අනුරපුර ප්‍රෞඪත්වය අපට අහිමි කරන අලුත් ම ව්‍යසනය | සිළුමිණ

අනුරපුර ප්‍රෞඪත්වය අපට අහිමි කරන අලුත් ම ව්‍යසනය

විගණකාධිපති දෙපාර්තමේන්තු අලුත් පරීක්ෂණයකින් හෙළි කරන විශේෂ හෙළිදරව්ව

පූජනීය අටමස්ථානය පිහිටි ලෝක උරුම අනුරාධපුරය නගරයේ ජාතික ආගමික පුරාවිද්‍යාත්මක ඓතිහාසික හා වාරිමාර්ග ප්‍රෞඪත්වය සමඟ එහි ලෝක උරුම මට්ටම ද අපට අහිමි විය හැකි අනතුරුදායක ව්‍යසනයක් පිළිබඳ කරුණු හෙළි වෙයි.

පසුගිය වසර ගණනාවක් තිස්සේ සිට තවමත් අනුරපුර නව නගරය හා පූජා නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන මේ මහා ව්‍යසනය පිළිබඳව කරුණු හෙළි වී ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ අලුත් විශේෂ පරීක්ෂණ විමර්ශනයක් මගිනි.

අනුරාධපුරය නගර සීමාව තුළ සිදුකරන ලද අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඇතිවී ඇති බලපෑම පරීක්ෂා කිරීමේ විශේෂ විගණන වාර්තාව ලෙස මෙම කරුණු රැසම ඉදිරිපත් කර ඇත්තේ සුවිශේෂී අපක්ෂපාතී අධ්‍යයනයක ප්‍රථිපලයක් ලෙසය.

මේ පරීක්ෂණය අනුව හෙළි වී ඇත්තේ ග්‍රාම නිලධාරි වසම් 22 ක් සහිත අනුරාධපුරය පූජනීය පෙදෙස හා නව නගරය ප්‍රදේශවල සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් බලහත්කාර අත්පත් කරගැනීම ජල දූෂණය, පුරාවිද්‍යා රක්ෂිත, වාරි රක්ෂිත මත ගොඩනැගිලි ඉදිකිරීම් වර්ධනයවීම නිසා අනුරපුරයේ ප්‍රෞඪත්වය ඉදිරි වසර 10 – 15 යන විට සම්පූර්ණයෙන් නැතිවී යාමට ඉඩ ඇති බවයි.

මේ නගරයේ සුවිශේෂ ආගමික, පුරාවිද්‍යාත්මක, සංස්කෘතික ඓතිහාසික හා පාරිසරික හා කෘෂිකාර්මික වටිනාකම් නිසා ම ලෝක උරුමයක් ලෙස නම්කර ඇත. නමුත් ඉහත අවිධිමත් කටයුතු නිසා නගරයේ ලෝක උරුම තත්ත්වය ද අපට නැතිවී යෑමේ තර්ජනයක් දැන් උදාවෙමින් පවතින බව අනුරාධපුරයේ ආගමික සංවිධාන පරිසර සංවිධාන හා ගොවි සංවිධාන නායකයෝ ද පෙන්වා දෙති.

මේ විගණකාධිපති පරීක්ෂණය අනුව නුවරවැව තිසා වැව ප්‍රධාන වැව් ඇතුළු වාරි ‍රක්ෂිතවල හා පූජනීය ප්‍රදේශය ඇතුළු පුරාවිද්‍යා රක්ෂිත තුළ අනවසර ඉදිකිරීම් බලෙන් අත්පත් කර ගැනීම්, පාරිසරික දූෂණය හා අක්‍රමවත් ඉඩම් පරිහරණ රටා නිසා. සිංහල බෞද්ධ ජනතාවගේ පූජනීය නගරය දැන් විනාශවෙමින් පවතින බව පැහැදිලිව කරුණු සහිතව පෙන්වාදී ඇතත් වගකිවයුත්තන් ඒ පිළිබඳව පියවරක් ගෙන නොතිබීම කනගාටුදායකය.

මෙම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විගණන පරීක්ෂණය අනුව අනුරාධපුරයේ නගර සභා බල ප්‍රදේශයට ජලය ලබාදෙන නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 275 ක් තිසා වැවේ වැව් තාවුල ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් 130 ක් පිළිබඳව හෙළිවී තිබේ. ඒ අනවසර ඉදිකිරීම් නිසා ඒ ප්‍රධාන වැව් දෙකේම ජලය බහුල ලෙස දූෂණය වී තිබේ. එමගින් බෝවන රෝග හා පාරිසරික ගැටලුව වැඩි වෙමින් පවතී.

මීට අමතරව අභයගිරිය පුරාවිද්‍යා රක්ෂිතය අනුබද්ධව අනවසර ඉදිකිරීම් 267 ක් තිබෙන බව මේ පරීක්ෂණයේදී හෙළිවි තිබේ.

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පොන්නාරම්කුලම වැව හා රක්ෂිතය තුළ පෞද්ගලික හෝටලයක් පවත්වාගෙන යාම ප්‍රධාන ගැටලුවකි‍. අනගාරික බෞද්ධ මධ්‍යස්ථානයට අයත් පන්සල ඉස්මත්තේ ඇති එකී වැව් තාවුල්ලේ තාප්පයක් බැඳ ලැගුම් ගැනීම සඳහා කාමර කිහිපයක් ඉදිකිරීම හේතුවෙන් වැවේ ජල පෝෂක ප්‍රදේශය අහිමි වී ඇත.

කූම්බිච්චන්කුලම වැව් තාවල්ල අනවසර ලෙස පරිහරණය කරන පුද්ගලයින් විසින් ඔවුන්ගේ හෝටල්, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැවේ පිටාර ජලය ‍ගලා බසින පැරණි වාන ගලවා ඉවත්කර අලුත්වන ඉදිකිරීම ප්‍රදේශයේ ප්‍රධාන වාරි ගැටලුවක් වී ඇත. නුවර වැවෙන් පිටාර ජලය මුදා හරින බිහිරිසොරොව්ව සහිත ඇළ මාර්ගය මුළුමනින් ම අවහිර වන පරිදි ඇළ මාර්ග දෙපස පදිංචිකරුවන් විසින් නිවෙස්වල තාප්ප සහ බිත්ති බැඳ තිබීමෙන් ඇළ මාර්ගය අවහිර වී තිබුණු අතර, නිවෙස්වලින් අපද්‍රව්‍ය, අප ජලය හා වැසිකිළි ජලය මුදා හැරීමෙන් සහ එම ඇළ මාර්ගය ඔස්සේ ගමන් කරන ජලය පොන්නාරම්කුලම වැව් ජලයට මිශ්‍රවීම හා එම ජලය ප්‍රදේශයේ ජනතාව විවිධ පරිභෝජන කටයුතුවලට භාවිතා කිරීම හේතුවෙන් එම ජනතාවට විවිධ සෞඛ්‍යය ගැටලුවලට මුහුණදීමට සිදුව ඇත. වැව් ජලයට එක්වන අපවිත්‍ර ජලය පාදක කරගෙන බෝවන රෝග ව්‍යාප්ත වෙමින් පවතින බව හා මදුරුවන් නිසා බෝවන ඩෙංගු වැනි රෝග ක්‍රමිකව වර්ධනය වී මරණ සංඛ්‍යාව ද සා‍ෙප්ක්ෂ වශයෙන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය. 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ වාර්තා වූ රෝගීන් ගණන සියයට 379 ක ප්‍රතිශතයකින් ද මරණ සංඛ්‍යාව සියයට 600 ක ප්‍රතිශතයකින් ද ඉහළ ගොස් ඇති බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. අනුරාධපුරය මහා රෝහලෙන්, යුද හමුදා රෝහලින් හා පෞද්ගලික රෝහල් වලින් නිකුත් වන අපද්‍රව්‍ය පොන්නාරම්කුලම වැවේ ඇළ මාර්ගයට එකතුවී ගලාගොස් මල්වතුඔයට එකතුවීම ද සිදුවේ.

කූම්බිච්චන්කුලම වැවේ වාන් වතුර මල්වතු ඔයට මුදා හරින ඇළ මාර්ගය දෙපස ඇති සේවා මාර්ග ද අවහිර වන පරිදි විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් කර තිබුණි. පෞද්ගලික ආයතනයක් විසින් ඇළ ඉවුර මත ආධාරක කොන්ක්‍රීට් කණු යොදා ඒ මත තාප්ප හා බිත්ති බැඳ ඇළ රක්ෂිතය අනවසරයෙන් අල්ලාගෙන තිබීම හේතුවෙන් සේවා මාර්ග අහිමි වී ඇත. එය ඇළ දෙපස ජීවත්ව සිටින ජනතාවට ප්‍රබල සාමාජීය ප්‍රශ්නයකි.

නුවර වැව වාන් ඇළට යාබදව තිබූ ඇළ රක්ෂිතය ගොඩ කරමින් ඉදිකරන ලද කෞතුකාගාරයක් හේතුවෙන් ජල ගැලීම් පාලනය කර ගැනීමට අවශ්‍යව තිබූ පහත් භූමි තීරුව අහිමිවීම තුළ ජලය ගලායාමේ ඉඩකඩ අවහිරවීමෙන් නගරය ගංවතුර තර්ජනයන්ට මුහුණ දී ඇත. එය ඉතා හානිදායක අනවසර ගොඩකිරීම් ය. ඒ අවට ඇළ මාර්ග දෙපස ඇති රක්ෂිත ප්‍රදේශ අවභාවිතා කරමින් හෝටල් ඉදිකිරීම, තොටුපළවල් සෑදීම යනාදිය සිදු කිරීම හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂණය වී ඇති බව දක්නට තිබේ.

ඇතැම් ඇළ මාර්ග ගොඩකර ඇළ මාර්ග ඉවුරුවල ව්‍යාපාරික ස්ථාන සහ වාසස්ථාන ඉදිකිරීම හා ඇළ මාර්ග දෙපස වගා කටයුතු සඳහා ද භාවිතා කර තිබූ බැවින් මහජනතාවට සේවා මාර්ගයෙන් ලබාගත හැකිව තිබූ සේවාව අහිමි වී ඇති බව ද මේ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මල්වතුඔය රක්ෂිතය විශාල වශයෙන් භාවිත කරනු ලබන්නේ නගරයේ ප්‍රසිද්ධ හෝටල් සහ ලැගුම්හල් හිමියන් විසිනි. හෝටල් හිමියන් කිහිපදෙනෙකු විසින් සංචාරකයින් සඳහා බෝට්ටු සවාරි සංවිධානය කර තිබූ අතර රක්ෂිතවල ඉදිකර ඇති හෝටල් සඳහා නගර සභාවෙන් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබාගෙන නැත. බෝට්ටු සවාරි සඳහා නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍ර ද ලබාගෙන නැත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරව නගර සභාව විසින් පෞද්ගලික ආයතනයකට ලැඟුම්හල් මට්ටමේ කාමර පවත්වාගෙන යාමට මල්වතු ඔය අසල භූමිය බදු දී ඇති අතර, එම ආයතනය විසින් අදාළ භූමියේ කාමර 20 ක් පමණ ඉදිකර දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා කාමර පහසුකම් සපයා මුදල් ලබාගෙන තිබූ බව මෙම විගණකාධිපති විශේෂ පරීක්ෂණයේදී හෙළි වී ඇත.

ඊට අමතරව මල්වතුඔයෙහි වඩදිය සීමාවේ ඉදිකර ඇති ලැඟුම්හලක් දේශීය සහ විදේශීය සංචාරකයින් විසින් පාලනයකින් තොරව පරිහරණය කිරීම හේතුවෙන් සහ කැළි කසළ ඉවත දැමීම නිසා ඇළ රක්ෂිතය සහ මල්වතුඔයෙහි ජලය අපවිත්‍ර වී තිබේ.

ලොන්ඩරිකරුවන් විසින් මල්වතු ඔය අසල මංකඩවලදී ඔවුන් එකතු කර ගන්නා අපිරිසුදු ඇඳුම් ජලයෙන් සෝදා පිරිසුදු කිරීම නිසා ජලයට මුසුවන අපද්‍රව්‍ය සහ රෙදි සේදීමට භාවිත කරන කෝස්ටික් සෝඩා පටල ද මල්වතුඔයේ ජලය මතුපිට ජලය දූෂණය කර තිබිණි.

සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ඇතුළු නුවර කලාපයට අයත් පුරා විද්‍යා රක්ෂිත කලාප තුළ අනවසර පදිංචිකරුවන් විසින් ඉඩම් අත්පත් කර ගැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම් සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් අවශේෂ කොටස් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළ නාගරික බල ප්‍රදේශයේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් විනාශ මුඛයට ගොස් තිබීම පිළිබඳව කාගේවත් අවධානය යොමු වී නැත.

අභයගිරිය පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ලංකාරාමය, සඳකඩ පහණ, සමාධි පිළිමය, කුට්ටම්පොකුණ හා අභයිගිරිය ස්ථූපය ඉදිරිපිට අනවසර ඉදිකිරීම් 267 ක් සොයාගෙන ඇත. වෙස්සගිරිය ප්‍රදේශ‍යේ අනවසර ඉදිකිරීම් හා වෙළෙඳසල් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් තිබීම හේතුවෙන් පෞරාණික වටිනාකම් සහිත ස්ථාන අපවිත්‍ර වී තිබීම ප්‍රදේශයේ ප්‍රධාන පාරිසරික ගැටලුවකි. නාගරික කලාපීයකරණය සැලැස්මට අනුව කලාපවල හඳුන්වා දී තිබූ බිම් කොටස් එම අරමුණුවලට අතිරේකව වෙනස් අරමුණු සඳහා යොදාගෙන ඉදිකිරීම් සිදු කිරීම නිසා ඇති වී තිබෙන පාරිසරික හානි, මාර්ග අවහිර කිරීම්, රක්ෂිත අවභාවිතයන්, සේවා මාර්ග අවහිරවී‍ම් යනාදී ‍කරුණු නිසා සාමාන්‍ය ජන ජීවිතයට ගැටලු මතුවී තිබුණු බව පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

දුම්රිය රක්ෂිත ප්‍රදේශය තුළ අනවසර පදිංචිකරුවන් විසින් සිදු කරනු ලැබූ ඉදිකිරීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

නාගරික සංවර්ධන අධිකාරියේ 1985 මාර්තු 20 දිනැති අංක 8/1/38 දරන චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව අනුමත කළ ගොඩනැගිලි සැලැස්මට අනුකූල නොවන ලෙස පුරහල පෙදෙස 09 වන පටුමගෙහි අංක 460C දරන ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කර තිබිණි.

නාගරික බල ප්‍රදේශය තුළ සිදු කරනු ලබන අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම, තහනම් කිරීම, අත්පත් කරගැනීමේ බලය නාගරික සංවර්ධන අධිකාරි පනතින් හා නගර සභා ආඥා පනතින් ඍජුවම එකී ආයතන වෙත පවරා තිබුණි. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය හා නගර සභාව මේ සම්බන්ධව ඍජුවම මැදිහත්වී කටයුතු කළ බවක් දක්නට නැත. එමෙන් ම එම අනවසර ඉදිකිරීම් පිළිබඳ තොරතුරු රැස්කර යාවත්කාලීනව පොත්පත් හෝ ලේඛන නිසි පරිදි නඩත්තු කිරීමටවත් කටයුතු කර නොතිබුණ බව ද මෙම විගණකාධිපති විශේෂ අධ්‍යයනයෙන් හෙළිවී තිබිණි.

කර්මාන්ත කලාපයට ඇතුළත් විය යුතු රෙදි පිළි කර්මාන්තයක් මිශ්‍ර නේවාසික කලාපය තුළ ඉදිකිරීම හේතුවෙන් සිදුවන පාරිසරික හා ශබ්ද දූෂණය සාමාජීය ප්‍රශ්නයක් බවට‍ පත්ව තිබිණි.

නාගරික ප්‍රජාවගේ සාමාන්‍ය අවශ්‍යතා සඳහා නගර සභාව විසින් පාලනය කරනු ලැබූ පුරහල පෙදෙසේ ක්‍රීඩා භූමිය ඛණ්ඩනය වන සේ මැදින් මාර්ගයක් යොදා භූමියෙන් කොටසක් අනවසර පදිංචිකරුවන් විසින් අත්පත් කරගෙන වෙළෙඳ ව්‍යාපාර හා නිවාස ඉදිකිරීම නිසා ශාරීරික සුවතා කටයුතු සඳහා මහජනතාවට ලැබී තිබුණු අවස්ථාව අහිමිවී තිබුණි.

නාගරික බල ප්‍රදේශය තුළ ඇති පූජා භූමි අනවසර ලෙස අත්පත් කර ගැනීම හෝ පූජා භූමි සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව එම අනවසර කර්මාන්ත සඳහා නගර සභාව විසින් බලපත්‍ර ලබාදීම හේතුවෙන් එම භූමිය බැතිමතුන්ට අහිමිවන අතර, මේ හේතුවෙන් වන්දනාමාන කටයුතු සඳහා ඔවුන්ට බාධා පැමිණ තිබිණි.

මේ අතර අනුරාධපුර නිවන්තකචේතිය පාරේ ඇති අක්කර 01 යි පර්චස් 05 ක ප්‍රමාණයේ කුඹුරු ඉඩමක් අවසරයකින් තොරව ගොඩකර තිබූ බව ද විගණකාධිපති විශේෂ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මේ අනවසර ඉදිකිරීම් පාලනය කිරීමට විවිධ නිර්දේශ විගණකාධිපති දෙපාර්තමේන්තු පරීක්ෂණයෙන් පෙන්වාදී තිබේ‍.

ගොඩනැගිලි රේඛා පිළිබඳව පිරිවිතර අනුව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග මධ්‍යයේ සිට ගොඩනැගිලි රේඛාවට තිබිය යුතු අවම දුර සඳහා මායිම් ගල් යොදා අදාළ සීමා නිර්ණය කිරීම ඒ අතර ප්‍රධාන නිර්දේශයකි.

පෞද්ගලික පරිහරණය සඳහා රක්ෂිත ප්‍රදේශවල සිදු කරන සංවර්ධන කටයුතු නැවැත්වීම හා ඒවා භාවිතා කරන්නන්ට නීතියේ සඳහන් පරිදි කටයුතු කිරීම, ජල මාර්ග, වාන් ඇළවල්, වැව් සහ මල්වතුඔය සඳහා නියත රක්ෂිත රේඛා සහිත සිතියම් ඇඳ ඒවා මායිම් ගල් යොදා විධිමත් පරිදි සීමා නිර්ණය කිරීම ද සිදු කළ යුතුව ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් වලට නියත රක්ෂිත රේඛාව මායිම් ගත කර ඒවා ගැසට් කිරීම. එම දෙපාර්තමේන්තුව මගින් කළයුතුව තිබේ.

නාගරික බල ප්‍රදේශය තුළ ඇති දුම්රිය රක්ෂිතය හඳුනාගෙන ඒවා මායිම් ගල් යොදා වෙන් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සතු කටයුත්තකි.

අනුරාධපුර ඇතුළුනුවර හඳුනාගත් නිශ්චල, චංචල පුරාවස්තු සියල්ල අනන්‍යතාවයක් ඇතිවන පරිදි ලේඛනගත කිරීම ඇතුළුනුවර ප්‍රදේශයෙන් පිටත මීටර් 200 ක සීමාවෙන් හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන හා පුරාවිද්‍යා ස්මාරක සහිත ප්‍රදේශය රක්ෂිත භූමියක් ලෙස ගැසට් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදාළ කටයුත්තකි.‍

අනවසර ඉදිකිරීම් සිදු කරන්නන්ට නීත්‍යානුකූලව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කිරීම, රාත්‍රී කාලය සහ උත්සව කාලයේදී වන්දනාකරුවන් විසින් තැනින් තැන දමා යන කුණු කසළ බහාලීම සඳහා අවශ්‍ය පොදු ස්ථානවල කසළ බඳුන් ස්ථානගත කිරීම ආදිය සිදුකිරීම අදාළ පළාත් පාලන ආයතනය වන අනුරාධපුර නගර සභාව සිදුකළ යුතුය. එය උතුරු මැද පළාත් සභාව අධීක්ෂණය කළයුතුව ඇත.

මේ පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු කී‍ෙව් මෙම නීති වි‍‍රෝධී කටයුතුවලට විරුද්ධව නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

මේ පිළිබඳව අපි උතුරුමැද පළාතේ පළාත් පාලන කොමසාරිස් කොඩිප්පිලිආරච්චි මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ, මෙවැනි පරීක්ෂණයක තොරතුරු තමාට දැනගන්නට ලැබී නොමැති බවයි.

අපේ රටේ ප්‍රධාන ලෝක උරුමයක් වන හා සිංහල බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුද බිමක් වන අනුරපුරය සුරැකී‍ම පිණිස මෙවැනි විශේෂ පරීක්ෂණයක් කිරීම අගය කළ යුතු කටයුත්තකි.

ඒ පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ස්තුතිය පිරිනමන අතර ඔවුන් තම අධ්‍යයනයෙන් පෙන්වා දෙන කරුණු පිළිබඳව වහාම අවධානය යොමු කිරීම අනුරපුර නගර සභාව උතුරු මැද පළාත් සභාව, පමණක් නොව මධ්‍යම රජයේ සංස්කෘතික, පුරාවිද්‍යා, බුද්ධශාසන, වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශවල ඉහළ බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ යුතුකමක් බව ද පෙන්වා දෙමු.

සේයාරූ - හිදෝගම සමූහ

කළුආරච්චි චිත්‍ර්‍රරත්න

අනුර­ාධපුර විශේෂ

සරත් මනුලවික්‍රම

අදහස්