ළමා සාහි­ත්‍ය­යට දිරි දුන් නව රඟ­හ­ලට පණ දුන් එච්. ඩී. සුග­ත­පාල | සිළුමිණ

ළමා සාහි­ත්‍ය­යට දිරි දුන් නව රඟ­හ­ලට පණ දුන් එච්. ඩී. සුග­ත­පාල

“අනේ මට රුපියලයි තියෙන්නෙ. කරුණාකරලා මට කියවන්න පොතක් දෙන්න.”

ළමා කියවීම් පොත් සම්පාදකයකු ලෙස ලංකාවේ ළමා හා යොවුන් සාහිත්‍යයේ උන්නතියට පුරෝගාමී වූ එම්.ඩී.සුගතපාල මහතා නව මඟ කියවීම් පොත් පෙළේ කතුවරයා ලෙස කළ සේවය ඉමහත් ය.

ඉහතින් අප සඳහන් කළ ළමයකුගේ දුක් ගැනවිලි හඬ ගැන සුගතපාල මහතා කියා ඇත්තේ මේ කතාව ය.

“මේ මම පොත් සාප්පුවක ඉන්න කොට ඇහුණ ළමයකුගේ දුක් ගැනවිලි හඬක්. ඒ හඬ ඇහිල මට හුඟාක් දේවල් හිතුණා. ඇයි මේ ළමය මෙහෙම කියන්නෙ. මේ ළමයට හුඟාක් ලොකු ආසාවක් තියෙනව පොත් කියවන්න. අපේ ළමයින්ට මවු තුරුලේ ඉඳලම පොත් - පත් කියවන්න ලොකු ආශාවක් උනන්දුවක් තිබුණා. ඒ ආශාව, ඒ උනන්දුව නිසයි අද ඔවුන් ලෝකයේ ඉතා ම උසස් තනතුරුවල වැජඹෙන්නෙ. කොහොම ද මේ ළමයි හැඩ ගැසුණෙ ? ඇත්තෙන් ම පන්තියෙ එක පාඩම් පොතක් කියවල විතරක් නෙවෙයි මේ අය ලොව පුරා මේ විදිහට වැජඹෙන්නෙ. ඒ කාලෙදී ඉගෙනීම ලැබූ මේ ලොකු මිනිස්සුන්ට තම ළමා වියේදී ඕනෑම විෂයයක් ගැන පොතපත තිබුණා.”

එච්.ඩී. සුගතපාල මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රථමික අංශයේ ගුරුවරයකු (පසුව ප්‍රධානාචාර්ය) ලෙස 1955 සේවය කරන කාලයේ නවමඟ පොත් පෙළක් සම්පාදනය කළේය.

“එන්න, රමණි සෙල්ලම් කරන්න.”

“එන්න සෙල්ලම් කරන්න යන්න.”

“මම සෙල්ලම් කරන්න යනවා.”

මේ නවමඟ පොත් පෙළෙහි පළමුවෙනි ප්‍රමාණයේ පොතෙහි 2 වැනි පිටුවේ එන වැකි කිහිපයකි.

1955 ජුලි 31 වැනි දා “සිළුමිණ” පුවත්පතේ “දුර්ලභ පුද්ගලයෝ” විශේෂාංගයෙන් “සුගතපාල” නමින් රටට හඳුන්වා දී ඇත්තේ එච්.ඩී. සුගතපාල ය. ඒ වන විට වාග් විද්‍යාඥ ආචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා හා නාට්‍යවේදී සුගතපාල සිල්වා ආදී විශිෂ්ටයන් ගැන පාඨකයෝ දැන නොසිටියහ. එච්. ඩී. සුගතපාල මහතා ගැන එදා “සිළුමිණ” ලියුම්කරු (නිමල්) මෙසේ ලියා තිබුණි.

“සුගතපාල දුර්ලභ පුද්ගලයන්ගේ සංඛ්‍යාවට ඇතුළු වන්නේ මෙරට ප්‍රථමික අධ්‍යාපනය නව මඟකට යොමු කළ හෙයිනි. බැහැර සිට බැලුවහොත් මේ පොත් පෙළෙහි එක් විශේෂයක් පෙනෙයි. ඒ එවා නිෂ්පාදනයේ දී දක්වා ඇති සැලකිල්ල ය. මේ ලිපිය දුර්ලභ පුද්ගලයන් පිළිබඳ ලිපි පෙළකට ඇතුළු වූ හෙයින් සුගතපාලගේ ඡායාරූපයක් මෙහි පළ කිරීමට අපි සිතුවෙමු. ඒ ඔහු සෞම්‍ය නිහතමානි මුහුණක් ඇත්තෙකැයි නොලියන්නට අප කළ උපායකි. එහෙත් අපගේ ඡායාරූප ශිල්පියා හිස් අතින් ආපසු එවීමට ඔහු සමත් වූයෙන් අපට වූයේ කොලට්; එවකට ලේක් හවුසියේ සේවය කළ ප්‍රකට කාටුන් ශිල්පියා හට කියා සිතුවමක් අඳවා ගැනීමට ය. කොලට් ට මිනිසකුගේ ඉරියව් පෙනෙනු‍යේ අපට පෙනෙන හැටියෙන් නෙවෙයි. කොලට් දුටු සුගතපාලගේ ඒ චිත්‍රය මේ සමඟ පළ වෙයි.

මේ ලිපිය ලියන ලියුම්කරු ද කුඩා කල පළමුවැනි ප්‍රම‍ාණයේ සිට පස්වන ප්‍රමාණය තෙක් භාවිතා කර ඇත්තේ නවමඟ පොත් පෙළ බවත්, සාහිත්‍ය පොත පත කියවීමට හා චිත්‍ර ඇඳීමට එයින් අනුප්‍රාණයක් ලැබූ බවත්, සුගතපාල මහතාට ගෞරවයක් වශයෙන් මෙහි සඳහන් කරමි. ටොම් සෝයර්, මැන්චෝසන්, ලාස් හා දිය රකුසා, ඩික් විටින්ටන්, ටාටර් මෞන්ටන් සහ චීන කුමරිය, ලී යුං, ගෝපාලන්, සලීම්ගේ බුරුවා, අබු කාසීම්, හසාන්, වෝබන් ආදීන්ගේ කතා මෙන්ම සුනිල් සාන්ත, හියුබත් දිසානායක ,රවීන්ද්‍රනාත් තාගෝර්, සරොජිනී නායිදු ආදීන්ගේ කවි ද ස්ටැන්ලි කිරින්දේ විසින් අඳින ලද චිත්‍ර ද මගේ සිත් ගත්තේ ය. පස්වෙනි ප්‍රමාණයේදී කජු කොල්ලය, පව්කාරයාට ගල් ගැසීම, මගේ කථාව, රෝහිණී, රොමාගේ වාසනාව, දුප්පතුන් නැති ලෝකය, බැද්දේගම, තුම්පනේ විත්ති, ගුත්තිලය, සුභාෂිතය, කුස ජාතකය, ජාතක පොත, බයිබලය කියවීමට මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ , වී.ඩී.ද ලැනරෝල්, ඊ. ආර්. එරත්න, ජී.බී. සේනානායක, ඒ.පී. ගුණරත්න, ආදී ලේඛකයන්ගේ පොත පත සොයා ගෙන කියවීමට කුතුහලය ඇති කළේ නව මඟ පොත් පෙළ ය. ඒ සැමට වඩා අදත් මගේ මනසේ රැඳී ඇත්තේ සිබිල් වෙත්තසිංහගේ විචිත්‍ර චිත්‍ර ය. ඒ චිත්‍ර දෙස බලා චිත්‍ර ඇඳීමෙන් මගේ චිත්‍ර ඇඳීම පෝෂණය විය. නවමඟ පොත් පෙළෙන් පේන්ටර්, ග්‍රේබ්රියල්, අබේසිංහ, මංජු ශ්‍රී, ජී. ඇස්. ප්‍රනාන්දු ආදී චිත්‍රශිල්පීහු ද එක්තැන් වූහ.

සුගතපාල මහතාගේ නවමඟ පොත් පෙළ (භාෂා පුහුණුව පිළිබඳ අභ්‍යාසයන් යුක්ත) සකස් කිරීමේදී මාර්ටින් වික්‍රමසිංහ, ජුලියස් ද ලැනරෝල්, රෙජී සිරිවර්ධන, චාර්ල්ස් අබේසේකර, එස්. බී. දිසානායක (පසුව මහාචාර්ය), සුමනා සපරමාදු, ගර්ට්රූට් සුගතපාල එස්. පී. අමරසිංහම්, ඒ.එච්.ඇස්. කේනමන් යන මහත්ම මහත්මීන්ගේ සහාය ලැබී තිබුහ. සුගතපාල මහතා පස්වැනි ප්‍රමාණයේ නවමඟ සංග්‍රහයට හැඳින්වීමක් කරමින් මෙසේ කියා තිබුණි.

“මේ පොතෙහි අපගේ පැරණි සාහිත්‍යයෙන් ඉතා ම වටිනා යැයි හැඟුණු ජාතක කථා අන්තර්ගත කොට තිබේ. ධර්ම දේශකයන්ගේ දේශනාවන්ගෙන් දූෂණයෙන් බේරා ගන්නා ලද ජාතක කතා සමහරක් මේ වයසේ ශිෂ්‍යන්ගේ පරිහරණයට ඉතා ම වටනේය. යනු අපේ අවබෝධය යි. එසේම මේ කථා සමඟ ම වර්තමාන කාලයෙහි කරන ලද ප්‍රගතශීලී රචො ද අන්තර්ගත කෙළෙමු. නවීන කතා අතුරෙන් ද අප තෝරා ගත්තේ ළමයින්ගේ හිත් ගන්නා භාෂාව හා සිදුවීම් ඇති කතා වස්තු යි. පැරණි දෙයටත් වර්තමාන දෙයටත් එකාකාරව තම විචාර බුද්ධිය යොමු කිරීමට ශිෂ්‍යයා පුහුණු කරවන ක්‍රියා පාටියකුත් අප විසින් මේ සමඟම ඉදිරිපත් කරන ලදී. පැරණි සියල්ල යහපත් ය යන මතය නමැති යදමින් හෝ පණ්ඩිතප්‍රිය - මතය නමැති යදමින් හෝ ළමා චින්තය බැඳීමට පෙර බාල වයසේදීම, විචාරාත්මක ව ක්‍රියා කිරීමට අප ඉදිරිපත් කළ ක්‍රමය නිසා ශිෂ්‍යයා පෙලඹෙයි. එවිට අපේ මතු දියුණුවට මුල වන පැරණි සාහිත්‍යයේ වැදගත් ම දෙය තෝරා බේරා ගෙන එය පදනමක් වශයෙන් පාවිච්චි කරමින් වර්තමාන යහපත් දෙය හා සමඟ සම්මිශ්‍රණය කරමින් උසස් නවීන සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ ශක්තිය ඔහු ලබනු ඇතැයි අපි සිතමු.

නව මඟ පොත් පෙළේ එන සුනිල් කුරුඳුවත්තේ දරුවෙක් නොවෙයි. ඔහු ගෙදරත්, ගාලත්, ඔයත්, කඩපළත් ඇසුරෙන් හැ‍දෙන දරුවෙකි. සුනිල් තමා අසා පුරුදු වචන 30 ක් හැඳින ගෙන පළමු වැනි පොතින් ඒ වචන 30 න්ම කතා කියවන්නට පටන් ගනී. ඒ මුහුදේ තල් මසුන් හා සොරුන් පිළිබඳ කතාවක් නොවෙයි. ඔහුගේ ගෙදර දොර කෙළි සෙල්ලම්, අසල් වැසියන්, යාළුවන් පිළිබඳ කතාවකි. දෙවෙනි පොතින් සුනිල් අතීත ගැනත් යහළුවන් ගැනත්, ඉගෙන ගන්නේ පෙර අප ඉතාම උසස් ජනකතා හා ළමා කතන්දර මඟිනි. තුන්වැනි පොත සුනිල්ට සිය රට වැසියන් හඳුන්වයි. ජාතීන් දෙකකට අයත් යහළුවන් සමඟ සුනිල් ඔවුනොවුන්ගේ ජාතික හා ආගමික උත්සව මඟින් සිය රටවැසියන්ගේ ගති පැවතුම් හැඳින ගනී. හතරවෙනි පොත සුනිල්ට ලෝකය හඳුන්වයි. විදේශ පිළිබඳ කතා මඟින් සුනිල් ලොව වැසි ළමා ළපටින් ගැන හැඳින ගනී. පස්වැනි පොතෙන් නූතන හා අතීත සිංහල සාහිත්‍යය උරුමය සුනිල්ට ලැබෙයි.

සිළුමිණ ලියුම්කරු ‍මේ කරුණු අනාවරණය කරමින් එක් අතකින් කියැවීමෙන් විපර්යාසයක් ද අනෙක් අතින් සිංහල දරුවකු නූතන ලෝකයට පිවිසිය යුතු අයුරු ද නිරායාසයෙන්ම උගන්වන මේ පොත් පෙළ මෙතෙක් වැදගත්වනුයේ සිංහලෙන් මේ දේ නොකළ හැකි යැයි කියන අයට එය එසේ නොවන බව කියා පෑමට පමණක් නොවන බව අවධාරණය කර ඇත.

1912 පෙබරවාරි 27 වැනි දා මහනුවර කටුගස්තොට උපත ලැබූ හෙට්ටිආරච්චිගේ සුගතපාල මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සීනියර් විභාගයෙන් සමත් වී පුහුණු ගුරුවරයකු ලෙස අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් ව පසුව ගුරු වෘත්තියට එක් වී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රථමික පාසලට ඔහු ගියේය. ඔහුගේ බිරිය ගර්ට්රූට් සුගතපාල මහනුවර කන්‍යාරාමයෙන් ගුරු වෘත්තියට එක් වූවාය.

සුගතපාල මහතා ළමා කතා සංස්කාරකයකු වශයෙන් “කුඩ හොරා” – “ඔටුවගෙ මොල්ලිය” – “පුංචි රාලගේ හීනය”නම් පොත් සඳහා දායක වී ඇත. අලියා සහ මැක්කා” – “ඉර තුරුව” (සිංහල / දෙමළ/ ඉංග්‍රීසි භාෂා තුනෙන්) යන පොත්වල සංස්කාරක හා පරිවර්තක ලෙස කටයුතු කොට “තනියම ඇවිදින බළලා”, “අලියගෙ හොඬවැල” සුනිල්ගෙ දින පොත” යන ළමා පොත්වල රචකයා විය. සර්වෝදය ජාතික සම්මානය, කලාභූෂණ සම්මාන දිනු හෙතෙම සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ ද, පළමු වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ද, තරුණයන් පිළිබඳ අධ්‍යාපන කොමිෂන් සභාවේ ද සභාපති ධූර උසුලා ඇත.

පුරා වසර 31ක් සුගතපාල මහතා සමඟ සමීප සම්බන්ධතා ඇති ග්‍රන්ථ ප්‍රකාශනයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති පියසේන වික්‍රමගේ විසින් සුගතපාල මහතාගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් ලියූ එච්.ඩී. සුගතපාල ලංකාවේ ළමා සහ යෞවන සාහිත්‍යය - පුස්තිකාවක් පළ කොට ඇත. සුගතපාල මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධානාචාර්ය සමයේ ඔහුගෙන් උගත් සිසුන් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායකවරයකු වු අනුර බණ්ඩාරනායක, අග්‍රාමාත්‍ය අතිරේඛ ලේකම් සමන් අතාවුදහෙට්ටි, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක අතාවුදහෙට්ටි, ලේඛක භද්‍රජි මහින්ද ජයතිලක, දහස් ගණනක සිසුන් අතර කැපී පෙනෙන චරිත ය.

රාජකීය විද්‍යාලයේ ප්‍රථමික පාසලේ ප්‍රධානාචාර්ය පදවිය ධූරය දැරූ සුගතපාල මහතාගේ සේවා කාලය ඒ මහතාගේ ස්වර්ණමය යුගය විය. ඒ කාලය ළමා නාට්‍ය, ළමා සමුහික ක්‍රියාකාරිත්වය වෙනුවෙන් විශාල වෙනසක් කිරීමට ඔහුට හැකි විය. රාජකීය දරුවන් නාට්‍ය රසයෙන් කලා රසයෙන් පෝෂණය කිරීමට සුගතපාල මහතාට සහාය වූ පාසලේ ගුරුවරයකු ගැන නොකියාම බැරි ය. ඒ. එච්. පියසේන මහතාය ඒ.

සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට සුගතපාල මහතා කළ සේවය සුළු පටු නොවේ. කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල බිහි කිරීමේ පුරෝගාමි වූයේ එතුමා ය. තිස්ස රණසිංහ නම් ප්‍රතිභාපූර්ණ මුර්ති ශිල්පියා ලවා නව රඟහළේ බිත්ති කැටයමක සිංහල නාට්‍යයේ විකාශනය නිරූපණය කළේ ඔහුගේ මාර්ගෝපදේශකත්වයෙනි. 1972 ජනරජ ආණ්ඩුකක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අදාළ සියලු ම පාර්ශ්වයන්ට රැස්විය හැකි සුවිශේස ශාලාවක් ලෙස එදා ඓතිහාසික වශයෙන් යොදා ගත්තේ සුගතපාල මහතා නිසාම බිහි වූ නවරඟහල නිසා ය.

ප්‍රේම රංජිත් තිලකරන්න යනු හැට දශකයේ සිටි විශිෂ්ට නාට්‍ය රචකයෙකි; නිෂ්පාදකයෙකි. ඔහු නිෂ්පාදනය කළ “වගුරුබිම” – “වහලක් නැති ගෙයක්” “අම්මයි අප්පයි” යන වේදිකා නාට්‍ය සම්මානයට පාත්‍ර විය. 1963 වසරේ අංකුර නාට්‍යකරුවකු ලෙස කළ එළි බසින්නට සැරසෙද්දී පෙරහුරු කිරීමට ස්ථානයක් නොතිබුණි. ඒ වන විටත් රාජකීය ප්‍රාථමික පාඨශාලාවේ පන්ති කාමර තුළ නාට්‍ය පෙරහුරුවලට අවසර දෙන බව ප්‍රේම රංජිත් හා ඔහු මිත්‍රයන් දෙදෙනකු වූ පැට්රික් සමරදිවාකර හා ලොකු බණ්ඩාර විජේසිංහ සෙනෙවිරත්නත් අපි අසා සිටිමු.

“අපි එනම් මම, සෙනෙවිරත්න සහ සමරදිවාකර උදේ වරුවක රාජකීය ප්‍රාථමික පාඨශාලාවේ විදුහල්පති එච්.ඩී.සුගතපාල මැතිතුමා හමුවීමට ගියෙමු. ගුරුවරයකු සමඟ කතාබහක යෙදී හුන් එතුමා ඒ කතාව නවතා අප දෙස දෑස් යොමු කළේ, මෙවැනි වචන පෙළක් ඉක්මනින් කියා ගෙන යන අතරතුර ය.

“Karu….” You kindly go back to the class I will come there and settle the problem…. Now I will have to deal with these three musketeers”

ගුරුවරයා පිටවී ගිය අතර “ ත්‍රී මස්කටියර්ස්” යන වචනය ඇසී අප තිදෙනාටම සිනා ගියේය.

“no sir, we are not musketeers. We are a theater group” සමරදිවාකර සිනා මුසුව කතාව ඇරඹුවේය.

“oh …good…good…so many theater groups…. But not enough theatergoers…”එච්.ඩී. සුගතපාල මැතිතුමා ළදරුවකු සේ අහිංසක සිනාවක් පෑයෙය්. “so that is the problem. Tell me what is the name of your theater group?”

“sir, we call ourselves the sixty three group”මම ආයසයෙන් උත්තර දුනිමි.

“my dear young men! Are you telling me that you have sixty three members? Even Lionel wendt did not have forty three members around him”

“sir,we have organized this group this year…nineteen sixty three! that is way we call is sixty three group” සෙනෙවිරත්න කරුණු පැහැදිලි කළේය.

“ළමයිනේ,......... බොහොම හොඳ වැඩක්.....මට තේරෙනවා.... ඔය ගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ ඔය තියටර් එක පුරුදු කරන්න ශාලාවක් නෙ... ගන්න ඕනෑම පන්ති කාමරයක්....හැබැයි තේ හදන්නයි.... කාමරෙ අතුපතු ගාන්නයි අර කරෝලිස් පියුන්ට සුළු මුදලක් දෙන්න! මම ඔයගොල්ලන්ගෙ නාට්‍ය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.” සුගතපාල මැතිතුමා සිංහලට බැස්සේ සිය නිහතමානි සුහදතාව ඉස්මතු කරමිනි.

“තෑන්ක් යූ වෙරි මච් සර්” අප එකවර එතුමාට ස්තුති කරමින් කාර්යාලීය කාමරයෙන් පිට වුණේ ඉමහත් සතුටකිනි. එතුමාගේ ආශිර්වාදය කොළඹ පුරවරය අවටින් මතු වුණු බොහෝ නාට්‍යකරුවන්ට නොමඳව ලැබිණි. කලක් නාට්‍ය අනු මණ්ඩලයේ සභාපතිව වැජඹුණු එච්.ඩී.සුගතපාල මැතිතුමාගේ අනුග්‍රහය නොලැබුණි නම් සිංහල නාට්‍ය කලාවට මෙවන් වර්ධනයක් ලැබෙන්නේ නැත. දැනට නාට්‍ය සඳහා යොදාගනු නොලැබුවද, රාජකීය ප්‍රථමික විද්‍යාල භූමියේ ඉදි කෙරුණ නූතන රංග ශාලා‍ව එච්.ඩී.සුගතපාල මැතිතුමාගේ කැපවීම පිළිබඳ අනුපම නිදර්ශනයකි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් විශ්‍රාම ගිය සුගතපාල මහතා 1970 වසරේ සීමාසහිත හංස ප්‍රකාශකයෝ නම් ග්‍රන්ථ ප්‍රකාශන නිවස අරඹන විට එහි පළමුවන සේවකයා වුයේ පියසේන වික්‍රමගේ ය. ඇම්.ජේ.පෙරේරා, රෙජී සිරිවර්ධන, ආචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, ආචාර්ය විමල් දිසානායක, ලලිත් ඇතුළත් මුදලි වැනි විද්වත් මණ්ඩලයක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් වී ඇත. මහ ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ හා මහාචාර්ය සෙනරත් පරණවිතාන විද්වත් දෙපළ ද අධ්‍යක්ෂවරු වූහ. මේ හැර පොත් වෙළඳ වෘත්තියේ ප්‍රවීණයකු වූ කේ.වී.ජී.ද සිල්වා සහ මහා බ්‍රිතාන්‍යයේ වික්ටර් ගොලෑන්ස් නම් ප්‍රමුඛ ප්‍රකාශන සමාගමක සමාගම් ලේකම්වරයා ලෙස කටයුතු කළ මර්ටින් හේරත් මහතා ද ශ්‍රී ලංකාවට පැමිණ හංස ප්‍රකාශන නිවසේ කළමනාකාර අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ බව පියසේන වික්‍රමගේ පවසයි. චැකොෆ් සහ ලංකාව (මාර්ටින් වික්‍රමසිංහ) සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා ( සයිමන් නවගත්තේගම) අඳුරට එළියක් (කරුණා පෙරේරා) අස්වැන්න (ජයසේන ජයකොඩි) sirimavo Bandaranaike - (Maureen seneviratne) මහල්ලා සහ මුහුද ( සිරිල් සී. පෙරේරා) වාලම්පූරි (ඒ.පී. ගුණරත්න) දෙනුවර අන්දරය ( ටී.බී. ඉලංගරත්න) විවාහය හා සදාචාරය (දයාරත්න ගරුසිංහ) ‘රැව් පිළි රැව්’ – ‘පැරණි චීන කවි’ ‘ගිරිකුළ සහ සඳමඩල” (විමල් දිසානායක) හංස ප්‍රකාශන ලෙස නිකුත් වූ ග්‍රන්ථ අතර සුවිශේෂී ය.

2000 වසරේ ජුනි 02 වැනි දා ජීවිතයෙන් සමුගත් අධ්‍යාපනඥ, ළමා කතා සංස්කාරක, සාහිත්‍ය - කලා රසික විචාරක එච්.ඩී.සුගතපාල මහතා සිබිල් වෙත්තසිංහ නම් ප්‍රවීණ ළමා චිත්‍ර ශිල්පිනිය හා ගත් කතුවරිය වයස අවුරුදු 16 දී නවමග පස්වැනි ප්‍රමාණයේ පොතින් චිත්‍ර ශිල්පිනියක ලෙස හඳුන්වා දුන්නේය. සුගතපාල මහතා ලංකා‍වේ ළමා හා යෞවන සාහිත්‍යය ගැන ලියූ ලිපිවලින් හා වාර්තා සහ යෞවන සාහිත්‍යය පිළියෙළ කිරීම, නිෂ්පාදනය සහ බෙදාහැරීම, පොත් පිළියෙළ කිරීම, පොත් නිෂ්පාදනය, පොත් බෙදාහැරීම, අධ්‍යාපනයෙහි ළමා සාහිත්‍ය ගන්නා තැන, ළමා සාහිත්‍ය බිහි කරන සංස්ථා ආදී ගැන පුළුල් අවබෝධයක් ලබා දෙයි.

පොතක වටිනාකම පොත් පරිහරණය ගැන සුගතපාල මහතා දක්වා ඇති මේ අගනා අදහස් වලින් මේ ලිපිය අවසන් කරමි.

“ශිෂ්‍යයකු කවර අන්දමේ රක්ෂාවක් තෝරා ගත්තත්, යම් දිනක පොත්පත් සහ පුස්තකාල අවශ්‍ය නොවන රක්ෂාවක් නම් නොමැත, එබැවින් පාසල් ශිෂ්‍යයන් ඉතා කුඩා කල සිට ම පොත්වල වටිනාකමක්, ඒවා පාවිච්චි කරන අයුරුත් ඉගෙන ගත යුතුය. ප්‍රාථමික පාසලට ඇතුළත් වී පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනයට ආයුබෝවන් කියන තෙක්ම, පාසල් පුස්තකාලය සහ පුස්තක පාලකයා තමන්ගේ පාසල් දිවියෙහි වැදගත් කරුණු දෙකක් හැටියට සැලකිය යුතු වේ.

අදහස්