හේමසිරි සහ පූජිත් පසුපස තවත් 'තරු' එයිද? | සිළුමිණ

හේමසිරි සහ පූජිත් පසුපස තවත් 'තරු' එයිද?

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට හෝ හානිය අවම කිරීමට පියවර නොගත්තේයැයි බරපතළම චෝදනාව එල්ල වී ඇත්තේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ටය. රාජ්‍ය බුද්ධි සේවය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලබාදුන් තොරතුරු නිසි තැකීමකට ලක් නොකළ බව මෙන්ම එම තොරතුර සැහැල්ලුවට ගත් බැවින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකට හානි වූ බව ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වූ ජනාධිපති විමර්ශන කමිටුවේ අදහසය. ඔවුන් දෙදෙනාට එරෙහි අපරාධ චෝදනා එල්ල වන්නේ ඒ අනුවය.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව අපරාධමය විමර්ශනයක් පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතය. එකී විමර්ශනයට අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් 02 දාය. ඒ ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි ඊට පෙර දිනයේ නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් කරුණු විමසන වටා පිටාවක් තුළය.

එසේ වැඩබලන පොලිස්පතිවරයාගෙන් නීතිපතිවරයා කරුණු විමසූ බව ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වනවාත් සමඟ හෘද රෝගියෙකු වන හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට වග බලා ගන්නේ පවුලේ උදවිය විසිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නේ කොළඹ ජාතික රෝහලේ හෘදරෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය මුල් කරගනිමින් අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත් ජයසුන්දර මහතා ගෙවී ගිය සති කිහිපය ගත කරෙමින් සිටියේ යැයි සඳහන් වූයේ සැහැල්ලුවෙනි. ඒ කොළඹ හතේ විජේරාම පාරේ පිහිටි පොලිස්පති නිල නිවසේ වැඩි කාලයක් රැදෙමිනි. අනිවාර්ය නිවාඩු යවා ඇතත් පොලිස්පතිවරයෙකුට හිමි සියලුම වරප්‍රසාද තවමත් ඔහුට හිමිය. එහෙත් අනිවාර්ය නිවාඩු යැවීමට පෙර ඔහු වටා සිටි වැඩි පිරිසක් දැන් ඔහු හමුවන්නට තබා දුරකතනයෙන් කතාබහ කරන්නේවත් නැත. ඒ නිසා පොලිසිය ඇතුළේ තොරතුරු ඔහුට දැන් එන්නේ නැති තරම්ය. පූජිත් ජයසුන්දර මහතා දැඩි විශ්වාස කළේ තමන් කිසිවිටකත් අත්අඩංගුවට ගැනීමක් නොකරන බවය. අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවා ඔහු ගොනු කළේ එකී රැකවරණය වඩාත් තහවුරු කරගන්නටය.

වැඩ වැරදී ඇතැයි පූජිත් ජයසුන්දර මහතාට පෙනී යන්නේ 02 වැනි දා එළිවන විටය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට එදින පෙරවරු 10.00 තමා කැඳවා ඇත්තේ සාමාන්‍ය ප්‍රශ්න කිරීමකට නොව, අත්අඩංගුවට ගැනීමකට බව දැනෙන්නට වූ බැවිනි. රෝග රැසකින් ඒ වන විටත් පීඩා විදිමින් සිටි පූජිත් ජයසුන්දර මහතා කෙළින්ම ගොස් නතර වන්නේ නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නේ එහිදීය.

වසර 152කට ඉතිහාසකම් කියන ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නම් ඒ පූජිත් ජයසුන්දර මහතාය. ඔහු 34 වැනි පොලිස්පතිවරයාය. එතෙක් මෙතෙක් ඉතිහාසයේ පොලිස්පතිවරයෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති නම් ඒ ද පූජිත් ජයසුන්දර මහතාය. එපමණක් නොව, රක්ෂිත බන්ධනාගාරගත වන එකම පොලිස්පතිවරයා වන්නේද පූජිත් ජයසුන්දර මහතාමය.

පූජිත් ජයසුන්දර මහතාගේ ඇතැම් ක්‍රියාකලාප ගැන පොලිසියේ ඉහළ නිලධාරීන්ට මෙන්ම ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවටද ගැටළු පැන නැඟී තිබුණේ කාලයක් තිස්සේය. හැමෝම එක් වී ඔහුව පොලිස්පතිධුරයට 2015 වසරේදී පත් කළද වසරක් දෙකක් යන්නට මත්තෙන් පොලිස්පතිධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඔහුට කියන්නේද ඒ අයමය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස්පති ධුරයට ලැබී ඇති රැකවරණය සහ බලය හේතුවෙන් හිතුමතේට ඔහු ඉවත් කිරීමද ලෙහෙසි පහසු නොවීය. ඒ බව දැන සිටි පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අස්වන්නට ගියේ නැත. ඔහු තනතුරේ දිගින් දිගටම රැඳී සිටියේ දේශපාලන අධිකාරියට අභියෝග කරමිනි. එදා දේශපාලන අධිකාරියෙන් දැනුම්දුන් පරිදි ඉල්ලා අස් වූයේ නම් පූජිත් ජයසුන්දර අද මෙවන් ඉරණමකට ගොදුරු වන්නේ නැත. ඇතැම් විට අද ඔහු යුරෝපීය රටක තානාපති ධුරයක් දරමින් සතුටින් සිටීමට තිබුණු ඉඩකඩ බොහෝය.

පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කරන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නේ නීතිපති උපදෙස් මතය. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328,329,410 යන වගන්ති ප්‍රකාරවය. 296න් එල්ල කෙරෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා ය. එකී චෝදනාවට වරදකරුවෙකු වූ විට දඩුවම් නියම වන්නේ මරණීය දණ්ඩනයෙනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීමේ සාපරාධී වගකීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට පැවරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී යන බැවින් ඔවුන් දෙදෙනා සැකකරුවන් බවට පත් කර අත්අඩංගුවට ගත් බවකි.

සියල්ල සිදු වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුව ලබාදුන් අතුරු වාර්තාවේ නිර්දේශයන්ට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයට අනුවය. එම අතුරු වාර්තාව පරීක්ෂණ කමිටුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන්නේ අප්‍රේල් 30 වැනිදාය. එම අතුරු වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ප්‍රහාරය සහ එහි ස්වභාවය ගැන නිශ්චිත බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් එම ප්‍රහාර වළක්වාගන්නටත් එම ප්‍රහාරයේ හානිය අවම කරගැනීමටත් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා කිසිදු පියවරක් ගෙන නැති බවකි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වන්නේ එබැවිනි. තුසිත් මුදලිගේ මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා එම ප්‍රහාරය ගැන අප්‍රේල් 18, 19,20 සහ 21 වැනි දා උදෑසනත් දැනුවත් කර තිබියදීත් නිසි ආරක්ෂක පියවර ගැනීමට ඔවුන් දෙදෙනා අපොහොසත් වී ඇති බවය. පොලිස්පතිවරයා එම තොරතුර සැහැල්ලුවට ගනිමින් ඒ ගැන දැනුම් දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනෙකුට පමණක් බවද විමර්ශනවලින් පැහැදිලිවම හෙළි වී ඇති කරුණකි. අඩුම තරමින් එකී තොරතුර සම්බන්ධයෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගෙන ඇති ආරක්ෂක පියවර කවරේදැයි කියාවත් පොලිස්පතිවරයා පසුවිපරමක්වත් කර ඇති බවක් පෙනී යන්නේ නැත.

පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහි පරීක්ෂණ සිදුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මෙහෙයැවීමෙන් පොලිස් අධිකාරී ඩී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙසින් එම විමර්ශනය සිදුව ඇත්තේ ඉකුත් මැයි මාසයේ සිටය. ඒ බව ඉකුත් මැයි 26 වෙනිදා “බොරු කියා රට රැවටූ පොලිස් ලොක්කෝ හෙළි වෙති“ යනුවෙන් සිය ප්‍රධාන පුවතින් රටට හෙළි කරන්නේ සිළුමිණය. එම පුවතට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධමය විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පමණක් නොව, තවත් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම එරෙහිවද විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මකය.

එම විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය විසින් අප්‍රේල් 04 වැනිදා ලබාදුන් මුල් තොරතුරේ සදහන් ප්‍රහාරකයන් 06 දෙනාම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව සිට ඇති බවකි. අනතුරුව තවත් ත්‍රස්වාදීන් 08 දෙනෙකුගේ නම් රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයාට ලබාදී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එකී ත්‍රස්තවාදීන් 14 දෙනාගෙන් 06 දෙනෙක්ම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර ඇති බවය. සෙසු අට දෙනා දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ 21 වැනිදා ප්‍රහාරය ගැන 20 වැනිදා සවස 5.30ටත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් වට්ස් ඇප් මඟින්ද ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවය. එසේම 21 වැනිදා උදෑසනත් පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමකින් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා දැනුම් දී ඇත්තේ එදින පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල වීමට නියමිතව ඇති බැවින් කඩිනම් ආරක්ෂක පියවරක් ගන්නා ලෙස දැනුම් දෙමිනි.

එසේ තිබියදීත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගැනීමට කිසිදු පියවරක් ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින්ද පෙනී ගොස් නැත. පූජිත් ජයසුන්දර මහතා එසේ හැසිරී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවා එදින උදෑසන දුරකතන ඇමතුමක් දෙමින් නිලන්ත ජයවර්ධන මහතා විසින් ලබාදුන් අනතුරු ඇගයීම ගැන සිහිපත් කිරීමක් කර තිබියදීමය.

රෝහල්ගතව සිටියත් හේමසිරි ප්‍රනාන්දු මහතා අද රිමාන්ඩ් සිරකරුවෙකු බවට පත්ව ඇත්තේ පූජිත් ජයසුන්දර මහතා සිය වගකීම හරිහැටි අවබෝධයෙන් කටයුතු නොකිරීම නිසා බව පොලිසියේ ඉහළම නිලධාරීන් බහුතරයකගේ මතයයි. එය එසේ වූවත් පූජිත් ජයසුන්දර මහතාගේ පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදුන් තොරතුර තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බවකි. ඔහු අවධාරණය කරන්නේ නිශ්චිත ලෙසම පහරදීමක් ගැන එම බුද්ධි තොරතුරේ සඳහන් නොවන බවය. ඒ සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ වාද විවාදයන්ය. හේමසිරි ප්‍රනාන්දු මෙන්ම පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඉදිරියේදී ඇප ලැබීමත් නොලැබීමත් තීරණය වන්නේ එකී නීතිමය තර්කවල හයි හත්තිය මතය.

හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට පමණක් නොව, පොලීසියේ තවත් ඉහළ නිලධාරීන් පිරිසකට එරෙහිවද මේ වන විට අපරාධමය විමර්ශනයක් සිදු වෙමින් ඇත්තේ නීතිපති උපදෙසිනි. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ ජනපති විමර්ශන කමිටුවේ තවත් අතුරුවාර්තාවක් පදනම් කරගනිමිනි. විමර්ශනයට භාජනය වෙමින් ඇති නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු සිටින බව සඳහන්ය.

ඒ අතර නීතිපති උපදෙසින් ජාතික පොලිස් කොමිසමේ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින්ද පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවර නොගැනීම ගැනය.

එකී විමර්ශනයට ලක් වී සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියලාල් දසනායක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී චන්දන අලහකෝන්, සහකාර පොලිස් අධිකාරී කේ.එම්.පී.එස්.බී. කුමාරසිරි, එච්.බී.එස්. සිසිල කුමාර සහ ජම්පටා වීදිය හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසූරිය , කටාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.ඩී.කේ.සී.නවරත්න යන මහත්වරුය. එම නිලධාරීන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන තවත් සති දෙකක් තුළ අවසන් වනු ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් නම් කර ඇති එකී නිලධාරීන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් රැසකට එරෙහිවද විනය පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය පසුබිම් මේ වන විට සකස් වෙමින් ඇති බව සඳහන්ය.

බොහෝ විට ඒ සෑම නිලධාරීයෙකුටම චෝදනා පත්‍ර ගොනුවනු ඇත. ඊට සමගාමීව එම නිලධාරීන්ට දඬුවමක් ලෙස සතියක් හෝ දෙකක් වැඩ තහනමකට පවා ලක් වීමට ඇති ඉඩකඩද බොහෝය.

Comments