ලැගගෙන ක්‍රිකට් කන බහිරවයන් පන්නමු | සිළුමිණ

ලැගගෙන ක්‍රිකට් කන බහිරවයන් පන්නමු

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව වසර 20කට පසු මූලික වටයෙන්ම ඉවතට විසි විය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් හතර දෙනා අතරට පිවිසෙන්න තරම් ස්ථාවර විදියට ක්‍රීඩා කළා කියලා මම විශ්වාස කරන්නේ නෑ යැයි මහේල ජයවර්ධන පවසයි. මැද පෙළ පිතිකරුවන් අවසන් තරගවල හැර අත්‍යවශ්‍ය තරගවල ලකුණු අතරට ආවේ නෑ. මාලිංග හැර වෙනත් කිසිදු පන්දු යවන්නෙකු ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කළේ නෑ. කොටින්ම අවසන් පූර්ව වටයට යන්න තරම් අත්‍යවශ්‍ය ගුණාංග ඔවුන් අතර තිබුණේ නෑ.

“ලෝක කුසලානයට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන වුණත් එතරම්ම විශ්වාසයක් ගොඩ නැගිලා තිබුණේ නෑ. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අතරතුර විශාල පිබිදීමක් පෙන්නුම් කරමින් නැගිට්ටා. බ.ඉ. කොදෙව් වගේම එංගලන්තයට එරෙහිව පැවැති තරගවල ශ්‍රී ලංකාව ඒ දේ වඩාත් හොඳින් පෙන්නුම් කළා. මේ පන්නරයත් එක්ක මෙතැනින් ඉදිරියට යන්න සැලසුම් හදා ගන්න ඕනෑ.

“වර්ෂාව නිසා අපතේ ගිය පාකිස්තාන් බංග්ලාදේශ තරග මඟ හැරුණේ නැතිනම් ඉන්දියාවත් එක්ක මූලික වටයේ තරගය තීරණාත්මක වෙන්න තිබුණා. එහෙම වුණා නම් මේ තිබුණු තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් තිබුණා.

මහේල මෙහිදි වැඩිදුරටත් පවසන්නේ ඉන්දිය තරගයේදී ඇන්ජිලෝ ලබා ගත් ශතකය විශිෂ්ටයි. “ඒ ශතකය ඇන්ජිට අනිවර්යෙන්ම ලැබෙන්න ඕනෑ. ඉන්දු - ලංකා තරගයේදී අපේ ආරම්භය අසාර්ථක වුණා. ළහිරු සහ ඇන්ජි ගොඩ නැඟු ඉනිම විශේෂයෙන් අගය කරන්න ඕනෑ. ඇන්ජි වුණත් තරගාවලිය ආරම්භයේදී අසාර්ථක වුණත්. අවසන් ඉනිම් කිහිපයේ විශ්වාසය ගොඩනගා ගත හැකි ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළා. ඇන්ජිගෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඇන්ජි අපේ ක්‍රිකට්වල අනාගතයේ ප්‍රධාන සැලසුම්වල මුල් පුරුකක් විය යුතුය.

“අපේ පන්දු යැවීමේ අංශය ගැන මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. මාලිංගත් දැන් අවසන් කාලයට ඇවිත් ඉන්නේ. තරගයක ඕනෑම පීඩනයක් පාලනය කර ගන්න පුළුවන් පන්දු යවන්නෝ 4-5 දෙනකු සොයා ගන්න ඕනෑ. ඒ වගේම හොඳ පිතිකරු බළඇණියක් ගොඩ නගා ගන්න ඕනෑ. අවිශ්ක වැනි යොවුන් පිතිකරුවන් ගැන විශ්වාසය තබමින් කටයුතු කිරීම තමයි වැදගත්. හොඳ සැලසුමකින් අපට ඉදිරියට යන්න පුළුවන් නම් 2023 ඉන්දියාවේ පැවැත්වෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට විශ්වාසයකින් යන්න පුළුවන් වෙයි.

“දිමුත්ගේ නායකත්වය පවා මහේලට ඇත්තේ පැහැදිලි දැක්මකි. දිමුත් හොඳ සේවයක් කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. දිමුත් ස්ථාවර වෙලා කණ්ඩායමේ පාලනය ඉතා ඉක්මනින් තමන්ගේ අතට ගත්තා. උපක්‍රමික වශයෙන් හොඳ ප්‍රතිඵලයක් සඳහා කටයුතු කළා. දිමුත් වගකීම හරියට ඉටු කළ නිසා දිගටම කවුරුත් කැමැති වෙයි දිගටම නායකත්වය දරනවාට, මොකද වගකීම හරියට ඉටු කරපු නිසා” යැයි මහේල වැඩිදුරටත් පවසයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයෙන් ඉවතට විසි වීම පිළිබඳ තමන්ට ඇත්තේ ද විශාල කලකිරීමක් බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. අපට අවසන් හතර දෙනා අතරට එන්න බැරිවීම ගැන තියෙන්නේ කලකිරීමක්, ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට යනකොට ආරම්භක පිතිකරුවන් පිළිබඳ පවා එතරම් විශ්වාසයක ‍නොසිටි නමුත්, දිමුත් සහ කුසල් ආරම්භක පිතිකරුවන්ගේ වගකිම් හරියාකාරව ඉෂ්ට කළ බව හතුරුසිංහ පවසයි. ඒක හොඳ ලකුණක් බවද පවසයි.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කළ මොහොතේ පටන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු එක්දින තරගයක් හෝ ක්‍රීඩා නොකළ දිමුත්ගේ නායකත්වයයි. නමුත් ඒ මත සියල්ල බිඳ දැමීමට මෙවර දිමුත් සමත්වීම පිළිබඳ හතුරුසිංහට ඇත්තේ පැහැදිමකි.

“ඔහු හොඳ නායකයෙක් කියලා ඔප්පු කළා. තමාට ලැබුණු සම්පත්වලින් උපරිම දේ කරන්න දිමුත්ට හැකි වුණා. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අපට තියෙන ලොකුම අභියෝගය තමයි එන අවුරුද්දේ තියෙන විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය” යැයි හතුරුසිංහ පවසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ලබන මස නවසීලන්තය මෙරට සංචාරයකට එක්වෙයි. එකි තරගාවලිය ද ලොකු අභියෝගයක් වන බව හතුරුසිංහ පවසයි. මේ අතර හතුරුසිංහ පවසන්නේ කිසිම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා කණ්ඩායම හැර නොයන බවත් තවත් මාස දහසයක කාලයක් සම්පූර්ණ කිරීමට ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මොන වල් පල් දෙඩුවද ගිවිසුම්ගත කාලය අනුව හතුරුසිංහගේ සේවය නිම වීමට ඇත්තේ විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව බව පැහැදිලිය.

පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන අනුශූරයන් වූ නවසීලන්තය මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, ඉන්දියාව සමඟ ප්‍රථම අවසන් පූර්ව තරගයට තරග කළේය.

මෙවර සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ලසිත් මාලිංග ලාංකේය ක්‍රිකට් ගමන් මග පිළිබඳ බොහෝ අදහස් දක්වා තිබුණි. එහිදී බී.බී.සී. සංවාදයට එක් වූ මාලිංග එහි මතු කළ කරුණක් වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හා බැඳුණු ඡන්ද ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය දිගු කාලීන වෙනස්කම් කළ හැකිද යන්නයි.

“මේ තියෙන ඡන්ද ක්‍රමයත් එක්ක දිගු කාලීන යෝජනා ඉෂ්ට කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ. ඒත් කරන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා. මම මේ දේවල් අවුරුදු 6-7 ක් තිස්සේ යෝජනා කරන්නේ. මාලිංග මෙහිදී පෙන්වා දෙන්නේ මහේල - සංගා, අරවින්ද යෝජනාවක් විදියට ඉදිරිපත් කළ පළමු පෙළ කණ්ඩායම් අඩු කර ශක්තිමත් පළාත් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම වඩාත් උචිත බවයි. එමෙන්ම එකි යෝජනාව ඉටු කළ හැකි නම් එය වඩාත් යහපත් බවද මාලිංග පවසයි. ඔවුන් කියන දේ හරි, එය සාධාරණයි. ඒ වගේ දේවල් කරන්න බැරි නම් කෙටි කාලීන විසදුම්වලට යන්න ඕනෑ. අපිට මේ වෙලාවේ දෙන්න පුළුවන් ලෙහෙසි දේවල් කරන්න තියාගෙන ගොඩක් දුර හිතුවොත් ඒවා ප්‍රායෝගික නෑ.”

මාලිංග කෙටිකාලීන යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

දේශීය වශයෙන් පැවැත්වෙන තරග ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණවල පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් අන්තර් ජාතික ක්‍රීඩාංගණවල පැවැත්වීම.

දේශීය පන්දු යවන්නන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුවීම්වලදී පන්දු යැවීමට යෙදවීම තුළින් සිය හැකියාවන් තනි තනියෙන් ම වර්ධනය කර ගත හැකි බවද පෙන්වා දෙයි. එමෙන්ම දේශීය වශයෙන් ශක්තිමත් ප්‍රිමියර් ලීග් තරගාවලියක් ඇවැසි බවද පෙන්වා දෙයි.

ලසිත් මාලිංග දක්ෂතා අතර සිටියදි තේරිම් කමිටුව විසින් කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී දැඩිව කරුණු දක්වා තිබේ. “පසුගිය දෙවසරක පමණ කාලයක් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. 2018 නිදහස් කුසලානයට කණ්ඩායම තෝරා ගන්න කොට දේශීය තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුණේ මම, මම ගිහින් තේරිම් කමිටුවෙන් මේ ගැන අහන කොට ඔවුන් කිව්වේ ඒ 15 දෙනා අතර මට ඉඩක් නෑ කියලයි. ඒ අය මොන දැනුමෙන් මේ දේවල් කරනවා ද කියන එක තමයි ප්‍රශ්නය. අවුරුදු 16ක් ක්‍රිකට් ගහලා, දේශීය තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුණු මාව එළියට දැම්මා නම් පොඩි අයව එළියට දාන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

“කණ්ඩායමේ එකමුතුකම මට හදන්න බෑ. මහේල නායකත්වය දරන කොට මම ගිහින් සහයෝගය දුන්නා මිසක්, මහේල ඇවිත් මගේ සහය ඉල්ලුවේ නෑ. දිමුත්ගේ නායකත්වයටත් මම සියයට සියයක්ම දෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යෑමට නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් අවැසි බව ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ කලෙක පටන්ය. ඒත් බලධාරියෝ නැසු කන්ව කල් ගෙවන බව පැහැදිලිය. දැනට පවතින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් තරග කිරීම, එකි තරගාවලියේ තරගකාරිත්වය බෙහෙවින් පහත වැටීමට හේතු වී ඇති බව ඔවුහු නිරන්තරයෙන්ම පෙන්වා දෙති. මේ තත්ත්වය යටතේ 2015 දී ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සැලසුමක් සිදත් වෙත්තිමුණි අතුරු කමිටු සභාපතිධුර දරන වකවානුවේ මහේල ජයවර්ධන විසින් බාර දුන්නේය. සංගා, මුරලි වැනි ප්‍රවීණයන්ගේ අදහස් පවා ලබා ගනිමින් සකස් කළ මෙකී සැලසුම සිදත් වෙත්තමුනි අතුරු කමිටුවෙන් ඉවත් වීමත් සමඟම එකී සැලසුම අනතුරුව පැමිණි ක්‍රිකට් පාලකයන් ගෙන් කුණු බක්කියට විසිවුණි. 2015 පසු ක්‍රිකට් ආයතනයට පත් වූ බලධාරින් මහේලගේ සැලසුමට වඩා දෙයක් කරන බවට පුරසාරම් දෙඩු එතැන් සිට ගෙවී ගියා වූ මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ වසර 20කට පසු මූලික වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම තුළ දැක ගත හැකි කටින් බතල කොළ සිටුවන තරම්ම කයිවාරුව - කෙරුවාව තරම් ලෙහෙසි පහසු නොවන බවය.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර මාලිංග ප්‍රකාශ කළේ තමන් ශ්‍රී ලංකාවේදී තරගයක් (එක්දින) ක්‍රීඩා කර විශ්‍රාම ගැනීමට බලාපොරොත්තුවන බවත්, ඒ තරගය සඳහා නුවන් කුලසේකර ක්‍රීඩා කරනවා නම් ඒ තමන් මහත් සේ සතුටුවන බවත්ය. මාලිංග එහිදී වැඩිදුරටත් කියා සිටියේ නුවන් සමඟ වසර දහයකට අධික කාලයක් තමන් ක්‍රීඩා කළ බවත්, ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දු යවන්නා වශයෙන් තේරුණු එකම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවයි.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණි පසු පැවැති මාධ්‍ය හමුවේදී තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු වූ අසන්ත ද මෙල්ගෙන් මාධ්‍යවේදියකු විමසුවේ මාලිංග නුවන් වෙනුවෙන් කළ තිබූ ඉල්ලීමයි. එනම් දෙදෙනාම විශ්‍රාම ගැනීමට තරගයක් ලබා දෙනවාද යන්නයි. මේ ගැටලුවේ අග මුල පටලවා ගත් අසන්ත ගත් කටටම විමසුවේ නුවන් තවත් ක්‍රීඩා කරනවාද? ඇතුළු තවත් වැල්වටාරම් කරුණු ගොඩකි. නුවන් කුලසේකර ගැන අසන්ත නොදැනීම ලැජ්ජාවට කරුණකි. එය වෙනම කතාවකි. ඒ සමඟ මතක් කරදිය යුතු කරුණු දෙකක් තිබේ. සනත් ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කර නැවත කණ්ඩායමට පැමිණෙන විට ‍තේරීම් කමිටු සභාපති වුයේද අසන්තය. අප මේ ගැන අසන්ත ගෙන් එදා විමසූ විට පැවැසුවේ සනත් නැවත කණ්ඩායමට පැමිණි ආකාරය ඔහු ගෙන් අසා ගන්නා ලෙසයි. දෙවැන්න මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පයින් ගසා එළියට බැස්ස මොහොතේ පැවැසුවේ අසන්ත සමඟ කතා කිරීමත්, කාලය කා දැම්මක් සහ අපරාධයක් බවය. අසන්තලා පවා කටයුතු කරන්නේ වෙන කාගෙවත් වුවමනාවන් සපුරාලීමට බව පැහැදිලිය. මේ කිසිවක් එක් සිද්ධියක් ලෙස බැහැර කල හැකි සිද්ධි නොවේ. මේ සියල්ල ගැට ගැසී ඇත්තේ දිගු සිදුවීම් හරහාය. අසන්ත යනු එකි පුරුක්වල නොසලකා හැරි කොටස්ය. අසන්තලා ලෝක කුසලානයට කණ්ඩායම තේරු තැන් පටන් අද දක්වා කරන ප්‍රකාශ හරහා කියන්නේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ මළගමේ සන්ධිස්ථානයන් පසු කරමින් යන බවය.

අදහස්