ලෝකයේම ළඳුන් බියවැද්දූ මයික්‍රොෙව්ව් උදුන් බොරුව | සිළුමිණ

ලෝකයේම ළඳුන් බියවැද්දූ මයික්‍රොෙව්ව් උදුන් බොරුව

ප්‍රංශ පුවත් සේවය ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා පුරා පැතිරුණු බොරුව හෙළි කරයි

කාර්යබහුල දිවියක් ගත කරන බොහෝ දෙනකුගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍යම උපාංගයක් බවට මේ වන විට මයික්‍රෝ තරංග උදුන් (Micro Wave Oven) පත්ව තිබේ. ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇතුළු යුරෝපීය රටවල් මෙන්ම චීනය, ජපානය හා ඉන්දියාව වැනි ආසියාතික රටවල ද මයික්‍රෝ තරංග උදුන් බහුලව භාවිත වන බව දත්ත පෙන්නුම් කරයි. විශේෂයෙන්ම නාගරිකව බොහෝ නිවෙස්වල මෙම උදුන් වැඩි වශයෙන් භාවිත වන අතර ඒවා අද සාමාන්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය උපාංගයක් වී ඇත. ලංකාවේද මයික්‍රෝ තරංග උදුන් භාවිතය අද වන විට ඉහළගොස් ඇත.

එහෙත් මේ වසර අවසාන වීමට පෙර ජපානයේ මයික්‍රෝ තරංග උදුන් භාවිතය තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගිය ආරංචිය ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුනි. ඒ අනුව, 2020 වන විට මයික්‍රෝ තරංග උදුන් භාවිතය ජපානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවටත් එසේ නොකරන්නන් වසර 5 සිට 15 දක්වා සිරදඬුවම්වලට ලක් කෙරෙන බවත් ප්‍රචාරය කරන පුවතක් වෙබ් අඩෙවි හා ෆේස් බුක් ඔස්සේ ලොව පුරාම ප්‍රචාරය විය.මයික්‍රෝ තරංග උදුන් පිළිබඳ පැතිරුණු මේ ආන්දෝලනාත්මක ආරංචිය අසත්‍ය ප්‍රචාරයක් බව මේ වන විට ප්‍රංශ පුවත් සේවය කරන ලද ගවේෂණයක් ඔස්සේ අනාවරණය කරගෙන ඇත.එහි දී ඔවුන් සොයා ගෙන ඇත්තේ මෙම පුවත පළමු වරට, පසුගිය මාර්තු මාසයේ රුසියාවේ අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩෙවියක විශේෂාංග ලිපියක් ලෙස පළ කර ඇති බවයි. ඒ අනුව මෙම ලිපිය මැයි මාසය වන විට දිගින් දිගටම පැතිරෙමින් ලොව පුරා විවිධ වෙබ් අඩෙවි හා ෆේස් බුක් ඔස්සේ ප්‍රචාරය වී ඇති බවද ප්‍රංශ පුවත් සේවය ප්‍රකාශ කරයි. එම රුසියානු වෙබ් අඩෙවියේ පළ වූ විශේෂාංගයට අනුව එහි සඳහන් වී ඇත්තේ, ‘ජපන් රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම සඳහා ගනු ලබන වැදගත් පියවරක් ලෙස මෙම මයික්‍රෝ තරංග උදුන් භාවිතයෙන් ඉවත් කරන බවයි.’

ප්‍රංශ පුවත් සේවය මේ පුවත ගැන හාරා අවුස්සමින් ජපාන අගමැතිවරයාගේ හා ජපාන සෞඛ්‍ය කම්කරු හා සුභ සාධන අමාත්‍යංශ වෙබ් අඩවියෙන්ද මේ ගැන විපරම් කරමින් තොරතුරු සොයා ඇත. ඒ සියල්ලෙන්ම හෙළිවී ඇත්තේ ජපන් රජය මේ වනතුරු මයික්‍රෝ උදුන් තහනම පිළිබඳ එවන් තීරණයක් ගෙන නොමැති බවයි. ඔවුන් දිගින් දිගටම මේ පිළිබඳ කළ ගවේෂණයේ වාර්තාවක් පසුගියදා ඒඑෆ්සී පුවත් සේවය ඔස්සේ පළ කරමින් මේ කරුණු හෙළි කර තිබිණ.

කෙසේ නමුත්, මෙම උදුන් භාවිතය හොඳ ද නරකද යන්න පිළිබඳ විමසා බැලීමට අපි කටයුතු කළෙමු. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු මේ පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.

“මයික්‍රෝ තරංග යනුවෙන් අපි හඳුන්වන්නේ, විදත් චුම්භක වර්ණාවලියේ එක් සාමාජිකයෙක් කියලා කියන්න පුළුවන්.

1 රූපයේ දක්වා ඇත්තේ වමේ සිට දකුණට යන විට ශක්තිය අඩුවන ආකාරයටය. මෙහි රේඩියෝ තරංගවලට පසුව සිටින සාමාජිකයා මයික්‍රෝ තරංග ලෙස හඳුන්වන්න පුළුවන්.

*මයික්‍රෝ තරංග උදුන් යනු කුමක්ද?

සාමාන්‍ය යෙන් සාමාන්‍ය විදුලි උදුනක සිදුවන ක්‍රියාවලියම තමයි මයික්‍රෝ තරංග උදුනකත් සිදු වන්නේ. වෙනසකට තිබෙන්නේ කරන්ට් එක කම්බියක් ඔස්සේ යවා තාපයෙන් පිලිස්සීම සාමාන්‍ය අවන් එකක දී සිදු වුවත් මයික්‍රෝ තරංග උදුනක සිදු වන්නේ මේ වෙනුවට ක්ෂුද්‍ර තරංග භාවිත කිරිම මඟින් තාපය නිපදවීමයි. මෙහි ඇති ලක්ෂණය තමයි සංඛ්‍යාතය 2.45GHz සහ තරංග ආයාමය12cm වුණු ක්ෂුද්‍ර තරංගයක් මේ සඳහා භාවිතා කිරීම. සාමාන්‍ය අවන් එකක සිදු වන්නේ එළියේ සිට රත් වෙමින් රත්වෙමින් තාපය ඇතුළට ගමන් කිරීමයි.

ක්ෂුද්‍ර තරංග උදුනක සිදු වන්නේ ඇතුළේ සිට තාපය එළියට ගමන් කිරිමයි. මයික්‍රෝ තරංග උදුනක මුලික ම දේ තමයි එයට දමන ආහාරයේ ජලය ඉවත් කිරීම. අපි එයට කතා කරන භාෂාවෙන් කියන්නේ බදිනව, තම්බනවා, රත්කරනවා කියලයි. මේ සියලුම දේවල් කියන්නේ ජලය ඉවත් කරනවාට තමයි. ජලය ඉවත් කිරීම සඳහා මයික්‍රෝ තරංග භාවිතා කරන්නේ. ජලයේ අනුනාද සංඛ්‍යාතය තිබෙන්නේ මයික්‍රෝ තරංග තුළයි. අනුනාදය කියන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් ව්‍යංජනයට ක්ෂුද්‍ර තරංග යැවූ විට ඒවා ගොස් ජලයේ ගැටුණු විට ජලය කම්පනය වීමට පටන් ගන්නවා. කම්පනය වී කම්පනය වී ජලය වියලීම සිදු වේ.

2 රූපය -

මයික්‍රෝ තරංග උදුනක් ක්‍රියාකරන ආකාරය මේ ආකාරයට සරලව දැක් විය හැක. එනම්,

1. මයික්‍රෝ තරංග උත්පාදකය. (Magnetron)

විදතය ලබාගෙන අධිබලැති මයික්‍රෝ තරංග නිපදවයි.

2. තරංග නියමුව (Wave Guide)

උදුනේ ආහාර මැදිරිය තුළට මයික්‍රෝ තරංග යවනු ලබන්නේ මේ ඔස්සේයි.

3. ආහාර තබා ඇත්තේ සෙමෙන් කැරකෙන වේදිකා මැදිරියක් මතය. (ආහාරය තැබූ භාජනය දිගින් දිගටම කර කැවේ.)

4. මෙම මයික්‍රෝ තරංග ආහාර තුළට ගමන් කරයි. එසේ ආහාර තුළට ගමන් නෙකෙරන මයික්‍රෝ තරංග ආහාර මැදිරියේ බිත්තිවලට වැදී නැවතත් ආහාර අඩංගු වේදිකාව වෙත ගමන් කරයි. මේ ආකාරයට බොහෝ මයික්‍රෝ තරංග ආහාරය තුළට ගමන් කරයි.

5. මෙම මයික්‍රෝ තරංග ආහාර කොටස් හරහා ගමන් කරත්දී එහි ජලය සහිත තැන් (තෙතමනය සහිත තැන්වල) ජල අනු තදින් කම්පනය කොට ඒවා කඩා බිඳ දමයි. මෙවිට ආහාරයේ ඇතුළත තාපය උපදින අතර ජලය ඉවත්වී යයි. මෙමගින් ආහාරය රත්වේ, තැම්බේ, බැදේ, යනා දී වශයෙන් අවශ්‍ය දේ සිදු වේ. ඉතා සරලව පවසනවා නම්,මෙය තමයි මයික්‍රෝ තරංග උදුනක ක්‍රියාකාරීත්වය.

මයික්‍රෝ තරංග උදුනක වාසි:

මේ මඟින් ආහාරයක් ඉතාම ඉක්මනින් තැම්බීම, බැඳීම, රත්කිරීම සිදු කළ හැකියි. එලෙසම කාර්යක්ෂම වන අතර කාලය ඉතිරි වේ. ආහාරයේ විෂ බීජ සියයට අනූවක්ම විනාශ වීම සිදු වේ. එලෙසම මෙහි අවාසි ද දක්නට ලැබෙනවා. එනම් ආහාරයේ පෝෂණය (Nutrition) කිසියම් ප්‍රමාණයකින් අඩුවෙනවා. ඉතා ඉක්මණින් ඉදෙන නිසා ආහාරය රසයෙන් අඩුවෙනවා. පොළොස් මාළුවක් මාළු ඇඹුල් තියල් වැනි දෙයක් රසට ඉවීම සිදු කරන්න අපහසුයි.

මයික්‍රෝ තරංග උදුනක් භාවිතා කිරිමේ දී අත්‍යවශ්‍ය ලෙස සැලකිය යුතු කරුණු

බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව මයික්‍රෝ තරංග මඟින් ජලය ඉවත් කරන නිසා මයික්‍රෝ උදුනකින් මයික්‍රෝ තරංග පිටතට කාන්දු වුවහොත් එය මිනිසුන්ගේ ශරීරයට අහිතකර වේ. විශේෂයෙන්ම මොළයේ සෛල විනාශවීම සිදුවිය හැක. ඊට අමතරව ශරීරයේ අනෙක් අවයවයන් වෙත ගමන් කරන මයික්‍රෝ තරංග හේතුවෙන් ශරීරයේ සෛල හෝ රුධිරයේ ඇති රතු රුධිරානු විකෘති විය හැක.එබැවින් මයික්‍රෝ තරංග උදුනක් භාවිතා කරන විට උදුනෙන් මයික්‍රෝ තරංග පිට නොවන බව නිතර පරීක්ෂා කොට සනාථ කර ගත යුතුය.

ඔබේ මයික්‍රො තරංග උදුන පරෙස්සම්ද?

ගෘහණියන්ට එය ඉතා සරල පරීක්ෂණයකින් ගෙදරදීම පරීක්ෂා කර ගත හැක. ඒ සඳහා ඔබ කළ යුත්තේ අත පිසදමන ටිෂූ කඩදාසියක සමාන කැබලි දෙකක් ගෙන ඒවා ජලයේ පොඟවා ඉන් එකක් මයික්‍රෝ තරංග උදුනේ දොර ළඟින් ද අනෙක උදුනට ඈතකින් වෙනත් ස්ථානයකින් සමාන පරිසර තත්ව යටතේ තබා එම ටිෂූ දෙක වියෙළෙන ආකාරය (වියළෙන සීග්‍රතාව) අධ්‍යයනය කිරිමයි. එම ටිෂූ දෙක එකම කාලයක් තුළ එකම ආකාරයට වියලීමට ලක් වේ නම් උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු නොවේ. නමුත් මයික්‍රෝ තරංග උදුනේ දොර පියන ආශ්‍රිතව ඇති ටිෂූ කැබැල්ල අනෙකට වඩා ඉක්මනින් වියැලේ නම් මයික්‍රෝ උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු වේ. මෙය ශරීරයට ඉතා අහිතකරයි. (උදුන අසල තබන ටිෂූ කොළය අවශය නම් උදුනේ ඕනෑම පැත්තකින් තබා මෙම පරීක්ෂණය සිදු කළ හැක.)

මයික්‍රෝ තරංග උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු වේ නම් ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද?

මයික්‍රෝ උදුන මිල දී ගත් ආයතනය වෙත ගොස් උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු වෙන බව පවසා ඔවුන්ගේ සේවා ආයතනය වෙත යැවිම. උදුන මිලදී ගත් ආයතනයට සේවා ආයතනයක් නොමැති නම් රටේ ප්‍රසිද්ධ සේවා ආයතනයක් ලවා එය පරීක්ෂා කොට එහි අඩංගු වරද නිවැරැදි කර ගැනීම කළ යුතුය.

වෙළෙඳ පොළේ නමක් දිනූ මයික්‍රෝ උදුන් භාවිතයෙන් මෙලෙස සිදුවිය හැකි කාන්දු වීම් අවම කරගත හැක. නමුත් ‘චයිනීස්‘ භාණ්ඩ මිල දී ගැනිමේ දී මේ අවදානම ඉතා වැඩිවේ.

අහිතකර යැයි තාම සනාථ කර නෑ

මෙම උදුන් තහනම අසත්‍ය ප්‍රචාරයක් නම් මෙය මෙතරම් සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ වුයේ ඇයි?

මම මුලින්ම කියන්න ඕන මෙය ඇත්තද බොරුද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් දැනට ලොව කර තිබෙන පර්යේෂණවලින් මෙය අහිතකර යැයි සනාථ කර නැහැ. එනිසා මෙය අහිතකර යැයි කීමට නොදනී. මෙවැනි අසත්‍ය ප්‍රචාර බොහෝවිට දේශපාලනඥයන්ගේ හෝ මුදලාලිලාගේ ප්‍රචාරයන් විය හැක. බොහෝ විට මෙම මයික්‍රෝ තරංග උදුන වෙනුවට වෙනත් උදුනක් සමාජ ගත කිරිම උදෙසා ද මෙවැනි අසත්‍ය ප්‍රචාර භාවිතා කරන අයුරු දකින්නට ලැබෙනවා.

මයික්‍රෝ තරංග උදුන් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මෙම උදුන් භාවිතයේ දී අදාළ නිෂ්පාදන ආයතනය ලබා දුන් උපදෙස් නියමාකාරයෙන් සැලකිල්ලට ගෙන ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් ආරක්ෂිතව මෙන්ම පහසුවෙන් ආහාර පිළියෙල කරගත හැකි බවයි.

අදහස්