බිරිය මැරීමට නව ක්‍රමයක් අත්හදා බැලූ සැමියා | Page 2 | සිළුමිණ

බිරිය මැරීමට නව ක්‍රමයක් අත්හදා බැලූ සැමියා

පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට පසුගියදා ලද ඇමතුමක් වහාම යොමු කෙරුණේ ගම්පහ පොලිසියටය. තොරතුරෙන් කියැවුණේ ගම්පහ ඉඳිගොල්ල සිරිමල් උයනේ නිවෙසකට පැමිණි අහිගුණ්ඨිකයකු ගැනය. වහාම අදාළ නිවෙසට ගිය පොලිසිය අහිගුණ්ඨිකයා අත්අඩංගුවට ගත්තේය. ඒ වනවිටත් නිවෙස අවට අසල්වාසිහු රැස්ව සිටියහ. ඒ සමඟම නිවෙසේ කාන්තාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඇගේ පැමිණිල්ලෙන් කියැවුණේ අමුතුම කතාවකි.

“සර් මේකා පොළඟෙක් මගේ ඇඟට දාලා... දෂ්ට කරවලා මාව මරන්න හැදුවා.... මේ සේරම කළේ මගේ මිනිහා... මිනිහා පැනලා ගියා...”

කාන්තාවගේ පැමිණිල්ලෙන් ගම්පහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා ඇතුළු පිරිස තුෂ්ණිම්භූත වූහ. පවුල් ආරවුල් නිසා මෑත කාලයේ ගහ-මරා ගැනීම් කොතෙක් වාර්තා වුවද මෙලෙස කූට උපක්‍රමයක් යොදා බිරිය ඝාතනය කිරීමට තැත් කළ පුවතක් තම සේවා කාලයේ අසන්නට ලැබුණේ ප්‍රථම වරට බව ගම්පහ දිසාවේ උසස් පොලිස් නිලධාරියෙක් අප හා පැවසීය.

අපි ඇය කුසුමා නමින් හඳුන්වමු. සිරිමල් උයනේ පදිංචි කුසුමා මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ ආයතනයක සේවයේ නිරත වන්නීය. ඇගේ සැමියා වන 54 හැවිරිදි ගුණදාස සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙනයන යමක්-කමක් ඇති තැනැත්තෙකි. මොවුන්ගේ දියණිය 22 හැවිරිදිය. මේ යුවළ අතර මෑත කාලයක සිට හටගත් පවුල් ආරවුල්වලට හේතුව ගුණදාසගේ අනියම් ඇසුරක් බවට සැක කෙරිණි. එනිසා ගුණදාස සහ කුසුමා අතර නිතරම ගැටුම් ඇතිවූ බවටද වාර්තා විය.

ඒ අතරේ සැලවූයේ කුසුමා ඝාතනය කිරීමට ගුණදාස නොයෙකුත් උපක්‍රම යොදා ඇති බවකි.

තඹුත්තේගම පදිංචි මහතුන්ගේ ජයරත්න නමැති අහිගුණ්ඨික තරුණයා ගුණදාසට ගම්පහ නගරයේදී මුණගැසුණේ අහම්බෙනි. ඒ ඉතා මෑතදීය. ජයරත්න සමඟ කුළුපග වූ ගුණදාස ඔහුට කළේ අපූරු යෝජනාවකි.

“මං උඹට රුපියල් විසිපන්දාහක් දෙන්නම්.... උඹ පොඩි වැඩක් කරන්න ඕනේ... කැමැති ද?”

“මහත්තයා කියන දෙයක් මං කරන්නම්..”

“උඹට තියෙන්නෙ මගේ ගෑනිගේ ඇඟට සර්පයෙක් දාන්න විතරයි..”

“ඉතින් සර්පයා ගහලා නෝනා මැරෙයිනේ..” ගුණදාස කී දෙයින් විමතියට පත් ජයරත්න. තුෂ්ණිම්භූතව විමසීය.

“ඒක තමයි මටත් කරගන්න ඕනේ.”

“මහත්තයා කියනවනම් මං කරන්නම්... හැබැයි මට සල්ලි ඕනෙ.”

කතිකා කරගත් පරිදි රුපියල් විසිපන්දහසක් දීමේ පොරොන්දුව මත මුලින්ම සැලැසුම ක්‍රියාත්මක කිරීමට දෙදෙනා සූදානම් වූයේ පසුගිය අප්‍රේල් පස්වැනිදාටය. මේ කියන අප්‍රේල් පස්වැනිදා උදෑසන අවදි වූ කුසුමා තම පාදයක කිසියම් වෙනසක් දුටුවාය. එම වෙනස සැමියාට පෙන්වූ කල එය නිශ්චිතවම සර්ප දෂ්ටයක් බව පවසා බිරිය රෝහල්ගත කිරීමට ගුණදාස කටයුතු යෙදීය. එහෙත් තම නිවෙස හෝ ඒ අවටින් සර්පයකු දක්නට නොලැබීම කුසුමාට ප්‍රහේලිකාවක් විය. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇයගේ ජීවිතය එදා බේරුණේ අනූනවයෙනි. එදින ඇයට දෂ්ට කර තිබුණේ නයකු බවද සැලවිය.

කුසුමාගේ ගැලවීම කාට සහනයක් වුවද ගුණදාසට නම් සැනසීමක් නොවීය. එදින ඉටු නොවූ අරමුණ මුදුන් පමුණුවා ගන්නා තෙක් ගුණදාසට ඉස්පාසුවක් නොවීය. ඒ සඳහා ඔහු කළේ නැවතත් නයි පණික්කියාගේ පිහිට පැතීමය.

“මං උඹට තව රුපියල් විසිපන්දාහක් දෙන්නම්.... මේ පාරනම් වැඩේ හරියටම කෙරෙන්න ඕනෙ... ගෙදරදීම මැරෙන්න..”

“නයාගෙන් අමාරුයි මහත්තයෝ... ඔය වැඩේට හොඳ පොළඟෙක්... මං කොහොමහරි ලොකු පොළඟෙක් හොයාගන්නම් වැඩේට...”

ඒ අනුව තඹුත්තේගම වෙසෙන අහිගුණ්ඨිකයා ඊට කිලෝමීටර් ගණනක් දුරින් පිහිටි නිකවැරටියේ කැලෑවක් පීරා දැඩි මහත් පරිශ්‍රමයක් යොදා විශාල පොළඟෙක් අල්ලාගෙන තිබුණේය. එම පොළඟා දිගින් අඩි හතරකට වැඩිය.

පොළඟා මාර්ගයෙන් තම අරමුණ ඉටුකර ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දිනය ගුණදාස යොදාගත්තේ පසුගිය තිස්වැනිදාටය. තම මෝටර් රථයෙන් එදින පෙරවරුවේ දියණිය පෞද්ගලික පන්තියකට ඇරලවූ ගුණදාස ගම්පහ නගරයේදී මෝටර් රථයට නංවාගත් අහිගුණ්ඨිකයා සමඟ නිවෙසට පැමිණියේ ක්ෂණයකිනි.

කුසුමා ඒ මොහොතේ සිටියේ නිවෙසේ බිම් මහලේ තම නිදන කාමරයේය. එක්වරම කාමරයට ගිය ගුණදාස, දෑතින් කුසුමා අල්ලාගෙන සිරකරගෙන තිබුණේ ඇයට සෙලවීමට නොහැකි වන ලෙසිනි. ඒ අතරේ කාමරයට ඇතුළු වූ අහිගුණ්ඨික තරුණයා එක්වරම බටකොළ පෙට්ටියක සිටි විශාල පොළොං රාජයා කුසුමාගේ ඇඟට දැමුවේය. ඇඟට වැටුණද පොළඟා කාන්තාවට දෂ්ට නොකරද්දී ඔවුහු තුන්හතර වරක්ම සර්පයා කුසුමාගේ ඇඟට දැමූහ.

“පොළඟා මට දෂ්ට නොකරද්දී මුන් කීප සැරයක්ම මගේ ඇඟට පොළඟ දැම්මා. අන්තිම පාර මං සර්පයාට අතින් ගැහුවා. ඒ ගහපු පාරට ඌ අහිගුණ්ඨිකයාගේ අතින් බිමට වැටුණා. පොළඟා බිම වැටුණාම මගේ මනුස්සයා බයවුණා. ඔහු මාව අතෑරලා අහිගුණ්ඨිකයාත් දාලා පැනලා ගියා. මං අහිගුණ්ඨිකයා කාමරේකට දාලා දොර වහලා 119ට කෝල් කෙරුවා. අහල පහළ අයටත් කෑගැහුවා.”

මේ අතරේ ගුණදාස මෝටර් රථයෙන් නැඟී පලා ගොස් ඇත්තේය. ඔහු එසේ, ගොස් තිබුණේ මෝටර් රථයේ වූ අහිගුණ්ඨිකයාගේ නයි පෙට්ටිද සමඟිනි. ඒ නයි පෙට්ටියේ විශාල නාගයකුද සිටි බව ඔහු නොදැන සිටියේය.

පොලිසියට ලැබුණු පැමිණිල්ල අනුව ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව ගම්පහ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ඇතුළු කණ්ඩායමකට පරීක්ෂණ බාර කෙරිණි.

නිවෙසට ගිය නිලධාරිහු සැකකාර අහිගුණ්ඨික තරුණයා සහ පොළඟා පොලිස් බාරයට ගත්හ. පලාගිය ගුණදාස සොයා පොලිස් බුද්ධි අංශද මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී. මෝටර් රථයේ තිබූ නයි පෙට්ටිය සිද්ධියෙන් දෙදිනකට පසු පසුගිය දෙවැනිදා සිරිමල් උයනේ ඔහුගේ නිවෙසට හැරෙන මාර්ගය ආසනනයේ මස් වෙළෙඳසලක් අසල තිබී සොයා ගැනීමට හැකි වූයේ එම වෙළෙඳසල් හිමියාගෙන් ලැබුණු තොරතුරක් අනුවය. එසේම ගුණදාස පලාගිය රථයද ඔහුගේ සහෝදරියකගේ ගම්පහනිවෙසේ මිදුලේ දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබිණ.

සැකකාර අහිගුණ්ඨිකයා පොලිසියට පවසා තිබුණේ තමාට මෙලෙස ඝාතනයක් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි. එසේම තමාට පොරොන්දු වූ රු.ඩ 25, 000 මුදලද නොලැබුණු බවද ඔහු කියා තිබිණි. එසේම අහිගුණ්ඨිකයා මීට පෙරද මෙලෙසම සර්පයකු ලවා දෂ්ට කරවා කුසුමා ඝාතනය කිරීමට තැත් කිරීමක් ගැනද පවසා ඇත්තේය.

“ගිය අප්‍රේල් පස්වැනිදාත් මේ විදිහටම මේ කාන්තාව මරන්න කියලා මට කොන්ත්‍රාත්තුවක් දුන්නා. රුපියල් විසිපන්දාහකට. ඒ සල්ලිනම් මට එදා දුන්නා.”

මේ වන විට කුසුමාට දෂ්ට කරවීමට යොදාගත් පොළඟා සහ මහමඟ දමා ගොස් තිබියදී සොයාගත් නාගයා ද ගම්පහ වනජීවි නිලධාරීන් බාරයට පත්කර තිබේ. සැකකාර අහිගුණ්ඨික තරුණයා ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය. එසේම පොළඟාද වැඩිදුර හඳුනා ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් නුදුරේදීම ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ගුණදාසගේ අනියම් ඇසුරක් නිසා හටගත් පවුල් ආරවුල් නිසා කුසුමාවතී ඝාතනයට යොදාගත් පොළඟාගේ විෂ පිළිබඳව පශු වෛද්‍ය පරීක්ෂණයක් කරන ලෙසද ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. ගුණදාස කොටුකරගැනීම සඳහා පොලිසිය පුවත්පත මුද්‍රණයට යන විටත් මෙහෙයුමක් දියත් කර තිබිණ. ඒ අනුව නුදුරේදීම ගුණදාස අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි ගම්පහ පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය. එසේම ගුණදාස මෙවන් අපරාධයකට පොලඹවා ඇතැයි සැලවෙන ඔහුගේ අනියම් බිරියද සොයා පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.

නම් මනඃකල්පිතය.

සේයාරූ - ගම්පහ අතිරේක

Comments