රාජ භෝජනයෙන් රසකතා මැවුණු හැටි | Page 3 | සිළුමිණ

රාජ භෝජනයෙන් රසකතා මැවුණු හැටි

පාර්ලි­මේ­න්තුවේ හිටපු ආහාර කළ­ම­නා­කාර බන්දුල ප්‍රේම­සිරි අබේ­සේ­කර

රට කරවන තැන රාජ භෝජනයේ සැඟවුණු අපූරු කතා බොහෝය. ඒ සියල්ල රාජ භෝජනයේ රස මසවුළු මෙන්ම රසවත් අත්දැකීම්වලින් පිරී ඇත. ඒ රසබර අත්දැකීම් පාර්ලිමේන්තුවේ හිටපු ආහාර කළමනාකාර හා බොටලේරු ඇතුළු තනතුරු රුසක් දැරූ බන්දුල ප්‍රේමසිරි අබේසේකර මහතාට හොඳින් මතකය. පසුගිය සතියේ ‘රටේ ඇත්තන්ට රස හීන මවන රට කරවන තැන රාජ භෝජනය’ හා සබැඳුණු ලිපියේ දෙවැනි කොටස වශයෙන් පළවන මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එදා පාර්ලිමේන්තු භෝජනාගාරයේදී රාජ්‍ය නායකයින් හා සබැඳුණු රසවත් සිදුවීම් ගොන්නකි.

අද මෙන්ම එදාත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ දහවල් ආහාරය පිසෙන්නේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව රටේ රාජ්‍ය නායික නායිකාවන්ටත් එක්කමය. එදා ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා පවා ආහාර ගැනීමට පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණියේය. එහෙත් පාර්ලිමේන්තු භෝජනාගාරයට ඔහු පැමිණීම තරමක් විරල කරුණක් විය. ඔහු පමණක් නොව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පවා පාර්ලිමේන්තු භෝජනාගාරයට පවා පැමිණෙන්නේ විශේෂ අවස්ථාවලදි පමණක් විය. එතුමිය පැමිණිය ද ඒ වෙනුවෙන් පපාර්ලිමේන්තු භෝජනාගාරයේ විශේෂ ආහාර පාන කිසිවක් පිළියෙල නොවන්නේය. එතුමිය දිවා ආහාරය සඳහා භෝජනාගාරයට පැමිණෙන බව ඇගේ ඇගේ ආරක්ෂකයින් කලින් දැනුම් නොදුන්නද, ඇය පැමිණි විගසම දුව පැන හෝ රාජ්‍ය නායිකාවකට සරිලන ආකාරයෙන් අවශ්‍ය සංග්‍රහ කිරීමට එදා භෝජනාගාර සේවක පිරිස පුරුදුව සිටියහ.

“බණ්ඩාරනායක මැතිනිය හරිම කැමතියි රොස්මිඩ්වල තියෙන ඇයගේ ගෙදරටම ගිහින් කෑම ගන්න. එහෙම බැරි වුණොත් පමණයි ඇය පාර්ලිමේන්තු භෝජනාගාරයට එන්නේ. ඒ ආවහම කෑමට උයලා තියෙන්නේ මොනවද කියලා බලන්නේ නැහැ. තියෙන දෙයකින් ඇයට ගැළපෙන දේ පමණක් බෙදා ගෙන කනවා. බත් ස්වල්පයක් එක්ක, එළවළු ස්වල්පයක් සුප් එකක් අර ගන්නවා. ගස්ලබු, අන්නාසි වගේම ස්වභාවික පලතුරු ඒ ආකාරයෙන්ම භුක්කි විඳින්නට අගමැතිනිය හරිම කැමතියි.”අබේසේකර මහතා පවසයි. අබේසේකර මහතා ප්‍රමුඛ භෝජනාගාර සේවක පිරිසට දිනක් නොසිතු ආකාරයේ ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවිය.

තේ මේසයේ අකරතැබ්බය

“එදා සවස 4.30 ට පාර්ලිමේන්තු භෝජනාගාරයෙ සූදානම් වූණේ තේ පැන් සංග්‍රහයට. අපි එතැන තිබුණු හැම මේසයකට තේ කෝප්ප හයයි, සයිඩ් ප්ලේට් 6 බැගිනුයි තබා තිබුණා. විවිධ කෑම වර්ගත් කලින් සකස් කළා. සාමාන්‍යයෙන් තේ මේසයට සීනි බඳුන කලින්ම තියනවා. කෝප්පවලට කිරි වත්කරන්නේ අමුත්තන් වාඩි වී ආහාර බුක්ති වින්දායින් පසුවයි. අපේ නරක වෙලාවටම මේ වෙලාවේ අනපේක්ෂිත දෙයක් සිදුවුණා.

අපේ අයෙක් දෙහි යුෂ එකක් හදාගෙන බීලා ඒ නොසේදු කෝප්පය කොහොම හරි කැරකිලා කැරකිලා ගිහින් හරියටම තිබිලා තියෙන්නේ අගමැතිනිය තේ බොන කෝප්පයටමයි. සාමානයෙන් මැතිනිය සීනි බොන්නේ නැහැ. ඇයට පැණි රසට දාන්නේ සැකරින් පෙත්තක් පමණයි. අපි දැන් ඇයගේ කෝප්පයට ගෞරවාන්විතව කිරි වක්කළා. දෙයියනේ ඇයට පෙනි පෙනීම කිරි ටික කැටි ගැසුණා. ඇය වහාම කිරි තේ බීම නැවැත්වුවා. මේක ඇයටත් ඇගේ ආරක්ෂක අංශවලටත් වගේම අපිටත් විශාල ප්‍රශ්නයක් වුණා. කොහොමද රාජ්‍ය නායිකාවටම මේක වුණේ. මෙය අපටත් ලොකු ප්‍රශ්නයක් වනබව තේරුම් ගියා.

අපි ඇයට වෙනම තේ එකක් දෙන්න උනන්දු වුණේ නැත්තේ සිදුවුණු දෙයින් අපි ගොඩාක් කැලඹිලා හිටි නිසයි. මැතිනිය මේ ගැන එතරම් කලබල වුණේ නැහැ. ඒ වෙලාවේ වාසුදේව නානායක්කාර, රත්න දේශප්‍රිය වැනි මහත්වරු අපි ළඟට ඇවිත් අපි නිර්දෝෂියි කියලා අපේ හිත් හැදුවට පස්සේ තමයි අපේ බය නැතිවුණේ. ඒත් පස්සේ තමයි වුණු දෙයින් තමයි එහි බරපතළකම තේරුණේ..” සිය සේවා කාලයේ සිදුවූ එවැනි අත්වැරදම් අබේසේකර මහතාට කිසිසේත් අමතක නොවේ.

අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණෙන්නේ වඩාත් ගෞරවණිය ආකාරයටය. ඔහු පැමිණි පසු කිසිවෙකුත් ඔහු අසල කෑමට පවා වාඩි වන්නට නොයන්නේ ගෞරවය නිසාමය.

“ඩඩ්ලි සේනානායක මහතා දවල් කෑමට එනව හරිම අඩුයි. සාමාන්‍යයෙන් එන්නේ තේ පැන් සංග්‍රහයටයි. සමහර විට එතුමා තේවලට ආවහම ඒ වේලෙන් දවල් කෑමත් පිරිමහා ගන්නවා. ඒ ආවහම අපි පුරුද්දක් වගේ එතුමාට දෙන්න හොරෙන් වගේ අමතර කෑමක් පිසිනවා. සැන්විච් වගේ දේ වලට එතුමා හරිම කැමතියි. කෑම කාලා යන ගමන් ඉඟියකින් වගේ අපිට ස්තූති කරලා යනවා.”

රතු හාල් කුඩු කෑ දහනායක

පාර්ලිමේන්තු ඉතිහාසයට කොළ කැඳ හඳුන්වා දුන්නේ වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාය. අදටත් පාර්ලිමේන්තුවේ කොළ කැඳ නොපිසින දවසක් නැතිතරම් ය. පාර්ලිමේන්තු කොළ කැඳ විදුරුවේ රස දන්නේ එය පරිහරණය කළ උදවිය පමණි. හිටපු අගමැති ඩබ්ලිව්. දහනායක මහතාගේ කෑම වේලද පාර්ලිමේන්තු භෝජනාගාරයට සුවිශේෂීය. දහනායක මහතා අමු කරවිල ව්‍යංජනය හෝ ගොටු කොළ මැල්ලුම කෑමට ගත්තේ රතු හාලේ කුඩ්ඩ මිශ්‍රකරය. එදා ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙද්දි භෝජනාගාර සේවකයෝ එම ආහාර වේල සකස් කර දීමට උනන්දු වෙති.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ දි කාමරවලට ගොස් ආහාර පිළිගන්වන්නේ ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක හා පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට පමණි. එහෙත් වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එදා අගමැති හා ජනාධිපතිව සිටියදි ඇලුම් කළේ සතුටු සාමිචියේ යෙදෙමින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිට ආහාර ගැනීමටය.

“මහින්ද මහත්තයා හරිම කැමතියි අනෙකුත් අය සමඟ කෑම ගන්න. එතුමා හිටි ගමන් භෝජනාගාරයට ඇවිත් තියෙන දෙයක් කාලා යනවා. එතුමා හරීම කැමතියි පොල් සම්බෝලයට. මේ නිසා අපි අනිවාර්යයෙන් පොල් සම්බෝලය හදනවා. කරකුට්ටුම් වුණු පොල් වගේම කලටි පොල්වලින් සම්බෝල හැදුවොත් ඒක මහින්ද මහත්තයට හොඳට තේරෙනවා. එහෙම වුණොත් ඔහු පොල් සම්බෝල කන්න කැමැති නැහැ. ඒ නිසා අපි සම්බෝලයට පොල් තෝරද්දි හොඳ ඒවායින් ගන්නවා.

ඒ වගේම එතුමා කට්ට කරවල හොද්දට හරීම කැමතියි. සමහර වෙලාවට කරවල උයා නැතිනම් එදා අපි එතුමා එන වෙලාවට දෙන්න කරවල කෑලි ටිකක් බැදලා හරි කියනවා. කොහොම නමුත් කිසිම කලබලයක් නැහැ. මුකුත්ම නැතිනම් එතුමා තියෙන දෙයක් කාලා යනවා.”

පාර්ලිමේන්තු ‍භෝජනාගාරයට එන මැති ඇමැතිවරුන්ට මෙන්ම රාජ්‍ය නායකයන්ට අබේසේකර මහතා සියතින්ම සංග්‍රහ කර ඇත්තේය.

“වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කෑම පස්සේ එළවනවා අඩුයි. එතුමා කෑමට පැමිණෙන්නේත් සුවිශේෂි අවස්ථාවලදි පමණයි. ඒ ආවහමත් කෑමට ගන්නේ සුළු ආහාරයක් පමණයි. ඔහු ගොඩාක් කැමැති ගස්ලබු කෑල්ලක් කන්න.

ඒ වගේම දෙහි යුෂ වීදුරුවක් බොන්න. වර්තමාන ජනාධිපතිවරයාගේත් කෑමෙහි විශේෂත්වයක් නැහැ. තියෙන දෙයක් කෑමට ගන්න තමයි එතුමා කැමැතියි.” අබේසේකර මහතා පවසන්නේය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණි අවස්ථා විරල බව අබේසේකර මහතා පවසයි. එසේ හෙයින් එතුමියගේ ආහාර පාන රටාවේ විශේෂත්වයක් ඔවුන්ගේ මතකයේ නොමැත. එහෙත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආහාර රටාවේ රසවත් මතකයන් ඇත්තේය.

වංගු ගැහූ ලැවරියා

“ප්‍රේමදාස මහතා අගමැතිව සිටි කාලයේ පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණ අනුභව කළේ එළවළු ආහාර පමණයි. කවදාවත් තිබෙන දේ කාලා යනවා මිසක් පාර්ලිමේන්තුවේ ඔහුගේ කාමරයට කෑම ගෙන්වා ගන්නේ නැහැ. එතුමා භෝජනාගාරයේ කාර්ය මණ්ඩලය සමඟ හොඳ ඇසුරක් තිබුණා. ප්‍රේමදාස මහත්තයා අගමැතිව සිටි කාලයේ අනුර බණ්ඩානායක මහතා ‘ලැවරියා විකුණපු කොල්ලා’ නමින් ප්‍රේමදාස මහතාට උපහාසාත්මක කතාවක් පාර්ලිමේන්තුවේදි කළා. එදා ඒ කතාවට ප්‍රේමදාස මහත්මයත් නිසි පිළිතුරක් දුන්නා.

ඒ කතාවෙන් මාස 5-6 ක් ගිය පසුව පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ නිල කාමරයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණා. මේකට අවශ්‍ය සියලුම දේශීය හා ඉන්දියන් කෑම ගෙනාවේ ප්‍රේමදාස අගමැතිතුමාගේ පෞද්ගලික නිවෙසින්. ඒ කෑම සංග්‍රහ කරන්න බාර දුන්නේ අපිට. හැමදේම හොඳින් සිදුවුණා. එදා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් අපට චෝදනා කරමින් ඒ ගෙනා ආහාරවලින් එක් වර්ගයක් අපි සංග්‍රහ නොකළ බවට චෝදනා කරමින් අගමැතිවරයාට දැනුම් දුන්නා.

“අබේසේකර මම ඔයා ගැන කවදාවත් අහපු නැති කතාවක් ඇහුවා, මොකද මේ කෑමවලට වංගු දානවා කියන්නේ” අගමැතිතුමා මගෙන් ඇහුවා. “ඔව් සර්, මම ඉදිරිපත් නොකරපු එකම කෑම වර්ගය තමයි ලැවරියා කියා මං කිව්වා” මං එහෙම කළේ එතුමා ආරක්ෂා කර ගන්න කියලා විනාඩි දෙකක් යද්දිම එතුමාට තේරුම් ගියා. මම එහෙම කළේ එතුමාව ආරක්ෂා කරන්න කියලා.

රස්සාව නැතිවන්න යෑම

පාර්ලිමේන්තු භෝජනාගාරයේ වසර 42 ක සේවා කාලයේදී අබේසේකර මහතාට රැකියාව අහිමිවීමට ගිය අවස්ථාද නැතුවා නොවේ. ඒ ඔහු සේවය කළේ රටේ සාමාන්‍ය පුරවැසියන් සමඟ නොවන නිසාය. “1977 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සේවකයන්ට ආහාර දීමනාවක් දෙන්න මැති ඇමැතිවරුන්ගෙන් ලිස්ට් එකක් දමා මුදල් එකතු කළා. මන්ත්‍රීවරු 155 දෙනෙක්ම රුපියල් සියයය බැගින් ලියූවා. මේ ලිස්ට් එකට මුදල් එකතු කරන කොට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හිටියේ රට. එතුමිය ලංකාවට පැමිණි පසු මම කාරණාව කියලා අර ලිස්ට් එක එතුමියට දුන්නා, කීයක් හරි ලියන්න කියලා. ඇය ෆයිල් එක බලලා කිසි කතාවක් නැතුව රුපියල් 50 ක් ලියුවා. රාජ්‍ය නායිකාව ලෙස එතුමිය මන්ත්‍රීවරුන්ට වඩා අඩු මුදලක් ලිවීම එතුමියට හොඳ නැත නිසා එය මට හරීම ප්‍රශ්නයක් වුණා. ඒත් මට මේ දේවල් එතුමියට පැහැදිලි කරන්න ලැබුණේ නැහැ. ඇය රාජ්‍ය නායිකාවක්. මම ගිහින් මේක අනුර බණ්ඩාරනායක මහතාට කිව්වා.

“අපේ අම්මිට පිස්සු කියලා ඔහු මැතිනිය ලියු රුපියල් 50 රුපියල් 100 කළා.” එහෙම කිරීම වැරදි වැඩක් වුණත් මැතිනියට අගෞරවයක් වෙයි කියලා එය කළත් මට මේකේ බලපතළකම තේරුණේ නැහැ. කොහොම හරි මේ මුදල් මැති ඇමැතිවරුන්ගේ වැටුපෙන් කැපෙන්නේ. ඒ නිසා තමන්ගේ කැපුණු මුදල දැන ගන්න ලැබෙන්නේ පඩි කොළේ අතට ආපසුවයි.

මලකෙළියයි. මාස දෙකකට පස්සේ මට විරුද්ධව ලොකු විගණනයක්. මම දැන ගත්තා රුපියල් 50 - 100 කරපු ගින්න පත්තු වෙලා කියලා. මගේ රස්සාවත් නැති වෙන තත්ත්ත්වයට පත්වුණා. මම රොස්මීඩ් ගිහින් අනුර බණ්ඩාරනායක මහත්තයා මුණ ගැහිලා වෙන්න යන දේ පැහැදිලි කළා. අනුර මහත්තයා කෙළින්ම ගියේ මැතිනියගේ කාමරයට.

“අම්මි මේ දේ කළේ මම. දැන් අර මිනිහගේ රස්සාවයි නැති වෙන්නේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට කතාකර කියන්න මේ මම කළ දෙයක් කියලා.” මට හරි පුදුමයි. මැතිනිය කෙළින්ම පහළට ආවේ මට බීම එකකුයි කේක් කෑල්ලකුයි අරගෙන. රාජ්‍ය නායිකාවක වුණු මැතිනිය වැඩිදුර නොසිතා හදිසියේ කළ දෙයින් ඇයට අගෞරවයක් වෙයි කියලා හිතුණු නිසායි මම එහෙම කළේ කියලා එදා එතුමියට තේරුම් ගියා. “මේක මගේ ජීවිතයේ කවදාවක් අමතක වෙන්නේ නැහැ. අවුරුදු 42 ක පාර්ලිමේන්තු ඉතිහාසයේ මගේ රස්සාවට ප්‍රශ්නයක් වුණේ එදා. බණ්ඩාරනායක මැතිනිය ළඟ අරපිරිමැස්ම හොඳින්ම තියෙනවා.” අබේසේකර මහතා පවසන්නේය.

එදා පාර්ලිමේන්තු ආහාර වේලේ රසවත් අතුරුපසක් වූයේ කිරි පැණිය. අද මෙන් විවිධ වර්ගයේ අතුරුපස නොතිබු එකල කිරි වලට ඉස්තරමේ පැණි ලබා දෙන්නට භෝජනාගාර කාර්ය මණ්ඩලය යුහුසුලු වූයේ ප්‍රභූන්ද ප්‍රිය කළ හෙයිනි.

අලාකාර්ට් හා ප්‍රධාන මුළුතැන් ගෙවල්වලින් අදටත් පාර්ලිමේන්තුවේ රස මසවුළු පිසින්නේය. එදාට වැඩි පිරිසක් අදටත් සේවයේ යෙදෙන්නේ මහත් භක්තියෙනි. සිය පාර්ලිමේන්තු සේවා ඉතිහාසයේදී රාජ්‍ය නායක නායිකාවන් රැසකට සිය දෑතින් ම කළ සංග්‍රහ කළ ඔහු එය සලකන්නේ තමන් කරගත් මහත් පිනක් වශයෙනි.

 

සේයාරූ- කැලුම් ලියනගේ

Comments