කත­න්ද­ර­යක් පිටු­පස කත­න්ද­ර­යක් | සිළුමිණ

කත­න්ද­ර­යක් පිටු­පස කත­න්ද­ර­යක්

මහ වැස්සට සේදෙමින් ද; ගිනි ගෙන දැවෙන හිරුගේ ප්‍රචණ්ඩ රශ්මියෙන් දැවෙමින් ද; කුරුලු වර්ගයාගේ අනේකවිධ ආදරය සහ අඩන්තේට්ටම් විඳිමින් ද අප නොදන්නා තරම් කාලයක් ජිවත් වූ මහා වෘක්ෂයක් අපේ ගමේ අපේ වත්තේ කෙළවරක තිබේ. මම ගමේ යන සෑම වාරයකදී ම ජීවත් වීමෙන් ම ප්‍රතාපවත් වූ ඒ මහා වෘක්ෂයේ බදා වටකරගත නොහැකි කඳ සියුම් ව අල්ලා බලන්නෙමි. ඇල්ලූ සැණින් කිසිවක් දැනෙන්නේ නැත. ලොකු කුඩා ගස්වලින් වටවූ ඒ පරිසරය හා එහි වෙසෙන්නෝ, මම ඔවුන්ගේ කොටසක් බවට පත් කරගන්නට ගත වන මිනිත්තු කිහිපය සොම්නස් සහගත ව විඳ ගනිමින් මම සියුම් නිරීක්ෂණයෙන් යුතුව ගසේ කඳ අල්ලාගෙන සිටින්නෙමි. ටිකෙන් ටික මගේ අත්ලට ගසෙහි ක‍ඳෙහි වන මුදු වෙව්ලීමක් දැනෙන්නට වෙයි. එය ක්‍රමයෙන් වඩාත් සුමුදු ව කෙඳිරිල්ලක් ව අත්ලට දැනෙන්ට තවත් ටික වේලාවක් ගත වෙන්නේ ය. අනතුරුව ගසේ ක‍ඳෙන් නැ‍ඟෙන සියුම් මුනුමුනුවක් කෙමෙන් කෙමෙන් සම්මත සන්නිවේදන භාෂා විධි ක්‍රමයෙන් බැහැරව දැනෙන්ට පටන් ගනී. ඒ දැනීම සම්පූර්ණ වෙන්නේ ගසටත් නො නොදැනෙන පරිද්දෙන් මා සෙමෙන් ගසේ කඳට කන තබා ඒ මුනුමුනුවට සවන් දෙද්දී ය. අප සැමට ම මෙන් ම ගහ කොළට ද, මහ පොළොවට ද, සුළඟට ද එයට ම ආවේණික වූ ශබ්දයක් තිබේ. අපට ඒ සියුම් සොබාදම් කෙඳිරිය ඇතුළු බොහෝ දේ ඇසෙන්නේ නැත. ඒ නොඇසීම නිසා ම අප බොහෝ දේ අහිමි කරගෙන ඇත්තෙමු.

මම පාවුලෝ කොයියෝ ගේ The Alchemist නම් ලෝක පූජිත කෘතිය අතට ගත්තෙමි. මෙය චූලානන්ද සමරනායක “සන්තියාගෝ නම් සැරිසරන්නා” නමින් සිංහලට නඟා තිබේ. අපේ ජීවිතයේ මඟ හැරෙන දේ නිසා අපට කොතරම් රන්සුනු අහිමි වෙනවාද යන්න ගැන ලියැවුණු මේ සටහන නිසා මට අර පැරණි මහාවෘක්ෂය සිහිපත් විය.

“සන්තෘෂ්ටියට පැමිණ සිටින්නා වූ සෑම මිනිසකු තුළ ම දෙවියන් වහන්සේ වැඩ සිටින බව හදවත කොලුවාට තේරුම් කර දුණි. එසේ ම රස විද්‍යාඥයා පැවැසූ පරිද්දෙන් ඒ සන්තෘෂ්ටිය කාන්තාරයේ වැලි අංශුවකින් පවා මතුකර ගැනීමට හැකිය. එසේ වන්න‍ේ ඉතා කුඩා වැලි අංශුවක් පවා මැවීම එක්තරා මොහොතක් නිරූපණය කරන අතර, විශ්වය ඒ නිර්මාණය කිරීම උදෙසා වසර මිලියන ගණනක් වැය කර ඇති හෙයිනි. මිහිපිට ඉන්නා සෑම කෙනකුට ම තමන්ට ම උරුම වූ නිධානයක් ඇතැයි ඔහුගේ හදවත පැවසීය. ‘මිනිසුන්ගේ හදවත් වන අප ඉඳහිට පමණක්, මේ නිධාන ගැන බොහෝ විස්තර මිනිසුන්ට කියන්නේ තවදුරටත් මිනිසුන්ට ඒවා සොයා ගෙන යන්නට වුවමනාවක් නැති නිසයි. අපි ඒවා ගැන කියන්නේ ළමයින්ට විතරයි.” අන්තිමේදී අපි මේ ජීවිතේට තමුන්ගේ ම පාරේ ඉරණම වෙත යන්න ඉඩ දෙනවා. අවාසනාවකට වගේ තමුන්ගෙ යහපතට, තම ඉරණම කරා ඒ වගේ ම තමන්ගේ චිත්ත සංතුස්ටිය කරා පාර පාදා ගත්තෙ ඉතා සුළු පිරිසක් විතරයි. හුඟක් මිනිස්සු ලෝකෙ දකින්නේ බියකරු තැනක් විදියට. ඉතින් එහෙම මිනිස්සු කල්පනා කරන්න ගත්තහම ලෝකෙ ඇත්තටම බියකරු තැනක් බවට පෙරළෙනවා.

පාවු‍ලෝ කොයියෝ කියන්නේ සියලු නිධාන පවතින්නේ අප හදවත් ඇතුළත බව ය. ඒ නිධාන මතු කර ගැන්මට තරම් සියුම් බවක්, අවදි බවක් අප තුළ නැති බව ය.

පාවුලෝ කොයියෝ අපූරු තාලේ ලේඛකයෙකි. මේ ලතින් ඇමරිකානු ලේඛකයා දිගින් දිගට ම සිය කෘති මඟින් සියුම් ව ස්පර්ශ කරන්නේ මානව ජීවිතයෙහි වන දැක නොදැක යන සියුම් චින්තා ය.

“ඔයා ගාව තියෙනවා ආ‍ලෝකයක්. මට ඉඩදෙන්න අඩු ගානෙ කටුසටහනක්වත් ගහන්න.”

රැල්ෆ් නම් මේ චිත්‍ර ශිල්පියාට මරියා නම් ගණිකාවගේ ‍වතෙන් ආලෝකයක් පෙනෙයි. තමාටවත් නොපෙනෙන තමාගේ ආලෝකය රැල්ෆ් දුටුවේ කෙසේ දැයි මරියා කල්පනා කරයි. පාවුලෝ කොයියෝගේ Onze Minutos නම් කෘතියේ සිංහල අනුවාදය වන “මිනිත්තු එකොළහ” ඇතැති ව මම ද ඔබගේ, මගේ සහ අප සැමදෙනාගේම ස්වභාවයෙන් ම පවත්නා ආලෝකය ගැන කල්පනා කරන්නෙමි. ඒ ආලෝකයට ජාති, ආගම්, කුලමල පන්ති භේද බලපාන්නේ නැත. එහෙත් අප සැම සතු ඒ ආලෝකය පෙනෙන්නට නම් අපට අනෙකා දෙස අවබෝධයෙන් බැලිය හැකි විය යුතුය. එවිට මේ ලොව නරක මිනිසුන් ඔබට හමු නොවනු ඇත. හේතුව ඒ සෑම නරකක් පිටුපසම කතන්දරයක් ඇති බැවිනි.

පාවුලෝ කොයියෝ Joan Arias සමඟ කළ සාකච්ඡා මාලාවක් ‘ජීවිත වන්දනාවක සටහන්’ නමින් සුමිත්‍රා රාහුබද්ධ ප්‍රවීණ ලේඛිකාව සිංහලට පරිවර්තනය කර තිබේ. ඒ සාකච්ඡා මාලාවේ එක් තැනක මෙසේ සටහන් වෙයි.

“මගේ සුවිශේෂී සොයා යෑම වුණේ ආධ්‍යාත්මික සොයා යෑමකි. මේ ප්‍රශ්නය සෑම විට ම මගේ පොත්වල ඇතුළත් වන්නේ එබැවිනි. මගෙන් අසන හැම ප්‍රශ්නයකට ම පිළිතුරු දිය හැකි යැයි සිතූ කාලයක් තිබිණි. එය කළ නොහැකි යැයි මම අද අවබෝධ කරගෙන සිටින්නෙමි. හැම දෙයකට ම පැහැදිලි කිරීම් තිබෙන්නට පුළුවන. ඒවා ගුරුන්ගෙන් ලබාගත් පැහැදිලි කිරීම් විය හැකිය. නමුත් ඒවා මගේ නොවේ. සැබෑව නම් අපගේ නොදන්නාකම දිගටම තිබෙන බවය .”

ඔබ ජීවිතයේ සියුම් දේ මඟ නොහරින්නේ නම් ඔබට ජීවිතය මුළුමනින් ම හසුවේ යැයි මට කිව නොහැකි ය; එහෙත් බොහෝ දේ හමුවිය හැකි බව නම් ස්ථිර ය. ලේඛනයේ රන්සුනු සොයා යන මේ ගමනේ ඒ හමුවීම් ඉතා වටනා බැව් ඔබට වැටහෙන්නේ ඔබ කෙදිනක හෝ ලේඛනයට නමෝවිත්තියෙන් අතගසනා දවසට ය.

[email protected]

අදහස්