ලොකු පිමි පනින රටක් | සිළුමිණ

ලොකු පිමි පනින රටක්

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ මුහුණ දුන් බොහෝ දුෂ්කරතා මැඬගෙන ලොකු පිමි පැන්න රටකි. පසුගියදා ඒ රට මුහුණ දුන් ප්‍රහාරය හමුවේ පසුබෑවද ඔබ ශ්‍රී ලංකාවෙන් ඈත් කරවීමට තරම් හේතුවක් නොවේ." ඒ පසුගියදා යළිත් වතාවක් ලෝකයේ සංචාරය කිරීමට සුදුසු රටවල් අතර මුල් තැන රඳවමින් 'ලෝන්ලි ප්ලැනට්' සඟරාව ශ්‍රී ලංකාව පිළිබඳ යෙදූ සටහනේ තිබූ ඡායාරූපයකට යොදා තිබූ පාදක සටහනයි. එමතු නොව; මේ ලොන්ලි ප්ලැනට් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව පිළිබඳ තැබූ සටහනේ සිරස්තලය ලෙසද යොදා තිබුණේ 'ඇයි අප ශ්‍රී ලංකාව අත් නොහළ යුත්තේ, ඔබද එසේ නොකළ යුත්තේ?' යන්නය.

මේ කතාව කියන්නේ කුමක්ද? සැකෙවින්ම කිව හොත් අද ශ්‍රී ලංකාව දෙස ලෝකය බලන සැටිය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළද ඒ වේග‍යෙන්ම ඔවුන් ආපසු ඒ වාරණ ලිහිල් කරමින් පවතී. මේ වන විට සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස අනතුරු ඇඟවූ රටවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ඒ තහනම ඉවත් කරමින් සිටී. මෙයින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව සහ එහි ආරක්ෂාව මෙන්ම රටේ පාලනය හෝ ජනතාව සම්බන්ධයෙන් ලෝකය තුළ පවතින විශ්වාසයයි.

දේශපාලකයන් රූපවාහිනී තිර ඉදිරියේ නහර පුම්බා කෑගැසූ පළියට හෝ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතැයි පාර්ලිමේන්තුවේ දුර්වල විශ්වාසභංග ගෙන ආ පළියට හෝ දියුණු රටවල තානාපති අංශ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීන්දු-තීරණ ගන්නේ නැත; ඔවුන්ගේ රටේ ජනතාවට අපේ රටේ බියක් සැකක් නැතිව සංචාරය කිරීමට එන ලෙස ඉඟි කරන්නේද නැත. ඔවුන් එවැනි තීරණයක් ගන්නේ විද්‍යානුකූල විශ්ලේෂණයකින් අනතුරුවය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාස දෙකක් ඉක්ම යන්නට මත්තන් ලෝකයේ බොහෝ රටවල එවැනි විශ්වාසයක් ජනිත කරවීමට රටක් ලෙස අප සමත් වීම පිළිබඳ සතුටු විය යුතුය. මෙරටට විදේශ විනිමය ගෙනෙන ව්‍යාපාර අතුරින් ඉතා වේගයෙන් ඉහළට එමින් සිටි සංචාරක ව්‍යාපාරය හමුවේ හිටිවනම කඩා-පාත් වූ මේ අන්තවාදි ත්‍රස්ත අපලය ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ ඍජු සහ වක්‍ර සියලු පාර්ශ්ව දැඩි වේදනාවකට ලක් කළේය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක දායකත්වයක් සංචාරක ව්‍යාපාරයෙන් හිමි වීම මඟින් පෙනෙන්නේ රටේ ආර්ථිකයට එහි පැවති සුවිසල් දායකත්වයයි.

මේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් පසුගිය කාලය තුළ මෙරට ව්‍යවසායකයන් 3000කට ආසන්න ප්‍රමාණයක් රුපියල් බිලියන 285ක් පමණ වටිනා ණය ගොන්නක් මේ ව්‍යාපාර සම්බන්ධයෙන් ආයෝජනය කොට ඇත. ඔවුන්ට නිසි ආදායම් නොලැබීම නිසා මේ වන විට දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇත. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් මේ වන විට රජය ඉතා වේගයෙන් පියවර ගනිමින් ඇත. විශේෂයෙන් ඔවුන් විසින් ලබාගත් ණය කල්බදු පහසුකම් සඳහා ආපසු ගෙවීමේදී සහන සලසා දීම සම්බන්ධයෙන් මේ වන විට සාධනීය පියවර ගණනාවක් රජය විසින් ගනු ලැබ ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ණය ලබාගත් ව්‍යවසායකයන් සහ ආයතන 3641ක් ණය ආපසු ගෙවීමේ සහන ඉල්ලා ඇති අතර, එයින් 1000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අදාළ සහන වෙනුවෙන් මේ වන විට අනුමැතිය හිමිව ඇත. සෙසු ඉල්ලීම්ද ඇගයෙමින් පවතින අතර, ඒ සඳහාද මේ සහනය හිමි වනු ඇති බව මහ බැංකුව සඳහන් කර තිබිණි. බොහෝ රටවල් මෙරට සංචරණය සම්බන්ධයෙන් දමා තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කිරීමේ පසුබිමෙහි යළිත් සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීම සඳහා ඔවුන් දිරි ගැන්වීමක් වශයෙන් මෙරටට පැමිණෙන ගුවන් යානා ගුවන් තොටුපළ මෙහෙයුම් ගාස්තු ගුවන් තොටුපළ බදු සහ ඉන්ධන ගාස්තු ආදියද අඩු කිරීමට මේ වන විට රජය පියවර ගෙන ඇත. මෙයට අමතරව සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක්ද මේ වන විට ක්‍රියාවට නැංවීමට කටයුතු යෙදෙමින් ඇත. මේ අනුව බලන කල අනපෙක්ෂිත ත්‍රස්ත ප්‍රහාරය මත අපට සාර්ථකව යළි මේ කර්මාන්තය ස්ථාවරත්වයට පත් කිරීමට පසුබිම නිර්මාණය වී ඇත. ඒ පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කරගත හැකි තැනට පසුබිම් නිර්මාණය වී ඇත.

රජය එක් අතෙකින් මේ ක්ෂේත්‍රයේ වර්ධනයට අවැසි සියලු පහසකම් සපයද්දී ව්‍යවසායකයන් සේම රටක් ලෙස සමස්ත ජනතාවම ඉවසීමකින් යුතුව යළි මේ කර්මාන්තය සෞභාග්‍යය කරා ළං කරවීමට තම ශක්තියේ පමණින් දායකත්වය දැක්විය යුතුය. මෙරටට එන සංචාරකයකුට අප මුවින් නඟන මඳහස පවා ඔවුන්ට අපේ රට පිළිබඳ විශ්වාසයක් පැහැදීමක් ඇති කිරීමට හේතුව බව අප වටහාගත යුතුය.

එහෙත් අප ලද අප්‍රසන්න අත්දැකීමක් වන්නේ රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් යම් යම් තීන්දු-තීරණ පියවර ගත්තද ඒවා දියත් කරන නිලධාරි යන්ත්‍රණය සඳහා ඊට ආදළ ආයතන මඟින් සංචාරක ව්‍යාපාරයට සලසන සහන නිසි ලෙස ඔවුන් කෙරේ ළඟා වන්නේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. ඒ මන්ද යත්: දැනටමත් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සලසා දුන් සහන නිසි ලෙස අදාළ පාර්ශ්ව වෙත ළං නොවීමේ නිසි ප්‍රතිඵල ඉටු නොවීමේ අනතුරක් ඇත. ඉදිරියේදී එන්නේ මැතිවරණ සමයකි. ඒ වෙනුවෙන් විවිධ දේශපාලන වංගු ගසන හැංගිමුත්තන්කාරයන් ද මේ යන්ත්‍රණයට මුවා වී ඉදිරි මැතිවරණවලට ඡන්ද රැස් කිරීමේ නිරතව සිටිති. ඔවුන්ට වුවමනා වන්නේ රජය සහ එහි වැඩ කටයුතු අකර්මණ්‍ය කොට එහි වාසිය ලබාගැනීමය. මේ සියලු කටයුතුවලින් අවසානයේ සිදු වන්නේ මේ කර්මාන්තය සම්බන්ධයෙන් කටයුතු කරන්නන්ගේ මෙන්ම මෙරටට යන එන සංචාරකයන්ගේ විශ්වාසය බිඳ ටීමය. එබැවින් රජයේ වගකීම විය යුත්තේ ඉහළ සිට පහළ දක්වා මේ ක්‍රියාවලි සියුම් ලෙස විපරමට ලක් කිරීමය. ඒ සඳහා පවතින රාජ්‍ය යන්ත්‍රණයම කාර්යක්ෂම ලෙස යොද­ා ගැනීමෙන් අපට අපේ රට තවදුරටත් සංචාරක ආකර්ෂණයේ අංක එකේ රැඳවිය හැකි වනු ඇත.

Comments