සති අන්තයේ සතුට කාටද? | සිළුමිණ

සති අන්තයේ සතුට කාටද?

දොළොස්වැනි ක්‍රිකට් කිරුළේ හිමිකරුවා කවුරුන්ද යන්න අද මධ්‍යම රාත්‍රිය වන විට දැන ගත හැකි වනු ඇත. මෙවර තරගාවලිය ආරම්භ වූයේ රටවල් දහයක සහභාගිත්වයෙන් එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන්ය. මූලික වටයේ තරග 45ක් ලීග් ක්‍රමයට තරග වැදුණු අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර හිමිකර ගත් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට තරග කළේය. එහිදී පළමු අවසන් පූර්ව තරගයට ඉන්දියාව සහ නවසීලන්තය තරග කළ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තරග කළේය. එහිදී ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයෙන් නවසීලන්තය ජය ගත් අතර, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයෙන් එංගලන්තය ජය ගත්තේය. මේ අනුව අද (14) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසිලන්තය සහ එංගලන්තය ලෝඩ්ස් පිටියේදි හමුවන්නේ 2019 ක්‍රිකට් කිරුළේ හිමිකාරිත්වය වෙනුවෙන්ය.

 

මූලික වටයේ තරග 45 අතරින් තරග කිහිපයක් ම වැස්සට සේදී ගිය අතර එහිදී ඇතැම් කණ්ඩායම්වලට යම් අවාසි සහගත තත්ත්වයක් උදා වූ බව පැහැදිලිය. මූලික වටයේ තරග අතරින් පාකිස්තානයට අවසන් පූර්ව තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අසාමාන්‍ය ජයක් වාර්තා කර ගැනීමට සිදුවීම මෙවර කාගෙත් අවධානයට ලක්වූ කරුණක් විය. නමුත් පාකිස්තානය තරගය ජය ගත් නමුත් එකී ජය නවසීලන්තයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යාමට ප්‍රමාණවත් නොවූ නිසා, මූලික වටයේ ඉවතට විසි වූ සෙසු කණ්ඩායම් ගොන්නට එකතු විය. ඒ අනුව පාකිස්තානය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, බ:ඉ: කොදෙව් සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියේ පිළිවෙලින් සෙසු ස්ථාන දහය අතරට එක්විය.

 

මූලික වටයේ තරගවලදී එංගලන්තය තරග දෙකකදී ඇ‍ෆ්ගනිස්තානයට (ලකුණු 397 - 6) සහ බංග්ලාදේශයට (ලකුණු 386 - 6) එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සමත්විය. මීට අමතරව මෙවර තරගාවලියේ ලකුණු 350 ඉක්මවා යාමට සමත් වූයේ ඔස්ට්‍රේලියාව (381- 5 බංග්ලාදේශයට) සහ ඉන්දියාව (352-5 ඔස්ට්‍රේලියාවට) පමණී. ශ්‍රී ලංකාව බ:ඉ: කොදෙව්වන්ට එරෙහිව කඩුලු 6කට ලකුණු 338 ක් රැස් කිරීමට සමත් විය.

 

මූලික වටයේ තරගවලදී පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 500 සීමාව ඉක්මවා යෑමට සමත් වූහ. රෝහිත් ෂර්මා වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ තරග 9 කදී ලකුණු 647 රැස් කරමින්ය.

 

මෙම ලකුණු සංඛ්‍යාවට ශතක පහක් අයත් විය. තරගාවලියක වැඩිම ලකුණු ලාභියා ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ය. සචින් 2002 - 03 දී තරග 11 කදි ලකුණු 673ක් රැස් කර තිබේ. තරගාවලියක වැඩිම ශතක ලාභියා වීමට ද රෝහිත් සමත්ව තිබෙන අතර තරග 16කදි රැස් කර ඇති ශතක සංඛ්‍යාව 6කි. සචින් තරග 45කදී ශතක 06ක් රැස්කර තිබේ. සංගා සහ රිකී පොන්ටිං ශතක පහ බැගින් රැස් කර තිබේ.

 

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභියා කුසල් ජනිත් පෙරේරායි. කුසල් තරග 7කදි ලකුණු 273ක් රැස් කළේය. එය සමස්ත පිතිකරුවන් අතරින් 24 වැනි ස්ථානයයි. ඊට අමතරව ලකුණු 200 ට වඩා ලබා ගැනීමට මෙරට පිතිකරුවන් අතරින් සමත් වූයේ ඇන්ජලෝ මැතිව්ස් (244), දිමුත් කරුණාරත්න (222) සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 203 කි.

 

පන්දු යවන්නන් අතරින් මූලික වටයේ වැඩිම කඩුලු ලාභියා ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක්ය. මිචෙල් තරග 9කදී කඩුලු 26ක් බිඳ දමා තිබෙන්නේ සාමාන්‍යය 16.61ක් රඳවා ගනිමින්ය. තරගාවලියක වැඩිම කඩුලුලාභියා ද ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැග්‍රාත්ය. මැග්‍රාත් 2006 - 07 දී තරග 11දී කඩුලු 26ක් බිඳ දමා තිබේ. චමින්ද වාස් 2002 - 03 දී (කඩුලු 23ක්) සහ මුරලි 2006 - 07 දී කඩුලු 23 බැගින් බිඳ දමා තිබේ. මෙවර තරගාවලියේදී මාලිංග කඩුලු 13ක් බිඳ දමා තිබේ. සාමාන්‍යය 28.69 කි.

 

1. ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර - 1975

 

පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගය සුවිශේෂී එකක් විය. ක්ලයිව් ලොයිඩ්ගේ විශිෂ්ට ශතකයත් විවියන් රිචර්ඩ්ස්ගේ දර්ශනීය පන්දු රැකීමත් හමුවේ කොදෙව්වන්ට එහි ජය හිමි විය.

 

බටහිර ඉන්දීය කොදෙව් දූපත්: 291-8 (ඕවර 60) ඔස්ට්‍රේලියාව : 274 (ඕ.58.4)

 

 

2. එංගලන්තය සහ බ:ඉ:කොදෙව් අතර 1979

 

විවියන් රිචඩ්ස්ගේ නොදැවි රැස් කළ විශිෂ්ට ශතකය (138) සහ කොලිස් කිංග් (86) අතර ගොඩනැගුණු ලකුණු 139 ක සම්බන්ධතාව නිසා කොදෙව්වන්ට දැවැන්ත ලකුණු සටහනක් එක් කර ගැනීමට සමත් විය.

 

එංගලන්තයේ පළමු කඩුල්ලට ලකුණු 129ක් එක්වූ නමුත් ජොයෙල් ගානර්ගේ විශිෂ්ට පන්දු යැවීම (38-5) හමුවේ ලකුණු 194කට ඉනිම සීමා විය. කොදෙව්වන්ට පිට පිට දෙවැනි වරට ක්‍රිකට් කිරුළට හිමිකම් කීවේ ලකුණු 92ක ජයක් හිමිකර ගනිමින්ය. තරගයේ වීරයා විවියන් රිචඩ්ස්ය.

 

බ:ඉ:කොදෙව් 286-9

එංගලන්තය 194-10

 

03. ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර - 1983

 

1983 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ ප්‍රතිවාදියා ලෙස ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිටි හෙයින් ඉන්දියාවට ජය ගත හැකි වනු ඇතැයි සිතුවේ අතලොස්සක් පමණි. විශේෂයෙන් ම පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 183කදී දැවී යාමෙන් පසු සියලු බලාපොරොත්තු බිඳ වැටිණි.

 

නායක කපිල් දේව් මෙවර ද මෙම ඓතිහාසික ජයග්‍රහණය හමුවේ සිය දක්ෂතාව විදහා පෑවේය. සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි විවියන් රිචර්ඩ්ස් දවා ගැනීම සඳහා කපිල් දේව් රැක ගත් විශිෂ්ට උඩපන්දුව නිසා තරගය ඉන්දීය කණ්ඩායම දෙසට හැරිණි.

 

"ඒක අපේ සිහිනයක් සැබෑ වීමක්. අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කළා කියන එක දැනෙන්න අපිට ටික වෙලාවක් ගත වුණා. ඒ කාලය වෙනකොට ඔවුන්ව පරාද කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඔවුන් හිටියේ. අපි රට වෙනුවෙන් ඒ දේ කළා."

 

ඉන්දියාව : 183 (ඕ.54.4)

බටහිර ඉන්දීය කොදෙව්: 140 (ඕ.52)

 

4. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර 1987 දී

 

ඩේවිඩ් බුන් රැස් කළ ලකුණු 75 ඉනිමෙන් සවිමත් වූ ඔස්ට්‍රේලියාව ලකුණු 250 සීමාව ඉක්මවා යෑමට සමත් විය. නමුත් එංගලන්ත ඉනිම ලකුණු 250ට අඩුවෙන් සීමා කර ගත් ඔස්ට්‍රේලියාව ඇලන් බෝඩර් නායකත්වය යටතේ ප්‍රථම වරට ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

 

ඔස්ට්‍රේලියාව 253-5

එංගලන්තය 246-8

 

05. පාකිස්තානය සහ එංගලන්තය අතර - 1992

 

ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ වසීම් අක්රම් ලෝක කුසලාන තරගාවලියක පළමු සම්මානය (තරගයේ හොඳ ම ක්‍රීඩකයා) හිමි කර ගනිමින් එංගලන්තයේ බලාපොරොත්තු සුන් කළේ මෙම සුවිශේෂී තරගයේදීය.

 

මෙල්බර්න්හි පැවති මෙම තරගයේදී ඉම්රාන් ඛාන්ගේ සහ ජාවෙඩ් මියැන්ඩාඩ්ගේ අර්ධ ශතක හේතුවෙන් පාකිස්තානය කඩුලු 6කට ලකුණු 249ක් රැස් කළේය.

 

එංගලන්තය සාර්ථකව සිය ඉනිම ආරම්භ කළ ද වසීම් අක්රම් යැවූ ඇතුළට දෝලනය වුණු යෝකර් පන්දුවලට මුහුණ දීමට එංගලන්ත පිතිකරුවන්ට පහසු නොවීය. එය ලෝක කුසලාන අවසන් තරගයකදී එංගලන්තය ලැබූ තෙවන පරාජය විය.

 

පාකිස්තානය: 249-6 (ඕ.50)

එංගලන්තය : 227 (ඕ.49.2)

 

06. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර - 1996

 

එය තවත් අවසන් තරගයක් විය. එමෙන් ම ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කිරීම අනපේක්ෂිත සිදුවීමක් විය. ශ්‍රී ලංකාව මේ දක්ෂතාව දැක්වූයේ, අයි.සී.සී. සාමාජිකත්වය ලැබීමෙන් වසර 15ක් වැනි කෙටි කලකට පසුවය.

 

පිත්තෙන් නොදැවී ලකුණු 107ක් රැස් කරමින් සහ පන්දු යැවීමෙන් කඩුලු 3ක් බිඳ හෙළමින් අරවින්ද ද සිල්වා වීරයෙකු බවට පත් විය. එම ජයග්‍රහණය පසුපස නායක අර්ජුණ රණතුංග සිටි අතර තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ ද ඔහුය.

 

"අපි පහුවදා ම ශ්‍රී ලංකාවට ආවා. ගුවන් තොටුපළේ ඉඳලා ම උත්සව තිබුණා," එම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හෂාන් තිලකරත්න පැවසීය. "අපි ශ්‍රී ලංකාවට ගිය ගමන් ගුවන් තොටුපළේ ලොකු පිළිගැනීමේ උත්සවයක් තිබුණා. ඊට පස්සේ අපිට කිව්වා ජනාධිපති මන්දිරයට යන්න කියලා."

 

"අපි එහේ යන අතරමග අපිට සුබ පතන්න පාර දිගට ගොඩක් ක්‍රීඩා ලෝලීන් රැස් වෙලා හිටියා. ඒක පුදුමාකාර සතුටක්. ඊට පස්සේ සතියක් විතර උත්සව තිබුණා."

ඕස්ට්‍රේලියාව 241- 7 (ඕ.50)

ශ්‍රී ලංකාව 245 -3 (ඕ.46.2)

 

7. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර 1999

 

ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පාකිස්තානය පරාජය කරමින් ලෝක ශූරයන් වීමට සමත් වූහ. ෂේන් වෝන්ගේ දක්ෂ පන්දු යැවීම යටතේ (33-4) පාකිස්තානය පන්දුවාර 39කදී ලකුණු 132කට දැවී ගිය අතර, ජයග්‍රහණයට ඇවැසි ලකුණු ප්‍රමාණය කඩුලු 2ක් පමණක් දැවී රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

 

පාකිස්තානය 132-10

ඔස්ට්‍රේලියාව 133-02

 

8. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 2003

 

ඔස්ට්‍රේලියාවේ නායකත්වය දැරු රිකි පොන්ටිං නොදැවී 140 සහ ඩේමියන් මාර්ටින් නොදැවී 88ක් වශයෙන් තෙවැනි කඩුල්ලට ගොඩනැඟූ නොබිඳුණු ලකුණු 234ක සම්බන්ධතාව නිසා කඩුලු 2කට ලකුණු 359ක් රැස් කළ අතර, ඉන්දීය ඉනිම ලකුණු 234කට සීමා විය.

 

ඔස්ට්‍රේලියාව 359-02

ඉන්දියාව 234-10

 

9. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 2007

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා වූ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ විජ්ජාකාර ලකුණු 149 හරහා ගොඩනැගුණු ලකුණු 281ක ඉනිම හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට (ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පන්දුවාර 36කදී ඉලක්කය ලකුණු 269ක් විය) පන්දුවාර 36කදී ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 215කි. ඔස්ට්‍රේලියාවට ලකුණු 53ක ජයකි.

 

ඔස්ට්‍රේලියාව 281-4

ශ්‍රී ලංකාව 215-8

 

 

10. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර - 2011

 

2011 වසරේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ රටේදී ම සිය ක්‍රීඩා ලෝලීන්ට ජයග්‍රහණයක් අත් කර දුන්නේය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 274ක් රැස් කළ අතර එම ලකුණු හඹා යාම සඳහා නායක මහේන්ද්‍ර සිං දෝනි 5 වන පිතිකරු ලෙස පිටියට පිවිසියේය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී ගෞතම් ගම්භීර් ලකුණු 97ක් රැස් කළ අතර දෝනි පන්දු 79කදී ලකුණු 91ක් රැස් කළේය. ඔහු ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ 6 පහරකිනි.

 

ශ්‍රී ලංකාව 274 -6 (ඕ.50)

ඉන්දියාව 277-4 (ඕ.48.2)

 

 

11. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර 2015

 

අවසන් වරට පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවට පහසු ජයකි.

 

නවසීලන්තය 183-10

ඔස්ට්‍රේලියාව 186-3

 

***************

වසර 23කට පසු ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හැළෙයි

 

වසර 23 කට පසු එනම් 1996 න් පසු සිංහයන් සහ කැන්ගරුවන් නොමැති ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය මෙවර කිවියන් සහ සත්කාරක හිරු නොබසින අධිරාජ්‍ය හෙවත් එංගලන්තය අතර පැවැත්වෙයි. 1996 ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව (ජය ශ්‍රී ලංකාව), 1999 ඔස්ට්‍රේලියාව - පාකිස්තානය (ජය ඔස්ට්‍රේලියාව), 2003 ඔස්ට්‍රේලියාව - ඉන්දියාව (ජය ඔස්ට්‍රේලියාව), 2007 ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව (ජය ඔස්ට්‍රේලියාව), 2011 ශ්‍රී ලංකාව - ඉන්දියාව (ජය ඉන්දියාව), 2015 ඔස්ට්‍රේලියාව - නවසීලන්තය (ජය ඔස්ට්‍රේලියාව) පැවැති අවසන් මහා තරග අතරින් මෙවර ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට අවසන් මහා තරගය අහිමි වී ගියේය.

 

නවසීලන්තය අඛණ්ඩව (2015 - 19) දෙවැනි වරටත් අවසන් මහා තරගයට මෙවර ස්ථානය වෙන් කර ගනිද්දී, එංගලන්තය 1992 ට පසු මෙවර අවසන් මහා තරගයට ඉඩකඩ වෙන් කර ගැනීමට සමත් විය. ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයක ඉන්දියාව හමුවූ පළමු වතාවේදි පරාජය කිරීමට නවසීලන්තය මෙවර සමත්වූ අතර, වසර 44කට පසු එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයක හමුවූ දෙවැනි වතාවේදි ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට එංගලන්තය සමත් විය. දෙපිල 1975 පළමු වතාවට හමුවූ අවස්ථාවේදී එංගලන්තය පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

 

නවසීලන්තය 1975 සිට 2019 දක්වා අවස්ථා අටකදී අවසන් පූර්ව තරග වලට සුදුසුකම් ලබාගත් නමුත් ඉන් අවස්ථා හයකදීම (ශ්‍රී ලංකාව හමුවේ 2007 - 11, පාකිස්තානය හමුවේ 1992 - 99, බ:ඉ: කොදෙව් හමුවේ 1975 සහ එංගලන්තය හමුවේ 1979 දී) පරාජය විය. එංගලන්තය 1975 සහ 1983 දී අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබාගත් අතර, 1979 - 1987 සහ 1992 අනුශූරයන් විය.

 

************

මිචෙල් ස්ටාර්ක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් මෙවර සමත් විය. ඒ කඩුලු 27ක් බිඳ දමමින්ය. මීට පෙර එහි වාර්තාවට හිමිකම් කීවේ තවත් ඔස්ට්‍රේලියානුවෙකු වූ ග්ලෙන් මැග්‍රාත්ය. මැග්‍රාත් කඩුලු 26ක් බිඳ දමා තිබුණි.

මෙවර තරගාවලියේදී පන්දුවාර 92.5 කඩුලු 27ක් බිඳ දැමූ ස්ටාර්ක්ගේ කඩුල්ලක සාමාන්‍යය 18.59කි. ලෝක කුසලාන තරගාවලියන්හිදී කඩුලු 20කට වඩා දවා ගත් පන්දු යවන්නන් අතර තරගාවලියක හොඳම පන්දු යැවීමේ සාමාන්‍යය ද ස්ටාර්ක් සතුය. ස්ටාර්ක්ගේ 2015 තරගාවලියේදී සාමාන්‍යය 10.18කි.

 

අදහස්