කුඩු ජාවාරමුන් රකින්නට නවගුණ වැල් අතට ගත් දේශපාලන නඩ ! | සිළුමිණ

කුඩු ජාවාරමුන් රකින්නට නවගුණ වැල් අතට ගත් දේශපාලන නඩ !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය මේ වන විට බෙහෙවින් විවාදාත්මක කරුණක් බවට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය විරෝධී සටන දුර්වල කිරීමේ ක්‍රමන්ත්‍රණයක් මෙන්ම එමඟින් තම පෞද්ගලික ජීවිතයට ද අනතුරක් එල්ල වී තිබෙන බව ජනාධිපතිවරයා ම දීන කිපයකට පෙර පොළාන්නරුවේදි ප්‍රකාශ කර තිබුණි. මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය කෙබඳු සැලසුම් සහගත දුෂ්ට ව්‍යාපාරයක් ද යන්න ඒ සිදුවී තිබෙන සමීක්ෂණ හා නිරීක්ෂණ වලින් ද අනාවරණය වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ මත් විරෝධය හා මතින් තොර රටක් නිර්මාණය කිරීම වූ කලී දේශපාලන සීමා ඉක්ම වූ පොදු ජන යහපත සඳහා කැප වූ සද්ව්‍යාපරයක් බව නිසැක ය. ඒ යුග කාරක සමාජ මෙහෙවර යථාර්ථයක් බවට පත් කරලීම සඳහා දේශපාලන බලය ඉවහල් වී තිබෙන බව සැබෑ ය. එහෙත් මෙරටේ බොහෝ සමාජ දේශපාලන කේෂ්ත්‍ර ඔස්සේ ද මුල් විහිදී ගිය අන්තර්ජාතික සබඳතා මත පදනම් වූ මත්ද්‍රව්‍ය ජාලය ලෙහෙසියෙන් මර්දනය කළ නොහැකි බව රට ම දන්නා යථාර්ථයයි. එබඳු දුෂ්ට ව්‍යාපාරයක් මැඬලීම සඳහා දැඩි නීති හා දඬුවම් අවශ්‍ය බව අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.

මෛත්‍රී ජනාධිපතිවරයා මේ මත් විරෝධී මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ සිට ම එයට එරෙහිව යම් යම් බලවේග ක්‍රියාත්මක වූ බවද රහසක් නොවේ. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගත් වසල අමන රැළක් ද සිටිති. ඔවුන්ගේ සබඳතා ජාලය පිළිබඳ ජනමාධ්‍ය මගින්ද කරන ලද අනාවරණ ද බොහෝ විය. ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා වු ඒ දේශපාලන ක්‍රියාදාමය තුළ මත්ජාවාරමුන්ට ලැබෙන අනුබල අනුග්‍රහ පිළිබඳ විවිධ චෝදනා පවා එල්ල වී තිබේ. ඇතැම් චරිත වලට ‘කුඩු’ යන විශේෂණය පවා ලැබී තිබේ. එබඳු වාතාවරණයක් තුළ මත් විරෝධී සටනක් යනු නිසැකයෙන් ම උඩුගම්බලා පිහිනීමක් වැන්න.

මත් ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ වල විරෝධතා මතු වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය ඇතුළු ජගත් සංවිධාන වල මෙන්ම මානව හිමිකම් හා සිවිල් සංවිධාන වල විරෝධතාව ද ඒ සඳහා එල්ල වී තිබේ. මේ බොහෝ විරෝධතා වලට පදනම්ව ඇත්තේ “මනුෂ්‍ය ඝාතනය අනුමත කළ නොහැකි” යන ප්‍රබල මානව ධර්මතාවක් බව පෙනේ. මරණ දඬුවම මනුෂ්‍යත්වයට නිගාවකැයි මානව හිමිකම් අංශ වලින් ද ප්‍රකාශ වී ඇත. එසේම මේ මානව ධර්මතාවට වහන් වූ දූෂිත ජවාරම්කරුවෝ ද සිටිය හැකි වෙති. බෞද්ධ සංස්කෘතික උරුම නොතකන දේවත්ත පරපුරේ සමහරු ද මේ මරණ දඬුවම බුදුදහමට නිගාවකැයි ගද්‍රභ ඝෝෂා නඟති. මරණ දඬුවම යනු අපරාධ වලක්වාලීම සඳහා ඉවහල් වන්නක් නොව ගෝත්‍රික ප්‍රතිචාරයක් බවට තර්ක කරන්නෝ ද සිටිති. එහෙත් මුළු මහත් සමාජ ජීවිතයට ම අභියෝගයක් වී තිබෙන මත්ජාවාරම එබඳු ආගමික හා සදාචාරාත්මක කඩතුරාවලට මුවා වී සුරැකීමට ඉඩ දිය හැකිද? එබඳු ජාවාරමුන් සුරැකීම අනුමත කළ හැකිද යන ප්‍රශ්න නඟන්නෝ ද සිටිති. ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය දිනක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේත් මත්කුඩු ජාවාරම්කාරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උසාවි යන අය සිටිත් ද යන ප්‍රශ්නය තමා තුළද නැඟෙන බවය. මානව දයාවෙන් භරිතව මිනිස් ජීවිතයක් සුරැකීම සඳහා අවංකව ඉදිරිපත් වන කිසිවෙක් ගැන අපට ද ප්‍රශ්නයක් නැත. එහෙත් මේ මරණ දඬුවම එපා යැයි ඝෝෂා කරන කණ්ඩායම් තුළ මත්ද්‍රව්‍ය මැඩලීම, එයින් ජනතාව මුදා ගැනීම වැනි යහපත් සමාජ මෙහෙයුම් සඳහා කැප වූ අය කොපමණ සිටිත් ද යන සාධාරණ ප්‍රශ්නය අපට ද තිබේ.

මේ රටේ සිටි කිසිම ජනාධිපතිවරයකු විසින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ බවද සත්‍යයකි. එය අපේ නීතිපොතට පමණක් සීමා වූ නියෝගයක් බව ද සැබෑ ය. මරණ දඬුවම නිසා මත්ජාවාරම හෝ අපරාධ නැත්තට ම නැතිවේයැයි කීමට නොහැකි බවද කියන අය සිටිති. දඬුවම් යනු අපරාධ වැලැක්වීමේ ක්‍රියාවක් නොවන බවට කරුණු දැක්වීම අපහසු නැත. කිසියම් වරදකට දඬුවම් ලෙස සිරගත වන අය නිදහස් වීමෙන් පසු වුව ද ඒ වරදට ම පෙලඹුණු අවස්ථා තිබෙන බව ද පිළිගත යුතුය. එහෙත් යුක්තිය හා සධාරණය ඉටු කිරීම සංකේතවත් කරන්නක් ලෙස දඬුවම පිළිගනු ලැබේ. සමාජ ප්‍රචණ්ඩත්වය හා අපරාධ වැලැක්වීම සඳහා පොලිසියට හා නීතියට පමණක් නොහැකි බවද අපි දනිමු. එහෙත් ඒවා නිසා සමාජ විරෝධී ක්‍රියාකාරකම් සඳහා පෙලඹවීමේ අඩුවක් තිබෙන බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ මත් ජාවාරම් විරෝධී මෙහෙයුම පුද්ගල කේන්ද්‍රීය එකක් නොව පොදු ජන හිත පිණිස, පොදු ජන සුව පිණිස ක්‍රියාවට නංවන ලද සද්ව්‍යාපාරයකි. එමගින් මේ වන විට අනාවරණය වී තිබෙන කරුණු වලින් පැහැදිලි වන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව ගිලී සිටින බිහිසුණු විපතක ස්වරූපයයි. මත්ද්‍රව්‍ය නිසා ලක්ෂ 40 කට අධික පාසල් දරුවන්ගේ අනාගතය අවදානමකට ලක්ව තිබෙන බව හෙළි වී ඇත. ගම, නගර වෙනසක් නොමැතිව මතට ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව 80,000කට නොඅඩු බව. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් එලි දක්වන ලද සමීක්ෂණ වාර්තාවකින් තහවුරු කර තිබේ. එමතු නොව මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් පුනරුත්ථාපන කඳවුරු පිහිටුවා ලිය යුතු බවට මෛත්‍රී ජනාධිතිවරයා විසින් කරන ලද යෝජනාව වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ වාර්තාව පෙන්වා දෙයි.

මේ පසුගිය දිනක මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරන ලද අනාවරණයකි.

“දරුවනේ නව අභියෝගය තමයි කාන්තාවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වීම, භාවිතය. බියර් ලාභ කෙරුවා. ආණ්ඩුව බියර් ලාභ කෙරුවා. අපි නම් විරුද්ධ වුණා. සෞඛ්‍ය ඇමතිතුමත් විරුද්ධ වුණ; මමත් විරුද්ධ වුණා. පසුගිය කාලයේ මං හිතන්නේ වතුර බෝතලයකට වැඩිය ලංකාවේ බියර් බෝතලයක් ලාභයි කියලයි කිව්වේ. ඒවා මං අනුමත කරන්නේ නෑ. සෞඛ්‍ය ඇමතිතුමායි, මායි අපි දෙන්නම ඕවාට විරුද්ධව එදත් සටන් කළා; අදත් එහෙමයි. ලංකාවේ කාන්තාවන් වැඩිපුරම පාවිච්චි කරන්නේ බියර්. ඒ වගේම අනෙකුත් මත්ද්‍රව්‍ය වලටත් පෙලඹිලා තියෙනවා. සිගරට් විෂ මත්ද්‍රව්‍ය වලට පෙලඹිලා තිබෙනවා; ගංජාත් පාවිච්චි කරනවා; වයින් වැඩිපුර කාන්තාවන් පාවිච්චි කරනවා ලංකාවේ; මේ හෙරොයින්, හයිස්, මරිජුවානා, අයිස් වැනි ඉතාම විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙලඹෙන පළවෙනි අදියර තමයි සිගරට් එක සහ බියර් එක. එතනින් තමා දරුවනේ පටන් ගන්නේ; රස බලන්න අත්හදා බලන්න; කොහොමද කියලා බලන්න ජොලියක් තියෙනවද බලන්න කියලා තමයි පොඩ්ඩක් තොල ගාලා බලන්නේ. ”

ජාතියේ ආධ්‍යාත්මය පමණක් නොව රටේ මල් සම්පත බඳු දරු පරපුර ම ගොදුරු කර ගත් ඒ මත්ද්‍රව්‍ය පිළිබඳ බිහිසුණු කතාවට සංවේදි නොවන්නෝ වෙත් නම් ඔවුහු නිසැකයෙන්ම ඒ මත් ජාවාරම් වලින් යැපෙන්නෝ ය. නූතන ජනප්‍රිය සංස්කෘතියේ විකෘති විලාසිතාවක් බවට පත් වී තිබෙන මුහුණු පොත් සාද මත්ද්‍රව්‍ය සඳහා දක්වන උනන්දුව ඉමහත් ය. කෙළිලොල් යෞවනය මත්ද්‍රව්‍ය විනාශයට ඇද දමන දොරටුව වී ඇත්තේ ද මේ මුහුණු පොත් සාද බව තහවුරු වී තිබේ. වසරකට අවම වශයෙන් බිලියන 50 ක පමණ අගයකින් යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සංසරණය වන රටක් ලෙස ශ්‍රී ලංකාව පත් වී තිබෙන බව අප දැඩි කම්පනයෙන් වුව ද සටහන් කළ යුතුය. ඔද්දල් වූ වනයක් මෙන් ඔඩු දුවා තිබෙන මේ විනාශයට ඉඩ හැර සිටිය හැකිද?

මරණ දඬුවම බෞද්ධ රටකට කිසිසේත් නොගැළපෙන අවනීතියක් අශිෂ්ට සම්මුතියක් බව බොහෝ දෙනා පෙන්වා දෙති. බුදුන් වහන්සේ සියලුම වර්ගයේ හිංසාව ප්‍රතික්ෂේප කළ බව සැබෑ ය. එහෙත් සදාචාරාත්මක සමාජයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය පාලකයකුට ආගමික සීමා පැනවීමට බුදුන් වහන්සේට අවශ්‍ය නොවූ බවද ඉතා පැහැදිලි ය. වැඩි දෙනාගේ මතය පිළිගැනීම පවා උන්වහන්සේ ප්‍රතික්ෂේප කර තිබේ. එය සත්‍ය්‍ය පිළිබඳ භයානක මිනුමක් බව ද බුදුහු වදාළහ. මක්නිසාද යත් වැඩි දෙනෙක් වැරදි මතයක පිහිටා සිටිත් නම් එයින් සිදු විය හැක්කේ අවැඩක් බව බුදුන් වහන්සේගේ අදහස විය. අනුන්ගේ අදහස් අන්ධ ව අනුගමනය නොකළ යුතු බව වරක් බුදුහු සච්චකයාට වදාළහ. ප්‍රශ්නයක ස්වරූපය ගැඹුරින් නොවිමසා එයට පිළියම් කළ නොහැකි බව බුද්ධ උපදේශය විය. අද වචීපරම බෞද්ධයන්ට අවශ්‍යව ඇත්තේ බෞද්ධ ප්‍රකාශ වලට මුවා වී සත්‍ය්‍ය යටපත් කිරීම බවද පෙනේ.

ධන තෘෂ්ණාවෙන් මුළාවූ වසල වෙළඳුන්ගේ දඩබිමක් බවට පත්ව තිබෙන මේ සමාජය තුළ බොහෝ සදාචාර ධර්ම වැනසී තිබෙන බව රහසක් නොවේ. බුදුන් වහන්සේ සමාජ යහපත පවත්වා ගැනීම පිළිබඳ ව නොයෙක් අවස්ථාවල දී කරුණු සඳහන් කර ඇත. චක්කවත්ති සිහනාද සුත්‍රයෙහි විග්‍රහ කර ඇත්තේ සමාජ දුශ්චරිත වර්ධනය වීමට ප්‍රධාන හේතුව දුප්පත්කම බව ය. දුප්පත්කම ඇති වන්නේ සමාජයේ ධනය සාධාරණ ලෙස බෙදී නොයෑම නිසා බව ද බුදුහු වදාළහ. රටක ජනතාවට හොඳින් ජීවත්වීම සඳහා ධාර්මිකව ධනය උපයා ගැනීමේ මාර්ග සකසා දීම පාලකයාගේ වගකීම බව බුදුන් වහන්සේගේ උපදේශය විය. දේශපාලන ව්‍යවස්ථා හා මිනිස් දුබලතා වසා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන න්‍යාය හා අලංකාරොත්ති බහුල වචන වලින් පමණක් සමාජයකට ඉදිරි ගමනක් නැති බව බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. සදාචාරාත්මක සමාජයක් සඳහා රාජ්‍ය බලයට මැදිහත් වීමට බුදු සමය ඉදිරිපත් නොවු අතර ප්‍රජාවගේ යහපත සඳහා පාලකයාට ක්‍රියාත්මක වීමට එමඟින් බාධාවක් කර නොමැති බව ද ඉතා පැහැදිලිය. සමාජ දුරාචාරවල නිරතව සිටින අයට ස්වභාව ධර්මයෙන් ද දඬුවම් ලැබෙන බව බුදුහු පෙන්වා දෙති. එහෙත් සම්පූර්ණ අහිංසාවක් ගැන න්‍යායාත්මකව පෙන්වීම දුෂ්කර බව බුදු සමය පිළිගනී. පුද්ගල සමාජයක් තුළ තිබෙන නෛසර්ගික නුගුණතා දුරලීම ආගමට පමණක් කළ නොහැකි බව බුදුසමය පිළිබඳ අර්ථ දැක් වූ නුතන විද්වත්හු පිළිගනිති.

බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද පරිදි ධන විනාශයේ ප්‍රමුඛ දොරටුව වන්නේ ද මත්පැන් පානයයි; මතට ඇබ්බැහි වීම ය.

“තරුණ ගෘහපතිය, මත්පැන් පානයට තදින් ඇබ්බැහිවීමේ විපාක සයකි. ධනය අපතේ යාම, කෝළහල වැඩිවීම, රෝග වලට භාජනය වීම, හොද චරිතය නැතිවීම, ලැජ්ජා සහගත හැසිරීම හා බුද්ධි පරිහානිය එයට අයත් වේ.”

මේ බුදුන් වහන්සේ විසින් සිඟාල නමැති හින්දු ගෘහපතියාට බෞද්ධ සමාජ සදාචාරය පිළිබඳ කරන ලද අගනා විග්‍රහයක් ලෙස පිළිගත් සිඟාලෝවාද සූත්‍රයේ එන සඳහනකි. අපේ වර්තමාන සමාජය තුළ මේ දොරටු සියල්ල ම විවෘත වී තිබේ. සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දිනපතාම පාහේ වාර්තාවන අපරාධ බොහොමයක් පසු පස ඇත්තේද මේ මත්ද්‍රව්‍ය විනාශය නොවේද? සිංහල බෞද්ධ සාරධර්ම දෙස වපරැසින් බලන බෞද්ධ සම්මුතීන්ට ගරහන වර්ගයේ ඇන්ජීඕ නඩ අද මරණ දඬුවමට එරෙහිව නැඟී සිටීම අපට නම් පෙනෙන්නේ උත්ප්‍රාසාත්මක රැඟුමක් ලෙස ය. අප දන්නා තරමින් මේ උපාසක බළල්ලු කිසිවිටෙක මත් විරෝධී සටනට වචනයකින්වත් සහාය නොදැක්වූවෝ ය.

අප ජීවත්වන්නේ හිංසනයෙන් හා භීෂණයෙන් පිරුණු ලොවක ය. බුදුන් වහන්සේගේ මෛත්‍රී ධර්මතාව සනාතන එකක් වුවද භෞතික වටිනකම් ලුහුබඳින ලොවක ඒ සාර ධර්මතා බිඳී ගිය ආකාරය අපි දකිමු. බුද්ධ කාලීන සමාජයේ එන ක්‍රෑරත්වය ඉහ වහා ගිය සුනාපරන්ත ජනපදයේ කථාව බෞද්ධයෝ දනිති. පුණ්ණ නම් හිමි නමක් ඒ ජනපදයේ වාසය කිරීම සඳහා යොදා ගත්තේ මෛත්‍රීය නමැති ප්‍රබල ධර්මතාවයි. එහෙත් නූතන වියරු ලෝකයේ යුද ගිනි නිවාලීමට මෛත්‍රිය පමණක් නොසෑහෙන බව අප පිළිගත යුතුය.

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද තීන්දුව නිසා ඔහුට බෞද්ධයකු වශයෙන් සුවසේ නින්දට යෑමට පවා අසීරු වන බව ඒ පිළිබඳ විවේචනාත්මක ලිපියක් ලියූ විශාරද නීතිඥයෙක් ප්‍රකාශ කර තිබුණි. එල්ලා මැරීමට නියමිත හතර දෙනාගේ අවතාර ඔහු තුළ හොල්මන් කරනු ඇතැයිද ඔහුගේ විවේචනය විය. මෙය කෙබඳු බොළඳ ප්‍රකාශයක්ද? මෙයට අගනා පිළිතුරක් බෞද්ධ සාහිත්‍යයෙන්ම ලබාදිය හැකිය. පුවත මෙසේය: බුදු දහම වැළඳ ගත් ධර්මාශෝක රජු සිය ඇමතිවරයකු අමතා පාඨලීපුත්‍ර නගරයේ ප්‍රධාන විහාරයක භික්ෂුන් වහන්සේලාට එක්ව සංඝ කර්මයක් සංවිධාන කරන ලෙස දන්වා යැවීය. එහෙත් භික්ෂූන් වහන්සේලා එයට එකඟ නොවූහ. කුපිත වූ ඇමතිවරයා භික්ෂුන් වහන්සේලා කීප නමකගේම හිස් සිඳ දැමීමට නියෝග කර ඇත. පසුව ධර්මාශෝක රජුට ද එම සිද්ධිය වාර්තා විය. රජු මහත්සේ කම්පාවට පත්ව ඒ භික්ෂු ඝාතනයේ පාපයට තමන්ට විපාක විඳීමට සිදු වේදැයි මොග්ගලී පුත්ත තිස්ස හිමියන්ගෙන් විමසා ඇත. එවිට උන්වහන්සේ පැවසුවේ පාපි චේතනාවක් නොමැති නම් පාප කර්මයක ඵල වීඳීමට සිදු නොවන බව ය. මේ අනුව මෛත්‍රී ජනාධිපතිවරයා කිසිදු වෛරී චේතනාවකින් එබඳු නියෝගයක් නොකළ බව පැහැදිලි වේ. ඇත්ත වශයෙන්ම ඒ නියෝගය විනිසුරුවන් විසින් යුක්තිය පසිඳලීමේ විධානයක් ලෙස දෙන ලද තීන්දුවක ඵලයකි.

මෙයින් තහවුරු වන්නේ යහපත් හා සාධාරණ සමාජයක් උදෙසා ගනු ලබන තීරණයක් අපරාධයක් නොවන බව ය. බෞද්ධ සාහිත්‍ය තුළ එබඳු කරුණු අඩංගු වීමෙන් යුක්තිය හා සාධාරණත්වය පිළිබඳවූ දෘෂ්ටියෙහි වෙනස පැහැදිලි වේ. මරණ දඬුවම් නියෝගය ව්‍යවස්ථාවෙහි තිබෙන විධානයකි. එසේ නම් මරණ දඬුවම ලංකාවේ නීති පද්ධතියෙන් ම ඉවත් කළ යුත්තකි. යුක්තිය පසිඳලීම සඳහා විනිසුරුවන්ට තිබෙන අයිතිය ක්‍රියාත්මක කිරීම වුව ද අප හිතන තරම් සරල නැත. සාපරාධී ක්‍රියාවකට මරණ දඬුවම නියම කරන විනිසුරුවරයකු තුළ ඇතිවන කම්පනය විග්‍රහ කරන පුවතක් කලකට පෙර මදුරාසියෙන් වාර්තා විය. එහි මහ ඇමතිව සිටි චක්‍රවර්ති රාජගෝපාලාචාරීන්ට විරුද්ධව තිබුණු නඩුවක් විභාග කළ විනිසුරුවරයකු එදා තමන් තුළ වූ කම්පනය නඩු තීන්දුවේ ද සඳහන් කර තිබුණි. ඒ සඳහා ඔහු භගවත් ගීතාවේ එන සුභාෂිතයක් සිහිපත් කර තිබුණි.

“ මේ නඩු තීන්දුව දීමේදී මගේ සිරුර ලිහිල්ව යය; මුව වියලෙයි; සිරුරේ ලොමු දැහැ ගැන්වීමත්, කම්පනයත් මට දැනෙයි. එහෙත් මගේ යුතුකම වන්නේ කටයුත්ත කිරීම විනා එහි ඵලය ගැන සැලකීම නොවේ.”

මෙයින් පැහැදිලි වන්නේ නීතිමය විධානයක් සඳහා හේතු යුක්තීන් තිබෙන අවස්ථාවක විනිශ්චය අසුනේ වගකීම ය. ඒ වගකීම ඉටු කළ අය පසු පස අවතාර ලුහුබඳිනු ඇතැයි යෝජනා කිරීම බොළඳ සිහිනයක් පමණි.

කෙසේ හෝ ජාතික විනාශයක සැබෑ අපරාධකරුවන් එල්ලා මැරීම අලුගෝසු ක්‍රියාවක් ලෙස දක්වන අපේ දේශපාලන බෝසත්වරුන් ගෙන් හා ඇන්ජීඕ මානව හිමිකම් සමාගම් වලින් ඇසීමට අපට ද ප්‍රශ්නයක් තිබේ. බලය උදෙසා පැවත්ම උදෙසා නීතිය අතට ගත්, මර්දනය තම දේශපාලන චර්යාව කරගත් කිසිවෙක් මෙරටේ කිසිදිනක නොසිටියෝද? ධර්මිෂ්ට කඩතුරාවලට මුවා වී අධර්මය වැපිරූ දේශපාලන සූත්‍රධරයන්ගේ දෑත්වල ලේ තැවරී නැතැයි සහතිකව කිව හැකිද‍? එසේම මේ විරෝධතා පෙරහැරේ කොතැනක හෝ මත්ජාවාරමුන්ගේ දායකත්වයක්, අනුග්‍රහයක් ලද අය සිටිත් ද යන්නත් අප සහසුද්දෙන් දැන ගත යුතුය. යුරෝපා සංගමය තමන් විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහන, අහෝසි කිරීමට තරම් කලබල වී සිටීමද අපගේ කුහුල වඩන්නකි. මෛත්‍රී ජනධිපතිවරයා අනුමාන කරන ආකාරයටම නොබෝදා එල්ල වූ පාස්කු ප්‍රහාරයේ අන්තවාදීන්ට සම්බන්ධ වූවෝත් මේ විරෝධයට එක් වී සිටිත්ද?

එදා තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය මැඬලීමට රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කළ දේශප්‍රේමී නැඹුරුව අපට මතක ය. එහෙත් අද වත්මන් ජනාධිපතිවරයාගේ මත්ජාවාරම් විරෝධී සංග්‍රාමයට එබඳු ජාතික එකඟතාවක් පළ නොවීම බරපතල ගැටලුවකි. පොදු ජාතික විපතකින් රට බේරා ගන්නට කැපවී සිටින ජනාධිපතිවරයාට ඒ ආණ්ඩුවේ සහායවත් නොලැබීම අප තේරුම් ගන්නේ කෙසේද? මරණ දඬුවම යනු ඒ භීෂණය සමග අත්වැල් බැද ගත් අයට දෙනු ලබන අසුබ සංඥාවක් මිස ඝාතන සංස්කෘතියක ආරම්භයක් නොවන බවද මේ මහත්වරුන්ගේ හෘදය සාක්ෂිය දනී. මේ රටේ දහස් ගණන් තරුණ ජීවිතවලට වගකිව යුතු දේශපාලන තක්කඩියන්ගේ සීල සමාදාන පිළිබඳ අමුතු විවරණ අවශ්‍යද නැත.

Comments