ව්‍යවස්ථාවක් හදන්න ඕන දීර්ඝකාලීන අවශ්‍යතා ප්‍රමුඛ කරගෙනයි | සිළුමිණ

ව්‍යවස්ථාවක් හදන්න ඕන දීර්ඝකාලීන අවශ්‍යතා ප්‍රමුඛ කරගෙනයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව ඇති වී තිබෙන මතභේදාත්මක අදහස් සම්බන්ධයෙන් පරිපාලන නීතිය හා ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයකු වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ශාන්ත ජයවර්ධන සමඟ කළ තුළනාත්මක සාකච්ඡාවකි.

• 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති ව්‍යවස්ථාවත්, පසුව ඇති වූ ව්‍යවස්ථාවත් අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?

කාලයක සිට මේ රටේ විධායකය සතුව පැවති අසීමිත බලය පිළිබඳව විවේචන එල්ල වී තිබුණා. එනිසා ජනාධිපතිවරයා සතු වූ බලය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමෙන්තුවට හා කොමිෂන් සභාවලට පවරාදීම මඟින් සීමා කර තිබෙනවා. තවත් විදියකින් කිව්වොත් 1978 සිට 18 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනකම්ම ජනාධිපතිවරයා සතුව පැවති බලතල 19 වන සංශෝධනය හරහා අඩු කර තිබෙනවා. මීට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා අතරට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අලුතින් හඳුන්වාදී තිබෙනවා. අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසන් සභාව පිළිබඳ ව යම් යම් වගන්ති ඇතුළත්ව තිබෙනවා. පොලිස් කොමිසන් සභාව හා රාජ්‍ය සේවා කොමිසන් සභාව සම්බන්ධයෙන් යම් යම් වගන්ති ඇතුළත් ව තිබෙනවා. උදාහරණයකට 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බලය තිබුණේ පොලිස් නිළධාරින් සම්බන්ධයෙන් ජනතාව විසින් සිදු කරනු ලබන පැමිණිලි විභාග කිරීමට පමණයි. නමුත් 19 වන සංශෝධනයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාන්තර ආකාරයට ජාතික පොලිස් කොමිසමට බලතල පවරාදී තිබෙනවා. ඒ නිසා පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වෙනවා.

• 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයාගේ බලතල සීමා වී තිබෙන්නේ මොන විදියට ද?

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධූර කාලය වෙනස් වුණා. අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් පැවති බලතල වෙනස් වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල සීමා වුණා. අමාත්‍යංශ තමන් යටතේ තබාගත හැකි බලය සීමා වුණා. පාර්ලිමේන්තුවට අමාත්‍යවරු පත් කිරීමේ බලතල සීමා වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වාදී; ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් හා නීතිපති පත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කෙරුණා. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලබාදී තිබුණු මුක්තිය පිළිබඳ ප්‍රතිපාදන වෙනස් වුණා. මේ ආකාරයට ජනාධිපතිවරයා සතු වූ බලතල සීමා වී තිබෙනවා. ඇයි මෙහෙම සීමා කළේ කියන කාරණාව ගැන පැහැදිලි අවබෝධයකට යන්න නම් මේ කාරණා පිළිබඳ ව වෙන් වශයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි.

• ජනාධිපතිවරයාගේ බලය මේ විදියට සීමා කළ නිසා මේ රටේ ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවට චෝදනා නැඟෙනවා.

19 වෙනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයා සතු බලය සීමා කළ නිසා මේ රටේ ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවට කිසියම් දෙයක් වුණා ය කියලා මා නම් විශ්වාස කරන්නේ නැහැ. ඇතැම් විට මේ වචනවලින් දේශපාලඥයෝ අදහස් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ එක් පුද්ගලයකු වටා විධායක බලය කේන්ද්‍රගත වී තිබුණ ම; යුදමය තත්ත්වයක් හෝ රට තුළ ඇති විය හැකි ඕනෑම හදිසි තත්ත්වයක් සම්බන්ධයෙන් ක්ෂණිකව තීරණ ගතහැකි නිසා වෙන්න ඕන. නමුත් ප්‍රායෝගික ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම පවතින මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව වැනි රටවලුත් කිසිදු ගැටලුවකින් තොරව හදිසි තත්ත්වයන්ට නාමික විධායකයක් යටතේ ඉතාම සාර්ථකව මුහුණ දී තිබෙනවා. ඒ වගේම 19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ බලතල සීමා වෙලා අගමැතිවරයාගේ බලය යම් ප්‍රමාණයකින් වැඩි වී විධායක බලය සහිත බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වී තිබෙනවා. මේ දෙන්නා එකම මාර්ගයක ගමන් නොකර දෙපැත්තකට යනවා නම් රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේදී ගැටලු මතුවෙනවා. මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලුවක් නිසා ම නෙමෙයි. ප්‍රතිපත්ති දෙකක වැඩ කරන දේශපාලන පක්ෂ දෙකක් අතට බලය මාරුවීම නිසයි. ජනාධිපතිවරයා කොහොමද බලයට පත් වුණේ කියලා අපි දන්නවා. ඔහු බලයට පත් වූ එක්සත් ජාතික පෙරමුණෙන්. ඔහු ඒ පෙරමුණෙන් ඉවත් වෙලා ශ්‍රීලනිපයේ නායකත්වය අරගෙන කටයුතු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ජනාධිපතිවරණයේදී ඔහු ඇති කර ගත් එකඟතා වෙනස් වෙනවා. මේ නිසා ප්‍රතිපත්ති දෙකක වැඩ කරන දෙපිරිසක් විසින් පාලන බලය මෙහෙය වන්නට යෑමේදී අර්බුදයක් මතු වෙනවා. එය ස්වභාවිකයි. නමුත් එක ම පක්ෂයකින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පත් වුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවර භාවය ඇති වී තිබෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ගැටලුකාරී තත්ත්වයක් නිසා ම නොව; ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන දේශපාලන නොගැළපීම නිසායි.

• ඇත්තට ම විධායක ජනාධිපති ක්‍රමයක් පැවතීම හොඳයි කියල හිතෙන්නේ නැද්ද?

විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලය නිසා අගමැතිවරයා හා පාර්ලිමේන්තුව නොතකා වුවත් ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවා. එනිසා 19 වන සංශෝධනය පෙර පැවති ව්‍යවස්ථාව යටතේ වුවත් මේ ව්‍යවස්ථාව යටතේ වුවත් ඔවුන් අතර එකඟතාවක් නැත්නම් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේදී හා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. එසේ වුවත් විධායක ජනාධිපතිධූරය සතු අසීමිත බලය නිසා ඔහුට තනිවම වුණත් පාලනය පවත්වා ගෙන යා හැකියි. නමුත් මගේ මතය වෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කර තිබෙන තත්ත්වය වඩා ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

• ඔබ එහෙම කියන්නේ ඇයි?

19 වෙනි සංශෝධනය එන්න කලින් ජනාධිපතිවරයාට ඔහුගේ අභිමතය පරිදි ඕනෑම කටයුත්තක් සිදු කිරීමේ බලය තිබුණා. උදාහරණ විදියට අගමැතිවරයා අස් කරන්න හා වසරකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ඒවගේම ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් හා නීතිපති පත් කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඒවගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ අර්ථ නිරූපණය අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කිසිදු අධිකරණයකින් අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැහැ. ඔහු කිසියම් දේශපාලන පක්ෂයක නායකයෙක් නම්; කැබිනට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියා ඔහුගේ අභිමතය පරිදි හැසිරවීමේ හැකියාවත් ඔහුට හෝ ඇයට ලැබී තිබුණා. දෙවරකට සීමා කර තිබූ ජනාධිපති ධූරය 18 වන සංශෝධනය හරහා සීමාවක් නැති තත්ත්වයට පත් කළා. ඒවගේම ඡන්දය පවත්වන්න තිබුණේ වසර 06න් 06යට යි. මේ නිසා ඇමරිකානු විධායකයටත් එහා ගිය විධායක බලයක් ජනාධිපතිවරයා වටා කේන්ද්‍රගත වී තිබුණා. එනිසා එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගැටලු රාශියක් උත්පාදනය කර තිබුණා. නමුත් කොමිෂන් සභාවලට බලය පවරලා, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය පවරලා, තොරතුරු දැනගැනීමේ පනත වැනි නව පනත් ඇති කරලා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා සාධනීය වැඩ කොටසක් 19 වන සංශෝධනය හරහා සිදුව තිබෙනවා. එනිසා 78 සිට 18වන සංශෝධනය දක්වා පැවති ව්‍යවස්ථාවට වඩා 19 වෙනි සංශෝධනය මඟින් යාවත්කාලීන වුණු ව්‍යවස්ථාව වඩා ප්‍රජාතන්ත්‍රවාදියි කියල අපට කියන්න පුළුවන්.

• ඔබ එහෙම කිව්වට 19 වන සංශෝධනයේ ගැටලු ඇති බව නීති විශාරදන් පවා පවසනවා.

ඔව්, දැන් තිබෙන ක්‍රමයේ අතරමැද ස්වරූපයක් (දෙමුහුන්) තියෙනවා. ඒ ගැටලු මඟහරවා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සම්මුතියකට පැමිණ ඊට සංශෝධනයක් ගෙන ආ හැකියි. මූලික අයිතිවාසිකම් යටතේ හඳුන්වා දීපු තොරතුරු දැනගැනීමේ පනත කවුරුත් වැඩිය කතා නොකරන දෙයක්. නමුත් ඒ හරහා මෙතෙක් කල් ජනතාවට හා මාධ්‍යවලට නොලැබුණු ඉඩක් විවර වී තිබෙනවා. ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්නවද කියන කාරණාව වෙනම සාකච්ඡා කළ යුතු කාරණාවක්. නමුත් මේ පනත නිසා පසුගිය කාලවල ජනතාවට වසන් කළ තොරතුරු රාශියක් සමාජගතවී තිබෙනවා. කැබිනට් තොරතුරු ජනතාවට දැනගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා පාලන ක්‍රමය පිළිබඳව ලොකු වැටහීමක් ජනතාවට ලැබී තිබෙනවා. එලෙස ජනතාවට තොරතුරු දැනගැනීමට ඉඩ විවර වී තිබීම ප්‍රජාතන්ත්‍රවාද පුළුල් කිරීමටත් හා නීතිය අනුව කටයුතු කරන්නත් විශාල ලෙස දායක වෙනවා. ඒ නිසා 19ය අහෝසි කරලා නැවත තිබුණු තත්ත්වයට ගෙන ඒමට කවරකු හෝ කටයුතු කරනව නම් එය ආපස්සට යෑමක් විදියටයි මා දකින්නේ. එය රටට යහපත් වෙන්නේ නැහැ.

• මේ ඇති වී තිබෙන්නේ, ව්‍යවස්ථාමය ගැටුමකට වඩා 2015වේදී ඇති කරගත් දේශපාලනමය එකඟතාවන්වල ගැටුමක් නේද?

ඔව්, 19 වෙනි සංශෝධනය ගෙනාවට පස්සෙයි. ජනාධිපතිවරයයි අගමැතිවරයයි අතර ගැටීම ඇති වී තිබෙන්නෙ; ප්‍රතිපත්තිමය නොගැළපීම නිසා මිසක් 19 යෙන් ඇති කළ නව අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසාම නෙමෙයි. මේ දෙන්නා එකම පක්ෂයකින් පත් වුණා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න බොහෝ දුරට ඉඩ තිබුණා. නමුත් මේ ආණ්ඩුව ආරම්භයේ සිට ම මේ ගැටලුව මතු වුණ නිසා මේක 19 වෙනි සංශෝධනය නිසා ඇති වුණු දෙයක් විදියට සමහරු හිතනවා.

ඒවගේම 19 වෙනි සංශෝධනයෙන් මේ විදියට ගැටලු මතු වෙන්න තවත් හේතුවක් තමයි; 2015 දී එක් එක් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව මත මේ සංශෝධන සිදු කිරීමට පියවර ගැනීම. ඇතැම් සංශෝධන සිදුව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දේශපාලන අවශ්‍යතාවන් මත මිසක් ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතා ප්‍රමුඛ කරගෙන නෙමෙයි. මෙහිදී එජාප ආණ්ඩුව තමන්ගේ වාසිය සඳහා යම් බලතල ප්‍රමාණයක් තමන් යටතට පවරාගෙන තිබෙන බව පේනවා. රටක ව්‍යවස්ථාවක් හදන්න ඕන එහෙම එක එක දේශපාලන පක්ෂවල අවශ්‍යතාව මත නොවෙයි; එය කළ යුත්තේ රටකට දිගුකාලීන අවශ්‍යතා සැලකිල්ලට අරගෙනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ ඒ අනුවයි. 18 වෙනි සංශෝධනය වුණත් ගෙනාවේ, ඒ වෙලාවේ බලයේ හිටිය ජනාධිපතිවරයා නැවත බලයට ගෙන්න තිබුණු අවශ්‍යතාව මතයි. අප මෙන්න මේ පටු සීමාවලින් එළියට ඇවිත් රටත් රටේ ජනතාවත් වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කරන තැනකට එන්න ඕන. එහෙම නැතුව ඒ මොහොතේ අවශ්‍යතාව සලකා දේශපාලන පක්ෂවල අභිමතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට ගියොත් වෙන්නේ රටේ ජනතාව තුළ දේශපාලන ක්‍රමය ගැන තිබෙන විශ්වාසය තවතවත් පළුදු වී යෑමයි. ඒ තුළින් රටට අයහපතක් මිසක් යහපතක් වෙන්නේ නැහැ.

Comments