන් සංවර්ධන වර්ණනා සහ ඒ පිටුපස ඇති ව්‍යාජ කඩතුරා ඉරා දමන්නේ දේශපාලනය නම් චක්ගුඩු කෙළියෙහි පිළිකුල් සහගත පාර්ශවය ද පෙන්වමිනි. ඔහු එය කරනුයේ මෙලෙසිනි.

“යකඩ කටවල් කෑ ගසා කී

වන්දි ගී නැවතී

බැන්ද කොඩි පෙඟී

පාවී ගොසිනි බොර වතුරේ.......”

සංවර්ධනය මුවාවෙන් එන දේශපාලන කොන්ත්‍රාත්කරුවා යනු කවරාකාර ගහලයෙක් දැයි නන්දන සිහිපත් කරනුයේ අප වැටෙනා බොරු වලවල් ගැන සිතන්නට අප පොලඹවමිනි.

“නැවුම් උලු පෙරවූ

බලු වලිග බඳු බාල ලී ඇති

කැණි මඩල යට

කොන්ත්‍රාත් අත්වලින් කෙට්ටු වුණු

මිටි බිත්ති මැද........”

සුනාමි ව්‍යසනයෙන් පසුව ඊට ගොදුරු වූවන්ට ඉදි කර දෙන ලද බොහෝ නිවාස ගැන සිතා බලන විට නන්දන ගේ කවියෙහි වර්තමාන පිලිබිඹුව පාඨකයාට දැකිය හැකි වනු ඇත. නන්දනගේ කවිය මට සිහිපත් කරනුයේ සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතොව් ගේ කියමනකි. ‘අප සැවොම ජීවත් වනුයේ එකම ග්‍රහලෝකයකය. එහි කවර ජනතාවක් වෙනකක් තබා එක් පුද්ගලයකු වුව අනතුරට මුහුණ පාන්නේ නම් අපට ඒ නුදුටු සේ සිටිය නොහැකිය.’

ඉදින් සාහිත්‍යකරුවා හට එවන් අරගලකරුවෙකු, නියෝජිතයෙකුගේ භූමිකාව මගහැර යා හැකිද?

 

Comments