රටට මෙතරම් වැඩ කළ ආණ්ඩුවක් නැහැ | සිළුමිණ

රටට මෙතරම් වැඩ කළ ආණ්ඩුවක් නැහැ

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27කින් ජය ගැනීමට ආණ්ඩුව සමත් වුණා. ඒ ගැන මොනවද කියන්න පුළුවන්.

අපි විශ්වාස භංග යෝජනාව දේශපාලනික වශයෙන් ජයග්‍රහණය කළා තමයි. එත් මම මගේ කතාවේදිත් කිව්වේ මේ විශ්වාසභංගය තුළ අන්තර්ගත ගැටලුත් පරාජය කරන්න නරකයි. විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වූ කරුණු ඉදිරියේදී අපි අනිවාර්යෙන්ම විසඳන්න ඕනෑ. විශ්වාසභංගය ගෙනාපු පක්ෂයේම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී මා කළ කතාව අගයමින් කතා කළා.

විශ්වාසභංග යෝජනාවට අන්තර්ගත වූ කරුණු පරාජය කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ කොහොමද?

මෙතනදී අපි වහබ්වාදින් වගේම අනෙකුත් අන්තවාදී කොටසුත් පරාජය කරන්න ඕනෑ. ඊට පස්සේ මධ්‍යස්ථ මතධාරීන්ට අපි හොඳ ශක්තියක් වෙන්න ඕනෑ. ඒක බෞද්ධ වේවා කතෝලික වේවා. ඉස්ලාම්වේවා. හින්දුවේවා හැම අන්තවාදයක්ම පරාජය කරලා මධ්‍යස්ථ මතධාරින් ජයග්‍රහණය කරවන්න ඕනෑ. අප ඒ සඳහා ඇපකැප වී කටයුතු කරනවා. එවිට තිරසර ලෙස මේ ගැටලුව විසඳන්න පුළුවන්.

මධ්‍යස්ථ මතධාරින් ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් සකස්කර ගන්නේ කොහොමද

අපිට මේ නියාමනයක් නැති මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගේන්න පුළුවන්. ඒවාට නියාමනයක් ලබාදෙන්න පුළුවන්. සියලු මද්‍රසා පාසල් ඒ විදියට නියාමනය කර එක රටක් ඇතුළත එක නීතියක් කොයි කාටත් බලපාන විදියට හදා ගත්තොත් පමණයි අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාසභංගය ගෙනාවේ ආණ්ඩුව රකින්න එහෙමත් නැතිනම් ආණ්ඩුවට ඔක්සිජන් ලබා දෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගන චෝදනාවේ ඇත්ත නැත්ත මොකක්ද

ආණ්ඩුව රකින්න ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යතාවක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න ඒ අය අපත් සමඟ එක්ව කටයුතු කළ බව ඇත්ත. නමුත් මේ විශ්වාසභංගය ගෙනත් තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ඒ නිසා ඔය කියන කතාවල කිසිම ඇත්තක් ගත යුත්තක් නෑ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ ලබා දුන්නේ තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේයි. දැන් උන්වහන්සේ චෝදනා කරනවා ආණ්ඩුවේ ඇමතිවරුන්ට. ඒ ගැන මොනවද කියන්න පුළුවන්.

උන්වහන්සේ කියලා තිබුණේ සෝෆා එක ඇක්සා එක සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා මේ රට උකස් තියලා වගේ කතාවක් - නමුත් මේ පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොඳ කතාවක් පාර්ලිමේන්තුවේදී කළා. බොහෝ ජනමාධ්‍යවල ඒ කතාවට ප්‍රතිචාරයකුත් ලැබුණා. එදා තිබුණු ඇක්සා ගිවිසුමයි අදත් තියෙන්නේ සෝෆා ගිවිසුමක් අත්සන් කරලා නෑ. 1995 අත්සන් කරපු එකක් තමයි තියෙන්නේ. ඔය කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉඩම් ඇමෙරිකාවට දෙනවා කියන කතාවල අංශු මාත්‍රයක්වත් ඇත්ත නෙවෙයි. මේවා මනඃකල්පිත චෝදනා. මට පේන්නේ කවුරු හරි තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ නොමඟ යවලා තියනවා ව්‍යාජ තොරතුරු ලබාදීලා.

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉඩම් ඇමෙරිකානු සමාගමකට දෙන්න යනවා කියා විපක්ෂය නගන චෝදනාවට ප්‍රබල පිළිතුරක් ආණ්ඩුව පැත්තෙන් නොදෙන්නේ ඇයි?

මුදල් අමාත්‍යාංශය ඒ ගැන ජනතාව දැනුම්වත් කළා. ඒවා අබිබවා බොරු මතයක් සමහරු සමාජගත කරන්න උත්සාහ ගන්නවා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවත් සමඟ ඔය බොරු මත යටපත්වෙලා යාවි.

ආණ්ඩුව ජනමාධ්‍ය නිදහස ඇති කළැයි කිව්වත් ඇතැම් ෆේස්බුක් හිමියන්ගේ පිටු ඉවත් කරන බවටත් ආණ්ඩුවට චෝදනා නැගෙනවා නේද?

ජාතීන් අතර වෛරය ඇති කරන අදහස් මුහුණු පොත මගින් ප්‍රචාරයවීම පාලනය කරන්නේ කොහොමද කියලා අපි අදාළ සමාගමත් සමඟ සාකච්ඡා කළා. ඒත් ඒ සමාගම එවැනි දේ පාලනය කළේ නෑ. ඒ නිසා ජාතීන් අතර යම් යම් ගැටුම් පැන නැඟුණු අවස්ථාවල සතියක් විතර මුහුණුපොත වහලා තියන්න අපිට සිදුවුණා. රජය කියපු පලියට මේ සමාගම් මුකුත් කරන්නේ නෑ. එයාලගේ යම් යම් ක්‍රමවේදයන් උල්ලංඝනය වුණොත් තමයි ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. ඉවත් කරලා තියන මුහුණු පොත් පිටු හිමියන්ට ජාතිවාදය වපුරන්න එපා කියා කීපවරක් අවවාද කිරීමෙන් පස්සේ තමයි ඔය පිටු ඉවත් කරලා තියෙන්නේ. ආණ්ඩුව කීවහම ඒ සමාගම මුහුණු පොත වහනවා නම් ආණ්ඩුවට සතියක් විතර මුහුණුපොත වහන්න අවශ්‍යතාවක් නෑනේ.

යම් යම් කරුණු අරභයා ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් එකිනෙකට ගැ‍ටෙනවා. ඇයි එවැනි ගැටීමක් ප්‍රදර්ශනය කරන්නේ. උදාහරණයක් විදියට චීන සිගරට් සම්බන්ධයෙන් මංගල - රාජිත ඇමැතිවරුන්ගේ ගැටීම දක්වන්න පුළුවන්.

සමහර ඇමැතිවරුන්ට පෞද්ගලික මත තියනවා. එවැනි අවස්ථාවල ඒ මත ප්‍රතිපත්තීන් සමඟ ගැටෙනවා. සමහරුන් එවැනි අවස්ථාවල තම පෞද්ගලික මතයේ ම දැඩිව ඉන්නවා. උදාහරණයක් විදියට නි‍රෝෂන් පෙරේරා ඇමැතිවරයා පාස්කු බෝම්බ ප්‍රශ්නයේදී ප්‍රදේශයේ ජනතාවගෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු ඒ සමඟ ගැටුණා. හොර සිගරට් කන්ටේනර් ගණන් ගෙනත් රේගුවට අසුවූ අවස්ථා තියනවා. මංගල ඇමැතිවරයාගේ තර්කය ඒවා නිත්‍යානුකූලව ගෙන්වීමට ඉඩදී ඊට අදාළ බදු ගාස්තු අය කරන්න කියලයි.

ආණ්ඩුව සංවර්ධන වැඩකටයුතුවලට වඩා ප්‍රචාරණයට මුදල් වැය කරන බවටත් චෝදනා තියෙනවා. සමෘද්ධිය ලබාදීම වෙනුවෙන් කළ උත්සව නිවාස ලබාදීමේදී කරන උත්සව ආදිය තමයි මෙවැනි චෝදනාවලට ලක්වෙන්නේ.

මේච්චර කල් මිනිස්සු කීවේ ආණ්ඩුව කොච්චර වැඩ කළත් කිසිම ප්‍රචාරයක් නෑ කියලයි. ප්‍රචාරයක් කරනකොට ඔහොම චෝදනා කරනවා. අපි මාධ්‍ය නිදහස දීලා තියෙනවා ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන් නමුත් මේ රටේ ජනතාව දන්නවා අපි වැඩ කරලා තියන ප්‍රමාණයට ප්‍රචාරයක් දිලා නෑ කියලා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී පවත්වන ජනාධිපති කිසියම් ආකාරයකට බලය හැකිලුණු ජනාධිපතිවරයෙක් එය රටේ ඉදිරි ගමනට බාධාවක්ද?

වත්මන් ජනාධිපතිවරයා කිව්වා ඔහු සිරිසඟබෝ වගේ කෙනෙක්. තමාට තිබූ බලයත් අතහැරපු කෙනෙක් කියලා. ජනාධිපතිවරයා ඡන්දයට ඉදිරිපත් කරන විට ඔහු එක්වරයි ධූරය දරන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර බලය අඩු කරන්න ඔහුමයි එකඟවුණේ. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා.

ප්‍රජාන්ත්‍රවාදය ශක්තිමත් වුණාට ජනතාවගේ පසුම්බිය ශක්තිමත් වෙලා තියනවාද?

අපි ආණ්ඩුව ගන්නවිට රාජ්‍ය මුල්‍ය අර්බුදයක් තිබුණ විදේශ විනිමය අර්බුදයක් තිබුණ 2000 මුල් කාලයේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම තිබුණේ සියයට විස්සට, විසිපහකට විතර, අපි ආණ්ඩුව ගන්නාවිට එය සියයට දහයාමාර දක්වා අඩු වී තිබුණා. අපනයනය ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයට සාපෙක්ෂව සියයට තිස්පහක තිස්අටක තිබුණු අපනයනය සියයට දාසයට දාහතකට බැහැලා තිබුණු අවදියකයි අපි ආණ්ඩුව ගත්තේ. මේ අතරතුර නියඟ ගංවතුර ස්වභාවික විපත් ආදිය වුණා. ලෝක ආර්ථික ගැටලු ඇති වුණා. ඩොලරයේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න ආවා. මේ හැම දෙයක්ම කළමනාකරණය කරලා අපි ආර්ථිකය හැදුවා. රජයේ සේවකයින්ට මේ වසර හතර තුළ දෙවතාවක් පඩි වැඩිකළා.

සුවසැරිය ගිලන් රථ සේවය ඔබේ නිර්මාණයක්. එමගින් අපේක්ෂිත අරමුණු ඉටු වී තියනවාද?

මේක අලුත් වැඩක්. අලුත් අදහසක්. ජනතාවට ප්‍රතිඵල ලැබෙන දෙයක්. මේක පටන් ගත්තේ පුංචියට. මේ වසර හතර තුළ මුළු ලංකාවම ආවරණය කරලා තියනවා. විනාඩි අටහමාරකින් බස්නාහිර පළාතේ ගිලන් රථයක් ගෙන්වා ගන්න දැන් ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒක කොයි තරම් වටිනවාද. කිසිම රෝගියෙකුට බය වෙන්න ඕනෑ නෑ. දරුවන් අසූ ගණනක් මේ ගිලන්රථවලදී බිහිවෙලා තියනවා. අම්මලා කී දෙනෙක්ගේ ජීවිත බේරාගෙන තියනවාද මෙවැනි දේත් අපි කරලා තියනවා. ජනතාවගේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අපි සුවිශාල සේවයක් කරලා කියනවා. අපි තරම් රටට වැඩ කළ ආණ්ඩුවක් නැහැ.

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තියනවාද?

ඔව් අපිට ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඊට හේතුව තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙවේ. සිංහල, දෙමළ,මුස්ලිම් හැම ජාතියකටම එක්සත් ජාතිකපක්ෂයේ සෙවණේ ඉන්න පුළුවන්. අපි ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඔහුට සියලු ජාතින්, ආගම් නියෝජනය කරන ජනකොටස්වල ඡන්දය හිමිවේවි.

Comments