මම ඉන්නේ මැද ; මට අන්ත­වාදී වෙන්න බෑ | සිළුමිණ

මම ඉන්නේ මැද ; මට අන්ත­වාදී වෙන්න බෑ

බසක පරිණාමය කෙරෙහි ද්වේශ සිතින් නොව මැදහත්ව බලන, එනිසාම බසේ ප්‍රගමනය කෙරෙහි බලපාන බොහෝ දෑ සකරුණු ව, විවෘත ව දුහුනන්ට මෙන්ම වියත් සභා ගර්භයෙහි ද නොපැකිළ ව ඉදිරිපත් කරන මහාචාර්ය ජේ.බී. දිසානායකයන් නිවැරදි ව සිංහලය සකස් විය යුත්තේ කෙසේද යන්න ගැන පර්යේෂණ ග්‍රන්ථයක් පසුගියදා නිකුත් කළේ ය. විවිධ විවිධ මත එක ම මණ්ඩපයෙක පවා වාද විවාද වන සමයෙක නිවැරදි සිංහලය කුමක්දැයි බොහෝ දෙනෙකුට මතවාදයක් පැනිය හැකිය. මේ පර්යේෂණාත්මක ග්‍රන්ථය ඊට කදිම පිළිතුරෙකි.

සිංහල භාෂාව හා වාග්විද්‍යාව පිළිබඳ පතළ දැනුමැති ජේ.බී. දිසානායකයන් ජනශ්‍රැති පර්යේෂණ, ළමා සාහිත්‍ය, ඉතිහාසය ඇතුළු විෂය ගණනාවක සක්‍රීය ව සරන සුදුර්ලභ පාණ්ඩිත්වයකින් හා ප්‍රාමාණිකත්වයකින් හෙබි වූවෙකි. මේ සංලාපය ඔස්සේ මොහු අවධාරණය කරන්නේ නිවැරදි සිංහලය යනු අන්තවාදී නොවන මැදිහත් මඟක් බව ය.

 

‘නිවැරදි සිංහලය’ ලියන්නට මඟ පෑදෙන්නේ කෙසේද?

පසුගිය කාලය පුරා ගොඩනැඟුණු මතවාදයක් තමයි සම්මාන ලබා දීමේදී ව්‍යාකරණ හා වියරණය අවශ්‍ය ද කියන කාරණය. බොහෝදෙනෙක් කියන්නෙ ව්‍යාකරණය මේ දේවල්වලට අයිති නෑ කියලයි. ඒත් ඕනෑම දෙයක් ලියද්දි ව්‍යාකරණය හරියට තියෙන්න එපැයි. මේ ගැන කෙරෙන කතාබහේදී එවකට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා ඇහුවා “අපි එහෙනම් භාෂා සංගායනාවක් තියමුද ” කියලා. මම කිව්වා ඒක හොඳයි කියලා. නිවැරදි වහර යනු කුමක්ද කියන ගැටලුව තමයි එහි සාකච්ඡා වුණේ.

ප්‍රශ්නය පටන් ගනිද්දි ම ප්‍රශ්නයක් මතුවුණා නේද; 'නිවැරදි' ද 'නිවැරැදි' ද කියලා.

නිවැරදි කියන වචනෙ නිවැරදි ද කියලා ගැටලුවක් මතු වුණා. ‘නිවැරදි’ හරි කියන අයත් “නිවැරැදි” හරි කියන අයත් වශයෙන් මත දෙකක් තියෙනවා. හෙළ හවුල කියන්නෙ හරි එක “නිවැරැදි” කියලා. හෙළ හවුලේ නොවන අය කියන්නේ ‘නිවැරදි’ කියලා. භාෂාව සම්බන්ධයෙන් අපි කාගේ තීරණ ද තීන්දු ද පිළිගන්නේ කියලා ගැටලුවක් එනවා.

හැම කල්හිම මතුවෙන මෙවැනි ගැටලු සඳහා එදා සිදත් සඟරාවෙන් නිසි පිළිතුර දී තිබෙනවා නොවේද?

සිදත් සඟරාකරු කියන්නේ ‘වහරනු සෙරෙන් සපයා’ කියලා. කාගෙන්වත් අහන්න යන්න අවශ්‍ය නෑ වහරේ තිබේ නම් ගන්න කියලා. හැබැයි කාගේ ව්‍යවහාරය ද ගන්නේ කියලා ගැටලුවක් එනවා. එ‍හිම තිබෙනවා කොන්දේසියක් “අනුරූ සේ පියෝනන්’ කියලා. ඒ කියන්නේ 'හැම කෙනෙක්ගෙම දේවල් ගන්න එපා “ඡේකයන්” කියන දේ පිළිගන්න' කියන එක. ජේකයන් කියන්නේ උගත්තු, එහෙමත් නැතිනම් විෂයේ ප්‍රාගුණ්‍යයට පත් වූ අය. එතකොට කවුද ‘නිවැරැදි’ ලෙස ලියන්නේ; ඒ මුනිදාස කුමාරතුංග, ඒ කියන්නේ ඡේකයෙක්. කවුරුද ‘නිවැරදි’ කියලා ලියන්නේ; සරච්චන්ද්‍ර, බලගල්ල වගේ අය. ඒ අයත් ඡේකයන්. ඉතින් මේ දෙක ම භාවිත කරන්නේ වියතුන්. අපට සිද්ධවෙනවා ජේක ප්‍රයෝග වශයෙන් දෙක ම පිළිගන්න. මොකද භාෂාව කියන්නේ නීතියක් නොව රීතියක්.

මොකද්ද නීතියේ සහ රීතියේ වෙනස.

නීතියක් නම් වෙනස් වන්නේ නැහැ. සමහර නීති වෙනස් කරන්න පුළුවන්; ඒත් ඒකත් ඔබටයි මටයි කරන්න බෑ. නීති පනවන කෙනෙක් ඉන්නවා; ආඥා පනතක් තියෙනවා. නීති කඩ කළොත් දඬුවමක් දෙනවා. රීති කියන්නෙ වෙනස් ඒවා. අප විසින් පනවා ගන්නා ලද දේවල්. භාෂාවේ තියෙන්නේ නීති නොවෙයි; රීති. කුමාරතුංග වගේ අය කියන්නේ 'භාෂාව පිළිබඳ නිරවද්‍ය ව්‍යවහාරය දක්වන්නා වූ නීති සමූහයක්’ කියලයි. වාග් විද්‍යාව කරන අප වගේ අය කියන්නේ මේවා ‘නීති’ නොවෙයි ‘රීති’ කියලයි. ලෝකයේ පැවැත්මට මේ දෙක ම ඕනෑ. කුමාරතුංග එක තැනක කියනවා ‘සමාජයේ පැවත්මට නීති රීති දෙක ම ඕනෑ’ කියලා. ඒක හරියට ම හරි.

නූතන වාග් විද්‍යාවේ පැමිණීමත් සමඟ ද මේ වෙනස්කම් ඇතිවන්නේ.

ආසන්න හේතුවක් ඒක. වාග් විද්‍යාව කියන අලුත් විෂය ආවම අර භාෂාව කියන්නේ නීති සමුදායක්’ කියන එක බැහැර කරලා ‘භාෂාව කියන්නේ රටා සමුදායක්’ කියලා නිර්වචනය වුණා. එතකොට නීතිත් නොවෙයි; රීතිත් නොවෙයි; රටා බවට පත් වුණා. ඒ රටාවලට සමහරු නීති කියනවා; සමහරු රීති කියනවා. සිදත් සඟරාවේ කියන්නේ ‘සදරුත්විදි’ කියලා. ශබ්දවලින් පද හදන හැටි, පදවලින් වාක්‍ය හදන හැටි ආදි වශයෙන්. පුංචි ළමයා ඉගෙන ගන්නේ භාෂාවේ රටා සමුදායයයි. නාම පද, ක්‍රියා පද ආදී වශයෙන් අප පසුව දරුවාට ඒවා වර්ග කර කියා දෙනවා. ඒකට කුමාරතුංග කියනවා ‘නීති’ කියලා; අපි කියනවා රීති කියලා. ඉංග්‍රීසියෙන් නීති කියන්නේ Low; රීති කියන්නේ Conventions‍. නීති උපාධියක් පිළිගන්නවා මේක දෙකක් කියලා. රීති වෙනස් වෙනවා භාවිතය අනුව.

කොහොමද මේ මත ද්විත්වයෙන් අප එක මඟකට පැමිණෙන්නේ. ඒ සඳහා ඔබ අනුගමනය කළ ක්‍රමවේදය එනම් ඡේකයන් අට දෙනෙක් තෝරා ගැනීම කතා කළොත්?

මේ භාෂා ප්‍රයෝග ගැන තීරණය කරන්න සුදුසු යැයි සිතෙන ඡේකයෝ අටදෙනෙක් මම තෝරා ගත්තා. නිවැරදි සිංහලය පොත පුරා තිබෙන්නේ ඒ අටදෙනා භාෂාව සම්බන්ධයෙන් දැරූ මතවාද. මේ අටදෙනා අතර එක් අයෙක් තමයි පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමි. උන්වහන්සේ සුමංගල ශබ්දකෝෂය එහෙම සම්පාදනය කළ භාෂාව ගැන බොහෝම දන්න හිමි නමක්. ඊළඟට කුමාරතුංග මුනිදාස; එතුමන් භාෂාව ගැන හොඳට ම දන්න කෙනෙක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඊළඟට මා තෝරාගත්තේ වර්තමාන සාහිත්‍ය, ඒවගේම පාලි භාෂාව හොඳට ම දන්න කෙනෙක් නිසයි. මහාචාර්ය විමල් ජී. බලගල්ලේ වියතා අදට ජීවතුන් අතර සිටින භාෂාව පිළිබඳ ප්‍රාමාණිකම උගතා; මා එතුමාත් තෝරා ගත්තා. ඊළඟට ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා තෝරා ගත්තා. එයා වෙනම කෙනෙක්; විද්‍යාව සිංහල කරන්න මූලික වුණු. ඊළඟට සුචරිත ගම්ලත් මහාචාර්යතුමා ගත්තා. එතුමා භාවිත භාෂාව හරිම ව්‍යක්තයි. මහාචාර්ය විනී විතාරණ මා මේ සඳහා තෝරා ගත්තේ හෙළ හවුලට හා වාග් විද්‍යාවට සම්බන්ධයි. අවසාන වශයෙන් මා තෝරා ගත්තේ මාර්ටින් වික්‍රමසිංහ. මේ අට දෙනා තමයි මා මේ සඳහා ඡේකයන් ලෙස තෝරා ගත්තේ.

හෙළ හවුලේ බොහොමයක් වියතුන් චෝදනා කරන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් බස මැරුවා කියායි. මේ තෝරා ගැනීමට ඒ මතවාද දරන්නන්ගේ විරෝධය පළ වූවා ද?

ගොඩක් අය කිව්වා, ඒ තෝරා ගැනීම ගැටලු සහගතයි කියලා. වික්‍රමසිංහ ‘මඩොල්දූව’ ලිව්වම හෙළ හවුලෙන් ඊට වඩා ලොකු පොතක් ලිව්වා,

‘මඩොල්දූවේ හැටි’ කියලා; ඒ තරම් ඒ පොතේ වැරදි තියෙනවා, කියලයි ඔවුන් කිව්වෙ. මෙතනින් සෝරත හාමුදුරුවෝ හැරුණාම ඉතිරි ඔක්කොම අය ආචාර්ය උපාධි තියෙන අය. වික්‍රමසිංහ ගැන මතවාද තියෙනවා, ඔහු ව්‍යාකරණ දන්නෙ නෑ කියලා. ඒක අන්තවාදී මතයක් කියලයි මං හිතන්නේ. එයා තමයි මධ්‍යකාලීනව ප්‍රබන්ධ කලාවට අලුත් සිංහලයක් හදලා දුන්නේ. වික්‍රමසිංහගේ සමහර පොත්වල මුද්‍රණ දෝෂ තිබෙනවා. හෙළ හවුල ඒවා අල්ලගෙන මෙයාට ව්‍යාකරණ බෑ කියනවා. කුමාරතුංගගේ පොත්වලත් මුද්‍රණ දෝෂ තියෙනවා. ඒක අල්ලන් මෙයා දන්නෙ නෑ කියන්න හොඳ නෑ. වික්‍රමසිංහ ඉතා ප්‍රබල විදියට වර්තමාන පාඨක පරම්පරාවට බලපෑවා.

තෝරාගත් ඡේකයන්ගේ නිර්මාණ හෝ ශාස්ත්‍රීය වපසරිය මැන ගැනීමට ඔබ භාවිත කළ මිනුම්දඬු කවරේද?

මේ අට දෙනාගෙ ම එක පොතක් මම තෝරා ගත්තා. සුචරිත ගම්ලත්ගේ “‍බුද්ධ චරිතය’, වික්‍රමසිංහගේ ‘උපන්දා සිට’ අනෙක් අයගෙත් මේ විදියට එක් පොතක් තෝරා ගත්තා. එහි භාවිත ලේඛන රීතියයි මිනුම් දඬු සේ ‍යොදා ගත්තේ. කුමාරතුංග, මේ අයගෙන් වෙනස් වෙනවා. කුමාරතුංග ලියන්නේ මෙහෙමයි, අනෙක් අය ලියන්නෙ මෙහෙමයි කියලා බෙදා ගැනීමට සිදු වීම තමයි ඒ වෙනස. කුමාරතුංග ලියන්නේ ‘රටැ’, ‘ගමැ’ කියලා; අනෙක් අය ලියන්නේ ‘රට’ , ‘ගම’ කියලා. මේ දෙකම නිවැරදි ලෙස ගන්න ඕන. හෙළ හවුල කියන්නේ ඇකාර භාවිතය හරි කියලා. ඒත් මම මේ දෙක ම හරි කියලයි කියන්නේ.

බස වෙනස් වන පරිණාමය වන දෙයක් බව වගේම ඊට බොහෝ වෙනස් ඉඩකඩ අංග ඔස්සේ වර්ධනය විය හැකි බවයි ඔබ පවසන්නේ.

ඔබට පුළුවන් සාරිය ඉන්දියානු ක්‍රමයට අඳින්න; නැතිනම් උඩරට ක්‍රමයට අඳින්න. ඒක අඳින විදිය ගැන නීතියක් නෑ; රීතියක් විතරයි තියෙන්නේ. ඇඳුම අඳින්නේ ඔබ කැමකි ආකාරයට. එහි ස්වභාවය තේරුම් ගත්තාම හරි. හෙළ හවුලෙ අය කියන්නේ භාෂාව නීති පද්ධතියක්, ඒ නිසා මේකෙ විකල්ප තියෙන්න බෑ කියලයි. නීති නම් විකල්ප නෑ තමයි; හැබැයි අපි කියන්නේ මේවට රීති කියලා. රීතිවල තියෙනවා විවිධත්වයක්. රීති දෙකක් තියෙන්න පුළුවන්.

කෙනෙක් චෝදනාවක් නඟන්න පුළුවන්, ඔබ තෝරාගත් අට දෙනාට වඩා ඡේකයන් ඉන්නවා නේද කියලා?

මේ අට දෙනා තෝරා ගනිද්දි මං හුඟක් මධ්‍යස්ථ වුණා. සමහර අය තෝරා නොගැනීමට මා පරිස්සම් වුණා. ඒ අයගේ සමහර මතවාද අන්තවාදියි. යක්කඩුවේ හාමුදුරුවෝ ඒ වගේ එක් අයෙක්. උන්වහන්සේ විද්‍යාලංකාර පරම්පරාවේ විශිෂ්ටයෙක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. උන්වහන්සේ කට වහරින් ලිව්වම මොකද වෙන්නේ කියලා පොත් පෙළක් ලිව්වා.

අදහස් හොඳ වුණත් කට වහරින් ලිවීම කියන එක මතු කළ නිසා ගත්තෙ නෑ. අනෙක් විද්වතා මහාචාර්ය චාල්ස් ගොඩකුඹුරේ. එතුමාත් කිව්වා අපි කටවහරින් ලියමු කියලා. ඒ නිසා අයින් කළා. අනෙක් කෙනා මහාචාර්ය සිරි ගුනසිංහ; සංස්කෘති මහාචාර්යවරයෙක් වුණාට සිංහලෙන් කටවහරෙන් ලියන්න ගත්තෙ. ඒනිසා මේ තුන්දෙනා අයින් කළේ ඕනෑකමින්.

කෙනක් තර්ක කරන්න පුළුවන් මේ අයත් රීති සමුදායට අනුව පරිනාමයට එකතු වූ අය කියලා.

එහෙම හිතන්න පුළුවන්. ඒ අයත් යම් යම් විදියට බලපාල තියෙනවා. නමුත් තෝරාගන්න ගියාම අන්තවාදී අදහස් දැරූවන් නිසා මං ඒ අයව ඉවත් කළා. අජිත් තිලකසේනත් එවැන්නෙක්.

වියරණ නැතිව හෝ වෙනත් විදියකට කෙනෙක් ලියන්න කැමති නම් ලිව්වට කමක් නෑ; බාධාවක් නෑ. කෙනෙක් මගෙන් ඇහුවොත් නිවැරදි වහර මොකද්ද කියලා; අන්න ඒකට උත්තරයක් විතරයි මේ. අමුතු ඒවා හදන්න ගියේ නෑ. මගෙන් ඒවට අනුබලයක් ‍හෝ ප්‍රතික්ෂේප කිරීමක් නෑ. මෙහි තිබෙන්නේ සාමාන්‍ය පිළිගැනීමයි. මේ අට දෙනා මධ්‍යස්ථ තේරීමක්. මම ඉන්නේ මැද. මට අන්තවාදී වෙලා බෑ.

සුමුදු චතුරාණි ජයවර්ධන

අදහස්