බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව විපක්ෂයක වගකීම! | සිළුමිණ

බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව විපක්ෂයක වගකීම!

ISIS ප්‍රහාර එල්ල වූ අනෙක් රටවලත් මෙවැනි විශ්වාසභංග ගෙන ආවාද?

ඇල්මැරුණු විවාදයක්; විවාදයට අවශ්‍ය ගණපූරණයවත් නැහැ

විශ්වාසභංගයේ අරමුණ ගැන විපක්ෂය තුළම කසුකුසු

මුල්ම විශ්වාසභංගය ආවේ 1949දී

රිසානාගේ මරණය නිසා 2013දී හිටපු ඇමැති ඩිලාන්ට විශ්වාසභංගයක්

මේ රජයට මුල්ම විශ්වාසභංගය ආවේ 2015 ඇවන්ගාර්ඩ් සිදුවීමට

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය මුල් කරගනිමින් ආණ්ඩුව වෙත එල්ල වූ විශ්වාසභංගය පසුගියදා පාර්ලිමේන්තුවේදී රජය ජය ගත්තේ වැඩි ඡන්ද 27කිනි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ මේ විශ්වාසභංගයට සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී විපක්ෂයට එක් වූ මන්ත්‍රී පිරිසද සහාය දැක්වු අතර, ඒ සියලු සහයෝගයෙන් වුවද විපක්ෂයට ලබාගත හැකි වූයේ ඡන්ද 92කි. මෙහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ අතර, ඒ අනුව විශ්වාසභංගයට විපක්ෂව හෙවත් රජයට පක්ෂව ඡන්ද 119ක් ලැබිණි.

විශ්වාසභංග පිළිබඳ මේ ආසන්නතම අත්දැකීමත් සමඟ මෙරට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ඉතිහාසය විමසා බැලීම සුදුසුය. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු විශ්වාස භංගය එල්ල වූයේ 1949 වසරේ සැප්තැම්බර් 20 වැනි දිනදීය. ඒ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගෙනි. මේ මුල්ම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේද එවට එක්සත් ජාතික පක්ෂ රජයේ සිටි ජී.ජී. පොන්නම්බලම් මහතාට එරෙහිව එවකට සිටි අගමැතිවරයා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙනි. මෙහිදී පක්ෂව ඡන්ද 30 ක්ද, විපක්ෂව ඡන්ද 55 ක්ද ලැබුණි. 1978 වසරේදි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණි. මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංඛ්‍යාව 8 කට වැටී තිබුණි. අතුරු මැතිවරණ හරහා එවකට සිටි රජය තව ආසන කිහිපයක් දිනාගෙන සිටි මොහොතක හා ද්‍රවිඩ පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පළවා හැර තිබූ මොහොතක විපක්ෂය එවකට වැඩි බලයක් තිබු එක්සත් ජාතික පක්ෂ රජයට විරුද්ධව විශ්වාස භංගය ගෙනාවේ තමන් එයින් පරදින බව දැන දැනමය. 1984 වසර තවත් එවැනිම විශේෂ සිදුවිමක් විය. 1984 අප්‍රේල් 6 වැනිදා එවකට පැවැති ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ සමස්ත ආර්ථක ප්‍රතිපත්ති වෙනුවෙනි. එහිදි මෙම විශ්වාස භංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 10 කි. එහෙත් විශ්වාස භංගයට විපක්ෂව ඡන්ද 126 ක් ලැබුණි. පාර්ලිමේන්තු ඉතිහාසයේ පමණක් නොව අපට මතක ඇති මෑත ඉතිහාසයේත් මෙවැනි විශ්වාස භංග ගෙන ආ අවස්ථා ඕනැ තරම් ය. 2010 වසරේ ඔක්තෝම්බර් මස 7 වැනි දා එවකට ජාත්‍යන්තර සබඳතා ඇමැති ධූරය දැරූ මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් විය. ඒ රටේ නම්, රටේ කීර්ති නාමය ඉදිරියට ගෙන යාමට ඇමැතිවරයා අපොහොසත් විම නිසාවෙනි. මෙහිදි විශ්වස භංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 32 ක් වන අතර විරුද්ධව ඡන්ද 139 ක් ලැබුණු අතර ඉතා පහසුවෙන් විශ්වාස භංගය පැරුද්දිමට සමත් විය.

2013 වසරේ මැයි මාසයේ 7 වැනිදා පාර්ලිමේන්තු විශ්වාස භංග ඉතිහාසයේ වෙනස් කරමින් විශ්වාස භංගයක් ඉදිරිපත් වූයේ එවකට විදේශ රුකියා හා සුබ සාධන ඇමැතිව සිටි ඩිලාන් පෙරේරා මහතාට විරුද්ධවය. එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ මේ විශ්වාස භාංගය අතිශයින් සාතිශය දනවන කරුණක් එයට ඇතුළත් කෙරුණි. ඒ මැද පෙරදිග රටකදි ගෙල සිඳ මරණයට පත්කළ රිසානා නාසික්ට සාධාරණයක්ඉටු කිරීමට ඇමැතිවරයා ලෙස ඔහු අපොහොසත් විම නිසාවෙනි. රිසානා නාසික් හට කිසිදු ආකාරයක අර්ථාන්විත සහයක් ලබා නොදීම හා ඇය අවාසානාවන්ත ලෙස ඉන් මරණයට පත්විම යන වගන්ති එහි අන්තර්ග විය. මෙහිදිද විශ්වාස භංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 32 ක් වන අතර විරුද්ධව ඡන්ද 136 ක් ලැබුණි. ඉන් වසරකට පසු එනම් 2014 වසරේ මාර්තු මස 20 හා 21 වැනිදා නැවතත් එවකට පවත්නා රජයට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂ රජයය. ඒ ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ අනෙක් රටවලට හෙරෝයින් බෙදා හරින කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කළායැයි යන චෝදනාව මුල් කර ගනිමිණි. ඒ අවස්ථාවේදි ද මෙම විශ්වාස භංගය පැරදුණු අතර පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර විශ්වාස භංගයට විරුද්ධව ඡන්ද 151 ලැබුණි. මෙහිදි 15 දෙනෙකුගේ නොපැමිණීමක්ද වාර්තා විය. වත්මන් රජයට එල්ල වූ විශ්වාස භංග වත්මන් රජයට හා එහි මැති ඇමැතිවරුන්ට විරුද්ධව එල්ල වූ ප්‍රථම විශ්වාස භංගය මෙය නොවේ.

2015 වසරේ වත්මන් රජය බලයට පත්විය. ඒ වසරේම එනම් 2015 වසරේ නොවැම්බර් 7 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙනාවේ එවකට නීතිය හා සාමය ඇමැති ධූරය දැරූ තිලක් මාරපන මහතට විරුද්ධවය. ඒ ඇවන් ගාර්ඩ් සිදුවීම මුල් කර ගිනිමිණි. කෙසේ වෙතත් විශ්වාස භංගය ගෙන ඒමට කලින්ම ඇමැතිවරයා තනතුරින් ඉවත් විම නිසා මේ විශ්වාස භංගය විවාදයට ගැනුනේ නැත. 2015 නොවැම්බබර් 27 වැනිදා වත්මන් එජයේ තවත් ඇමැතිවරයෙකුට විරුද්ධව විශ්වාස භංගයක් එල්ල විය. ඒ එවකට මුදල් ඇමැති ධූරය දැරූ රවි කරුණානායක මහතාට විරුද්ධවය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ මේ විශ්වාස භංගයෙන් එල්ල වු චෝදනාව වූයේ වැරදි සහගත තොරතුරු ලබා දිම වෙනුවෙනි. එය අයවැය ඡන්ද විමසිමත් සමඟම දියවි ගියේය.

නැවතත් 2016 වසරේ ජුනි මස 9 වැනිදා එම ඇමැතිවරයාටම විශ්වාස භංගයක් එල්ල විය. ඒ මුදල් ඇමතිවරයා වශයෙන් රවි කරුණානායක මහතා රුපියලේ බිඳ වැටීමට හා ජාතික ආර්ථිකයේ කඩා වැටීමට ක්‍රියා නොකිරීම පිළිබඳවය. ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ මේ විශ්වාස භංගය පරාජය වු අතර එයට පක්ෂව ලැබුණේ ඡන්ද 51 ක් හා විපක්ෂව ඡන්ද 145 ක් ලැබුණි. මෙහිදි 28 දෙනෙකුගේ නොපැමිණීම්ද වාර්තා විය. නැවතත් 2018 අගෝස්තු 8 වැනිදා එම ඇමැතිවරයාටම විශ්වාස භංගයක් එල්ල විය. ඒ අවස්ථාව වන විට ඇමැති රවි කරුණානායක මහතා විදේශ කටයුතු ඇමැතිවරයාය. ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ මේ විශ්වාස භංගයට ප්‍රධාන චෝදනාව වූයේ මහා බැංකු බැදුම්කර වංචාවය. කෙසේ වෙතත් විශ්වාස භංගය විවාදයට ගැනිමට පෙර ඇමැතිවරයා සිය ඇමැති තනතුරින් ඉල්ලා අස්විය. අගමැති හා එවකට ජාතික ප්‍රතිත්ති හා ආර්ථික සබඳතා ඇමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රජය යටතේ මුල්ම විශ්වාස භංගය ගොනුවූයේ 2018 අප්‍රේල් 4 වැනිදාය. ඒ ඒකාබද්ධ විපක්ෂය විසිනි. මහා බැංකු බැදුම් කර සිදුවූමේ චෝදනා ඉදිරිපත් කරමින් එල්ල වු මේ විශ්වාස භංගය පහසුවෙන් පරාජයට පත් කරන්නට පාර්ලිමේන්තුවට හැකිවිය. මෙහිදි විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 76 ක්ද, විරුද්ධව ඡන්ද 122 ක්ද ලැබුණු අතර 26 දෙනෙකුගේ නොපැමිණිම්ද වාර්තා විය.

දින 52 ආණ්ඩු කාලයේ විශ්වාස භංග මෑත කාලයේ පාර්ලිමේන්තුව වජාත් උණුසුම් වූයේ පසුගිය වසරේ අග භාගයේය. දින 52 ආන්ඩු කිරීමේ කාලය තුළ පාර්ලිමේන්තු ඉතිහාසයේ අප මෙතෙක් නොඇසු අපූරු සිදුවිම්ද වාර්තා වු යුගයකි. නිතිය අවනිතිය කරමින් සිදුවූ කෙටි කාලින ආණ්ඩු පෙරළියේදි අගමැි වශයෙන් පත්වු මහින්ද රාජපක්ෂ මහතාට හා එම කැබිනට් මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ගෙනි. එම ආණ්ඩුවට කටයුතු කිරිමට කිසිදු නීත්‍යාණුකූල පදනමක් නොමැති බව පවසමින් උණුසුම් වු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසිම සිදුවූයේ වෙනස්ම ආකාරයෙනි. ඒ ශබ්දය මත පදනම් වූ ඡන්දයකි. මේ අවස්ථාවේ එවකට ආණ්ඩු බලය ගත් පිරිස්වල දැඩි විරෝධතා මධ්‍යෙය් කතානායක වරයාට තින්දු දෙන්නට සිදුවූයේ හඬ පදනම් කරමිණි. පාර්ලිමේන්තුව උණුසුම් වු නොවැම්බර් මස14, 15 හා 16 යන දින තුනේදීම එවැනි විශ්වාස භංග කිහිපයක්ම ඉදිරිපත් වූයේ මේ නීත්‍යානුකූල නොව රජයට විරුදධවය. 15 වැනිදා විශ්වාස භංගය ඇමැති ලක්ෂමන් කිරඇල්ලේ මහතාත්, 16 වැනිදා එම්. ඒ සුමන්තිරම් මහතාත්ය.

පාස්කු පෙරළියෙන් අනතුරුව එල්ල වු විශ්වාසභංග අප්‍රේල් 21 වැනිදා එල්ල වු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව විශ්වාස භංග දෙකක් එල්ල විය. එයින් එකක් හිටපු ඇමැති රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිවය. ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ මේ විශ්වාස භංගයේ ප්‍රධාන චෝදනාව වූයේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධකම් ඇතැයි පැවැසෙන ඉබ්‍රහිම් ඉන්සාෆ් සමඟ සබඳකම් පැවැත්වූවේයැයි චෝදනාවටය. ඒ නිසා ඔහු ඇමැති තනතුරේ සිටිමට නුසුදුසු බවට චෝදනා එල්ල වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලිය රතන හිමිගේ උපවාසයෙන් පසුව සිය ඇමැති තනතුරින් ඉවත් විමත් නිසා මෙය විවාදයට ගැනිමට අපොහොසත් විය. මැයි මස 21 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ විසින් වත්මත් අගමැති හා රජයට විරුද්ධව බාර දුන් විශ්වාස භංගයද ලිපියේ පෙර සඳහන් කළ පරිදි ප්‍රධාන චෝදනාවන් වුයේ පාස්කු ප්‍රහාරය හා ඉන් අනතුරුව ඇති වු තත්ත්වයන්ය.

මෙවර ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට මුල් වූයේ පසුගිය අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්තවාදි ප්‍රහාරයයි. මේ ප්‍රහාරය පිළිබඳ කලින් තොරතුරු ලැබුණද එය වළක්වාගැනීමට අපොහොසත් වීම, ප්‍රහාරයෙන් පසු ඇති වූ ගැටුම්කාරි තත්ත්වය වළක්වාගැනීමට අපොහොසත් වීම, ප්‍රහාරයෙන් මාස දෙකහාමාරක් ගෙවුණද සංචාරක කර්මාන්තයේ හා ආර්ථිකයේ කඩාවැටීම වළක්වාගන්නට අපොහොසත් වීම හා ප්‍රහාරයෙන් පසු විවිධ ගිවිසුම් මාර්ගයෙන් හෝ විදේශ මැදිහත්වීම්වලට පාර කැපීම වැනි කරුණු හතරක් ඔස්සේ මේ විශ්වාසභංගය ඉදිරිපත් කර තිබුණද ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ඔප්පු කිරීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය සතු නොවිණි.

ISIS ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ ප්‍රථම රට ලංකාව නොවන්නේය. එහෙත් නිතරම ආණ්ඩු පෙරළීමට උත්සාහ කරන අප රටේ විපක්ෂය ගිලෙන්නට වැර දරන්නකු තණතොළ ගසේත් පිහිට පතන්නාක් මෙන් මේ විශ්වාසභංගය ගෙන එමින් ගම්‍යමාන කිරීමට යත්න දරන්නේ එවන් ප්‍රහාරයක් එල්ල වූ එකම එට ලංකාව පමණක් බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විවාදයට එක් වෙමින් පළ කළ අදහස්වලින් මේ ‍බව මොනවට තහවුරු වෙයි:

"ISIS ත්‍රස්තවාදීන් ලෝකයේ සමහර තැන්වලට ප්‍රහාර එල්ල කළා. ඒත් එය මුල් කරගෙන ඒ රටවල් දේශපාලන වාසි ගන්න උත්සාහ කළේ නැහැ. අපේ රටට මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් වෙලා තියෙද්දි අපේ වගකීම විය යුත්තේ ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කිරීමයි. අපි දුක් වෙන්න ඕනෑ අපට එහෙම එකතු වෙන්න බැරි වීම ගැන. ප්‍රහාර එල්ල වු කිසිම රටක ඒ රජයට විරුද්ධව විශ්වාස භංග ගෙනාවේ නැහැ..."

විශ්වාසභංග විවාදයට එක් වෙමින් එස්.එම්. මරික්කාර් මහතා දැක්වූයේද එවැනිම අදහසකි:

"අපි පක්ෂයට වඩා රටට ආදරෙයි. අද පිරිසක් පාස්කු ප්‍රහාරය නාට්‍යයක් කරගෙන. ඒ තුළින් කැම්පේන් එකක් කරගෙන යනවා, වත්මන් රජය වෙනස් විය යුතුයි කියා. මෙය ජනාධිපතිවරණය දක්වාම ගෙන යන බව අපි දන්නවා..."

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ මේ විශ්වාසභංග යෝජනාවේ විවාද පාර්ලිමේන්තුවේදී පැවැත්වූයේ ඇල්මැරුණු ස්වභාවයෙන්ය යන්න බොහෝ දෙනාගේ අදහස විය. විවාදය පැවති මුල් දිනයේ මැති සබේ ගණ පූරණය නොවීමෙන් පාර්ලිමේන්තු විවාදය අතරමඟ නැවතිණි. විපක්ෂය නොනවත්වාම මේ ප්‍රහාරයේ වගකීම අගමැතිවරයා හා ආණ්ඩු පක්ෂය මත පැවැරුවද එය එසේ කිරීම කොතරම් සාධාරණීකරණය කළ හැකිද යන්න සනාථ කිරීමට මැති-ඇමැතිවරු උපයෝගි කරගත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට දුන් ඇප තීන්දුවය.

"විපක්ෂය අපට එල්ල කළ සියලු චෝදනාවලට පිළිතුර මේ නඩු තීන්දුවේ තිබෙනවා. මේ තොරතුරු ලබා දී ඇත්තේ වට්ස්ඇප් මඟින් කියලා මහේස්ත්‍රාත්තුමිය සිය තීන්දුවෙන් කියා තිබෙනවා. ඒ වගේම මෙවන් වටිනා බුද්ධි තොරතුරුක් වට්ස් ඇප් මාර්ගයෙන් ලබාදීම බුද්ධි ගෝචරද කියා අධිකරණය අහනවා. මේ විශ්වාසභංගයෙන් ආරක්ෂක ඇමැතිට වගකීමක් නැද්ද? ඇයි අගමැතිවරයා පමණක් මේ විශ්වාසභංගයෙන් සඳහන් කරන්නේ. ෂේප් න්‍යායෙන් තමයි මේ විශ්වාසභංගය ගෙනත් තියෙන්නේ..." ඒ ඇමැති ලක්ෂමන් කිරිඇල්ලේ මහතාය.

"මේ විශ්වාසභංගය ගෙනාවේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටයි කියලා අප දන්නවා. අප කළ යුත්තේ මෙහි ජය පරාජය ගැන හිතන්නේ නැතිව මෙවැනි දේ යළිත් අප රටට ඇති නොවීමට එකතු වීමයි. මේ ප්‍රහාරයේ වගකීම නිලධාරීන් මත තබා අත පිහදාගන්න අපට බැහැ. මහේස්ත්‍රාත්තුමිය සිය නඩු තීන්දුවෙන්ද ඒ බව ප්‍රකාශ කළා. සහරාන්ලා නිර්මාණය කළ ත්‍රස්තවාදය අප තුරන් කළ යුතය. වහබ්වාදි අන්තවාදය අප තුරන් කළ යුතුයි..." ඒ ඇමැති හර්ෂ ද සිල්වා මහතාය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ මේ විශ්වාසභංගයේදී විපක්ෂයේ පක්ෂ එකිනෙකාට චෝදනා කරගැනීමට මෙහිදී පැහැදිලිව කැපීපෙනිණි. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීන්ගේ දැඩි චෝදනා ජනතා විමුක්ති පෙරමුණට එල්ල කළේ මේ විශ්වාසභංගය මඟින් ආණ්ඩුව ශක්තිමත් කරන්න කටයුතු කරන බව පවසමිනි.

"මේ විශ්වාසභංග යෝජනාවේ සද්භාවය ගැන සැකයක් මතු වනවා. ජනතා විමුක්ති පෙරමුණ මෙය ගෙනාවේ කුමන අරමුණින්ද යන්න..."

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගය. "බල පෙරළියට කර ගහපු ජේවීපිය, දින 51න් රනිල්ට ආණ්ඩුව අරගෙන දෙන්න කටයුතු කළ ජේවිපිය, මාස ගණනක් යන්න කලින් විශ්වාසභංගයක් ගෙනාවා, මේ ආණ්ඩුවට විරුද්ධව. ඒත් මොන අරමුණකින් ගෙනා විශ්වාසභංගයක් වුවත් අප එයට සහාය දෙනවා. ඒ ඔවුන්ගේ අරමුණ බලලා නෙමෙයි..."

මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකු සැක මතු කරන්න වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ පිළිබඳවය. විශ්වාසභංග විවාදයේදී කතා කළ රජයේ කිසිදු මැති-ඇමැතිවරයකු මෙවන් අවස්ථාවක රජය සතු වගකීම අවතක්සේරු කළේ නැත. එහෙත් මෙහිදී ඔවුන් අවධාරණය කළේ රට මෙවන් අවස්ථාවකට පත් වූ පසු ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයෙන්ද යන්නයි.

"ආණ්ඩුව වන අපට, ආරක්ෂක අංශවලට, බුදධි අංශවලට මෙහි වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඒත් එහි පියවර ආණ්ඩුව ඉල්ලා අස්වීමද, අස් වෙලා අන්තර්ජාතික ත්‍රස්තවාදයට අපේ රට ගිලගන්න අවස්ථාව සලසා දීමද? ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල වූ විගස එහි වගකීම කා පිට හෝ දැමීමයි පසුගියක කාලවල සිදු වුණේ. පාර්ලිමේන්තුවේ 225 දෙනාටම නිශ්චිත වගකීමක් තිබෙනවා. ජනතාවට ඇති වූ බිය, ආතතිය අප දුරු කළ යුතුයි. මද්‍රසා පාසල්, ශරීයා විශ්වවිද්‍යාල, බුර්කා, දික්කසාද සම්බන්ධ තිබෙන නීති-රීති සංශෝධනය කළ යුතුයි. මේ වගකීම පාර්ලිමේන්තුවේ අපට තියෙනවා..."

ඒ ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. විවාදයේදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ බොහෝ මැති-ඇමැතිවරුන්ගේ අදහස වූයේ මෙය නිෂ්ඵල වෑයමක් බවයි. පිළිගත් පක්ෂයන් ලෙස විපක්ෂයේ කාර්යභාරය මෙයදැයි බොහෝ දෙනකුගේ විවේචනයට බඳුන් වූ අතර පඳුරුවලට නිකම් නොවිද හාවුන් සිටින තැන් බලා විදින්නට නොහැකිදැයි ඔවුහු තර්ක කරන්නට වූහ. ඒකාබද්ධ විපක්ෂය පවා මේ විශ්වාසභංගයට සිය සහාය දැක්වූයේ එල්ලෙන්න වෙන වැල් නැති නිසාදැයි බොහෝ දෙනකුගේ චෝදනා විය. මේ විශ්වාසභංග අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගයක් එල්ල වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටය. ඒ වගකීම් පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමිනි. ඒ විශ්වාසභංගය ජය ගන්න තමන්ගේ විපක්ෂයේ 97 දෙනා ගෙන්නා පෙන්වන ලෙසයි. කෙසේ වෙතත් විශ්වාසභංග විවාදයේදී විපක්ෂ නායකවරයා සිය අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය. විශ්වාසභංගයේදී බොහෝ දෙනකු බලා සිටියේ ටීඑන්ඒ පක්ෂයේ ස්ථාවරය පිළිබඳවය. එය විශ්වාසභංගය විවාදයට ගන්නා තෙක් නොපැහැදිලි තීරණයක් වූ අතර එහි නායක ආර්. සම්පන්දන් මහතා සිය අදහස් දැක්වූයේ ඡන්ද විමසීමට ආසන්න මොහොතේදීය.

කෙසේ වෙතත් විපක්ෂයට මෙය ජය ගැනීමේ බලාපොරොත්තු මුල සිටම සුන් වී තිබුණු බව විවාදයේදී අදහස් දැක්වූ බොහෝ දෙනකුගේ අදහස විය. පාස්කු දින ප්‍රහාර එල්ල කළ සංවිධානයේ නායකයන් බොහෝ දෙනකු ප්‍රහාරයත් සමඟ මියගොස් හමාරය. ඔවුන්ගේ වචනයෙන් පැවැසුවොත් ඔවුන් ස්වර්ගයට ගොස් ඇති සැටියකි. එසේම ප්‍රහාරයෙන් සුළු මොහොතක් තුළ අපේ ආරක්ෂක හමුදාව විසින් ඊට අදාළ බහුතරයක් අත්අඩංගුවට ගෙන හමාරය. මේ නිසා රජය කිසිදු නොකළායැයි විපක්ෂයේ පුහු තර්ක ඔවුන්ටම ඔප්පු කරන්නට නොහැකි වී ඇත්තේය. එහෙත් මේ සියල්ලෝම මහජන නියෝජිතයෝය. ජනතාව ඔවුන් සිය වටිනා ඡන්දයෙන් පත් කළේ මෙවන් පුහු මතවාද ඉදිරිපත් කරමින් කාලය කාදමන්න නොවේ.

රටේ ජනතාවට යළි සහරාන්ලාගේ ප්‍රහාරයක් ඇවැසි නැත. දරුවන්ට ආරක්ෂිතව පාසල් ගොස් අකුරු කරන්න පරිසරයක් උදා විය යුත්තේය. පල්ලියට, පන්සලට ගොස් නිදහසේ ආගම සිහි කරන්න ජනතාවට අයිතියක් තිබිය යුතුය. ජනතාව එවන් අයිතියක් බලාපොරොත්තු වන යුගයක සිය අතින් කතිරයක් ගසමින් තමන් පත් කළ මහජන නියෝජිතයන්ගේ මෙවන් හැසිරීම් රටේ ජනතාවට ඇවැසි නැත. සහරාන්ලාගේ ප්‍රහාරයේ හොල්මන් බඳු මේ දේශපාලන කුණාටු ජනතාව කවදත් ප්‍රතික්ෂේප කරන්නේය. රටක විපක්ෂය සතු කාර්යභාරය ජනතාව අසරණ වු මොහොතක රජය පෙරළීමදැයි අපි ඔවුන්ගෙන්ම ප්‍රශ්න කරන්නෙමු.

Comments