චීනයෙන් අපට ඕනෑ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනයි | සිළුමිණ

චීනයෙන් අපට ඕනෑ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනයි

මෑතකාලීනව ශ්‍රී ලංකාව හා චීනය අතර ආර්ථික ක්ෂේත්‍රයේ ඉතා සමීප සබඳතාවක් ගොඩනැඟීම ඉන්දීය මාධ්‍ය ඔස්සේ පවා දැඩි කතාබහට ලක් වු අතර, ඔවුන්ගේ අදහස වුයේ ඉන්දීය බලපෑම අබිබවා වැඩි වේගයකින් චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවයි. මේ අතර ස්වකීය චීන සංචාරය අතරතුර Global Times නමැති එරට ප්‍රවෘත්ති පත්‍රය සමඟ පැවැත්වු කෙටි සංවාදයකදී උපායමාර්ගික සංවර්ධනය හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා චීනය සහ ඉන්දියාව දක්වන සහයෝගිතා පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම හා ශ්‍රී ලංකාවට චීනයෙන් වඩාත්ම අවශ්‍ය කරන්නේ කෙබඳු ආයෝජනද යන්න පිළිබඳ අදහස් දක්වා තිබුණේ මේ අයුරිනි.

• ශ්‍රී ලංකාව චීනයෙන් බලාපොරොත්තු වන්නේ කුමන මාදිලියේ ආයෝජන ද?

චීනය දැනටමත් අපගේ යටිතල පහසුකම් යටතේ බෙහෙවින් ආයෝජනය කර තිබෙනවා. එහෙත් දැන් අප චීනයෙන් බලාපොරොත්තු වන්නේ අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනය කළ හැකි චීන ආයෝජකයන්ගේ පැමිණීමයි. අප බලාපොරොත්තු වනවා අපගේ ජනතාවට වඩාත් හොඳ රැකියා සපයා දෙන්න. එනිසා චීනයේ නිෂ්පාදන ව්‍යාපාරවල යෙදී සිටින ව්‍යවසායකයන්ගේ පැමිණීම අපට වැදගත් වනවා.

• කොළඹ වරාය-නගර ව්‍යාපෘතියේ පළමුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ලබන ජනවාරියේ අවසන් වනවා. එහි කටයුතු දැන් හොඳින් සිදු වනවා ද? මෙවැනි නගරයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාවේ සැලසුම් මොනවාද?

ඔව්. එහි පළමු අදියරෙහි කටයුතු අවසන්. දැන් අප එයට බලපාන නෛතික කටයුතු සම්පාදනය කරමිනුයි සිටින්නේ. තවත් මාසයකින් හෝ දෙකකින් ඒ කටයුතු සම්පුර්ණ කළ හැකියි. අදාළ නීති කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කැබිනට් මණ්ඩලය වෙත යවා තිබෙන බව මා හට දැනගන්න ලැබුණා. ඒ සඳහා අපට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත යුතු නිසා අප මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරමින් සිටිනවා.

ඉදිරි මාස දෙකක් හෝ තුනක් ඇතුළත මේ වරාය-නගරයට බලපාන නීති පද්ධතිය තීරණය කිරීමට හැකි වනවා. චීන සමාගමක් වන චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම වරාය-නගරයෙහි අලෙවිකරණ කටයුතු සඳහා අපට සහය වනවා.

දැනටමත් මෙහි ඇ.ඩො. මිලියන 800ක් පමණ වැය වන මහා පරිමාණ ගොඩනැඟිලි දෙකක් ඉදි කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා.‍ අදාළ නීති සහ බදු සහන පිළිබඳ තීරණය කිරීමෙන් පසු අවශ්‍ය අනුමැතිය දීමට කටයුතු කරනවා.

අප මෙහි විශේෂ ආර්ථික කලාපයක් සහ එය මෙහෙයවීමට සුවිශේෂ අධිකාරියක් පිහිටුවීමටත් බලාපොරොත්තු වනවා. ආයෝජකයන්ට හිතකර නීති සහ බදු සහනාවලියක් පමණක් නොව; මේ වරාය-නගරය පාලනය කිරීම සඳහාම වෙන් වූ පාලන අධිකාරියක් අවශ්‍යයයි. ඉදිරි මාසයක් හෝ දෙකක් ඇතුළත මේ හා සම්බන්ධ විස්තර සැපයිය හැකියි. එය සිංගප්පූරුවට සහ ඩුබායිවලට සමාන අනිවාර්යයෙන්ම ව්‍යාපාර හිතකාමි නගරයක් බවට පත් වෙවි. මේ සඳහා චීනයට පමණක් නොවෙයි; ලොව පුරා සිටින ආයෝජකයන්ට අප ආරාධනා කරනවා.

• කොළඹ වරාය පුළුල් කිරීමට ජපානය සහ ඉන්දියාව හවුල් ව්‍යාපාරයක් ඇරඹීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණා. ග්‍රීෂ්ම ඍතුවට පෙර දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට සුදානම් වන බවද ඒවායේ දැක්වුණා. ඔබ මේ කතාව අනුමත කරනවාද?

ඔබ දන්නවා අප වරායේ එක් පර්යන්තයක් දැනටමත් මෙහෙයවන්නේ චින වෙළෙඳ සමාගම් විසිනුයි. තවත් පර්යන්තයන් දේශීය සමාගමක් යුරෝපීය සමාගමක් හා එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවා. ඊළඟට තිබෙන පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ හවුල් ව්‍යාපාරයක් යටතේ සංවර්ධනය කිරීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙනවා. එහෙත් මේ පර්යන්තයේ අයිතිය අප වෙත තබාගෙන මෙහෙයුම් කටයුතු පමණයි ඔවුන් මඟින් සිදු කරන්නේ. මෙහිදී වැඩි කොටස් ප්‍රමාණයක අයිතිය අප වෙත රඳවාගන්නවා. ක්‍රියාත්මක කිරීමේ කාර්යවලට ජපන් විශාරදයන්ගේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු ‍වනවා. දැනටමත් කොළඹ වරායේ තිබෙන‍ නැව්බඩුවලින් 75%ක් පමණ අයත් වන්නේ ඉන්දියාවටයි. එනිසා ඉන්දියාවත් මේ මණ්ඩලයේ සිටීම අපට ඉතා වැදගත් කාරණාවක්. අප දැනටමත් අවබෝධතා ගිවිසුමක් අස්සන් කර තිබෙනවා. අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා මූල්‍ය පහසුකම් ලැබෙන්නේ ජපානයෙන්. ඒ යම් කොන්දේසි මතයි. මේ නිසා අපට මෙහි කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍යයි. ඉදිරි මාස දෙක ඇතුළත ඔවුන් මේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරනු ඇතැයි මා සිතනවා.

• ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව සහ චීනය අතර යම් තරගකාරිත්වයක් පවතින බව මාධ්‍ය ඔස්සේ් කතාබහක් පවතිනවා. ඔබ මෙය දකින්නේ කෙසේද?

ලෝකයේ සියලු රටවල් සමඟ අප ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යනවා. ඉන්දියාව වගේම චීනයත් අපට වැදගත්. ඉන්දියාව අපේ සමීපතම අසල්වැසියයි. ඔවුන් හා අප අතර ‍ඉතා හොඳ මිත්‍රත්වයක් පවතිනවා. අප මේ සැම සමඟ එකතු වී වැඩ කරනවා. මෙහි කිසිම තරගකාරිත්වයක් නැහැ. ඉන්දියාවත්, චීනයත් අප රටට පැමිණ ආයෝජනය කිරීම ගැන අපට ඇත්තේ සතුටක්. මක් නිසාද යත්: එයින් අපේ ආර්ථිකය වැඩි-දියුණු වනවා පමණක් නොව; අපගේ තරුණ ශ්‍රමිකයන්ට වඩාත් හොඳ රැකියා අවස්ථා උදා කර දෙන්නත් පුළුවන්. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු සියලු රටවල් අතර වාණිජ තරගකාරිත්වයක් පැවතීම ඉතා හොඳ දෙයක්.

• හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ගැන ඔබේ ඇගයුම කුමක්ද? ඒ සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

චීන වෙළෙඳ ප්‍රජාව අප අපේක්ෂා කළාටත් වඩා වැඩි වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට ඉන් යහපත් ප්‍රතිලාභ ලැබීමට තවත් වසර 6ත්-8ත් අතර කාලයක් තුළ හැකි වේවි. වරායේ කටයුතුවලින් පමණක් ලාභ ලැබීම දුෂ්කරයි. එනිසා අනෙකුත් කර්මාන්ත පැමිණීම තිරසර වන විට ඔවුන්ට වරායෙන් වැඩි කොටසක් භාවිත කිරීමට හැකි වේවි.

එහි තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට අප දැනටමත් සාකච්ඡා කරමින් සිටිනවා. අතරතුර කාලයේ සිමෙන්ති නිෂ්පාදනය කෙරෙන කම්හලක් ඉදි වනවා. ඒ වගේම අපට මෙන්ම ඔවුන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන චීන සමාගම් ගෙනෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ලෝකයේ වරායවල මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් චීන වෙළෙඳ සමාගම්වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. අතිවිශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙන්නේ ඔවුන් සතුවයි. එනිසා ඔවුන් ඉතා හොඳ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.

අප තවදුරටත් තෙල් පිරිපහදු කෙරෙන ‍ඉන්ධන නිෂ්පාදන කර්මාන්තශාලා සහිත ආයෝජන ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා.

• තවදුරටත් ශ්‍රී ලංකාව චීනයෙන් අනෙකුත් ව්‍යාපෘති සඳහා මූල්‍යමය ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වනවාද?

අපට තවදුරටත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍යයි. මීට ඉහතදී කැබිනට් මණ්ඩලය තීරණය කළ පරිදි මීළඟ අධිවේගි මාර්ග ව්‍යාපෘතිය චීනයට ලබාදීම පිළිබඳ දැන් අපගේ සැලකිල්ල යොමුව තිබෙනවා. එනිසා බොහෝදුරට එය ලබන වසරේදී ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන සිටිනවා. එයට සමගාමිව අප විසින් භාර ගත් ජල සැපයුම් ව්‍යාපෘති කීපයක් සඳහාද චීනයෙන් ආධාර මුදලක් ලබාගැනීමට බලාපොරොත්තු වනවා.

• පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු කඩාවැටුණු ආර්ථිකය යළි නැංවීමට ඔබගේ නව සැලසුම් මොනවාද?

ත්‍රස්තවාදි ප්‍රහාරය ගැන කතා කිරීමේදී ඉතා කඩිනමින් යථා තත්ත්වයට පැමිණීමට අපට හැකි වූ බව කිව යුතුව තිබෙනවා. සමහර ත්‍රස්තවාදීන් සියදිවි නසාගත්තා. සමහරුන් මරා-දමා තිබුණා. මේ සිද්ධිය අප පසුපසින් තිබෙනවා. එනමුත් මේ බෝම්බ සිද්ධිය නිසා යම් පසුබෑමක් සිදුව ඇතැයි මා සිතන්නේ නැහැ. ස්වභාවයෙන්ම සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට කෙටි කාලයක් ගත වෙවි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සංචාරක ප්‍රවර්ධකයන් බොහෝ රටවල සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ නිසා තවත් මාස තුනකින් හෝ හතරකින් යථා තත්ත්වයට පත් වේවියැයි අපේක්ෂා කරනවා. ඉතා මෑතකදී සියයකට වැඩි සංචාරකයන් පිරිසක් අප රටට පැමිණියා. ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම අන්තර්ජාතික සංචාරක කණ්ඩායම එයයි.

Comments