කොමිස් ගන්නෙ නැතිව දරුවන් දෙදෙනා පිටරට යැව්වේ කොහොමද? | සිළුමිණ

කොමිස් ගන්නෙ නැතිව දරුවන් දෙදෙනා පිටරට යැව්වේ කොහොමද?

ශ්‍රි ලංකාවේ සිවුවැනි විධායක ජනාධිපති වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 74 වැනි ජන්ම දිනය ඊයේ (29) වැනිදාට යෙදී තිබිණි. තමා පාලන කාලය තුළ දුෂණය පිටුදැකීම සහ පාලනයේ පාරදාෂ්‍යභාවය පිටුදැකිම වෙනුවෙන් ජනාධිපතිනිය ලෙස ඇය අනුගමනය කළ පිළිවෙත් පිළිබඳ ඇය විසින් ලියන ලද ලිපියේ තෙවන කොටස මෙසේ පළ වෙයි

කිසිදු ආකාරයක කොමිස් මුදලක් හෝ අල්ලසක් නොගෙන මගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය වූ විශාල මුදල් ප්‍රමාණය මා සොයාගත්තේ කෙසේදැයි යන්න ඇතැමකුට ගැටලුවක් විය හැකිය. ඒ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක පැහැදිලි කිරීමකින් තොරව දූෂණය සහ යහපාලනය ගැන කෙරෙන කිසිදු කතාවක් සම්පූර්ණ නොවනු ඇත. මගේ දරුවන්ගේ විදෙස් අධ්‍යාපනය ගැන මගේ ප්‍රතිවාදීන් විවිධ කතන්දර ගොතා තිබිණි. වෙනකක් තබා මගේ මිතුරන් මෙන්ම ආධාරකරුවන් පවා තමන් විශ්වාස කළ යුත්තේ මේ කතන්දරවලින් කුමක්දැයි විපිලිසරව සිටි අවස්ථා ඇත. මම මෙතෙක් මේ කරුණ අරබයා මුනිවත රැකීමි. එහෙත් ඒ විවේචන නිහඬ කරනු පිණිස මා සහ මගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අදාළ විස්තර හෙළි කිරීම මගේ වගකීමක් යැයි මම කල්පනා කරමි.

සිය උසස් පෙළ විභාගය සම්පූර්ණ කිරීමෙන් පසුව යශෝදරා 1998 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස කේම්බ්‍රිජ් සරසවියේ කොර්පස් ක්‍රිස්ටි විද්‍යායතනයේ ප්‍රවේශයට අවස්ථාව ලැබුවාය. එපරිද්දෙන්ම විමුක්තිද පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස බ්‍රිස්ටල් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද්දේය. ඒ අනුව පළමු අවුරුදු තුනට අධ්‍යයන ගාස්තු ලෙස බ්‍රිතාන්‍ය පවුම් 11,000ක් සහ නවාතැන් පහසුකම් සඳහා තවත් පවුම් 2500 වෙන් වෙන් වශයෙන් වාර්ෂිකව සපයා ගත යුතු විණි.

ඒ අවදිය වන විට ජනාධිපතිවරිය ලෙස මගේ මාසික වැටුප රුපියල් 25,000කි. මට උරුම වතුවලින් සහ රොස්මීඩ් පෙදෙසෙහි මගේ නිවස කුලියට දීමෙන් මා ලද පෞද්ගලික ආදායම රුපියල් 300,000කි. මට ඒ හැර අන් ආදායමක් නොවූ සේම මට අවැසි මුදල් දීම සඳහා සැමියකු හෝ මවුපියන් සිටියේ ද නැත. ඉඳින් මම ගණන් සෑදීමට පටන් ගතිමි. මා මගේ මූලික අවශ්‍යතා ඉක්මවා වියදම් කිරීමෙන් වළකින්නේ නම් අදාළ මුදල කළමනාකරණය කිරීමට මට හැකි බව එහිදී පෙනී ගියේය. ඒ කාලය වන විට බ්‍රිතාන්‍ය පවුමක හුවමාරු අගය ශ්‍රී ලංකා රුපියල් අසූපහකි.

අදාළ මුදල් මට කළමනාකරණය කරගත හැකිදැයි මගේ දියණිය මගෙන් විමසා සිටියාය. මම ඇයට ඒ පිළිබඳ කරදර නොවන්නැයි පවසා අපට කෙසේ හෝ එය පිරිමසාගත හැකි බව පවසා සිටියෙමි. අපට එය කෙසේ හෝ කළමනාකරණය කරගත හැකි වන බවට ගැඹුරු විශ්වාසයක් මගේ හද පත්ලේ තිබිණි. අවශ්‍යම අවස්ථාවකදී මට හොරගොල්ල ඉඩමින් කොටසක් විකිණිය හැකි බවට විශ්වාසයක් තිබිණි. එය සැලකිය යුතු වටිනාකමකින් යුක්ත ඉඩමකි.

කෙසේ වෙතත් මට කිසිත් නොපවසා අන්තර්ජාලය පිරික්සන්නට ගත් යශෝධරා ‘කොමන්වෙල්ත් කේම්බ්‍රිජ් ට්‍රස්ට්’ යනුවෙන් හැඳින්වෙන භාරයක් මඟින් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල අවශ්‍යතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බව සොයාගත්තාය. ඒ අනුව ඇය ඊට අයැදුම් කළ අතර අදාළ තෙවසර සඳහා ඇයට වාර්ෂිකව පවුම් 6000 බැගින් උපරිමයක් ලබා දිය හැකි බවට දන්වන ලදී. එය අපට මහත් අස්වැසිල්ලක්ම විණි. ඒ තත්ත්වය යටතේ මට ඊට අමතරව වසරකට සොයාගැනීමට අවශ්‍ය වූයේ පවුම් 7000ක මුදලක් පමණි. සැබැවින්ම එය මට සොයාගත හැකි සීමාවේ පැවතිණි.

ඒ ගැන සොයා බැලූ මට පොදුරාජ්‍ය මණ්ඩලයීය භාරයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ මගේ මිතුරකු වන එවක පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ මහ ලේකම්වරයා ධුරය දැරූ එමෙකා අන්යාඔකු බව දැන ගතිමි. ඔහුට මගේ කෘතවේදීත්වය පළ කිරීමට කොළඹ සිට ලන්ඩනය ඇමතූ මම ඔවුන් විසින් පිරිනමනු ලබන උපරිම මුදල ලබාගැනීම මසිතට බරක් ලෙස දැනෙනා බවත් ඉන් අඩක් පමණක් යශෝධරා හට ලැබෙන්නේ නම් එය ප්‍රමාණවත් බවත් ඉතිරිය මෙය වඩාත් අවශ්‍යව ඇති සිසුවකුගේ ශිෂ්‍යත්වය පිණිස යෙදවිය හැකි බවත් වැඩිදුරටත් දන්වා සිටියෙමි.

ඒ අවස්ථාවේදී අන්යාඔකු විසින් තෙපලන ලද වදන් තවමත් මගේ දෙසවන්හී රැව් නැඟෙයි. ‘ජනාධිපතිතුමියනි, කරුණාකර මෙය භාරගන්න. අවංකත්වය සහ ඒකාග්‍රතාව යන දුර්ලභ ගුණයන් පළ කර සිටින ඔබවන් නායකයන් දිරිගැන්වීම ලොවට අවශ්‍ය වී තිබේ.’

ඔහුගේ එම පිළිතුරෙන් මම තදින්ම කම්පනයට පත් වුණෙමි. ධුරයන්ගෙන් ඉසුඹු ලද පසුවද බොහෝ කලක් තිස්සේ අපි තවමත් මිතුරන් වී සිටිමු. විමුක්ති පශූ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ප්‍රින්සේසටන් සරසවි ප්‍රවේශය ලබනා තුරු දෙවසරක කාලයක් උදෙසා එසේ කේම්බ්‍රිජ් සරසවියෙහි යශේධරාගේ වියදම් කළමනාකරණය කරගැනීමට මම සමත් වීමි. විමුක්තිගේ අධ්‍යයන ගාස්තු පවුම් 9000ක් වූ අතර නවාතැන් සඳහා තවත් පවුම් 2000ක් සපයා ගත යුතු විණි. ඔහුද සිය අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර ඔහුටද පවුම් 2000ක ශිෂ්‍යත්වයක් ලැබිණි.

දැන් මට මුදල් අසීරුතා දැනෙන්නට පටන් ගැනිණි.

විමුක්තිගේ සරසවි දිවියේ පළමු වසර සහ යශෝධරාගේ තෙවෙනි වසර අවසනදී මම මා සතු දෙවන දේපළ ඔවුන්ගේ අධ්‍යාපනය උදෙසා විකුණා දැමීමි. එනම් පොල්හේන්ගොඩ නිවෙස විකුණා ඒ මුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි.

මම පළමු ඉඩම් කට්ටිය එනම් විජයගෙන් උරුම ලද ඉඩමක් දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා විකුණා දැමීමි. ඒ සඳහා මට රුපියල් මිලියන 4.5ක් ලැබුණ අතර මම වහාම එය ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි. එකී ආයෝජන සහ මගේ මාසික ආදායම එකතුව ගත් කල 1998 සිට 2005 දක්වා වූ කාලය තුළ දරුවන්ගේ විදෙස් අධ්‍යාපනය සඳහා ඇවැසි මුදල් කළමනාකරණය කරගත හැකි විණි.

විශ්‍රාම ලැබීමෙන් පසුව උපදේශකයන් වශයෙන් තනතුරු ලැබ සිටිනා බොහෝ අන් රටවල රාජ්‍ය ප්‍රධානීන් පරිද්දෙන් මමද පෞද්ගලික අංශයෙහි උපදේශන සේවා සැපයීම සඳහා අවස්ථා සොයන්නට පටන් ගතිමි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරමින් සිටි ශ්‍රී ලාංකික සමාගම් මෙන්ම විදෙස් සමාගම්ද මගේ සේවය ලබාගැනීමට අකමැත්තක් දැක්වීය. ඔවුන් එසේ අකමැත්ත දැක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මා වෙත දක්වන ලද වෛරී සහගත ආකල්පය ඔවුන් මැනවින් දැන සිටි හෙයිනි. එවන් තත්ත්වයක් යටතේ මම මා සතු වටිනා දේවල් අලෙවි කිරීමට පටන් ගතිමි.

මගේ ඉසුඹු දිවියේ වසර අටක කාලය තුළ මේ දක්වා මම කොළඹ නගරය තුළ මා සතුව පැවති නිවෙස ඇතුළුව මගේ දේපළ හයක් අලෙවි කර ඇත්තෙමි. මින් මා ලබනා ආදායමින් අඩක් මගේ දරුවන්ට දී ඉතිරිය ආරක්ෂිත යයි සැලකෙන ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි. එසේම මම මා සතු දේපළ සංවර්ධනය කිරීමට සහ මට හිමි ඉන්ධන පිරවුම්හලේ කටයුතු කළමනාකරණයට කාලය වැය කළෙමි. එහෙයින් දැන් මට සුවපහසු දිවියක් ගත කිරීමට මෙන්ම මා සතු මුදල් පිළිබඳ විස්සෝප නොවෙමින් මට ඇවැසි දෙයක් කිරීමට තරම් වන ආදායමක් ලැබෙයි.

මා පමණට වඩා ත්‍යාගශීලී බවත් කිසි දිනෙක හෝ ගත් ණය ආපසු නොගෙවන මිතුරන් සහ දන්නා හඳුනන අයට ණය දීමට නොපැකිළෙන බවත් පවුලේ අය මෙන්ම මගේ හිත මිතුරෝද නොයෙක්වර මට පවසති. නමුදු ඒ මගේ ස්වභාවය බව කිව යුතුය.

මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මට උපදෙස් සපයන මගේ මිත්‍රයෙක් කොමිස් කුට්ටි කිහිපයක් භාරනොගන්නා මා කෙතරම් මෝඩියකදැයි මගෙන් වරක් විමසා සියේය. ඒ මා ඉසුඹු ලද පසුව ලන්ඩනයේ ගත කළ පළමු වසර කිහිපය තුළ ජීවන වියදම් සපුරා ගැනීම සම්බන්ධයෙන් මා අපහසුතාවට මුහුණ දෙමින් සිටි සමයයි. ඇතැම් විට ඔහුගේ අදහස නිවැරදි විය හැකි යයි හැඟී ගිය හෙයින් මම මඳක් වේලා නිහඬව සිටියෙමි. එහෙත් ඒ ගැන තවදුරටත් කල්පනා කර බැලීමෙන් පසුව කාරණා දෙකක් හේතුවෙන් මම මගේ රජය යටතේ මවිසින් කටයුතු කරන ලද ආකාරය ගැන ආඩම්බර වන බව ඔහුට පවසා සිටියෙමි. පළමුව ඉන් මට මගේ සාමකාමී හෘද සාක්ෂිය පවත්වාගනිමින් ජීවත් වීමට හැකි වී තිබේ. දෙවැන්න ශ්‍රී ලංකාව යනු ඕනෑම දෙයක් ප්‍රසිද්ධියට පත් විය හැකි කුඩා රටකි. සැම විටම පාහේ මගේ පශ්චාත් විශ්‍රාම සමය තුළ මට ඇවැසිව තිබූ එක් දෙයක් වූයේ පුරවැසියන් මගේ මුහුණට කෙල ගසනු නොදකිමින් හිස නඟාගෙන මගේ රටේ වීදි දිගේ නිදහසේ පිය නඟා යා හැකි තත්ත්වයක් ඇති කරගැනීමයි. ඉදින් මා ඒ තත්ත්වය දිනාගෙන ඇති බව මම මගේ මිතුරාට පැවසීමි. මගේ ජාතියට සේවය කිරීම උදෙසා කැප කරන ලද වසර ගණනාවක කාලයෙන් පසුව මා අපේක්ෂා කළ පරම ත්‍යාගය නම් එයමය.

රජය තුළ කිසියම් දූෂණයක් ගැන සවන් වැකි සෑම අවස්ථාවකදීම දිගටම මම කම්පනයට සහ භීතියට පත් වීමි. නායකයන්ට සිය හෘද සාක්ෂිය එසේ අත්හැර දමන්නට හැකි වන්නේ කෙසේදැයි මට නම් වටහාගත නොහැකිය.

ආණ්ඩුවේ පාරදෘෂ්‍යභාවය සහතික කිරීමට මවිසින් නිර්මාණය කරන ලද සියලු පද්ධති විනාශ කර දැමූ සහ පසුව තමන් විසින්ම සිත් කම්පා කරවනසුලු දූෂණයන්හී නියැළුණ මගේ අනුප්‍රාප්තිකයන්ට මගේ ධුර සමය තුළ මවිසින් පවත්වාගන්නා ලද යහපාලනය සහ මගේ පෞද්ගලික අවංකත්වය නොගැළපුණ බව පැහැදිලිවම පෙනෙනන්ට තිබිණි.

ස්වකීය දූෂණ ක්‍රියා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට චන්ද්‍රිකාද අවංක නොවන්නේ යයි පෙන්වීමට සිදු වී තිබිණි. මා ගැන මෙන්ම බණ්ඩාරනායකවරුන් පිළිබඳ ද පැවැති නිම් නැති වෛරය සහ ඊෂ්‍යාවට අමතර ව තිබූ මේ අවශ්‍යතාවේ ප්‍රතිඵලය වූයේ මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් මට එරෙහිව එල්ල කරනු ලැබීමයි. ඒ අනුව දැන් කුප්‍රකට ‘වෝටර්ස් එජ් නඩුව’ නමින් හඳුන්වනු ලබන සිදු වීම අලළා අන්තගාමී දේශපාලන පක්ෂයක සාමාජිකයන් මට එරෙහි පෙත්සමක්ද සමඟින් අධිකරණය වෙත යවනු ලැබිණි.

එහිදී ප්‍රධාන වශයෙන්ම සංචාරක කර්මාන්තය නැංවීමට යයි කියමින් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම පිණිස අක්කර සියයක වපසරියකින් යුත් රජය සතු ඉඩමක් මගේ මිත්‍රයෙකුට සහ ඔහුගේ සමාගමට ලබාදෙමින් අයථා වාසි පිරිනමන ලදැයි මට එරෙහිව චෝදනා එල්ල කෙරිණි.

කවරකුට වුව මට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමට හැකි වූ එකම අවස්ථාව මෙය වන හෙයින් මම මෙහිදී ඊට අදාළ සාධක සැකෙවින් ගෙනහැරපානු කැමැත්තෙමි. මේ කියන සිදු වීමේදී හෝ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරිය හෝ මහ ඇමතිවරිය ලෙස ධුරය දැරූ සමයෙහිදී වුව කවරාකාරයේ වුව අනීතික හෝ අවිධිමත් ආකාරයකින් මගේ නිල බලය භාවිතා කරමින් හෝ අන්‍යාකාරයකින් කටයුතු කර නැති බව කිසිදු චකිතයකින් තොරව මට කිව හැකිය.

ඒ කරුණ සම්බන්ධයෙන් අනීතික හෝ අවිධිමත් කිසිවක් සිදු වී නැති බව සනාථ කිරීම පිණිස මගේ නීතීඥවරු ඉතා පැහැදිලි, අභියෝගයට ලක් කළ නොහැකි, විශ්වසනීය සහ සමකාලික ලේඛනගත සාක්ෂි අධිකරණය හමුවේ ගෙනහැර පෑවෝය. එහෙත් ඒ සියලු සාක්ෂි මෙන්ම සියලු ලේඛනගත සාක්ෂිද වගකිව යුතු ආයතන මඟින් නොතකා හැරිණි.

ඒ ඉඩම් ප්‍රදානය යනු ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ වන ආයෝජන සඳහා වූ සහනයකි.

ආයෝජන මණ්ඩලය, ජයවර්ධන ආණ්ඩුව සමයේ ආරම්භ කරන ලද දා පටන්ම රට තුළට සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීම උදෙසා විදෙස් ආයෝජනයන්ට සහන ලබා දීමට රෙගුලාසි පැනවීය. පෙර පැවති ආණ්ඩුව යටතේ ආයෝජන මණ්ඩලය විවිධ ප්‍රසම්පාදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. 1994 වසරේදී මා සහ මගේ ආණ්ඩුව තෝරා පත් කරගැනීමටත් පෙර සිටම අනෙකුත් දෑ අතර රජය සතු ඉඩම් පවරා දීමද මීට ඇතුළත් වී තිබිණි. කෙසේ වෙතත් කිසිදු ආයෝජකයකුට උපකාර කිරීමේ අදහසින් මම ආයෝජන සඳහා සහන දීමේ සංකල්පයක් ගැන කලපනා කිරීමට ඉක්මන් නොවීමි.

දෙනු ලබන සහනයන් හී ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑමට පටන් ගත්තේ උතුරු නැඟෙනහිර සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය. ඒ මෙහි ආයෝජනය කිරීමට අකමැත්තක් දැක්වූ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අදහසිනි. ඊට අමතරව ආණ්ඩුව වි වැදගත් යයි සලකන ලද විශේෂිත වර්ගයන්හී ව්‍යාපෘති සඳහා විශේෂ සහන පිරිනමනු ලැබිණි.

මගේ ආණ්ඩුව විසින් යෝජනා කරනු ලදුව 1995 වසරේ ජූනි මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ජාතික ආර්ථික සංවර්ධන සැලසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට උපරිම ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමේ අදහසින් ආණ්ඩුව ආයෝජකයන්ට පිරිනමන සහන ඉහළ දැමීමට අදහස් කළ බවට මම කරුණු ඉදිරිපත් කළෙමි.

යහපාලනය පිළිබඳ මගේ ප්‍රතිපත්ති අනුව යමින් මම පාරදෘෂ්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ශක්තිමත් කිරීමට කටයුතු කළෙමි. එහිදී ඒපීජීසී ව්‍යාපෘතියට (වෝටර්ස් එජ්) දෙන ලද සියලු පහසුකම් මෙකී මාර්ගෝපදේශ සහ රෙගුලාසිවලට සාකල්‍යයෙන්ම අනුකූල විය.

මෙහිදී පහත පරිදි පනවන ලද සියලු පරිපාටි අනුගමනය කෙරිණි:

ව්‍යාපෘති ඇගයුම සහ ආයෝජන මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීම:

නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබාගැනීම,

ව්‍යාපෘතිය අධ්‍යයනය කළ මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබාදීම සහ ඉන් අනතුරුව එය මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම,

අමාත්‍යවරයා විසින් ඇගයීම සහ අනුමැතිය ලබා දීම,

ආයෝජන මණ්ඩල පණතේ 7 වන වගන්තිය මඟින් උපදෙස් දෙන පරිදි අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කිරීම,

අදාල භාණ්ඩාගාර කමිටුව මඟින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඇගයුමට ලක් කරන ලද අතර අවසන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍යවරයා වෙත යැවීම.

අධිකරණය මගින් තීරණය කර ඇති ආකාරයට මේ ආයතන ද්විත්වය එනම් ආයෝජන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය හිටපු ජනාධිපතිවරියගේ නියෝග සහ/හෝ නියමයන් පරිදි කටයුතු කර තිබුණේ නම් දැන් ඒ ආයතන මගේ පාලනයෙන් බැහැරව පවතින තත්ත්වයක් යටතේ නිසැකවම ඔවුන් එවන් තොරතුරු, අදාළ වන පරිදි, අධිකරණයේ අවධානයට ඉදිරිපත් කරනු ඇති බව ඉතා පැහැදිලිය. එහෙත් ඔවුන්ද එවැන්නක් කර නැත.

සියලු ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා විශේෂිත හෝ වෙනත් සහන නිර්දේශ කරමින් සකසනු ලබනා සෑම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ම, අදාළ නිර්දේශ අමාත්‍යවරයා වෙත යැවීමට පෙර ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ පාලක මණ්ඩලය වෙතින් අනුමැතිය ලබාගත යුතු යයි නියම කරමින් මවිසින් හඳුන්වාදෙන ලද නව රීතීන් අනුගමනය කරමින් පිළියෙල කළ යුතුය යන කරුණ අවධාරණය කිරීම පිළිබඳ මම නැවත වරක් දැඩිව පවසා සිටියෙමි. මා මේ සියල්ල අනුමත කර අමාත්‍ය මණ්ඩලය හමුවෙහි තැබුවේ සියලු පරිපාටි නිසි ලෙස අනුගමනය කිරීමෙන් පසුව පමණි.

තවත් කොටසක් ලබන සතියේ

අදහස්