කොළඹ වටේ යන සැහැල්ලු දුම්රිය | සිළුමිණ

කොළඹ වටේ යන සැහැල්ලු දුම්රිය

මාලඹේ සිට කොටුවට ගමන් කාලය විනාඩි 27 යි

වසර 2025දී සැහැල්ලු දුම්රියේ යන්න පුළුවන්

සැහැල්ලු දුම්රිය 25ක් ධාවනයට එක් කිරීමේ සැලසුම්

පැයකට එක් දිසාවකට මඟීන් 30000ක් ප්‍රවාහනය කෙරේ

රටක ප්‍රවාහන සේවාවේ දියුණුව රඳා පවතින්නේ එරට පෞද්ගලික වාහන වැඩි වීම මත හෝ මාර්ග පද්ධතියේ සංවර්ධනය මත නොවේ. පොදු ප්‍රවාහන පද්ධතියේ දියුණුව රටක සංවර්ධනය වන බව මේ වන විට දියුණු වී පවතින සියලු රටවලින් පෙන්නුම් කර ඇත. අප රටේ අධික වාහන සංඛ්‍යාවක් ජනතාව සතුව පවතින්නේ ජනතාවට පොදු ප්‍රවාහන සේවාවේ දියුණුව සෙමෙන් සිදු වන හෙයිනි. අප රටේ පොදු ප්‍රවාහනයේ මෙන්ම මාර්ග පද්ධතියේ අධික රථවාහන තදබදයද පෙන්නුම් කරන්නේ රටේ ආර්ථික හානියයි. ඉන්දියාවේ සිට කොළඹට එන වේලාවට වඩා වැඩි වේලාවක් කාර්යාල වේලාවන්හිදී බත්තරමුල්ලේ සිට කොටුවට ඒමට ගත වන බවට වරක් මහාචාර්යවරයෙක් පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය එක්වරම උද්ගත වූවක් නොවන අතර, ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වන බවට මේ වන විට සාධක පෙන්නුම් කර ඇත. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ 2012 වසරේ මිලියන 5.8ක් වූ බස්නාහිර පළාතේ ජනගහනය 2015 වන විට මිලියන 7.8 දක්වා වර්ධනය වූ බවත්, වසර 2035 වන විට මිලියන 9.1 දක්වා එය වැඩි වන බවත්ය. මේ අතර අද වන විට දිනකට කොළඹ නගරයට සැහැල්ලු වාහන 450,000ක් හා බස්, වෑන් ඇතුළු පොදු වාහන 29,000ක් පමණ පැමිණෙන අතර, දිනකට මිලියන 1.8-1.9ක් පමණ පිරිසක් කවර හෝ ප්‍රවාහන මාර්ගයකින් කොළඹ නගරයට සේන්දු වෙති. වර්ෂ 2035 වන විට මෙලෙස නගරයට දෛනිකව පිවිසෙන සංඛ්‍යාව මිලියන 4.4ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ වන විට බත්තරමුල්ලේ හා අවට ප්‍රදේශය අධික වාහන තදබදයක් පවතී. පාර්ලිමේන්තුව මෙන්ම බොහෝ අමාත්‍යාංශ බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන යෑමේදී නිසියාකාර සංගණනයක් සිදු නොකිරීම එක් අතකින් වාහන අධික වී, මේ මාර්ගයේ අධික වාහන තදබදයක් ඇති වීමට හේතුවකි. මේ වන විට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ආගමන හා විගමන දෙපාර්කමේන්තුවද බත්තරමුල්ලේ සුහුරුපායට පැමිණීමෙන් මේ තදබදය නිමා නොවන තත්ත්වයක් බවට පත් වූයේ රාජගිරියේ ගුවන් පාලමක් ඉදි කිරීම පවා පලක් නොවන බව පෙන්වා දෙමිනි.

මේ ආකාරයෙන් තවත් වසර 4ක්-5ක් හෝ යන විට බත්තරමුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ඒමට සාමාන්‍ය වාහනයකට පැය දෙකකට අධික වේලාවක් ගත වන බවට සාධක මතුව ඇත.

ශ්‍රී ලංකාවේ වාහන තදබදය අධිකම නගර දෙකක් වන්නේ මහනුවර හා බත්තරමුල්ලයි. මේ නිසා බත්තරමුල්ල හා කොටුව අතර ‘මොනෝ රේල්‘ සේවාවක් ආරම්භ කිරීමට පියවර ගැනීමට සැලසුම් කෙරිණි. එහෙත් එය කතාබහට පමණක් සීමා වූ අතර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කිරීමත් සමඟ මොනෝ රේල් සංකල්පය නවීකරණය වී, සැහැල්ලු දුම්රිය පද්ධතියක් (LRT) බත්තරමුල්ල හා කොළඹ කොටුව දක්වා ස්ථාපිත කිරීමට යෝජනා විය. ඒ අනුව බත්තරමුල්ල - මාලඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදි කිරිමට කටයුතු යොදන ලදි. මේ වන විට එහි මූලික කටයුතු සහ සිතියම්ගත කිරීම් අවසන්ව ඇත. මෙහිදී කොළඹ නගරය හා අවට අධික තදබදය ඇති මාර්ග පද්ධතියේ වාහන තදබදය අඩු කිරීම පිණිස සැහැල්ලු දුම්රිය සේවා පද්ධති 7ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා සකස් කර තිබේ.

එම මාර්ග 7 ලෙස හඳුන්වා දී ඇත්තේ

1. මාලබේ, බත්තරමුල්ල, බොරැල්ල, හරහා පිටකොටුව (කිමී 15.3යි)

2. මාලබේ සිට කඩුවෙල දක්වා (කිමී 6යි)

3. කොල්ලුපිටියේ සිට බම්බලපිටිය හරහා බොරැල්ල, යුනියන් පෙදෙස සිට මරදාන දක්වා (කිමී 14.8යි)

4. කොටුව - මරදාන සිට මට්ටක්කුලිය හරහා පෑලියගොඩ (කිමී 11.5යි)

5. දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හැව්ලොක් ටවුන් හරහා බම්බලපිටිය (කිමී 10යි)

6. මාලබේ සිට කොට්ටාව (කිමී 9.6යි)

7. පෑලියගොඩ සිට කඩවත (කිමී 13යි)

මේ අතුරින් පළමු මාර්ගය වන කොටුව සහ මාලඹේ අතර සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදි කිරීම පිණිස ජපානය විසින් රු. බිලියන 48ක මුදලක් සපයා ඇති අතර, ඒ මුදල ආපසු ගෙවීමට වසර 40ක කාලයක් දී ඇත්තේ වසර 12ක සහන කාලයක්ද සහිතවය. අය කරනු ලබන පොලී අනුපාතය වසරකට 0.1%කි.

මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම පසුගිය බදාදා කොළඹදී සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අවස්ථාවට ජපාන තානාපති අකිරා සුගියාමා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුද සහභාගි වූහ. මේ වසරේ ඉදි කිරීම් අරඹා වසර 2025 වන විට මේ ව්‍යාපෘති සියල්ල නිම කිරීමට කටයුතු යොදනු ඇත.

මාර්ග තදබදයට ස්ථිර විසඳුමක් ලෙස කොළඹට සුඛෝපභෝගි දුම්රිය සේවාවක් ලෙස මේ සැහැල්ලු දුම්රිය සේවාව ස්ථාපිත කෙරේ.

මාලබේ සිට බත්තරමුල්ල හරහා පිටකොටුව තෙක් ඉදි වන මේ මාර්ගයේ සැහැල්ලු දුම්රිය සේවාවට නැවතුම් 16ක් ස්ථාපිත කෙරේ. දුර කිමී 15.3ක් වන අතර, මේ දුර ගෙවීමට සැහැල්ලු දුම්රිය හෙවත් LRT සේවාවට වැය වන්නේ විනාඩි 27ක් පමණි. නැවතුම් ස්ථානයක තත්පර 30ක කාලයක් නවතා තබනු ලැබේ.

ආරම්භයේදී මේ සැහැල්ලු දුම්රිය සේවාවට එංජින් මැදිරි සියල්ල එකතුව 4ක් ලෙස යොදවනු ලබන අතර, එක් මැදිරියක මඟීන් 165කට ගමන් කළ හැකි වේ. වායු සමනය කර මඟී පහසුව ඇති අයුරින් නිමවා ධාවනය කරනු ලබන මේ සැහැල්ලු දුම්රිය සේවාව නිසා කඩිනමින් තම රාජකාරි කටයුතු කරගැනීමට ජනතාවට අවස්ථාව හිමි වනු ඇත. සැහැල්ලු දුම්රිය 25ක් මේ සඳහා යොදාගන්නට සැලසුම් කර ඇත.

මේ සැහැල්ලු දුම්රිය සේවාව භාවිත කරන්නන්ට එක් දින හෝ මාසික වාර ප්‍රවේශ පත්‍ර රැගෙන ගමන් කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වය වන අතර, ජංගම දුරකතනයෙන් පවා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ හැකියාව තිබේ.

මේ මාර්ගය ඉදි වන්නේ දැනට මාලබේ - බත්තරමුල්ල සිට කොටුව දක්වා දිවෙන මහා මාර්ගයට ඉහළින් උස කුලුනුවලින් සමන්විත ගුවන් මාර්ගයක් මඟිනි. එය දැනට භාවිත ගුවන් පාලම්, ගුවන් මාර්ගවලට සමාන වන අතර මේ ගුවන් මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු දුම්රිය සේවාවට සාමාන්‍ය දුම්රියකට මෙන්ම නොව තීව්‍ර වංගුවලින් හරවා ගමන් කිරීමටත් උසින් යුත් මාර්ගයන්ගේ ගමන් කිරීමටත් හැකියාව තිබේ.

එහෙත් මේ මාර්ගය ඉදි කිරීමේදී අධිවේගි මාර්ග ඉදි කිරීමේදී මෙන් නොව, ජනතාව අධිකව වෙසෙන ජනගහන ප්‍රදේශ හරහා ගමන් කෙරෙන හෙයින් සමාජ පාරිසරික ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් පැනනැඟීමට ඉඩ ඇත.

කෙසේ හෝ වසර 2024දී මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කෙරෙන අතර, වසර 2025 වන විට මේ සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියේ අපට ගමන් කරන්නට අවස්ථාව උදා වේ.

මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය රජය විසින් නඩත්තු කරන්නක් නොවන නිසා රජයට බරක් දැරීමට සිදු නොවේ. ඒ සඳහා රජයේ මැදිහත් වීම මත නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

මේ දුම්රිය සේවා පද්ධතිය විදුලිය බලයෙන් ක්‍රියා කරනු ලබන නිසා පරිසර හානියක්ද නොවන අතර, බල ශක්තිය සංරක්ෂණයක්ද සිදු වේ. මේ සේවාව සංවර්ධනය කර වසර කිහිපයකදී මැදිරි 6කින් සමන්විත සැහැල්ලු දුම්රිය සේවාවක් යෙදවීමට අපේක්ෂා කරන අතර, එහිදී පැයකට එක් දිසාවකට මඟීන් 30,000ක් ප්‍රවාහනය කළ හැකි වනු ඇත. දෙපසටම ගමන් කළ හැකි වන සේ මාර්ග දෙකක් මෙහිදී ඉදි වේ. මාලඹේ කොටුව මාර්ගය සම්පූර්ණයෙන්ම ජපාන ආයෝජන මත සිදු කෙරේ. මාලඹේ කොළඹ මාර්ගය මෙන්ම එම මාර්ගය කඩුවෙල දක්වා දීර්ඝ කිරීමේ කොටසද ජපාන රජයේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇත.

සෙසු සැහැල්ලු දුම්රිය මාර්ගද ඉදිරි වසරේදී ආරම්භ කරනු ලබන අතර මේ සියලු ව්‍යාපෘති කඩිනම් මහවැලිය මෙන් සමාන්තරව සිදු කිරීමට නියමිතය. කොළඹ අවට තිබෙන අධික මාර්ග තදබදය මේ අනුව ඉවත්ව යන අතර, වසර 2035 පමණ වන විට හොරණ දක්වාත් මේ ආකාරයේ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

අදහස්