ඒරාෂ්ටකයෙන් ජීවිතය දිනූ අමරණීය ජෝති | සිළුමිණ

ඒරාෂ්ටකයෙන් ජීවිතය දිනූ අමරණීය ජෝති

බාල වියේ පටන් ම ආර්ථික අාගාධයක සිටි ජෝති තරම් අන්ත දුක් විඳි කලාකරුවකු හෝ කලාකාරියක මෙරට නැති තරම් ය. දිළිඳු බවේ ප්‍රහාරයෙන් ලද පන්නරයම ජීවිතය ජය ගැනීමට ජෝතිට රුකුලක් විය.

මංගල සාදයකදී හින්දි ගී ගයා හාපුරා කියා ගෙවීමක් ලෙස රුපියලක් ලැබූ ජෝති මිය යන විට, ශ්‍රී ලංකාවේ ඉහළම ගෙවීමක් ලැබූ ගායකයා බවට පත්ව සිටියේ ප්‍රාතිහාර්යයකින් නොව, ඔහුගේ උත්සාහයට හා කැපවීමට පින්සිදු වන්නට ය. එනිසාම ඔහු හදවතේ දයාව මෙන් ම ඉපැයූ සියල්ල ද ප්‍රදානය කළේ ය. ජෝති දකුණතින් දුන් දේ වමත නොදත් බව ධර්මසිරි ගමගේ සූරීන් වරක් පැවසුවේ එබැවිනි. ඉහළම ගෙවීමක් ලබන අවදියේ පවා හිතවත් බවට මුල් තැන දෙමින් නොමිලේ ගී ගැයූ චිත්‍රපට, තැටි කැසට් හා ප්‍රසංග අපමණය. ජෝතිපාලගේ හදවත රත්තරන් කියා නිහාල් නෙල්සන් ගායකයා වරක් පැවසුවේ එනිසා ය.

ජෝතිගේ පෞරුෂයෙන් පිරිපුන් හැඟුම්බර ගායනයෙන් තුන්තිස් පැය පුරා තවමත් අපගේ දෙසවන් මතු නොව ළය මඬල ද සෙනෙහසින් පිරිමදිමින් ළයාන්විත ස්වරයෙන් ගීතවත් වේ.

ඕනෑම නළුවෙකු හට මනාව ගැළපෙන සේ තම කටහඬ මෙහෙයවීමේ අපූර්ව විස්්මයජනක වාසනා මහිමයක් ජෝති සතුව තිබුණි. ජෝති ප්‍රේම ගායකයා ලෙස ප්‍රකට වුවත් බුදුගුණ, මවුගුණ ගී දේශානුරාගය දනවන ගී දරු සෙනෙහස පිළිබඳ ගී ද ඔහු‍ෙග් මුවින් මී බිඳු බවට පෙරළුණි ගීතයෙන් ගී කෙතට පිවිසි, සුරතලී චිත්‍රපටය වෙනුවෙන් (1956) ගී ගැයීය. හාපුරා කියා චිත්‍රපටයකට ගී ගයන්නට ගිය ජෝතිට එම අවස්ථාව අහිමිවී හිස් අතින් පැමිණීමට සිදුවූයේ හැම ක්ෂේත්‍රයකම ඇති කැපිල්ල හේතුවෙනි.

“මගෙ කටහඬ සද්දෙ වැඩියි කිව්වා. මේ ශබ්ද යන්ත්‍ර සේරම දෙදරනවා කීවා. ඇත්තටම සිද්ධ වුණේ සමහර ගායකයෝ මාව කැපුවා. ඒ කට්ටිය එකතුවෙලා මාව කපලා දැම්මා“. ජෝති වරක් පැවසුවේ ය. එහෙත් දක්ෂතාව යටපත් කළ නොහැකි බව ඔප්පු කරමින් ජෝති පසු කලෙක ගීත ලොව ජෝතිමත් කළේ ය. සැබැවින් ම ජෝති අමරණීය බවට පත් කළේ ඔහුගේ ජන්ම ඒරාෂ්ටක කාලයේදී ය. වෘශ්චික ලග්නයෙන් උපත ලැබූ ජෝතිපාලයන් 1956 චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස කළ එළි බැස්සේ, ඔහුගේ ලග්න ඒරාෂ්ඨකයේ මුල් යුගයේ ය. 1974, 75 වසරවල ජනප්‍රිය ගායකයා ලෙස සම්මාන දිනූයේ අතිප්‍රබල අෂ්ඨම ඒරාෂ්ටක සමය තුළදී ය.

1982 වසරේ හොඳම ගායකයා ලෙස සරසවි සම්මානය ලබන්නේ ජන්ම ඒරාෂ්ඨකයේ උච්චතම අවධියේ ය. ඔහුගේ ජීවිත කථාව සංගීත පුවත්පතක මුලින් ම පළ වූයේ ද 1985 – 87 ලග්න ඒරාෂ්ටක සමයේ ය. එපමණක් නොව 1987 වසර වනවිට ඔහු ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටියදී මිය ගිය ද ජීවත්ව සිටි ජෝතිපාලට වඩා මිය ගිය ජෝතිපාල අමරණීය වී ඇත.

ජෝති උපන්නේ කොළඹ කැටවලමුල්ලේ ය. සහෝදර සහෝදරියන් 5 දෙනෙකි. බිරිය, වින්ටර් බ්ලොසම්ය. වරුණි විලෝචනී, සුජී, එස්තර් ෂාමලීන්, ක්‍රිෂ්ණි යනුවෙන් දියණියෝ සිවු දෙනෙකි.

ඔහුගේ මුල් ම ගායනය 1952 දී වසන්තා සන්දනායක ගැයූ මහවැලි නදියේ ගීතයට අත්වැල් ගායනයෙනි. “සිරියමේ සාරා” නමින් සුරතලී චිත්‍රපටයෙන් සිනමා ගායනයට පිවිසි ජෝතිපාල එදා මෙදාතුර ගැයූ චිත්‍රපට ගී සිය ගණනකි. සුදු ස‍ඳේ කළුවලා චිත්‍රපටයේ රඟපාමින් නළුවකු වී පසුව චිත්‍රපට 25 පමණ රංගනයෙන් දායක විය‍.

චිත්‍රපට රැසක පසුබිම් ගායනයට ද එක් විය. මා ප්‍රාර්ථනා ආශාවෝ, පාට පොදක් තිලකලා, ලෝකයේ වෙනස් වුණේ මිනිහදෝ දෙවියදෝ, පෙම්වතුන්ට සරණේ, මුලදි බැන්ද ආදරයක මිහිර දැන්, කොතැනක හිටියත් ඔබ මෙලොවේ, අඬන්නෙ ඇයි සුදු මැණිකේ, සමන් මල් පියල්ලේ, මේ නොනිවෙන දිවි ගමනේ, දහ දුක් වින්දේ, පතනා දේ, පුංචි දෝණි තරහා වෙලා, සුරා බී මත්වෙලා, තිලකාවි මගේ ප්‍රේම ලොවේ, මාගම්පුරයෙ ඉඳන්, සුගත ලෝනා සම්බුද්ධ රාජා, පිළිගන්න මම චන්න ඇමතී වෙමී, ඇස් දෙක වාගේ හිටිය, චන්ද්‍රාමෙ රෑ පායා ආවා, පාට පොදක් තිලකලා, පුරුතුගීසිකාරයා...., ජීවිතේ තරුණ කාලේ, ආදර මධුර අතීතේ, හිටින්න පොඩ්ඩක් හිටින්න, පෙර දිනෙක එදා, නීල දෑස පුරා, මල් පිබිදෙන එක වසන්ත සමයක, ඔබ දැකුමෙන් මා, සමන් මල් පියල්ලේ, මේ දෑස මගේ පින්වන්තයි, නවමිණි රන් මුතු ඇත පිරිලා, මේ ලෝකෙ සියල්ලෝ, පෙරදා එක් වී ගී ගයමින් කඳුළැල් සලා, පෙම්වතුන්ට සරණේ ආදී ගීත දහස් ගණනකට වඩා ගයමින් රසික හද සැනසුවේ ය. සුදු ස‍ඳේ කළු වලා චිත්‍රපටයෙන් සිනමා රංගන දිවියට පිවිස, ඇතුල්වීම තහනම්, ඔබයි මමයි, මගේ නංගී ශ්‍යාමා, දමයන්ති, අබිරහස, සැලී තණ ගිරවී, හොඳම නළුවා, ගීතා, සුමිතුරෝ, සුනේත්‍රා, සිකුරු දසාව, රිදී තැල්ල, ශාන්ති ආදී සිනමා පට රැසකට සිය රංගන දායකත්වය එක් කරමින් රසික හදවත් සැනසුවේ ය.

ටජ් මහලක් තනවන්න බැහැ මට... ඔබෙ සෙනෙහසට හිමී...

හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී...

- නිශානී

 

අදහස්