අද දේශපාලනය ඛේදවාචකයක් | සිළුමිණ

අද දේශපාලනය ඛේදවාචකයක්

මෙරට වාමාංශික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකරයන්ගේ දේශපාලන දිවියට හැට වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් ඔහු විසින් රචනා කරන ලද කෘති ද්විත්වයක් මේ 10 වැනි දා සවස 4.00ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී දොරට වැඩීමට නියමිතය. ඊට සමඟාමීව ඔහු වෙනුවෙන් ‘ DEW දේශපාලනයේ 60 වසරක් ‘ උපහාර උත්සවයක් ද පැවැත්වේ. ඔහු සමඟ යෙදෙන මේ කතා බහ ඒ වෙනුවෙනි.

ඔබේ කුඩා කල මතකයෙන්ම අපේ කතා බහ පටන් ගනිමු

මම උපන්නෙ 1935 දි. මගේ ගම හම්බන්තොට. මගේ තාත්තා ඩී. එස් . ඩබ්ලිව් ගුණසේකර. අම්මා ඩී.කේ. පී අමරසේකර. ඔවුන් ගොවිතැන තමයි කළේ. අම්මා මාතර. තාත්තා හම්බන්තොට. මට සහෝදර සහෝදරියන් අට දෙනෙක් හිටියා. ඒ කාලෙ දේශපාලනමය වශයෙන් මට මතක 1947 මැතිවරණය. එතකොට මට අවුරුදු 12ක් විතර ඇති.

මොනවාද ඒ කාලේ ලංකාවේ තිබුණු ප්‍රමුඛතම පක්ෂ?

ඒ කාලේ ලංකාවේ තිබුණු ප්‍රධාන පක්ෂ තමයි එක්සත් ජාතික පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය. තව තිබුණා සම සමාජ පක්ෂය දෙකට බෙදිලා කොල්වින් ආර් ද සිල්වා වෙනම බෝල්ෂෙවික් කොමියුනිස්ට් පක්ෂය කියලා එකක් පිහිටුවාගෙන. ඒවා තමයි ඒ කාලේ සිංහල ප්‍රදේශවල තිබුණු ප්‍රධාන පක්ෂ. උතුරේ තිබුණා ටැමිල් කොන්ග්‍රස් එක. එක්සත් ජාතික පක්ෂය පිහිටුවන කොට සිංහල මහ සභාවයි සිංහල ජාතික සංගමයයි ඊළඟට මුස්ලිම් කොංග්‍රස් එකයි හවුල් වෙලා තමයි යුනයිටඩ් නැෂනල් පාර්ටි කියලා එය හැදුවේ. 1947 මැතිවරණයේ ප්‍රධාන පක්ෂ වුණේ ඒවා.

ඒ කාලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කොහොමද?

එදා අපේ ගෙදර අය වැඩ කළේ ලක්ෂ්මන් රාජපක්ෂට. ඔහු ජන්දය ඉල්ලුවේ කොමයුනිස්ට් පක්ෂයෙන්. ඒ පසුබිම තමයි මටත් බලපෑවේ. එයාගේ ලකුණ වුණේ තරුව. ඩී.එම් රාජපක්ෂ තමයි රුහුණේ සිංහයා කියලා හැඳින්වූයේ. ඔහු තමයි ඒ කාලේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට නායකත්වය දුන්නේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට මන්ත්‍රීවරයා වුණේ. ඔහු හදිසියේ මිය ගියාට පස්සෙ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා‍ගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එන්නේ. ඔහු 1948 දී තරග කළා බෙලිඅත්ත ආසනයෙන්. ලක්ෂ්මන් රාජපක්ෂ හම්බන්තොටින් තරග කළා. ඔහුට තමයි අපේ ගෙදර අය වැඩ කළේ. ඒ දවස්වල දැඩි වාමාංශිකයි අපේ ගෙදර. නිදහස් අරගලය නිසා වමේ ව්‍යාපාරය එක්ක තමයි අපි කටයුතු කළේ.

පාසල් කාලයේ ඔබ ඉගෙනුමට දක්ෂයෙක්ද?

මම අවුරුද තුනක් පමණ කිවුල මහා විද්‍යාලයට ගියා. පසුව විජිත විද්‍යාලයට. ඉන්පසු මාතර රාහුල විද්‍යාලයට ගියා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අපි අධ්‍යාපනය ලැබුවේ.

ඔබ ඇහුවනේ මා දක්ෂයෙක් ද කියලා... මම හිතන්නෙ නැහැ මම දක්ෂයෙක් කියලා. පන්තියේ මමත් සාමාන්‍ය ළමයෙක්. ඇත්ත වශයෙන්ම ඒ කාලේ අපේ වැඩේම සෙල්ලම් කරන එකයි. පාඩම් කරනවා අඩුයි. විභාගය කිට්ටු කරලා තමයි පාඩම් කරන්නේ. ලොකු වෙලා වෛද්‍යවරයෙකු වෙනවා ගුරුවරයෙකු වෙනවා කියලා එහෙම ඉලක්ක අපිට තිබුණේ නැහැ.

අපේ පාසල් කාලෙදි අපිට තිබුණා හොඳ ශාස්ත්‍රීය නිදහසක්. සාහිත්‍ය සංගම්, තර්ක විවාද කරන්න ඕන හැටියේ ඉඩ තිබුණා. දේශපාලන කාරණා වුණත් එහෙමයි. ඒ පරිචය නිසා තමයි අපිට දේශපාලනයේ වාද විවාද කරන්න හැකි වු‍ණේ.

ඒ කාලේ නිදහස් සටන යන නිසා හතේ අටේ පන්තිය වෙන කාලේ අපිට දේශපාලනය ගැන ‍අවබෝධයක් තිබුණා. හැම තැනම තිබෙනවා අධිරාජ්‍ය විරෝධී රුස්වීම්. විවිධ දේවල්. ඒවා අහන්නට අපි කඩාගෙන බිඳගෙන යනවා. අද වාගෙ නෙමෙයි එදා. ඒ රැස්වීම් හරිම ශාස්ත්‍රීය, ජීවිතේට ගන්න පුළුවන් බොහෝ දෙයින් සන්නද්ධයි. හැම පක්ෂයකම රැස්වීම් පැවැත්වෙද්දී ඒවා අහන්නට අපි යනවා. හරිම ආසාවෙන් අපි ඒ දේවල් ඇහුවා.

ඔබ පාසල් වකවානුවෙන් පසු රැකියාවක් කළාද.?

අපේ ගෙදර පවුලේ ඔක්කොම අටදෙනෙක්. මට ගෙදරින් කිව්වා විශ්වවිද්‍යාලයේ යන්න ඉගෙන ගන්න කියලා. නමුත් මට තේරුණා පවුලට එය බරක් කියලා. පසුව මම මගේ කැමැත්තට අයැදුම්පත් යොමු කරලා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න ගන්නවා. ඒ අතර ඉගෙනීම අත්හැරියේ නැහැ. ආර්ථික විද්‍යා උපාධිය ලබා ගත්තා. නීතිය හැදෑරුවා.

ඔබේ දේශපාලන ගුරුවරුන් වුණේ කවුරුද?

ප්‍රධාන ගුරුවරයා තමයි පීටර් කේනමන් සහෝදරයා. එන්.ෂන්මුගදාසන්, ප්‍රේමලාල් කුමාරසිරි, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පී. කන්දයියා (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති), මේ සියලුම දෙනා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අය. ඒ දවස්වල අද වගේ නෙමෙයි... රජයේ සේවකයන්, බැංකු නිලධාරීන් මේ හැම දෙනාටම හැන්දෑවට දේශපාලන පන්ති තිබෙනවා. මේ පන්තිවලදි විවිධ විෂයයන් ඉගැන්වෙනවා. අපි ගියෙ යුනියන් ප්ලේස් එකේ තිබුණ පන්තිවලට.

දේශපාලනමය ශාස්ත්‍රීය පන්ති තමයි තිබුණේ. හැන්දෑ වරුවම අපිට උගන්වනවා. විශේෂයෙන්ම වමේ පක්ෂ... සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ එම පන්ති පැවැත්වුවා. ඉතින් හැන්දෑවට ඔක්කොම රජයේ සේවකයන් මේ පන්තිවලට සහභාගි වෙන්න එනවා. කොල්වින් ලා එන් එම් ලා උගන්වනවා. හැමදාම උගන්වන ගමන් වාද විවාද පැවැත්වුණා. අපි ඉගෙන ගන්න අතරතුර ලෝකයේ දේශපාලනමය වශයෙන් ඇති වන තත්ත්වයන් පිළිබඳ විවිධ ප්‍රශ්න අහනවා. එයින් තමයි අපි දැනුම ලබාගත්තේ.

අද දේශපාලනයේ එහෙම තත්ත්වයක් තිබෙනවාද?

කියන්න කනගාටුයි. අද එහෙම කිසිවක් දකින්න නැහැ.

ඔබේ දේශපාලන දිවියට හැට වසරක් සපිරෙනවා. එය කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්?

මම පක්ෂයට සම්බන්ධ වී වසර හැටක් සපිරෙනවා. අපි යම් දර්ශනයක් දැක්මක් ඇතුව තමයි කොමියුනිස්ට් පක්ෂය ඔස්සේ මේ රටේ දේශපාලන සේවයක නිරත වුණේ. අපි ගෙවා පැමිණි ඉතිහාසය කෙළින් පාරක් නෙවෙයි. වංගු ,කඳු ,පල්ලම් නඟිමින් බහිමින් අභියෝග රැසකට මුහුණ දෙමින් ජය පැරදුම් මතින් තමයි මේ ගමන ආවේ.

කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ ඉතිහාසය ගැන කතා කළොත්?

එදා පැවැති දේශපාලන වාතාවරණය තමයි මා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය කරන්න පොලඹවන්නෙ. වමේ ව්‍යාපාරය ප්‍රබලව පැවැතුණා. එය අපේ මනසට තදින් කා වැදුණා. වමේ පක්ෂ දෙකක් තුනක්ම තිබුණනෙ.

ඉතින් මම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආවට පස්සේ මෙය තවත් වැඩි වුණා. මොකද මම ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන විටදි මට සිද්ධ වෙනවා මැති ඇමැතිවරුන් හම්බ වෙන්නට යන්න. ආදායම් බදු පිළිබඳ පනත්වලට, කොමිෂන්වලට සහභාගි වෙන්න. ඒවා අධ්‍යයන කරන්න. මම මුදල් ඇමැතිවරුන් තුන්දෙනෙකු යටතේ වැඩ කර තිබෙනවා. ‍

කොහොම හරි 1955 දී වගේ මාව කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් ලෙස තෝරා පත් කරගත්තා. මම අන්තර්ජාතික කාරණා පිළිබඳ අධ්‍යයනය කළා. අන්තර්ජාතික සාධකය තමයි වැඩිපුරම එහි දී අධ්‍යයනය කළේ. මම හිතන්නේ, ඒ හේතුව තමයි මම කොමියුනිස්ට් පක්ෂයට ඇදිලා එන්න හේතු වුණේ සමසමාජ පක්ෂයට නොයා.

ඔබ පාර්ලිමේන්තුවට එන්නේ කොයි වකවානුවේ් ද?

මම පාර්ලිමේන්තුවට එන්නේ කලවාන ආසනයෙන්. 78 අණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ අවසාන අතුරු මැතිවරණයේදී අපි තරග කළා කලවාන ආසනයට. සරත් මුත්තෙට්ටුවෙගම තමයි අපි ඉදිරිපත් කළ අපේක්ෂකයා. ඔහු ජයග්‍රහණය කළා. එතකොට විපක්ෂයේ අට දෙනයි හිටියේ. ආණ්ඩු පක්ෂයේ දෙසීය ගණනක්. ප්‍රබල ආණ්ඩු පක්ෂයක් තිබුණු වකවානුවක්. නමුත් කලවාන ආසනය අපි ජයගත්තා.

අහේතුවකට එලෙස ජයගත් මුත්තෙට්ටුවෙගම සහෝදරයා අනතුරකින් මිය ගියා. ඊළඟට පක්ෂය නම් කළේ මාවයි. එහෙම තමයි මම පාර්ලිමේන්තුවට යන්නේ. 1977 දි තංගල්ලට මම තරග කළා. 89දීත් තරග කළා. පක්ෂයේ තීරණය අනුව තමයි තරග කළේ . මම පාර්ලිමේන්තු තුනක හිටියා. පළමු වැනි පාර්ලිමේන්තුවේ, 6 වැනි පාර්ලිමේන්තුවේ, 7 වැනි පාර්ලිමේන්තුවේ.

ඔබගෙන් මේ රටට වූ සේවය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

ඒක ඉතින් මට කියන්න බැහැ. මං ගැන මට තක්සේරු කරන්න බැහැනෙ. මට පැවැරූ කාර්යභාරයන් සියල්ල මම ඉෂ්ට කරලා තිබෙනවා. මම කෘති දෙකක් නිකුත් කරනවා 10 වැනි දා . එයින් ඒ දේවල් ගැන ලොවටම කියනවා.

ඔබ වෙනුවෙන් පැවැත්වෙන උත්සවය ගැනත් කියමු?

මගේ දේශපාලන දිවියට වසර 60ක් සමපුර්ණ වීම නිමිත්තෙන් උත්සවයක් සංවිධානය වී තිබෙනවා. මෙහි ප්‍රධාන දෙසුම පවත්වන්නේ නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන මාධව් කුමාර් නේපාල්. මේ උත්සවය බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ දී 10 දා සවස 4 සිට 6 දක්වා පැවැත්වෙනවා. සියලු දේශපාලන පක්ෂ නායකයන්, මගේ කාර්යාල සගයන්, මම සභාපති ලෙස කටයුතු කළ රූපවාහිනී සංස්ථාවේ, ස්වාධීන රුපවාහිනී සේවයේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආයතනවල සම්බන්ධතා ඇති අය වගේම මම වැඩ කළ අමාත්‍යාංශ තුන වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශය, බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශය, මානව සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යන ආයතන සියල්ලේම නිලධාරීන් ඇතුළු පක්ෂයේ හැම දෙනාම උත්සවයට එකතු වෙනවා.

වර්තමානයේ පවතින දේශපාලනය ඔබ දකින්නෙ කොහොම ද?

අද දවසේ දේශපාලනය ඉතාම ලොකු ඛේදවාචකයක්.

ඇයි ඒ?

ඒක දිග කතාවක්. දේශපාලනමය සංස්කෘතිය පිරිහිලා තිබෙනවා. ඒකට හේතු වන කාරණා ගොඩක් තිබෙනවා. මම හිතන්නේ අද රටේ අර්බුද මහගොඩක් තිබෙනවා.

මම දකින අන්දමට මේ සියල්ලක්ම එන්නේ උල්පත් තුනකින්. පළමු එක තමයි ගෝලීය වශයෙන් ඇති වන වෙනස්කම්. ගෝලීය වර්ධනය ... ගෝලීය ප්‍රවණතා... ගෝලීය නව අභියෝග .. ඒවා අපි වගේ පුංචි රටක ආර්ථිකයකට බලපානවා. ඒවාට විසඳුම් සොයා ගන්න බැරි නම් අර්බුද එනවා. දෙවැන්න 1978 සිට අපි අනුගමනය කළ ආර්ථික උපාය මාර්ග. අපි එයට කියනවා නව ලිබරල් ආර්ථික උපාය මාර්ග කියලා. එයින් බලාපොරොත්තු වුණේ රට සුඛිත මුදිත වෙයි කියලයි. එයින් ඇති වුණේ අර්බුදයක්.

තුන් වැන්න 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එයත් අර්බුද ඇති කරනවා. එදා මේ ව්‍යවස්ථාව සම්මත කරන දවසේ වමේ අපි විරෝධය දැක්වූවා. එදා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කියූ කාරණා අද සැබෑ වෙනවා. මේකට අලුත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අලුත් දේශපාලන දැක්මක්, නායකත්වයක් අවශ්‍යයි.

අද දේශපාලනඥයන් ගැන ඔබේ අදහස?

ඉස්සර දේශපාලනඥයන් මොන පක්ෂයෙන් ආවත් පාර්ලිමේන්තුවට එන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තිබෙන භූමිකා ගැන දැනුවත්ව කටයුතු කළා. අද එහෙම නැහැ. පළමු එක ඔහු නීති සම්පාදකයෙක්. පනත් දැන ගන්න ඕන. ඒවා ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒවායේ ප්‍රතිපත්ති දැන ගන්න ඕන. අද නීති සම්පාදකයන් ඇත්තේම නැති තරම්.

දෙවැන්න පාර්ලිමේන්තුවට තමයි තියෙන්නේ මූල්‍ය අධීක්ෂණය. වෙන කාටවත්ම නෙමෙයි. අද මන්ත්‍රීවරුන් ඒ ගැන බලන්නේ නැහැ. හැම මන්ත්‍රීවරයකුගේම යුතුකමක් මුල්‍ය අධීක්ෂණය. අද ඒවා නෙමෙයි ඔවුන් කරන්නේ. හොරකම් කරනවා මිසක්. තුන් වැන්න ඔහු ජනතා නියෝජිතයෙක්. ජනතාවගේ ප්‍රශ්න මතු කරන්න ඕනෑ. ඒවා මතු කරනවා තියා අද ඔවුන් පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ .

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරිමට ඔබ එකඟ ද?

එල්ලුම්ගහ ගෙන එන සංකල්පයට මම නම් එකඟ නැහැ. මම මානව අයිතීන් පිළිගන්න කෙනෙක්. කිසිකෙනෙකුගේ ජීවිතයක් නැති කරනවාට මම කැමැති නැහැ.

එදා අපි දුටු පන්ති සටන් වෙනුවට අද ආගම් අන්තවාදය ඉස්මතු වී තිබෙනවා නේද?

ප්‍රශ්න නොවිසැඳෙන කොට ඕනම සමාජයක මේ වගේ දේවල් ඇති වෙනවා. ආදායම් පරතරය, අවිශ්වාසය, අසාධාරණය මේ වගේ පරතර නිසා මේ වගේ විෂබීජ ඇති වෙන්නවා. ජාතික සමඟිය ගොඩ නඟා ඒවාට විසැඳුම් සෙවිය යුතුයි.

කොමියුනිසට් පක්ෂයට මේ වන විට වසර 76ක්. රටට අත් කර දුන් ජයග්‍රහණ මොනවා ද?

පක්ෂයේ 76 වැනි සංවත්සරය පසුගිය දා සැමැරුවා. අද රටේ සමාන්‍ය පොදු ජනතාව භුක්ති විඳින සියලු වරප්‍රසාද, අයිතීන් ලබා දී තිබෙන්නේ වමේ ව්‍යාපාරය. පෙන්ෂන් එක, අර්ථ සාධකය, නිවාඩු සියල්ල අරන් දී තිබෙන්නේ අපේ පක්ෂ සිදු කළ සටන්වල ප්‍රතිඵල ලෙසයි.

ඉදිරියේ මේ රටේ ජනාධිපති වරයා ලෙස පත්විය යුත්තේ මොන වගේ කෙනෙක්ද?

(නිහඬව සිනාසෙයි.). ජනාධිපතිවරයා තොරාගන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන්නෙ . ජනාධිපතිවරයා ඔළුව තියෙන බුද්ධිමතෙක් වෙන්න ඕනෑ. ජනතාවගේ ස්පන්ධනය නාඩි අහුවෙන කෙනෙක් වෙන්න ඕනෑ. ප්‍රශ්න තේරුම් යන කෙනෙක් වෙන්න ඕනෑ. අද එදා වගේ නෙමෙයි. විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් දියුණු වෙනවා. ලෝකයේ අලුත් ප්‍රශ්න මතු වෙනවා. හරියට සමාජය තුළ ඒවා අධ්‍යයනය කරන, ඒවා උකහා ගන්න, ඒවාට විසැඳුම් සෙවිය හැකි කෙනෙක් විය යුතුයි.

 

අදහස්