අපේ ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ අද අප ගන්නා තීන්දු මතයි | සිළුමිණ

අපේ ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ අද අප ගන්නා තීන්දු මතයි

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා පැවැති එහි 180 වැනි වාර්ෂික මහා සභාවේ දී නව සභාපති ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය තෝරා පත් කර ගත්තේය. ආචාර්ය විජේසූරිය සමාගම් පොදු විධායක උප සභාපතිවරයකු සහ ඇකිසියාටා සමූහයට අයත් බර්හැඩ්හි කලාපීය ප්‍රධාන විධායකවරයා වෙයි. ඔහුට පෙර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මෙම තනතුර දැරූවේ මෙරට ප්‍රකට බැංකුකරුවකු වන රාජේන්ද්‍ර ත්‍යාගරාජාය.

නව තනතුරේ වැඩ භාරගනිමින් ආචාර්ය විජේසූරිය ‘සම්බන්ධතාවයේ, සාමූහිකත්වයේ සහ තිරසාරත්වයේ වසර 180ක පුනරාවර්තනය’ යන මැයෙන් දේශනයක් පැවැත්වීය.

“මෙම සාඩම්බරනීය ආයතනයේ අභිනව සභාපතිවරයා වශයෙන් මම දකින දෙයක් තමයි වසර 180ක ඉතිහාසයේ මෙතෙක් පැමිණි ගමනේ ස්ථීරසාරත්වය සහ අඛණ්ඩත්වය තනි පුද්ගලයන්ගේ උත්සාහයක් නොව සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව.

අපේ මණ්ඩලයේ ස්ථීරසාරත්වය රඳා පවතින්නේ සාමූහිකත්වය අනුවයි. අපි සාමාජික ආයතන 686කින්, සමගාමී ආයතන 42කින් සහ ජාතික න්‍යායපත්‍ර කමිටු 6කින් සහ ප්‍රබල සාමාජික ලේකම් කාර්යාල 78ක සහාය ලබන අංශ මෙහෙයුම් කමිටු 8කින් සමන්විතයි.

දේශීය සහ අන්තර්ජාතික ආර්ථික කටයුතුවලදී ආණ්ඩුව, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන ආයතන සහ පොදු සමාජය යනාදී විවිධ පාර්ශ්ව රැසක් සමඟ කටයුතු කරමින් ඊට අවශ්‍ය පරිසරයක් ඇති කිරීම සඳහා අප සංගමය විශාල කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා.

වාණිජ මණ්ඩලයේ දැක්ම සහ මෙහෙවර වන්නේ තිරසර ලෙස සමාජ සමානාත්මතාවක් ඇති කරමින් ජාතික ආර්ථික සංවර්ධන සහ සමාජ සංවර්ධන වැඩපිළිවෙළේ මෙහෙයුම් බලවේගය ලෙස ක්‍රියා කිරීමයි. එසේම අප පෞද්ගලික අංශයේ පැහැදිලි ශක්තිමත් හඬ වන අතර ජාතික අවශ්‍යතාවේ දී නොබෙදී කටයුතු කරනවා.

අද දවසේ අපේ රටේ ජාතික ආර්ථිකය ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. අවිනිශ්චිත සහ සෘණාත්මක දෘෂ්ටි කෝණයෙන් බලනවාට වඩා ධනාත්මකව, බලාපොරොත්තු සහගතව සහ අධිෂ්ඨානයෙන් යුතුව මේ කාරණා දෙස බැලිය යුතුයි. අද දවසේ අපට ඇත්තේ ඩොලර් බිලියන 90ක ආර්ථිකයක්. සාර්ක් සහ ආසියාන් සංවිධානයේ රටවල්වල ආර්ථිකය සැලකීමේ දී අපට හිමි වී ඇත්තේ අවසාන සිවු වැනි ස්ථානයයි. එහෙත් ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව අපට 3 වන ස්ථානය හිමි ව තිබීම ආඩම්බරයට කරුණක්. ඒවගේම මේ සම්බන්ධයෙන් සාර්ක් කලාපයේ පළමු වන ස්ථානය අපට හිමි වී තිබෙනවා. සියයට 3.7ක පවතින අපගේ ආර්ථික වර්ධන වේගය ප්‍රමාණවත් දැයි කල්පනා කර බැලිය යුතුයි.

පෞද්ගලික අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන රටක් වශයෙන් අපි, තරගකාරීත්ව වර්ධනයේ මාර්ගය සාධනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිලාභ යොදවන්නේ දැයි කල්පනා කළ යුතුයි.

ඒ වගේම අද දවසේ රට මුහුණ දී තිබෙන අන්තවාදී සහ රැඩිකල්වාදී බලවේග මැඩපවත්වා ජාතික සමගිය ඇති කිරීම, රටේ ආර්ථිකයට දක්වන යහපත් දායකත්වයක්.

අපගේ ආර්ථිකයේ මෙන්ම ජාතියේ අනාගතය තීරණය වන්නේ අප අද දවසේ සිදු කරන්නේ කුමක්ද යන්න මතයි. අපට ලොවම පිළිගත් දක්ෂතා තිබෙනවා. ගෙවුණු දශක තුන ඇතුළත සිදු වූ විවිධ හැළ හැප්පීම් සහ සාමය සහ සහජීවනය ඇති කිරීමට ගත් ක්‍රියා මාර්ග රටේ ආර්ථිකය හැඩගැස්වීමට බලපෑම් සිදු කරනවා.

අපි විශ්වාසයක් ඇතිව තනි තනි වශයෙන් ගන්නා පියවරක් විශාල වෙනසක් ඇති කිරීමට දායක නොවෙතත්, සාමූහික වශයෙන් සිදු කරන දෙයක් නිසා ආර්ථිකයේ විශාල පිම්මක් ඇති කළ හැකියි. අපගේ ඉලක්කය ඉදිරි වසර 5 ඇතුළත සියයට 7 සිට 8 අතර ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමයි. අද දවසේ සංගමයේ ඇති කමිටු 17 එක් වී කටයුතු කරමින් රටේ පෞද්ගලික අංශය පෙරමුණට ගෙන ඩොලර් බිලියන 140ක ආර්ථිකයක් සහ සියයට 7 ක ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීමට වෙහෙසෙනවා. අපගේ ඉලක්කය 2025 වන විට කලාපයේ ආර්ථික ආදර්ශය බවට පත් වීමයි.

පෞද්ගලික අංශය සිය කටයුතුවලදී අවස්ථාවාදය සහ අසමානතාවය පරාජය කර ජාතික සමඟිය සහ සහජීවනය රැකීමටත්, ගැටුම්කාරී නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමටත් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි.

අප රටේ දේශපාලන සහ සමාජ පරිසරය පෞද්ගලික අංශයේ පාලනයෙන් තොරව පවතින බව ඉඳුරාම දැකගත හැකියි. එහෙත් සියලු ප්‍රශ්නවලට මුල ආර්ථිකය බෙදීමේ විසමතාව යැයි අප පොදුවේ සිතනවා නොවේද? ආර්ථිකයේ ගාමක බලවේගය අපම යැයි අනිත් අතට අප උදම් අනන්නේ නැතිද? මේ අර්ථයෙන් ආර්ථිකයේ මෙහෙයුම්කරු වශයෙන් ආර්ථික සහ සමාජ අසමානතාව මුලිනුපුටා දැමීමට අපට වගකීමක් පැවැරී නැතිදැයි කල්පනා කර බලන්න. මේ නිසා අප පැත්තකට වී නොසිට ප්‍රශ්නය විසඳීමට නායකත්වය දිය යුතුයි.

2020 සිට 2025 දක්වා පිය නඟන අපි පැහැදිලිවම පෙනෙන වෙනසක් ඇති ගෝලීය තරගකාරීත්ව යුගයකට යන බවට සැකයක් නැහැ. එය කුඩා සහ ක්‍රියාශීලී ජාතියකට ජය බිමක් වනු ඇති.

මේ යුගයේ ජයග්‍රාහකයකු වීමට නම් දැනුම්වත්භාවයෙන් ක්‍රියා කිරීම අවශ්‍යයි. එළැඹෙන යුගයේ ප්‍රධාන ප්‍රවණතා, යථාර්ථ සහ උපාංග හඳුනාගැනීමෙන් පමණයි එහි ජයග්‍රාහකයකු විය හැක්කේ.

මේ ප්‍රවණතාවල ප්‍රධාන හරය වන්නේ නියම ධනවාදී යන්ත්‍රණය ශක්තිමත් කිරීමයි. ප්‍රාග්ධනය වර්ධනය කිරීම සහ සමාජ සංවර්ධනය ඇති කිරීමට නියම ධනවාදය අනුගමනය කළ යුතුයි. වර්ධන මෙවලම් මඟින් භාණ්ඩ, සේවා, රැකියා සුරක්ෂිතභාවය ඇති කළ හැකි අතර ද්විතීයික හා තෘතීයික ගුණකයන් මඟින් හැකි තරම් මිනිසුන්ට සහ ප්‍රජාවට පහසු මිලකට අවශ්‍ය දේ ලබා ගැනීමට අවස්ථාව උදාකර දිය හැකියි.

මීළඟ ප්‍රධාන ප්‍රවණතාව තමයි 4 වැනි කාර්මික විප්ලවය. මම විශ්වාස කරනවා තාක්ෂණයේ බල මහිමයෙන් වඩාත් සමාන ජාතීන් අනාගතයේ දී බිහි වන බව. මේ නිසා අසමමිතික අවස්ථාවලට තිත තැබෙනු ඇති.

මූලික මිනිස් අයිතිවාසිකම් වන තොරතුරු, අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන දේවල් ධනවත් සහ දුප්පත් ප්‍රජාව, සමාජ, ව්‍යාපාර සහ සමස්ථ ජාතිය අතර සමව බෙදී යනු ඇති. මම විශ්වාස කරනවා සාමූහිකත්වය ස්ථාපිත වනු ඇති කියා, එමඟින් ආර්ථික ධනය ඉපැයීම වේගවත් වනු ඇති කියා.

තුන්වන සහ සිව් වන ප්‍රධාන ප්‍රවණතා වන්නේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීයකරණය නිසා ඇති වන භෞතික ක්‍රියාවලිය සහ එයින් ජනිත වන දැනුම් සම්භාරයයි. දැන් අප ළඟා වී සිටින්නේ සාමූහිකත්වයේ යුගයට බව පැහැදිලිවම සහ ප්‍රබල ලෙස සංකේතවත් වී තිබෙනවා.

අපගේ සංගමය සංවිධානය වී ඇත්තේ එම අදහස අනුව බැවින් අපට ඉටු කිරීමට ඇති කාර්ය භාරය නිවැරැදිව හඳුනාගැනීම ඉතාම වැදගත් වෙනවා. ආර්ථික සහ සමාජීය වශයෙන් ඉදිරියට යාමට හැක්කේ සාමූහිකත්වයෙනුයි.

අප පසුකරන මේ යුගයේ දී සුළු පරිමාණයේ ව්‍යවසායකයන් අත්හැරීම හෝ තනිවම කටයුතු කිරීමෙන් සාර්ථකත්වයක් ලබාගත හැකි වන්නේ නැහැ.

වර්තමාන රටාවට අනුව සමූහයට එකතු වීම මඟින් තමයි වැඩි ලාභයක් උපයාගත හැකි වන්නේ. ආණ්ඩුවෙන් අප ඉල්ලා සිටින්නේ ප්‍රගතිශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් ඇති කරන ලෙසයි. ගෝලීය මූල්‍ය වෙළෙඳපළ සමඟ එකට ගමන් කළ යුතුයි. මේ කාලයේ සිදු කළ තවත් වැදගත් පියවරක් ලෙස ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට මෑතකදී ගත් පියවර ප්‍රශංසනීයයි.

අලුත් ක්‍රමවේදයක් ඇති කිරීම ගැන අප වසර ගණනාවක් තිස්සේ බලාගෙන සිටියා. අඛණ්ඩතා මූලධර්ම රැකෙන, එක්සත්කම, සමානාත්මතාව ඇති සහ කුසලතාවලට ඉඩ ලබාදෙන අලුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම වැදගත් වනවා. මම විශ්වාස කරනවා කුසලතා වර්ධනය කිරීම සහ දූෂණය පිටු දැකීමේ කටයුතු පෞද්ගලික අංශයෙන් පටන්ගත යුතු බව.

දේශපාලන අනුග්‍රහය නැති කිරීමට මේ රටේ සෑම ප්‍රදේශයකම සිටින ජනතාවට සමාන අවස්ථා උදාකර දීමට සහ වර්ධනය අත්පත් කරදීමට අවස්ථා ගොඩනැඟිය යුතුයි.

අපගේ ආදි සාමාජිකයන් ගොඩනැගූ පරමාදර්ශ මත අලුත් සහ කාර්යක්ෂම ආකාරයෙන් සාමාජිකයන්ට සහ ජාතියට සේවය කිරීමට අප කටයුතු කළ යුතුයි.

අනාගතය දීප්තිමත් බව මා හැම අතින්ම විශ්වාස කරනවා. ධනාත්මකව සිතා අප ගොඩනැඟීමට අපේක්ෂා කරන වෙනස වෙනුවෙන් පැහැදිලිව කටයුතු කිරීමට සිතාගත යුතුයි.

අදහස්