මුල අමතක අය | සිළුමිණ

මුල අමතක අය

ඔබට නොදන්වා ඔබේ ගෙවත්ත ගැන පරිබාහිර දෙදෙනෙක් ගිවිසුමක් අත්සන් කරයි නම් ඔබ කරන්නේ කුමක්ද?. ගෙවත්ත ඔබේ වුව ද පරිබාහිර දෙදෙනා ඔවුන්ට ඕනෑ හැටියට ගෙවත්තෙහි හිතු හිතූ දේ කරනවිට ඔබ පත්වන්නේ කුමන අසීරුතාවයකටද?

2007 ලංකාවට අයිති නැති දෙදෙනෙක් ලංකාව ගැන ගිවිසුමක් අත්සන් කළ බව ඔබ දන්නවාද? එහෙම කළ අය ඔබ හඳුන්වන්නේ කොහොමද?.

ඔවුන් දේශයේ ගැලවුම්කරුවන්ද? ඔවුන් දේශයේ ආරක්ෂකයන්ද?

ඔවුන් දේශයේ අනාගතය බාර දිය හැකි අයද?.

නැත...කෙටියෙන්ම කීවොත් ඔවුන් දේශද්‍රෝහීන් ය. ව්‍යාජ දේශප්‍රේමී මූද්‍රාව පංචස්කන්ධය පුරාම අඹාගෙන සිටින, එහෙත් ඊට හාත්පසින්ම විරුද්ධ ලෙස ක්‍රියා කරන දේශද්‍රෝහීන් වෙනුවෙන් තවදුරටත් මෙනී සිටිනවාද?.

මේ ඔබ නොදන්නා කතාවය. ‘රටටම හොරෙන් ඇමෙරිකාව සමඟ අත්සන් කළ ගිවිසුම මෙන්න’කියා අද්මිරාල් සරත් වීරසේකර වත්මන් ආණ්ඩුවට මඩක් ගසා තිබුණි. කාරණාව සත්‍ය නම් මඩ නොව ගොම ගැසුවත් කමක් නැත. එහෙත් ඔහුගේ මඩ එල්ල විය යුත්තේ සත්‍ය වශයෙන්ම ඔය කියන පන්නයේ ගිවිසුම ගැසූ අයට ය; ඒ අය කවුද?

ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් 2007 දී අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම” මගින් ලංකාව අනතුරට තල්ලු කළේ ඒ දෙදෙනා ය. අයෙක් අමෙරිකන් ජාතික රොබර්ට් ඕ බ්ලේක් ය. අනෙකා අමෙරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ ය.

ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ ගිවිසුම ගැන කතාකර තිබුණි. එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නැඟී සිට මෙසේ කියා තිබුණි.

‘අපි මේ පිළිබඳව එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ලියලා ඇහුවා කොහොමද මේක වෙන්නෙ කියලා. එතුමා මට දුන්න උත්තරය තමයි මම ජනාධිපති. තානාපති කෙනෙකුයි අමාත්‍යාංශ ලේකම් කෙනෙකුයි අත්සන් කරපු ගිවිසුමක් වලංගු නැහැ කියලා.’

"කොල්ලෝ කෙල්ලෝ ලංකාවේ තරුණ තරුණියෝ...ඇමරිකානු සන්නාමය..එක්සත් ජනපද බ්‍රෑන්ඩ් නේම් එක..කොකා කෝලා නොබී අත ඇරියොත් ආන්න එකත් විරෝධත්වයක් තමයි එකසත් ජනපදයට දෙන..උන්ගේ සන්නාම කොකා කෝල පෙප්සි. කෝලා නොබී..මැරෙන්නේ නෑනේ හත්වලාමේ...!

දරුවොන්ට කියන්න ගන්න එපා..යාළුවන්ට කියන්න ගන්න එපා බොන්න එපා...එක්සත් ජනපදය අපට කරන හතුරුකමට විරුද්ධව අපිට පෙන්නන පුළුවන් විරෝධය පුංචියට හරි පෙන්නන්න ඕන මගේ අම්මේ තාත්තේ.."

අන්තර්ජාලය පාවිච්චි කරන අය ගූගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගූගල් වලින් අයින් වෙමු..කොකා කෝලා, පෙප්සි කෝලා වලින් අයින් වෙමු..

කේ.එෆ්.සි මැක්ඩොනල්ඩ්ස් වලට නොගිහින් ඉමු..ඇමරිකානු සන්නාම පාවිච්චි නොකරන රටක් හදලා..එක්සත් ජනපදයට පෙන්නමු..උඹලා හැපෙනවා නම් අපිත් පෙන්න ලෑස්තියි කියලා රටම එකතුවෙලා පෙන්නමු මගේ අම්මේ තාත්තේ..."

විමල් වීරවංශ 2012 මාර්තු 13වෙනිදා හයිඩ්පාර්ක් හි ජන හමුවකදී අමෙරිකාව පතුරු ගැහුවේ එහෙම ය. විමල්ලා කියන විදිහට ලංකාව ගිලින්න බලාගෙන ඉන්න අමෙරිකාව එක්ක තීරණාත්මක ගිවිසුම ගැහුවේ මහින්දගේ ආණ්ඩුව ය. හරියටම කීවොත් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අමෙරිකන් තානාපති රොබර්ට් ඕ බ්ලේක් ය.

ඒ 2007 වර්ෂයේ මාර්තු 05 වන දා ය.

මේ ගිවිසුම එදා අත්සන් කළේ රහසිගත ලෙස ය. එදා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන හිටියේ නැත. අමෙරිකාව වෙනුවෙන් එරට පුරවැසියෙක් වූ රොබර්ට් ඕ බ්ලේක් ඒ ගිවිසුම අත්සන් කරද්දී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේත් අමෙරිකන් පුරවැසියෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ ය. රටවල් දෙකක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරද්දී දෙපාර්ශ්වයට ම නියෝජිතයන් සිටිය යුතුය. හැබැයි එදා ලංකාව ගැන තීරණාත්මක ගිවිසුමකට අත්සන් කරන්නේ අමෙරිකාවේ පුරවැසියන් දෙදෙනෙකි. ආයුධ පද්ධති, මිසයිල, ටෝර්පිඩෝ, න්‍යෂ්ඨික අවි, රසායනික අවි ආදිය මෙකී ගිවිසුම අනුව හුවමාරු කර ගැනීම තහනම් යැයි සඳහන් නමුත් සැපයුම් සහාය, සැපයීම සහ සේවා මූලික වූ මෙකී ගිවිසුම අනුව උණ්ඩ, කඳවුරු ක්‍රියාන්විත සහාය අන්තර්ගත ය. කඳවුරු ක්‍රියාන්විත සහායේදී කඳවුරු ඉදිකිරීමත් අන්තර්ගත කර තිබේ. උණ්ඩ යැයි කී විට ටෝර්පිඩෝ ආදිය උණ්ඩ ලෙස අවශ්‍ය නම් ගිනිය හැකිය.

මූලික වශයෙන් රටවල් දෙක අතර ඒකාබද්ධ පුහුණුවීම් ආදී අවස්ථා සඳහා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරනු ඇතැයි මුලින් සඳහන් වුවද ඊට යටින් ‘අනපේක්ෂිත අවස්ථාවන් හිදී’ සහ ‘හදිසි අවස්ථා වලදී’ ද ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දී තිබීම සැලකිය යුතුය.

රාජපක්ෂලා විසින් එක් අතෙකින් ගෙවා ගත නොහැකි ණය ගනිමින්, වෙනම භූමි භාග සින්නක්කරවම ලබා දෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර, අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමරිකාවට ද ඕනෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිත කිරීමට ද අවස්ථාව සලසා දී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත් කරන ලදී. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තව්හිද් ජමාද්ට ද, බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවට ද, හින්දු අන්තවාදී ශිවසේනා ට ද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබා දෙමින් රටේ අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කළෝ ය. ඒ සියල්ල අවසානයේ ව්‍යවස්ථාව ද කඩමින් බලයක් නොමැතිව අගමැති ධූරයක් ලබා ගෙන රට කුමන්ත්‍රණයකට භාජනය කර අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් දුර්වල රාජ්‍යයකට පාර කපා සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට ද පත් කෙළේ ය.

අමෙරිකාවට දිවි දෙන්න දිවුරූ පුරවැසියා ලංකාව වෙනුවෙන් එදා තීරණාත්මක ගිවිසුම අත්සන් කරනවිට දේශප්‍රේමියෝ 'හ්ම්' කීවේ නැත.

'අමෙරිකාව යුද්ධෙට උදව් කරනවා, ඒ නිසා මේ ගිවිසුම ගහනවා'

රාජපක්ෂ ආණ්ඩුව කීවේ එහෙම ය. හැබැයි යුද්ධෙට සහය දෙනවා කීව අමෙරිකාව එදා ලංකාව ගිලගත් හැටිත්, යුද්ධයේ අවසන් දිනවල අමෙරිකන් නැව් උතුරු මුහුදේ සූදානම්කොට තිබ්බ හැටිත් කීවේ විමල්ලා ම ය.

ඒ විතරක් නොවේ එදා ශ්‍රීලංකා-අමෙරිකා ආරක්ෂක ගිවිසුමට අත්සන් කළ රොබර්ට් ඕ බ්ලේක් ඊට ටික දිනකට පස්සේ 2012 පෙබරවාරි 14 කීවේ 'ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකාව සහය දක්‌වනවා' කියා ය. තුන්කල් දකිනවාය කී මහා දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගැලවුණේ එහෙම ය.

ප්‍රශ්නය- ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික විමර්ශනයන් කෙරේ යොමු වෙනවාද?

බ්ලේක් - ඇමරිකාව නිරීක්‍ෂණයට ලක්‌වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු යෝජනාව ගැනයි.

ප්‍රශ්නය- ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දියාවේ සහය ලැබෙනවාද?

බ්ලේක් - රටවල් කීපයක සහය ලැබෙනවා.

අපිට උදව් කරනවා කියා මහ ලොකුවට පුරසාරම් දෙඩූ අමෙරිකාව එදා කළේ එහෙම ය. බලාගෙන ගියාම තමන්ගේ රටේ පුරවැසියාගෙන් අමෙරිකාව තෝරාගෙන තිබෙන්නේ ඔරිජිනල් පුරවැසියාගේ පැත්ත ය. ඒ කියන්නේ බ්ලේක්ගේ පැත්ත ය. එදා යුද්ධය වෙලාවේ වෙඩි උණ්ඩයක්වත් නොදුන් අමෙරිකාව කළේ ලංකාවේ හමුදාව යුද අපරාධ කළා කියලා චෝදනා කරන එක ය.

අදටත් ලෝකය පුරා රටවල් ගණනාවක ඇමරිකානු යුද කඳවුරු 1200ක් පමණ තිබේ. ලෝකයේ රටවල් 20ක මධ්‍යම අණ දෙන කඳවුරු පිහිටුවා තිබෙන අතර ගල්ෆ් කලාපයේ, පැසිෆික් කලාපයේ කඳවුරු පිහිටුවා තිබේ. ලෝකයේ රටවල් 130ක පමණ ප්‍රමාණයක් සමඟ ද කුමක් හෝ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න ඇමරිකාව කටයුතු කර තිබේ. එදා මහින්දලා ලංකාවේ පුරවැසියන් නොවෙන දෙදෙනෙක් ලංකාව වෙනුවෙන් ගිවිසුම් ගහද්දී අද එළි බැහැපු දේශප්‍රේමීන් කොහේ හිටියා ද නැත.

ලොකු ම විහිලුව රට ගැන මහා පුරසාරම් දොඩවන දේශප්‍රේමීන්ගේ හෙළුව රටට ම පේන එක ය. මව් රටේ පුරවැසිකම අත් හැර 'සරු බිමක' පුරවැසිකම ගත් ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් දේශප්‍රේමය බලාපොරොත්තු වෙනවා නම් ඊට පෙර ඔවුන් මව් රටේ බැඳීම අමෙරිකාව ඉදිරියේ ගලවා වීසි කළ අයුරු මතකයට ගන්නා ලෙස කිව යුතුය 'ඒ මෙසේය .'‘මෙතෙක් මා අයත් වූ මව් රටට මගේ තිබූ සෑම පක්ෂපාතීත්වයක් සහ භක්තියක් ම, මුළුමණින්මත් සදහටමත් මා අතහැරීමට සපථ කරමි. කවදාක හෝ නීතියෙන් ඉල්ලා සිටින මොහොතක් වෙතොත් ඒ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… විදේශීය සහ දේශීයව එන සියලු සතුරන්ට එරෙහිව එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති අනුබල වශයෙන් ආරක්ෂා කරමි; එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්හි අසංග්‍රාමික සේවා සඳහා කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම බාර ගනිමි… එසේ හෙයින් දෙවියනි, මට පිහිට වුව මැන.’’

'මගේ ගාව ඔය හැමෝගෙම ෆයිල් තියෙනවා. ඒත් මම ඒවා අදින්නේ නෑ.'දෙදහස් පහළවේ' ඡන්දේ කට උඩ තියාගෙන මහින්ද එහෙම කීවේය. මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ගමන් මහින්ද කී ඒ කතාවට මහින්ද කඳවුරෙන් ම විරෝධතා ආවේය. 'ෆයිල් තියෙනවා නම් එළියට නොදා ඉන්නේ මොකද? 'කියා මහින්දගේ ඇමැතිවරු ඇසූහ. පරාජය කට උඩ තියාගෙනවත් මහින්ද ඇද්ද ෆයිල් එකක් නැත. එහෙම ඇද්දා නම් අදින්න ෆයිල් තිබ්බේ මහින්ද ගාව හිටපු අයගේ ම මිසක්, විපක්ෂයේ අයගේ නොවේ. එදා නොඇද්ද ෆයිල් දැන් අඳින්නට පටන්ගෙන තිබේ. එහෙම ඇදෙනකොට මහින්දලා සමඟ කල්ලිය ම කලබල වී සිටී. පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් ආන්දෝලනාත්මක හෙළිදරවුවක් කරනු ලැබීය. එහි වන්නේ ශ්‍රී ලංකාව ම චීන ණය උගුලක හිර කර ඒ ණය වලින් ම මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6 කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් ( (New York Times) ) පුවත්පත පසුගියදා (27) වාර්තා කර තිබිණි.

මේ හෙළිදරවුව දෙඹරයට ගල් ගැසීමක් විය. රාජපක්ෂ කඳවුරේ සමහරු මේ හෙළිදරව්ව 'සාවද්‍ය' බවට තර්ක කරද්දී, ඒ පිළිබඳ සමහරක් කියා සිටියේ 'මැතිවරණයකට එක එක ආයතන 'මුදල් දීම සාමාන්‍ය දෙයක් බව ය. ඊට කියන්නට තිබෙන්නේ 'ලොකුම හිනාව' ඒක කියා ය.

චීන ණය උගුලේ ගිලෙමින් රාජපක්ෂලා කළ අසාර්ථක දේවල් ගැන කරුණු කාරණා ගෙන හැරපාන නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දෙන්නේ 'හම්බන්තොට හැදූ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබෙන ආසන ගණන ඒ ප්‍රධාන නගරයේ ජනගහනයටත් වඩා වැඩි බව ය.

ද නිව්යෝර්ක් ටයිම්ස් යනු, 1851 සැප්තැම්බර් 18 දින සිට නොකඩවා නිව්යෝර්ක් නගරයෙහි ප්‍රකාශයට පත් කෙරෙන ඇමරිකානු දිනපතා පුවත්පතකි. එයට කීර්තිමත් ඉතිහාසයක් සේම වර්තමානයක් ද වෙයි. මරියා අබි-හබීබ් මාධ්‍යවේදිනිය නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතේ කීර්තිමත් මාධ්‍යවේදිනියකි. හම්බන්තොට මගඩිය ගැන හෙළිදරවු කරන්නේ එකී මාධ්‍යවේදිනිය විසිනි. ‘How China Got Sri Lanka to Cough Up a Port‘‘ ලිපිය හරහා ඈ අවධානය යොමු කරන කාරණා කිහිපයක් ම වෙයි.

හම්බන්තොට වරාය සඳහා ඉතා ඉහළ පොලියට චීනයෙන් ණය ගත්තේ දැන දැනම.

2015 මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට මහින්දට චීන වරාය ගිණුමෙන් ‘කෑෂ් චෙක්‘!

මහින්දගේ ඡන්ද වැඩවලට චීනයෙන් ඩොලර් මිලියන 7.6 ක්.

මැතිවරණයට දින 10කට පෙර තවත් ඩොලර් මිලියන 3.7 ක් මහින්දට.

කැම්පේන් ටී ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම්වලට ඩොලර් 678,000 ක්.

ඡන්දෙ කාලෙට සාරි ඇතුළු තෑගි බෙදන්න ඩොලර් 297,000 ක්. මහින්දට වැඩ කළ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000 ක්.

අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් මිලියන 1.7 ක්. ඇයගේ ලිපිය පාදක වන්නේ එකී කාරණා කුළුගන්වමින් ය. ඉහත කාරණා සියල්ල ගැන තර්කානුකූලව ඈ කරන හෙළිදරවු කිරීම බොහෝ දෙනා සසල කරන්නට සමත් වී තිබේ. විශේෂයෙන් ම මහින්ද පාර්ශ්වයේ 'ගුවන් තොටිල්ල' දෙදරා යන තැනට පත්ව තිබේ. සාතිශය සුපිරිසිදු ප්‍රගතිශීලී රඟපෑම් මොනතරම් ව්‍යාජ ද යන්න මේ රටේ ජනතාව අවබෝධ කර ගත්තේ මීට වසර 3කට පෙර ය. මේ හෙළිදරවු කිරීම් හරහා ගම්‍ය වන්නේ එදා රටවැසියා ගත් ක්‍රියාමාර්ගය මොනතරම් ප්‍රශස්ත ද යන්න ය.

වරෙන්තුකාර උදයංගලා 'රතු පලස් මතින්'ගෙන්වන්නට රාජපක්ෂලා සිහින දකියි. 'සොරකම දූෂණය 'ලියාපදිංචි කළ රටක් බවට ශ්‍රීලංකාව හරවා තැබූ රාජපක්ෂලාගේ 'නිරුවත' හෙළිදරවු වන විට ඔවුන් කරන්නේ අනෙකාගේ නිරුවත පෙන්වීම ය.

'රාජපක්ෂ සහ ඔහුගේ ආධාරකරුවන් වෙත මේ ලිපිය සඳහා අදහස් දැක්වීම පිණිස මාස කිහිපයක් මුළුල්ලේ දිගින් දිගට ම ඉල්ලීම් කළ නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. චීන වරායේ නිලධාරීන් ද අදහස් නොදැක්වූහ' යනුවෙන් පුවත්පත සඳහන් කරයි.නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතටත් ප්‍රතිචාරයක් නොදක්වන්නට තරම් ඔවුහූ 'මාර චරිතය'.'2015 මහ මැතිවරණය සමයේදී චීන වරාය ඉදිකිරීමේ අරමුදල (Chinese port construction fund) හරහා ලැබුණු විශාල ගෙවීම් කෙළින්ම බැහැර වූයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මිතුරන් සහ ක්‍රියාකාරීන් හට ය. ඔවුන් හැම විටම චීනයේ කොන්දේසිවලට එකඟ වී සිටි අතර, දකුණු ආසියාව තුළ ඉන්දියාවේ බලපෑමෙන් මිදීම සඳහා ගන්නා උත්සාහයන් තුළ වැදගත් මිතුරකු සේ චීනය සැලකිණි. ලිපි ලේඛන මගින් අදාළ ගෙවීම් සිදු කෙරී ඇති අතර, එහිදී හුවමාරු වූ කෑෂ් චෙක්පත් ද රජයේ විමර්ශනයකදී ‘ද නිව්යෝක් ටයිම්ස්‘ විසින් දැක ඇත.'

(උපුටා ගැනීම'නිව්යෝර්ක් ටයිම්ස්- How China Got Sri Lanka to Cough Up a Port‘ ලිපිය)

අදාළ චෝදනා සම්බන්ධව ස්වකීය ප්‍රතිචාරය දක්වා නිර්දෝෂී බව ඔප්පු කරනවා වෙනුවට 'හරාකිරි ක්‍රමයට බඩ කපා ගන්නවා 'කියා හෝ 'නීතියට විරුද්ධ ලෙස 'සිය දිවි නසා ගන්නවා කියා පාරම් බාන්නට හෝ හේතුවක් නැත; කළ යුත්තේ මුහුණ දීම ය. ශ්‍රී ලංකාවේ එවක මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඇස්තමේන්තු මගින් ලබාදෙනුයේ අසතුටුදායක චිත්‍රයකි. මේ වසරේ ආණ්ඩුව සිය ආදායම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14.8 ක් උත්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි. නමුත් එයින් ලොව පුරා සිටින ණය හිමියන් වෙත ගෙවීමට ඇති ණය ඇමරිකානු ඩොලර් බිලියන 12.3 ක් වේ. ඉතින්, මහින්දලා කීවේ 'ආසියාවේ ආශ්චර්ය'කියලා ය. සත්තකින් ම එය නම් අයස්කාන්ත ආශ්චර්යකි. හම්බන්තොට වරාය ගිවිසුම හරහා සිදු වූ බරපතළ ව්‍යසනය බොහෝ දෙනා අමතක කොට දමලා ය. 'මම මේ රටේ හිමිකරුවා නොව, මම මේ රටේ බාරකරුවා පමණයි. ඒ නිසා බිය සැක නැති මේ එක්සේසත් කළ රට ඔබට බාරයි. "මහින්ද නිතර කීවේ එහෙම ය. හැබැයි ජනතාව අසන්නේ 'ඔබ එනවිට ඔබට බාර දුන්න රටේ ප්‍රමාණයම' ආපසු අපිට බාර දුන්නා ද කියාය. 'ඒ හතරබීරි කතාව මොකක්ද? 'කියා කෙනෙක් අසනවා නම් දෙන්න තියෙන්නේ මෙහෙම උත්තරයක් ය. 'තවද, මෙයින් අයිති කර දුන් දේපළ හා ඊට අයිති සියලු දේත් දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එම අයිතිවාසිකම්වලටද ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමා කිරීම්වලට ද යටත්ව එකී ෂැංග්‍රිලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා භාර දෙම්හ.'

2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඉහත ඇති ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ය.

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන් ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේ ය. 'රටට අලුත් දිවයිනක්', 'ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවරවුණු පුරවරය', 'කොළොම්තොටේ අසිරි පුරයක් අභිමන් දේශයක ආශ්චර්ය', 'සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ', 'විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්,' 'කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය' ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.

'පෝට්සිටි' ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන්න 'කියා එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලන කොට අගමැතිව සිටි දි.මු. ජයරත්න කීවේ 'ඉක්මනින්' ඒවා ඉදිරිපත් කරන බවක් ය.

සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ වැනි දේවලින් සමන්විත 'කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතිය සඳහා සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් දරන අතර එ් මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර් 108ක ප්‍රමාණයක් ලබාදීමට නියමිත විය.

ඒවා දැන් හැමෝටම අමතක වෙලාය.

ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ 'ෂැන්ග්‍රිලා හෝටෙල් ව්‍යාපෘතිය'ට ය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේ ය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජු ව ම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුව ය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අස්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීම ය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුණන්නේ රජය විසින් ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින් ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත.

මේ ආණ්ඩුව රට විකිණනවා කියා හන්දිගානේ කෑ මොර දෙන මහින්දවාදීන් අතීතය අමතක කරන්නේ ඔහොම ය.

මානාභරණ

අදහස්