සියවසකට පෙර හෙළි වුණු මනුස්සයන්ගේ තිරිසන්කම | සිළුමිණ

සියවසකට පෙර හෙළි වුණු මනුස්සයන්ගේ තිරිසන්කම

සාගර යුද්ධ­යට එක් වූ සට­න්ක­රු­වන් ගණන ලක්ෂය ඉක්මවා ගියා

ලෝක ජන­ග­හ­න­යෙන් කෝටි දෙකක් මරා-දැම්මා

සොල්දා­දු­වන් අනූ ලක්ෂ­යක් මැරුණා

දෙපා­ර්ශ්ව­යේමගුව­න්යානා එක්ලක්ෂ දස­ද­හ­සක් විනාශ වුණා

දෙවන ලෝක යුද්ධය ගැන අප බොහෝ දෙනකු තුළ යම් අවබෝධයක් ඇතිමුත් අදින් වසර 100කට පමණ පෙර සිදු වූ පළමු ලෝක මහා සංග්‍රාමය ගැන ඇත්තේ නාමමාත්‍රික අවබෝධයක් පමණි. වර්ෂ 1914-1919 අතර සමයේ සිදු වූ පළමුවන ලෝක මහා සංග්‍රාමය මනුෂ්‍යයාගේ අමානුෂිකත්වය හා ක්‍රෑරත්වය මහා පරිමාණයෙන් ප්‍රදර්ශනය කළ ලෝක ඉතිහාසයේ අභාග්‍යසම්පන්න යුගයක් විය. සිව් වසරකට වැඩි කාලයක් පැවති මේ සංග්‍රාමයේදී මියගිය යුද සෙබළුන්, නිරායුධ සිවිල් වැසියන් හා විවිධ සතුන්ගේ ප්‍රමාණය මැනිය යුත්තේ ලක්ෂවලින් නොව දස ලක්ෂ ගණන්වලිනි.

එවකට යුරෝපයේ පැවති ප්‍රබල ඔස්ට්‍රියානු - හංගේරියානු අධිරාජ්‍යයේ ඔටුන්න හිමි මහා ආදිපාදවරයා ඒ අධිරාජ්‍යයට අයත් වූ බොස්නියාවේදී අන්තවාදි සර්බියානු විමුක්ති සංවිධානයකට අයත් තරුණයකුගේ බෝම්බ පිපිරවීමකින් මිය ගියේය. මේ අවාසනාවන්ත සිදුවීම පළමු ලෝක සංග්‍රාමයට හේතු වූ බව ඒ පිළිබඳ අවධානය දක්වන බහුතරයකගේ අදහසයි. එහෙත් 20 වන සියවස ආරම්භ වන විට යුරෝපයේ වූ ප්‍රබල රාජ්‍ය තුළ පැවති මිලිටරිවාදය, අධිරාජ්‍ය ගොඩනැඟීමේ අපේක්ෂාව, ජාතිකත්වය පිළිබඳ අන්තවාදි හැඟීම් මෙන්ම විවිධ රාජ්‍ය අතර වූ රහස්‍ය ආරක්ෂක ගිවිසුම්ද මේ යුද්ධයේ ව්‍යාප්තියට මෙන්ම දීර්ඝකාලීන පැවැත්මටද හේතු වූයේය.

මේ සංග්‍රාමයේදී සාම්ප්‍රදායික අවි-ආයුධ, අශ්වාරෝහක හමුදා මෙන්ම එවකට පර්යේෂණ මට්ටමේ පැවති විෂ වායු අන්තර්ගත බෝම්බ, ගුවන්යානා, යුද්ධටැංකි, දිගුදුර ප්‍රහාරක කාලතුවක්කු වර්ග, මැෂින් තුවක්කු වැනි යුද්ධෝපකරණ විශාල වශයෙන් යොදාගැනිණි.

මේ යුද්ධයට සම්බන්ධ වූ සියලු පාර්ශ්ව මේ යුද උපකරණ හා ක්‍රමෝපාය භාවිත කළහ.

එනිසා එහිදී සිදු වූ මානව සංහාරය අසීමිත විය. වර්ෂ 1919.06.28 දින ජර්මනිය නිල වශයෙන් මිත්‍ර ජාතීන්ට යටත් වීමෙන් පළමුවන ලෝක මහා සංග්‍රාමය අවසන් වන විට සාර්ව යුරෝපීය සමාජ සංවිධානය මෙන්ම ආර්ථිකයද ප්‍රබල පරිහානියට ලක්ව තිබිණි.

පැවති අධිරාජ්‍ය බිඳවැටී ජාතිකත්වය මත ගොඩනැඟුණු නව රාජ්‍ය රාශියක් යුරෝපා මහාද්වීපයේ විවිධ ප්‍රදේශවලින් මතුව ආවේය.

මූලාරම්භක පසුබිම

ක්‍රිස්තු වර්ෂ 1870දී අවසන් වූ ප්‍රංස-ප්‍රර්ෂියානු යුද්ධයෙන් පසුව හැනෝවර්, බැවේරියා, බැඩෙන් හා වෙටන්බර්ග් වැනි ජර්මානුන් වාසය කළ කුඩා රාජ්‍ය ප්‍රර්ෂියාව සමග සන්ධානගත වීමෙන් ජර්මානු අධිරාජ්‍යය බිහි විය.

මේ ක්‍රියාවලිය පසුපස සිටි ප්‍රබල ප්‍රර්ෂියානු රාජ්‍ය තාන්ත්‍රිකයා වූයේ ඔටෝ වොන් බිස්මාන්ය. මේ නව අධිරාජ්‍යය බිහි වීම යුරෝපයේ පැවති දේශපාලන සමතුලිතතාවට බලවත් තර්ජනයක් එල්ල කිරීමට හේතු විය. කෙටි කාලයකදී අභිනව ජර්මානු අධිරාජ්‍යය ප්‍රබල ඔස්ට්‍රියානු - හංගේරියානු අධිරාජ්‍යය හා රුසියානු අධිරාජ්‍යය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමත් සමඟ යුරෝපයේ බලතුලනය බෙහෙවින් ව්‍යාකුල විය.

තුන් අධිරාජ (Drei kaiser) ගිවිසුම නමින් ප්‍රකට වූ මේ සන්ධානය ගැන බොහෝ යුරෝපීය ජාතීන් තුළ වූයේ සැකයක් සහිත භීතියකි.

1888 වසරේ II විලියම් ජර්මානු අධිරාජයා බවට පත් වීමෙන් අනතුරුව ජර්මානු අධිරාජ්‍යයේ ව්‍යාප්තිවාදය සක්‍රිය වූ අතර, හමුදා සංවර්ධනය හා යුද්ධායුද වැඩි-වැඩියෙන් නිපදවීම ශීඝ්‍රව සිදු වූයේය. මුළු මහත් යුරෝපයම තම ග්‍රහණයට නතු කරගැනීම තරුණ ජර්මානු අධිරාජයාගේ එකම ප්‍රාර්ථනය විය.

ඔහු අවධානය යොමු කළ එකම කරුණ වූයේ බ්‍රිතාන්‍යය සතු වූ ප්‍රබල නාවික හමුදාවෙන් ජර්මනියට එල්ල කළ හැකි තර්ජනයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවය. ජර්මන් නාවික හමුදාව ශක්තිමත් කිරීමට වැඩි වැඩියෙන් සංග්‍රාමික නෞකා නිපදවීමටත්, පැරණි නෞකාවල ප්‍රහාරක ශක්තිය වැඩි කිරීමටත්, සබ්මැරීන තාක්ෂණය වැඩිදියුණු කිරීමටත් හෙතෙම විශාල ධනයක් මෙන්ම අවධානයක්ද යොමු කළේය. නාවික හමුදාවේ උත්තරීතර නායක පදවිය තමා සන්තකයේ තබාගැනීමට II විලියම් අධිරාජයා පියවර ගත්තේ අනාගතයේ ඇති විය හැකි යුද්ධයක ජය-පැරදුම තීරණය කිරීමට නාවික හමුදාවේ ක්‍රියාකලාපය තීරණාත්මක විය හැකි බව හේ විශ්වාස කළ නිසාය. එහෙත් මහා පරිමාණ යුද්ධයකට යොමු වීමට හේතුවක් එවකට යුරෝපා දේශපාලනයේ නොවීම ජර්මානු අධිරාජයාගේ කනස්සල්ලට හේතු විය.

ජර්මනියේ ව්‍යප්තිවාදය කෙරෙහි අවධානය යොමු කළ ප්‍රංසය මහා බ්‍රිතාන්‍යය සමඟත්, ජර්මනිය සමඟ පෙර පැවති අවබෝධතා ගිවිසුමෙන් ඉවත් වූ රුසියානු අධිරාජ්‍යය සමඟත් අවබෝධතා ගිවිසුමකින් 1907 වසරේදී බැඳුණේ ජර්මානු අධිරාජ්‍යයේ පළමු ගොදුර ප්‍රංසය විය හැකි බවට එරට නායකයන් තුළ වූ අවබෝධය නිසාය. මේ නව මිතුරු හවුල ජර්මානු අධිරාජයාගේ අවධානයට ලක් වුවද සමස්ත යුරෝපයම තම පාලනයට නතු කරගැනීමට ඔහු තුළ පැවති දැඩි අභිලාෂයට එයින් කිසිදු බලපෑමක් ඇති නොවීය. තව තවත් හමුදා සංවර්ධනයටත් යුද‘වි නිපදවීමත් ජර්මානු අධිරාජයා පියවර ගත්තේ මහා පරිමාණ යුද්ධයක් ඔහුගේ යුරෝපා-ජර්මානු අධිරාජ්‍ය සිහිනයට නුදුරු අනාගතයේදීම හේතු වන බව හැඟී ගිය නිසාය.

වර්ෂ 1914.06.28 දින ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ ඔටුන්න හිමි ෆ්‍රාන්ස් පර්ඩිනන්ඩ් මහාදිපාදතුමා තම අධිරාජ්‍යයට අයත් වූ බොස්නියාවේ සෙරජීවෝ නගරයට සම්ප්‍රාප්ත වූයේ තම අධිරාජ්‍යයේ වූ විවිධ ජාතීන් අතරේ සංහිඳියාවක් ඇති කිරීමේ අරමුණින් යුතුවය. එහෙත් මෙහිදී සර්බියානු කාලහස්ත නම් අන්තවාදි සංවිධානයේ සමාජිකයන් විසින් සිදු කරනු ලැබූ බෝම්බ පිපිරවීමකින් ආදිපාදවරයාද ඔහුගේ ආර්යාවද ඒ ස්ථානයේදීම මිය ගියහ. මේ ආරංචිය සැලවීමත් සමග යුරෝපය පුරා දැඩි කම්පනයක් මෙන්ම අවිනිශ්චිතතාවක්ද මතුව ආවේය. මේ ඝාතනයට සර්බියානු රජය සම්බන්ධ බව ඔස්ට්‍රියානු හමුදා ප්‍රධානීන්ගේ අදහස විය.

මේ වන විට යුරෝපයේ ඇති වී තුබූ මිලිටරිවාදය සැම ප්‍රශ්නයකටම විසඳුම් සෙවීමට උත්සාහ කළේ අවි බලයෙනි. සර්බියාව සමඟ සටනකට යෑමට නම් තමන්ට ජර්මනියේ සහාය අවශ්‍ය බව මහලු ඔස්ට්‍රියානු අධිරාජයාගේ අදහස විය.

මේ නිසා ඔස්ට්‍රියානු ෆෙඩ්රික් අධිරාජයා ජර්මානු අධිරාජයා වූ II විලියම්ට පෞද්ගලිකවම ලිපියක් යවමින් යෝජිත සර්බියානු ආක්‍රමණය සඳහා ජර්මනියේ සහාය පැතීය. මෙය තමන්ගේ යුරෝපීය අධිරාජ්‍ය සිහිනය සැබෑ කරගැනීම සඳහා සුදුසුම අවස්ථාව බව වටහාගැනීමට II විලියම් අධිරාජයාට අපහසු නොවීය. වර්ෂ 1914.08.05 දින ජර්මනිය ඔස්ට්‍රියාවේ සර්බියානු ආක්‍රමණයට තම සහාය පළ කළේය. ඉන් උද්දාමයට පත් වූ ඔස්ට්‍රියානු රජය ඉටු කළ නොහැකි කොන්දේසි මාලාවකින් යුතු අවසන් නිවේදනයක් සර්බියාවට යැවීය. සර්බියාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මේ ගැටලුව විසඳාගැනීමට ගත් සියලු ප්‍රයත්න අසාර්ථක විය. අවසානයේ 1914.07.28 දින ඔස්ට්‍රියාව සර්බියාව ආක්‍රමණය කළේ තමා මුලපිරුවේ දීර්ඝකාලීන භයංකර සංග්‍රාමයකට බව නොදැනය.

යුද ගිනි ඇවිළීම

ඔස්ට්‍රියානු හමුදා සර්බියාව ආක්‍රමණය කළ වහාම රුසියානු අධිරාජ්‍යය සර්බියාවේ සහායට පැමිණියේය. මේ අවස්ථාවේ රුසියාව හා ප්‍රංසය අතර පැවති අවබෝධතාව නිසා ප්‍රංසයද රුසියාවට සහාය පළ කරමින් යුද්ධයට සූදානම් වූහ. මෙය ජර්මනිය එතෙක් නොයිවසිල්ලෙන් බලා සිටි අවස්ථාව විය. වර්ෂ 1914.08.03 දින ප්‍රංසයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් ජර්මනිය ඔස්ට්‍රියානු පිලට එක් විය. ප්‍රංසයට විරුද්ධව ජර්මනිය යුද්ධ ප්‍රකාශ කළ විට මහාබ්‍රිතාන්‍යයද යුද්ධයට සූදානම් වූයේ ප්‍රංසය හා එංගලන්තය අතර වූ අවබෝධතා ගිවිසුමට අනුව බ්‍රිතාන්‍යයේ සහාය ප්‍රංසයට හිමි විය යුතු වීම නිසාය. ජර්මනිය ප්‍රංසය ආක්‍රමණය කිරීමට උත්සාහ කළේ අසල්වැසි බෙල්ජියම හරහා තම හමුදා යැවීමෙනි. බෙල්ජියම මෙයට විරුද්ධ වූ විට ජර්මනිය බෙල්ජියමට විරුද්ධවද යුද්ධ ප්‍රකාශ කරමින් 1914.08.04 දින එරටට කඩාවැදුණේය. මහාබ්‍රිතාන්‍යය බෙල්ජියමේ ස්වාධීනත්වයට ගරු කරන මෙන් ජර්මනියෙන් ඉල්ලා සිටියද ඒ ඉල්ලීමට ජර්මනියෙන් කිසිදු ප්‍රතිචාරයක් පළ නොවීය. එබැවින් මහාබ්‍රිතාන්‍යයද මේ මහා සංග්‍රාමයට ඇදී ගියේය.

පළමුවන ලෝක සංග්‍රාමයේ පළමු මහා සටන සිදු වූයේ බෙල්ජියමේ ලීග් නගරයේදීය. කුඩා දුර්වල රටක් වූ බෙල්ජියමෙන් තමාට මෙබඳු ප්‍රබල තර්ජනයක් එල්ල වෙතැයි ජර්මනිය කිසිම අවස්ථාවක විශ්වාස නොකළේය. ලීග් නගරය සම්පූර්ණයෙන් යටපත් කොටගැනීමට ජර්මනියට දින 12කට වැඩි කලක් ගත විය. මේ කාලය ප්‍රංසයට තම සේනා අවශ්‍ය ස්ථානවලට යොමු කිරීමට බෙහෙවින් වැදගත් විය. ලීග් සටන ජය ගැනීමෙන් පසු ජර්මනිය බෙල්ජියමේ බොහෝ ප්‍රදේශ වනසා දමා, දහස් ගණන් නිරායුධ වැසියන්ද ඝාතනය කළේය. යුද්ධය අවසන් වන තුරු බෙල්ජියම ජර්මනියේ ආධිපත්‍යය යටතේ පැවති අතර, ජර්මානු හමුදාවල තාවකාලික නැවතුම්පොළක්ද වූයේය.

ප්‍රථම ලෝක සංග්‍රාමයට පසු කාලයකදී තුර්කිය, බල්ගේරියාව, රුමේනියාව, ඉතාලිය, ඇමෙරිකාව වැනි රටවල්ද එක් වූයේ විවිධ පෞද්ගලික අවශ්‍යතා නිසාය. ඇමෙරිකාව මුලදී යුරෝපයේ ඇති වූ මේ සංග්‍රාමය දෙස බැලුවේ තමාට අදාළත්වයක් නැති සටනක් ලෙසය. ඇමෙරිකානු බැංකු යුද්ධයට සම්බන්ධ වූ දෙපාර්ශ්වයේම රටවලට ණය මුදල් සපයමින් තම ව්‍යාපාරික කටයුතු දියුණු කොටගත්තේය.

ඇමෙරිකාව ජර්මනියට විරුද්ධව අවසානයේ මේ සටනට මහාබ්‍රිතාන්‍යය හා ප්‍රංසය සමඟ එක් වූයේ ජර්මනිය දිගින් දිගටම ඇමෙරිකානු මඟී හා වෙළෙඳ නෞකා ගිල්ලාදැමීම නිසාය. එමෙන්ම ජර්මනිය මෙක්සිකෝ රාජ්‍යයට හා ඇමෙරිකාවට පහර දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට සූදානම් වූ විට ඒ රහස්‍ය පණිවිඩය බ්‍රිතාන්‍ය ඔත්තුසේවා අතට පත් විය. ඉන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් 1917.04.02 දින ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් ජර්මනියට විරුද්ධව යුද්ධයට යෑමට අවසර ඉල්ලා සිටියේය. වර්ෂ 1917.04.06 දින කොංග්‍රස් මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් පසු ඇමෙරිකාව ජර්මනියට හා ඔස්ට්‍රියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් මහාබ්‍රිතාන්‍යය, ප්‍රංසය හා රුසියාව සමඟ එක් විය.

පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන විට ගුවන්යානා නිර්මාණය පැවතියේ ප්‍රාථමික අවධියකය. එහෙත් යුද්ධය පැවැති වසර හතර හමාරක කාලය තුළ සංග්‍රාමික අවශ්‍යතා සඳහා අවශ්‍ය ගුවන්යානා මාදිලි රැසක් නිපදවීමට, මහාබ්‍රිතාන්‍යය, ප්‍රංසය මෙන්ම ජර්මනියද පියවර ගත්තේය. ගුවන්යානාවලට ප්‍රහාරක අවි එක් වීමෙන් පසු ගුවනේ සිදු වූ සටන්වලින් දෙපාර්ශ්වයට අයත් විශාල යානා ප්‍රමාණයක් අහිමි විය. මේ යුද්ධයේදී ජර්මනියට ගුවන්යානා 27,637ක් අහිමි වූ අතර, මිත්‍රහමුදාවට අහිමි වූ ගුවන්යානා ප්‍රමාණය 88,000 ඉක්ම යයි.

පළමුවන ලෝක සංග්‍රාමයේදී මහාබ්‍රිතාන්‍යය හා ජර්මනිය අතර නාවික සටන් කිහිපයක් ඇති වූ අතර, එයින් ප්‍රධාන මහා සංග්‍රාමය සිදු වූයේ ඩෙන්මාකයෙන් සැතැපුම් 60ක් පමණ එපිට මුහුදේදීය. මෙය ජුට්ලන්ත සංග්‍රාමය නමින් සංග්‍රාමික ලිපි ලේඛනවල හැඳින්වේ. 1916.05.31 දින සිදු වූ මේ මහා නාවික සංග්‍රාමයට දෙපාර්ශ්වයට අයත් ලොකු කුඩා යුදනැව් 250කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ අතර එම නෞකාවල සේවය කළ නාවිකයන්ගේ ප්‍රමාණය ලක්ෂය ඉක්මවීය. මේ සටන අවසන් වන විට ජර්මනියට යුද නෞකා 11ක් අහිමි වූ අතර, සිදු වූ ජීවිත හානි ප්‍රමාණය 3058 ක් විය.

බ්‍රිතාන්‍යයට යුද නැව් 14 ක් හා නාවිකයන් 6784 ක් ජුට්ලන්ත සංග්‍රාමයේ දී අහිමි වුව ද ඔවුන් සටන්බිමේ රැඳී සිටියේ ය.

මහාබ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ජපානය, රුමේනියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය මෙම යුද්ධයේ දී මිත්‍ර හමුදා ලෙස හඳුන්වනු ලැබූ අතර ඔස්ට්‍රියා - හංගේරියා අධිරාජ්‍යයට සහාය වූ ජර්මනිය, බල්ගේරියාව හා ඔටෝමාන් අධිරාජ්‍යය මධ්‍ය බලවතුන් නමින් ප්‍රකට විය. අප්‍රිකාව, චීනය, ඉතාලිය, බෝල්කන් අර්ධද්වීපය, නිව්ගිනියාව, මැදපෙරදිග, රුසියාව, ප්‍රංසය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව හා ජපානය යන රටවල හමුදා මේ සටනට එක් වීම නිසා මෙය ලෝක යුද්ධයක් ලෙස හැඳින්වීම සම්ප්‍රදාය වේ. ඍජුව යුද්ධයට සම්බන්ධ නොවූවත් ලෝකයේ බොහෝ රටවල් මේ සටනට විවිධ අයුරින් සම්මාදම් වීම සුවිශේෂ සිද්ධියකි. යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ, මැදපෙරදිග, පැසිපික් සාගරයේ හා පැසිපික් දූපත්වලට අයත් භූමි හා සාගර ප්‍රදේශවල ලෝක සංග්‍රාමයේ සටන් ව්‍යාප්ත වී ගියේය.

ස්වීඩනය, ඩෙන්මාර්කය, පින්ලන්තය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපීය රටවල් මේ යුද්ධයට සම්බන්ධ නොවූ බව සාම්ප්‍රදායික පිළිගැනීම වේ. එහෙත් මේ රටවල් කිසියම් ලෙසකින් මේ සටනට එක් වූ කවර හෝ පාර්ශ්වයකට සුළුවෙන් හෝ උදව් කළේද යන්න අදටත් විවාදාත්මකය.

තාක්ෂණික පෙරළිය

දුම්රිය, දුම්නැව, ටෙලිග්‍රාෆ්, ටෙලිෆෝන් හා රේඩියෝ තාක්ෂණයේ ඇති වෙමින් පැවති දියුණුව මේ සංග්‍රාමයේ කුරිරුබව වැඩි කිරීමට හේතු විය. යුරෝපීය රටවල් රැසක ක්‍රියාත්මක වූ අනිවාර්ය හමුදා සේවය නිසා සටනකට පිවිසීමට පෙර තම හමුදාවේ ශක්තිය ගැන ගැඹුරින් සිතා බැලීමට පාලකයන්ට අවශ්‍ය නොවීය. කාලතුවක්කු සෑම යුරෝපීය හමුදාවක්ම පාවිච්චි කළ අතර යුද්ධය අතරතුර දැඩි ප්‍රබලතාවකින් යුත් නව කාලතුවක්කු විශේෂද නිපදවනු ලැබීය.

මැෂින් තුවක්කු සෑම හමුදාවක් අතම වූ අතර මේ අවියෙන් නොකඩවා එල්ල කළ හැකි ප්‍රහාර නිසා පෙරදී මෙන් අශ්වාරෝහක හමුදාවලට රණබිමේ විකුම් දැක්වීමට නොහැකි විය. පළමුවරට ගුවන් යානා සංග්‍රාමික කටයුතු සඳහා යොදාගනු ලැබුවේද මේ සංග්‍රාමයේදීය.

එනිසා පළමුවන ලෝක සංග්‍රාමයේ ගිනිදැල් මිහි මත, සයුරේ මෙන්ම අහසේද ඇවිළී ගියේය. අශ්වාරෝහක හමුදා වෙනුවට යුද්ධ ටැංකි නිර්මාණය කිරීමට මහාබ්‍රිතාන්‍යය උත්සුක වූයේ තම පාබළ හමුදාවල ඉදිරි ගමනට අවශ්‍ය ආරක්ෂාව සැපැයීම සඳහාය. මේ නව යුද්ධ වාහනයට ඕනෑම භූමියක ගමන් කිරීමට තුබූ හැකියාව නිසා සියලු රටවල් යුද්ධ ටැංකි නිපදවීමට අවධානය යොමු කළේය.

පළමුවන ලෝක සංග්‍රාමයේ සැතපුම් ගණනක් දිගට වූ කටුකම්බි වැටවල් බිඳදැමීමටද යුද්ධටැංකි ප්‍රයෝජනවත් වූයේය.

රසායනික යුද්ධායුධ භාවිතය ජර්මනිය පළමු ලෝක සංග්‍රාමයේදී සිදු කළ එක් අමානුෂීය ක්‍රියාවක් විය. මේ නිසා සටන් බිමේ සිටි තම භටයන්ගේ මෙන් ම උපකාරක සතුන්ගේ ජීවිත රැකගැනීමට ආරක්ෂක මුහුණු හඳුන්වාදීමටද මිත්‍ර ජාතීන්ට සිදු විය.

එක් රටක රාජකීයකුගේ ඝාතනය ලෝක ජනගහනයෙන් මිලියන විස්සකගේ ජීවිත අහිමි කළේ ඒඅයුරිනි. මේ සටන් හේතුවෙන් සොල්දාදුවන් මිලියන 9ක් ජීවිතක්ෂයට පත් විය. ආබාධිත වූ ජනගහනය මිලියන 21 ඉක්මවීය. මේ උමතු සංග්‍රාමයෙන් සිව් වසරකට පසුව මුළු යුරෝපීය සමාජයම බිහිසුණු ආගාධයකට ඇදඅවැටී තිබිණි. සංකීර්ණ සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුද රාශියක්ද එහි ප්‍රතිඵලග වශයෙන් ඇති විය.‍

යුද්ධයේ නිමාව

ඇමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ අදහස සංවර්ධනය කොට සකසාගත් වර්සේල්ස් සාමදාන ගිවිසුමට 1919.06.28 දින යුද්ධයට සම්බන්ධ වූ බොහෝ රටවල් එකඟ වූයේ මනාපයකින් නොවේ. එහෙත් ඒ වන විට බොහෝ යුරෝපීය රටවලට යළිත් යුද්ධයකට යෑමට ක්ෂණික වුවමනාවක් නොවීය.

දීර්ඝකාලීන යුද්ධයකට මුහුණ පෑ යුරෝපයේ බොහෝ රටවලට තම ආර්ථික, දේශපාලනික හා සමාජ වටපිටාව යළි සකසාගත යුතු විය; ආබාධිතයන් හා අනාත පවුල් රැකගැනීම සඳහා ක්‍රමවේද සැකසිය යුතු විය. මේ නිසා වර්සේල්ස් ගිවිසුමෙන් අපේක්ෂිත සැබෑ අරමුණු ඉටු වීම එලෙසින්ම සිදු නොවන බව පැහැදිලි වුවද තාවකාලික සාමයක් උදා වීම යහපත් වූ නිසා බොහෝ යුරෝපීය රාජ්‍ය මේ ගිවිසුමට එකඟ වූහ.

මේ ගිවිසුම මතුවට සිදු විය හැකි යුද්ධයක් වළක්වා-ලීමටද අවධානය යොමු කොට තිබීම වැදගත් විය. ජාතීන්ගේ සංගමය ආරම්භ වූයේ වර්සේල්ස් ගිවිසුම අනුව ලෝකයේ රටවල් එක් වී සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගැනීමට එකඟ වීමෙනි. ලෝක සාමය උදෙසා ඇමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් ඉදිරිපත් කළ මේ යෝජනාව හෙතුවෙන් 1919 වසරේ සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය ඔහුට හිමි විය. එහෙත් නිත්‍ය සාමයක් නම් යුරෝපයට හිමි නොවූයේ සැබෑ සාමයක් සඳහා සියලු යුරෝපීය ජාතීන් විසින් සිදු කළ යුතු වූ මහා පරිමාණ කැපකිරීම් අවංකවම සිදු කිරීමට ඒ රාජ්‍ය ඉදිරිපත් නොවූ නිසාය.

අදහස්