මන්තෝ දෙකඩ කරන ලද භූමියක හෘදයසාක්ෂිය | සිළුමිණ

මන්තෝ දෙකඩ කරන ලද භූමියක හෘදයසාක්ෂිය

හෝරා ගණනාවක් එක දිගට හිඳ සිටීමෙන් වෙහෙසට පත් ඇතැම් දිනෙක හෙමිහිට මඟට බසිමි. දිගු කාලයක් මුළුල්ලේ නෙක ගැහැට විඳිමින්, කැපුම් කෙටුම් ඉවසමින් යෝද බඳට ඉහළින් පත් වියන දරාගෙන, කෘතවේදීත්වය යන වදන ද අමතක කරමින් ඉන්නා සමාජයකට සෙවණ ම සදමින්, තමන් යටකර වේගයෙන් ඉහළට නැඟෙනා දැවැන්ත කොන්ක්‍රීට් පිළිල යට සෙමෙන් සෙමෙන් මිය යන තුරු පෙළ අතරින් කොළොම්පුර ගිනිගත් වීදි දිග ඇවිද යමි. විටෙක තරමක් තදබදය අඩු සේ පෙනෙනා අතුරු මඟකට හැරෙමි. එවන් ඇතැම් විටෙක දියුණු යැයි සම්මත රටක තානාපති කාර්යාලයක් පසුකර පිය නඟමි. ඒ ඉදිරිපිට ලිපිගොනු තුරුලු කරගෙන බලා සිටිනා තුරුණු ජනයා දකිමි. එපරිද්දෙන්ම එවන් රටවලට වීසා ලබා ගැනීම පිණිස උපදෙස් දීමට විශේෂඥයන් යැයි තමන් ම පවසා ගන්නා ආයතන වෙත ඇදෙනා අය ද නොයෙක්වර දකිමි. මේ සියල්ලෝම පසුවන්නෝ තම දිවියෙහි හොඳම වයසෙහි ය. ඉදින් මම එවන් බොහෝ අය සමඟ අවසර ලැබෙන පරිදි කතා කරමි. ඔවුන්ගේ සිහිනයට කන්දෙමි. සැබැවින්ම ඔවුන්ට පොදු සිහිනයක් තිබේ. ඒ සිහිනය සැබෑ කරගැනීම පිණිස කවර මඟක් වුව ගැනීමට ඔවුන් සූදානම් බව පැහැදිලිය. අයෙක් සිය සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් පවුලේ දේපළ වුව විකිණීමට සූදානම් බව කියයි. තමන් පමණක් නොව තම දෙමවුපියන් පවා ඊට එකහෙළා කැමති බව කියයි. ඔවුන්ගේ සිහිනය ඉතා කෙටියෙන් මෙසේ වදනට නැඟිය හැකිය. ‘රට හැර යාම’. තවත් මෙහි සිට පලක් නැතැයි ඔවුහු කියති. ඉදින් නිදහසින් දශක හතක් ඉක්මගිය තැන අපේ ශේෂ පත්‍රය මෙතරම් බියකරුදැයි කල්පනා කරමි.

මිනිසුන් රට හැර යති. එහෙත් සිය කැමැත්තෙන් තරුණ ජනයා පිටව යෑම? තමන්ට මෙහි අනාගතයක් නැතැයි සිතමින් පිටව යෑම? ඔවුන් තම රට හැර යන්නේ වේදනාවකින් තොරව යැයි මම නොසිතමි. යමකු හට සිට උපන් දේශය හැර යෑමට සිදුවීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එසේ නම් යමකු හට සිය කැමැත්තෙන් තොරව, තමන් දිගටම උපන් බිමෙහි රැඳෙන්නට තීරණය කර සිටියදී රට හැර යෑමට සිදු වේ නම් එවන් පුද්ගලයකුගේ වේදනාව ඊටත් වඩා කෙතරම් තීව්‍ර වනු ඇතිද? මේ වේදනාව සිතුවම් කළ හැක්කේ නිර්මාණකරුවකුටම පමණි. විප්‍රවාසී වන්නට බල කෙරුණ තත්ත්වයක් යටතේ ස්වකීය නිර්මාණ දිවියෙහි කූටප්‍රාප්තියට එළඹෙන නිර්මාණකරුවකු සමාජයට ඉතිරි කර යන දායාදය සර්වකාලීන අගයකින් යුක්ත වන්නේමය. ඉදින් මම එවන් මිනිසකු ගැන කෙටි සටහනක් ලියමි. සදාත් හසන් මන්තෝ - ඒ ඔහුගේ නමයි.

සදාත් හසන් මන්තෝ සැලකෙනුයේ ඉන්දු-පාකිස්තාන් වෙන්වීම සම්බන්ධයෙන් කෙටිකතා විශාල සංඛ්‍යාවක් උර්දු බසින් රචනා කළ විශිෂ්ටතම ලේඛකයා ලෙසිනි. ඒ හැඳින්වීම සඳහා උණ පූර්ණයක් යොදන්නේ නම් මන්තෝ හැඳින්විය හැක්කේ ලෝක ඉතිහාසයෙහි ඉතාම ඛේදනීය වූ ද වැදගත් වූ ද සිදුවීමක් වන ඉන්දියාව සහ පකිස්ථානය දෙකඩ වීම හමුවෙහි වටනා නිර්මාණ රාශියක් සාහිත ලොවට තිළිණ කළා වූ ද එකී වෙන්වීම දරාගත නොහී අකාලයෙහි මෙලොවින් වෙන්ව ගියාවූද නිර්මාණකරුවකු ලෙසිනි.

මන්තෝ 1951 දෙසැම්බර් 16 දින සෑම් මාමාට ලිපියක් යනුවෙන් ලියූ සටහනෙහි තමන් ගැන කරන හැඳින්වීම මෙපරිදි ය. ‘මගේ නම සදාත් හසන් මන්තෝ. මං උපත ලැබුවෙ අද ඉන්දියාවට අයත්වෙන ස්ථානයක. මගෙ අම්මව මිහිදන් කරල තියෙන්නෙ එතන. මගෙ තාත්තව මිහිදන් කරල තියෙන්නෙ එතන. මගෙ මුල්ම දරුවත් සමාදානයේ සැතපෙන්නෙ ඒ බිම්කඩ යටමයි. ඒ මොනව වුණත් දැන් ඒ මගෙ රට නෙවෙයි. දැන් මගෙ රට පාකිස්තානය. මං එහෙට කලින් ගිහිල්ල තියෙන්නෙ කිහිප වතාවක් පමණයි. ඒ බ්‍රිතාන්‍යයේ යටත් වැසියෙක් හැටියට.’ ඔහු අනතුරුව එකී ලිපියෙහි ම නිර්මාණකරුවකු ලෙස තමන්ගේ වපසරිය පහදයි.

‘මාව ඉස්සර හැඳින්වුවෙ සමස්ත ඉන්දියාවෙම විශ්ෂ්ටතම කෙටිකතාකරුවා හැටියට. ඒත් දැන් මම පාකිස්තානෙ ශ්‍රේෂඨතම කෙටිකතාකරුවලු. මගෙ කෙටිකතා සංග්‍රහ කීපයක්ම පළ වෙලා තියෙනවා; මිනිස්සු මට ගරු කරනවා. නොබෙදුනු ඉන්දියාවෙදි මට එරෙහිව තුන් පාරක් නඩු පැවරුවා. පාකිස්තානෙදි නං තාම එක පාරයි. හැබැයි ඉතිං පාකිස්තානෙ තවම ළදරු රටක්. බ්‍රිතාන්‍ය රජය මගෙ නිර්මාණ සැලකුවෙ අසභ්‍ය දේවල් හැටියට. මගෙම ආණ්ඩුව දරන්නෙත් ඒ අදහසමයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මාව නිදහස් කළත් මගෙම ආණ්ඩුව එහෙම කරයි කියල මං හිතන්නෙ නෑ. පහළ උසාවියක් මට තුන් මාසෙක බරපතළ වැඩ ඇතිව හිර දඬුවම් නියම කරල රුපියල් තුන් සියයකුත් දඩ ගැහුව.’

මන්තෝ සිය ලිපියෙහි මේ වදන් හරහා තමන්ට උපන් දා සිට සමීපව තිබූ භූමිය අහිමි වීම ගැන අතිශය වේදනාකාරී සිතුවිලි වදන්වලට ගොනු කරයි. වර්ගවාදී උමතුව සහ දේශපාලන ඉලක්ක මත දේශපාලන සිතියම් තුළ භූමිය බෙදා වෙන් කළ හැකි වුවද තම උපන් බිම හා භාවාත්මක ලෙස ඇති බැඳීම එසේ අවසන් කළ නොහැකි බවට මන්තෝගේ ජීවිතය මනා සාක්ෂියකි.

ඉන්දියාව සහ පාකිස්තානය දෙකඩවීම හමුවේ ඔහුට පාකිස්තානය බලා යාමට සිදුවුවද ඔහුගේ බිරියම පසු කලෙක ලියා ඇති පරිදි ඔහු දැඩි ලෙස බීමත්කමට ගොදුරුව වයස අවුරුදු පනස් පහේදී මිය යන්නේ මේ බෙදා වෙන්කිරීම දරාගත නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වෙතත් තමන්ට උපන් බිමෙන් වියෝවන්නට සිදුවීමේ ඛේදය මැද ඔහු සිය නිර්මාණ ජීවිතය පුබුදුවන්නේ වර්ගවාදය, භූමිය මත මිනිසාගේ ජීවිතය බෙදා වෙන්කිරීම යනු කවරාකාරයේ අපරාධයක්දැයි සිතන්නට පොලඹවන අගනා නිර්මාණ පෙළක් රචනා කරමිනි.

මන්තෝ කෙතරම් අදීන පුද්ගලයකු දැයි සනාථ කෙරෙනා හොඳම නිදර්ශනය වනුයේ සිය සොහොන් ඵලකය උදෙසා ඔහු විසින්ම ලියන ලද සටහන ය. පූජකයන්ගේ උදහසට බියෙන් ඔහුගේ බිරිය එය පසෙක තබන්නට තීරණය කළ ද සැබෑ මන්තෝගේ දැක්ම පළ කෙරෙනා එහි පරිවර්තනයක් මෙහිලා ඉදිරිපත් කළ යුතු යැයි මම සිතමි.

‘සදාත් හසන් මන්තෝ මෙහි වැතිර සිටී. ඔහු ද සමඟින් කෙටිකතා රචනා කලාවෙහි සියලු අබිරහස් සහ කතා කලාවන් මිහිදන්ව තිබේ. වඩා ශ්‍රේෂඨ කෙටිකතාකරුවා කවුද එනම් තමා ද දෙවියන්වහන්සේ ද යන්න කල්පනා කරමින් ටොන් ගණනක් බර පස් යට ඔහු වැතිර සිටියි.’

අදහස්