සම්භාව්‍ය ප්‍රේක්ෂ­ක­යන්ගේ සා-පිපා­සා­ව සංසිඳුවන කලිගියුලා | සිළුමිණ

සම්භාව්‍ය ප්‍රේක්ෂ­ක­යන්ගේ සා-පිපා­සා­ව සංසිඳුවන කලිගියුලා

උසස් ‍රසවින්දනයක් අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන්ගේ ගණන ප්‍රමාණාත්මක වශයෙන් අඩු වුවත් එ් සීමිත පිරිස වෙනුවෙන් හෝ මෙවැනි දැවැන්ත ආයෝජනයක් සිදු කර තිබීම වේදිකා නාට්‍යයෙහි ගුණාත්මක බව අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන් හට කරන ලද ගෞරවයකි. එහෙත් මෙවැනි නිෂ්පාදන මුහුණ දෙන බරපතළම ගැටලුව වනුයේ මේ නිෂ්පාදන පවත්වා ගෙන යෑමේ අවදානමයි‍. උසස් නිර්මාණ සඳහා වර්තමානයේ අනුග්‍රාහකයන් නැත‍. එතැනදී අසරණ වනුයේ තම අත ඇති පෞද්ගලික ධනය ආයෝජනය කරමින් අව‍ංකවම නිර්මාණකරණයෙහි නියැළෙන නිර්මාණකරුවාය. එහෙයින් ගුණාත්මක නිර්මාණයක් පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ය.

ලාංකික වේදිකාව ප්‍රස්තුතය අතින් මෙන් ම තාක්ෂණික වශයෙන් ද පිරිපුන් අවදියක් පසුකරමින් සිටිය ද ඒ පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුවන්නේ නැත. සැබවින් ම ලාංකේය වේදිකාව අනෙකුත් සෑම සාහිත්‍ය ප්‍රවර්ගයක් අතර ම ඉදිරියෙන් ම සිටින කලා මාධ්‍යයකි. ඒ තුළ තරුණ නාට්‍යකරුවන්ගේ කැපවීම මෙන් ම ‍ඔවුනගේ නිර්මාණාත්මක අභ්‍යාසය පැසසුම් කටයුතු ය. එසේ වුව ද රසිකයන්ගේ වින්දන මට්ටම මොට කරමින් නාට්‍ය නාමයෙන් ප්‍රදර්ශනය කරනු ලබන බහුරූ කෝලම් වේදිකාවේ ඇති ශක්‍යතාව විනාශ කරයි. වර්තමාන පරම්පරාව වේදිකා නාට්‍ය කියා හඳුනාගෙන ඇත්තේ මේ සන්දර්ශන ය. එවැනි සන්දර්ශන සඳහා අපගේ ප්‍රවීණ නාට්‍ය ශිල්පීන්ගේ දායකත්වය ලැබී තිබීම ද කනගාටුවට කරුණකි. එසේ වුව ද වේදිකා නාට්‍යයෙහි ගුණාත්මක බව වෙනුවෙන් පෙනී සිටින නාට්‍යකරුවෝ තම උත්සාහය අත් නොහරති. නොයෙකුත් බාධක හමුවේ වුව ද ඔවුන් තම නිර්මාණය වෙනුවෙන් අවංක වෙති. වේදිකා නාට්‍ය කරුවා තරම් අන් කිසිදු නිර්මාණ ශිල්පියෙක් සකලවිධ වද බන්ධනයන්ට මුහුණ දෙන්නේ නැතිවුව ද ඔවුහු තම වගකීම අත් නොහරිති. ජගත් බණ්ඩාරගේ ‘කලිගියුලා’ නාට්‍යය මෙයට මනා නිදසුනකි.

‘කලිගියුලා’ නාට්‍යය සිංහල වේදිකාවට එතරම් ආගන්තුක නාටකයක් නොවේ. 70 දශකයේ දී එස්. කරුණාරත්න විසින් ද ඉන් පසු යුගයකදී රොජර් සෙනෙවිරත්න විසින් ‘පස්වැන්නා’ ලෙස ද නිෂ්පාදනය කරනු ලැබුවේ එ් නාට්‍යයි. එහෙත් එ් නිෂ්පාදන දෙකම තුළ දැකිය නොහැකි වූ විශේෂ ලක්ෂණ ජගත් බණ්ඩාරගේ මේ නිෂ්පාදනය තුළ දැකගත හැකි ය. එය ඇල්බෙයා කැමුගේ සම්පූර්ණ පිටපත ඇසු‍රින් නිෂ්පාදනය වන්නකි.

මීට පෙර අපට අත් විඳීමට හැකිවූයේ කැමූගේ පිටපතින් ලාංකික වේදිකාවට අවශ්‍ය ලෙස සංස්කරණය කරන ලද නිෂ්පාදනයකි. එය මේ නාටකයට පමණක් සීමා වූ කරුණක් ද නොවේ. අතීතයේ පටන් වර්තමානය දක්වා අප නරඹන සෑම පරිවර්තන නාට්‍යයක් පාහේම සංස්කරණය කරන ලද නාට්‍ය වේ. එහෙයින් ප්‍රේක්ෂකයා හට මුල් පිටපත සම්පූර්ණයෙන් රස විඳීමේ හැකියාව තිබුණේ නැත. එහෙත් ඩබ්. නන්දිසේන ගේ ‘කලිගියුලා’ සම්පූර්ණ නාට්‍ය පිටපතම ජගත් බණ්ඩාර තම නිෂ්පාදනය සඳහා යොදා ගනී. ජගත් බණ්ඩාරට අනුව සම්භාව්‍ය නාටකයක් එසේ කපා කොටා සංස්කරණය කිරීම එම මුල් පිටපතට කරනු ලබන අසාධාරණයකි. එහි සත්‍යයක් ඇත. සම්භාව්‍ය නාට්‍ය පිටපතක් එසේ සංස්කරණය වීම තුළ මුල් කෘතියේ ඡායාවක් විනා එහි සමුද්‍රාර්ථය අපට ප්‍රත්‍යක්ෂ කළ නොහැකි වනු ඇත.

ප්‍රේක්ෂකයා ගේ කාල වේලාවට අනුව සම්භාව්‍ය නාට්‍යයක් සංස්කරණය කිරීම එතරම් ප්‍රඥාගෝචර ‍කාරණයක් නොවේ. එහෙයින් ‘කලිගියුලා’ නව නිෂ්පාදනය පැය තුනකට ආසන්න කාලයක් වේදිකාගත වේ. එසේ වුව ද අප දුටු නිෂ්පාදනය කිසිවිට ප්‍රේක්ෂකයා හට විඩාවක් ගෙන නොදුන්නේ ය.‍ මන්ද එහි නිෂ්පාදනය ‍ඉතා ඉහළ ප්‍රමිතියක තිබූ බැවිනි. උසස් නිෂ්පාදනයත් නැරඹීමේ පිපාසාවෙන් පෙළෙන ප්‍රේක්ෂකයන් හට කාලය යන්න එතරම් ගැටලුවක් නොවේ. එහෙත් එහි අඛණ්ඩතාව රඳා පවතිනුයේ සෑම දර්ශනයක් ම පාහේ උසස් නිමාවකින් පිරිපුන් ව තිබුණහොත් පමණි. ලංකාවේ වේදිකා නාට්‍යය සම්බන්ධයෙන් මෙම අඛණ්ඩතාව රඳවා ගැනීම ඉතා බරපතළ කාරණයක් ව පවතී. සමහර අවස්ථාවන්හි අප 6.30 දර්ශනය ලෙස නැරඹුයේ 3.30 දර්ශනය නොවේ. කොළඹින් පිට දී දකිනුයේ කොළඹ රඟ දැක්වූ නාට්‍යය ම නොවේ. ලුම්බිණිහිදී දකිනුයේ ලයනල් වෙන්ඩ්ට් හි රඟ දක්වනු ලැබූ නාට්‍යය ම නොවේ. මෙවැනි ගැටලු සඳහා යම් යම් ප්‍රායෝගික තත්ත්වයන් ද තාක්ෂණික ගැටලු ද මුල් වුවත් මූලික වශයෙන් නාට්‍යයේ රංගනය ඉතා ශක්තිමත් පදනමක ගලා යා යුතු ය. නොඑසේ නම් ප්‍රේක්ෂකයා විඩාවට පත්වීම නොවැළැක්විය හැකි ය. එහෙයින් ‘කලිගියුලා’ නාට්‍ය කණ්ඩායම මේ කරුණ පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ය.

‘කලිගියුලා’ වූ කලි ඇල්බෙයා කැමූ විසින් 1938 වැනි ඈත කාලයක ලියැවී 1944 දී ප්‍රකාශයට පත් කරන ලද නාට්‍ය පිටපතකි. පළමුව අංක 3 ක් ලෙස නිර්මාණය කරන ලද එම පිටපත පසුකාලයකදී අංක 4 ක් දක්වා විහිදුවීමට කැමූ තීරණය කළේ ය. අද අපි දකින්නේ අංක 4 කින් යුත් එම නාට්‍යයයි. උක්ත නාටකය වූ කලි ඉතා සංකීර්ණ පසුබිමක බිහිවන්නකි. කලිගියුලා ගේ ජීවිතය උත්පත්තියෙහි පටන් ම අවසානය දක්වාම ඉතා සංකීර්ණ වපසරියක බිහිවෙන අතර ඒ අතරතුර නිර්මාණය වන සිද්ධි සමුදායන් ද අතිශය සංකීර්ණ පසුබිමක බිහි වේ. මානසික අසමබරතාවකින් යුතු අධිරාජ්‍යයකුගේ රාජ්‍ය පාලනය කොතරම් බිහිසුණු ද යන්න මූලිකවම එම චරිතයෙන් ඉස්මතු වේ. එමෙන් ම මානව නිදහස තුට්ටුවකට මායිම් නොකරන පාලකයෙකුගේ සැහැසි ස්වරූපය මෙන් ම එහි විකට ස්වරූපය ද එම චරිතය හරහා ගොඩ නැගේ. තමාගේ මතයට අවනත නොවන කිසිදු වැසියකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට ඔහු පසුබට නොවේ. එහෙත් ඒ හැම සිද්ධිදාමයක් අතරෙහිම ‍ඔහු හඳ ඉල්ලා හඬා ව‍ැටේ. නොලැබෙන දෙයක් වෙනුවෙන් හඬා වැටීම වූ කලි ඔහුට නොලැබුණු ආදරය වෙනුවෙන් සිය ආත්මය සෝදා පිරිසිදු කර ගැනීමට ගන්නා උත්සාහයකි.

කලිගියුලා හට ඔහු සොයන හා ඔහුට නොලැබුණු සැබෑ ආදරය මුණගැසුණේ නම් ඔහුගේ චර්යාව මෙයට වඩා හාත්පසින් ම වෙනස් වීමට ඉඩ තිබුණි. ක්‍රෑර ඒකාධිපති පාලකයන්ගේ අතීතය විමසා බලන කල්හි ඒ හැමටම පොදු වූ සාධකය එයයි. පරපීඩකත්වය, ක්‍රෑරත්වය, මානව නිදහස දරුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු සකලවිධ මිනිස් හිංසනයන් කලිගියුලා තුළ එක් රොක් වේ‍. අවසානයෙහි ඔහු වටා සිටින තම සමීපතමයන් පවා ඝාතනයට ලක් කරන ඔහු තම සහකාරියගේ පවා දිවි තොර කරයි. ව්‍යවස්ථාදායක පාලනයට පයින් ගසන ඔහු හිතවත්කම්, ආදරය, හොඳ නරක සපුරා ප්‍රතික්ෂේප කරයි. දෛවය අභියෝගයට ලක් කළ ද ඔහු මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කරයි. අවසානයෙහි සිය සගයන් අතින් ම ඔහු ඝාතනයට ලක් වේ. එහෙත් ඔහුගේ ආත්මය තවමත් අප පසු පස ලුහු බඳී. තවමත් අප කලිගියුලා ගේ ගොදුරු බවට පත් වේ. නාටකයේ කූටප්‍රාප්තිය වන්නේ එයයි. එහෙයින් ‘කලිගියුලා’ නාට්‍යය අපරාජිත යයි සිතාගනු ලබන අසීමිත බල තණ්හාවේ සැබෑ ප්‍රකාශනයකි.

බලය පිළිබඳ සාකච්ඡාවේදී කැමූ විවිධ දෘෂ්ටිකෝණ කිහිපයකින් විග්‍රහ කරනු ලබයි. දාර්ශනික ප්‍රවේශය එහි එක් අංගයක් පමණි. කැමූගේ සාකච්ඡාව දාර්ශනික ප්‍රවේශය මුල් කොටගත් එහි විවිධ ශානර වෙත ගලා යයි. එහෙයින් ‘කලිගියුලා’ නාට්‍ය පිටපත පිරිපුන් නාට්‍ය පිටපතක් බවට පත්වේ‍. එම නාට්‍ය පිටපත නිර්මාණාත්මක ප්‍රකාශනයක් ලෙස වේදිකාව වෙත රැගෙන ඒම සඳහා ජගත් බණ්ඩාර ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය ය. මෙවැනි අතිශය සංකීර්ණ නාටකයක් වේදිකාව මත නිර්මාණය කිරීම කිසිවිට පහසු කාර්යයක් නොවේ. එය සැබවින් ම දැවැන්ත පසුබිමක බිහිවන්නකි. නාට්‍ය ප්‍රස්තුතයෙහි ඇති ගැඹුරට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් බිහි නොවුණහොත් එහිදී එහි සමුදාර්ථයෙහි ඇති අතිශය සියුම් ලක්ෂණ එයින් ගිලිහී යයි. මේ කරුණ නාට්‍ය නිෂ්පාදකවරයා අවබෝධ කොටගෙන තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. එහෙයින් එයට අවශ්‍ය සැබෑ නිර්මාණාත්මක පරිසරයක් ඔහු බිහි කරයි.

‘කලිගියුලා’ වූ කලි මෑත භාගයෙහි දී අප දුටු දැවැන්තම නිෂ්පාදනයකි‍. එහෙ‍යින් එම නිර්මාණය නරඹන විට වේදිකාවෙහි ඇති ශක්‍යතාව කොතෙක් ද යන්න අපට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වේ. උසස් ‍රසවින්දනයක් අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන්ගේ ගණන ප්‍රමාණාත්මක වශයෙන් අඩු වුවත් එම සීමිත පිරිස වෙනුවෙන් හෝ මෙවැනි දැවැන්ත ආයෝජනයක් සිදු කර තිබීම වේදිකා නාට්‍යයෙහි ගුණාත්මක බව අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන් හට කරන ලද ගෞරවයකි. එහෙත් මෙවැනි නිෂ්පාදන මුහුණ දෙන බරපතළම ගැටලුව වනුයේ එම නිෂ්පාදන පවත්වා ගෙන යෑමේ අවදානමයි‍. උසස් නිර්මාණ සඳහා වර්තමානයේ අනුග්‍රාහකයන් නොමැත‍. අවර ගණයේ සංගීත ප්‍රසංග, උසුළු විසුළු, විසූක දස්සන සඳහා එය එතරම් ගැටලුවක් නොවේ. එතැනදී අසරණ වනුයේ තම අත ඇති පෞද්ගලික ධනය ආයෝජනය කරමින් අව‍ංකවම නිර්මාණකරණයෙහි නියැළෙන නිර්මාණකරුවාය. එහෙයින් ගුණාත්මක නිර්මාණයක් පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ය.

‘කලිගියුලා’ වැනි සංක‍ීර්ණ තලයක නිර්මාණය වන වේදිකා නාට්‍යයක් සඳහා අත්‍යවශ්‍යම සාධකය වනුයේ ඒ සඳහා ශිල්පීන් තෝරා ගැනීමේදී මතුවන ගැටලුවයි‍. එවැනි නිෂ්පාදනයකට හුදු රංග අභ්‍යාස පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා එයට සම්බන්ධවන ශිල්පීන් හට කැපවීමක් මෙන් ම ශාස්ත්‍ර සම්ප්‍රදානයක් ද තිබිය යුතු ය. නො එසේ නම් එම චරිත හරහා මතුවන ගති ලක්ෂණයන් ඔවුනගේ රංගනයෙන් ගිලිහී යයි. එසේ වුවහොත් එම නිෂ්පාදනය මුළුමනින් ම කඩා වැටේ. එම තත්ත්වය ජය ගැනීම ලාංකික සංදර්භය තුළ එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ‘කලිගියුලා’ නාට්‍යය සඳහා තෝරාගෙන ඇති රංග ශිල්පීන් හා අනිකුත් කාර්මික ශිල්පීන් ඇතුළු අවශේෂ කණ්ඩායම් නාටකයේ සාර්ථකත්වය වෙනුවෙන් එකසේ කැපවී සිටීම අගය කළ යුතු කරුණකි.

‘කලිගියුලා’ චරිතය නිරූපණය කරනු ලබන ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමිගේ චරිත නිරූපණය සැබැවින් ම කලිගියුලා නාටකයට ලබාදී ඇති ශක්තිය ඉතා විශාලය. නාට්‍යයේ ආරම්භයේ පටන් ම එය නිම වන තුරු පැය තුනකට ආසන්න කාලයක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන විස්මය මුසු රංගනය මෑතදී අප අත්විඳි ප්‍රබල රංගනයකි.

වේදිකාව තුළ නිරූපණය කිරීමට ඉතා අසීරු රංගනයක් වන කලිගියුලා චරිතය එහි ඇති බාහිර හා අභ්‍යන්තරික හැඟීම් සමුදායන් ඉතා තීව්‍ර ලෙස අවශෝෂණය කරගනිමින් රංගනයෙහි යෙදෙන ඔහුගේ ප්‍රබල රංගනය මෙම ලියුම් කරු වේදිකාවක් මත මෙතෙක් රඟදැක්වූ අසීරු රංගනයක් මෙන් ම අතිවිශිෂ්ට ජවයකින් යුතු රංගනයක් බවට හඳුනා ගනියි. එයට සමගාමීව සිසිනියා ගේ චරිතය නිරූපණය කරනු ලබන ගංගා ජීවනී වැලිවත්තගේ රංගනය ද ඉතා ප්‍රබලය. ඇයගේ චරිත නිරූපණය යම් හෙයකින් ප්‍රබල ලෙස මතු නොවුණා නම් කලිගියුලා චරිතය එතරම් ප්‍රබල ලෙස ගොඩනැඟීමට තිබෙන අවකාශය ගිලිහී යනු ඇත. එහෙයින් ඇය එම චරිතයට දෙනු ලබන රංගනමය අර්ථකථනය ඉතා වැදගත් තලයක නිර්මාණය වේ. එම චරිත නිරූපණය ද මෑත කාලයේදී වේදිකාව ඇසුරෙහි බිහිවූ ප්‍රබල රංගනයක් ලෙස හඳුනාගත හැක. කසුන් ලියනගේ නාට්‍යයට ලබාදෙන ජීවය ද අගය කළ යුතු ය. ඒ හැරුණු විට සමූහ රංගන කාර්යයෙහි මෙන් ම තමාට හිමිව ඇති එකිනෙක චරිත නිරූපණයක් නාටකයේ මූලික කේන්ද්‍රය වෙත යොමු කිරීමට උදේනි අල්විස්, අජිත් සිරිවර්ධන, මයුර කාංචන, අමිල ගල්අංග ඇතුළු අනෙකුත් සියලුම රංගන ශිල්පීන් ලබාදෙන නාට්‍යමය ජීව ගුණය කලිගියුලා පිරිපුන් නාටකයක් බවට පත් කරයි.

මෙවැනි දැවැන්ත නිෂ්පාදනයක වේදිකා පරිපාලනය වූ කලි අතිශය වැදගත් කාර්යයකි. ෂර්ලි සමරසිංහ ඇතුළු එම කණ්ඩායම වේදිකා පරිපාලනය කරමින් ලබාදෙන ශක්තිය ඉතා විශාල ය. මන්ද මෙවැනි නිෂ්පාදනයක වේදිකාව නිසි පරිදි කළමනාකරණය නොවුණහොත් එය රංගයට ඍජු ලෙස ම බාධාවක් වන බැවිනි. එමෙන් ම චමිල ගමගේ විසින් නිර්මාණය කොට ඇති දැවැන්ත පසුතල නිර්මාණය නාටකයේ මුඛ්‍ය අර්ථය තීව්‍ර කිරීමට සමත් වන අතර එවැනි පසුතල නිර්මාණයන් වර්තමානයේ වේදිකාව තුළ අප අත්දකින්නේ නොමැති තරම් ය. පසන් මල්ෂාන්ගේ අංග රචනය උක්ත නිර්මාණයට ලබා දී ඇත්තේ ප්‍රබල සහයකි. ඒ හැම අතර චමිලා මංගලගම විසින් ‘කලිගියුලා’ නිෂ්පාදනය සඳහා නිර්මාණය කොට ඇති ඇඳුම් ආයිත්තම් නිර්මාණය සැබැවින් ම සාර්ථකය. ඇය ඒ සඳහා භාවිතා කොට ඇති වර්ණ සංකලනය මෙන් ම වෙස් නිර්මාණයෙහි ඇති නිර්මාණාත්මක බව නාට්‍යයේ සාර්ථකත්වයට ප්‍රබල ලෙස දායක වී ඇත. ඇයගේ ආගමනයත් සමඟ වේදිකාවට තවත් නිර්මාණශීලී වෙස් නිර්මාණ ශිල්පිනියකගේ දායකත්වය ලැබෙනු ඇත.

නාට්‍ය නිෂ්පාදනය කෙතරම් ප්‍රබල වුවත් ඒ සඳහා අවශ්‍ය සුදුසු නිර්මාණාත්මක ආලෝකකරණය එයට නොලැබෙන්නේ නම් එම නිෂ්පාදනය ප්‍රබල නිර්මාණයක් බවට පත්වන්නේ නැත. කලිගියුලා නාට්‍යයෙහි ප්‍රබලත්වය රඳා පවතින මූලික සාධකයක් වනුයේ සංජීව උපේන්ද්‍රගේ ප්‍රශස්ත ආලෝකකකරණ‍යයි. එය ඉතා විශිෂ්ටය. වේදිකාව සම්බන්ධව ඇති ඔහුගේ නිර්මාණාත්මක පරිචය කලිගියුලා නිෂ්පාදනය තුළ සිය ආලෝකකරණය හරහා මනා ලෙස ප්‍රත්‍යක්ෂ වේ.‍

ගයත්‍රි කේමදාසගේ පසුබිම් සංගීතය ද එවැනි ම නිර්මාණාත්මක තලයක බිහිවේ. එකම සංගීත ඛණ්ඩය නාට්‍යය පුරාම විවිධාකාරයෙන් යොදා ගැනීම තුළ කලිගියුලා නාට්‍යයෙහි සමුදාර්ථය එක් මූලික කේන්ද්‍රයකට ගොනුකර ගැනීමට ඇය සමත් වේ. මේ හැම අතරෙහිම සැඟවී ඇත්තේ ජී.ඩබ්. නන්දිසේනගේ සාර්ථක පරිවර්තනයයි. එම පරිවර්තනය සැබෑ නාට්‍යමය අත්දැකීමක් බවට පත් කර ගැනීමට ආචාර්ය ජගත් බණ්ඩාර දක්වා ඇති නිර්මාණාත්මක පරිචය සැබවින් ම ප්‍රශංසනීයය. අවසාන වශයෙන් පැවසිය යුත්තේ ‘කලිගියුලා’ යනු සැබෑ සම්භාව්‍ය නාට්‍ය රස විඳීමට පුල පුලා බලා සිටින ප්‍රේක්ෂකයන්ගේ සා පිපාසාවට පානය කළ හැකි දිය බිඳක් නොව දිය දහරක් බවයි. 

අදහස්