9/11 ප්‍රහාරයේ දී කොන්ක්‍රීට් දූවිල්ලට හසු වූ ලක්ෂ 4කගේ ඉරණම | සිළුමිණ

9/11 ප්‍රහාරයේ දී කොන්ක්‍රීට් දූවිල්ලට හසු වූ ලක්ෂ 4කගේ ඉරණම

අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා සංවිධානාත්මක ත්‍රස්ත ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ප්‍රහාරය එල්ල කළ අන්දම සිනමා පටයක ජවනිකාවක් මෙන් වූ අතර, නගරයේ තිබූ කැමරාවල පටිගත වී තිබූ පරිදි ගුවන් යානා පැමිණ උසැති කුලුනු දෙකේ ගැටෙමින් සිදු කළ ඒ මහා විනාශය දෑස් පියාගන රූපරාමු එකින් කර සිහිපත් කළ හැකි තරමට මතකයේ රැඳී තිබෙන්නේද ඒ මහා විනාශයේ අති ව්‍යසනකාරී ස්වභාවය නිසාමය.

මිනිසාට මිනිසාම නසා දැමීමට එතරම් සංවිධානශීලීව කටයුතු කළ හැකි බව අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය සාක්ෂි සහිතව තහවුරු කර සිටියේය.

මේ කියන්නට යන්නේ එම ප්‍රහාරයේ අතුරු කතාවකි. එම ප්‍රහාරය හේතුවෙන් අදටත් විඳවමින් ජීවත් වන, එමෙන්ම එම ප්‍රහාරය හේතුවෙන් ජීවිතයෙන් සමුගන්නා මැන්හැට්න් වාසී අමෙරිකානුවන් පිළිබඳ කතාවකි.

තෝමස් පෙලාන් 38 හැවිරිදි අමෙරිකානු ගිනි නිවන භටයෙකි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දින උදෑසන ඔහු මැන්හැට්න් සහ ලිබර්ටි ප්‍රතිමාව අතර මඟීන් සහ සංචාරකයන් ප්‍රවාහනය කරන බෝට්ටුවක රාජකාරියේ නිරත වී සිටියේය. මරණයේ පණිවිඩය රැගත් ගුවන් යානා ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනේ ප්‍රථම වරට ගැටෙන විටත් ඔහු අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් හමා එන පිරිසුදු මඳ සුළඟේ සිසිල විඳගනිමින් සිටියේය.

ඊළඟ නිමේෂයේ ත්‍රස්තවාදීන් ජයගත් අතර එතෙක් සිසිලසින් පිරී තිබූ අවට පරිසරය කොන්ක්‍රීට් මිශ්‍රිත රසායනික දුහුවිල්ලෙන් වැසී ගියේ පෙලාන්ගේ ජීවිතයද උදුරාගනිමිනි. එහෙත් එදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 2977 අතරට පෙලාන් අයිති වූයේ නැත. එසේ වූයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පෙලාන්ට ජීවිතය අහිමි වුවද එසේ වූයේ පසුගිය මාර්තු 22 වැනිදා වූ බැවිනි.

පෙලාන්ගේ මරණය හුදකලා සිදු වීමක් නොවූයේ 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු මේ දක්වාම ඊට ගොදුරු වූ පුද්ගලයන් මිය යමින් සිටින බැවිනි. ඒ මරණ ත්‍රස්ත ප්‍රහාරයේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවූවද සැබවින්ම එලෙස මිය ගිය සහ මිය යමින් සිටින සියලු දෙනාම අයත් විය යුත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් යන කුලකයටය.

අමෙරිකා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වී මේ වන විට වසර 18ක් ගත වී අවසන්ය. එහෙත් තවමත් එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මිනිස්සු මිය යති. එසේ වීමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ කඩා වැටුණු තට්ටු සිය ගණනක් උස ගොඩනැගිල්ලේ අති විශාල කොන්ක්‍රීට් දුමාරයට හසු වීමය. මේ කොන්ක්‍රීට් දුමාරය සැතපුම් ගණනක් දුරට පැතිරුණු අතර ආසන්නයේම සිටි පුද්ගලයන්ගේ ජීවිත කෙටි විය.

දැවැන්ත ගොඩනැගිලි සෑදීමේදී කොන්ක්‍රීට් බදාම තවදුරටත් ශක්තිමත් වීම සඳහා කොන්ක්‍රීට් මිශ්‍රණයට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය යොදනු ලැබේ. මේ රසායනික ද්‍රව්‍ය සහ ගනකම් කොන්ක්‍රීට් දුමාරය පැය කිහිපයක් ආඝ්‍රාණය කිරීම පසුකාලීනව සිරුරු අභ්‍යන්තරයේ පිළිකා ඇති කිරීමට සමත් වී තිබේ. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් මඳක් එපිටින් මඟී යාත්‍රාවක සේවය කළ තෝමස් පෙලාන් නම් වූ ගිනි නිවන භටයාගේ මරණයට හේතු වන්නේද කොන්ක්‍රීට් දුමාරය ආඝාණයෙන් ඇති වූ පිළිකාවකි. ඔහු පමණක් නොව ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජීවිත බේරාගැනීමට අදාළ ස්ථානයට පැමිණි තවත් ගිනි නිවන භටයන් කිහිප දෙනෙකුම පිළිකා හටගැනීමෙන් මරණයට පත් වී තිබේ.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී සුළු මොහොතකින් ගොඩනැගිල්ල තුළ සිටි පණ බේරාගැනීමට සමත් වූ මිනිස්සු කඩා වැටීමට පෙර ගොඩනැගිල්ලෙන් ඉවතට පැමිණියහ. එසේ පැමිණි මිනිසුන්ගේ ඡායාරූප ඒ වන විටත් සිද්ධිය වූ ස්ථානට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් විය. ඒ ඡායාරූප අතර මුළුමනින්ම කොන්ක්‍රීට් දුහුවිල්ලෙන් නැහැවී ගිය කාන්තාවකගේ ඡායාරූපයක්ද විය. දුහුවිලි කාන්තාව (Dust lady) යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ ඇය මර්සි බෝඩර්ස් යනුවෙන් පසුව හඳුනාගනු ලැබුවාය. ශරීරය පමණක් නොව හිස සහ මුහුණද සම්පූර්ණයෙන්ම දුහුවිල්ලෙන් නැහැවී ගිය ඇයගේ ඡායාරූප ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ ත්‍රස්ත ප්‍රහාරයේ භයංකාරීත්වය මොනවට විදහාපාමිනි.

එහෙත් ඉතා කනගාටුදායක අයුරින් යාන්තම් වයස 42 වන විට එනම්, 2011 වසරේදී මර්සි බෝඩර්ස් මියගියේ උදර පිළිකාවක් හේතුවෙනි. එම උදර පිළිකාවට හේතුව ඇය කොන්ක්‍රීට් දුමාරයට මැදිවීම බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. අදින් වසර 18කට පෙර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තට්ටු සිය ගණනක් උසැති කුලුනු දෙක බිමට කඩා වැටෙද්දී හමා ගිය දුහුවිලි දහරාවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 400,000කි. ඒ අනුව බලන විට ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අවසන් යැයි කිසිසේත් පැවසිය නොහැකිය. ත්‍රස්තවාදය පිටුදැකිය යුත්තේ එය එතරම්ම භයානක වන නිසාය.

 

Comments