ලෝක කුසලානයක ශතකයක් රැස් කළ තෙවැනි ළාබාලයා අවිශ්ක | සිළුමිණ

ලෝක කුසලානයක ශතකයක් රැස් කළ තෙවැනි ළාබාලයා අවිශ්ක

බටහිර ඉන්දීය ‍කොදෙව් දූපත්ට එරෙහිව පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා බවට පත්වෙමිනි. දකුණත් පිතිකරු අවිශ්ක එහිදී විශිෂ්ට ශතකයක් (104) රැස් කිරීමට සමත් වූවේය. ඒ සමඟම එක්දින ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ තෙවැනි ළාබාලම ක්‍රීඩකයා බවටත් ඔහු පත් විය.

මෙම ශතකය රැස් කරන විට අවිශ්කගේ (උපත 1998 අප්‍රේල් 05) වයස අවුරුදු 21 දින 87 කි. ක්‍රිකට් ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිංග් ය. දකුණත් පිතිකරුවකු වූ පෝල් (උපත 1990 සැප්තැම්බර් 03) නෙදර්ලන්තයට එරෙහිව 2011 තරගාවලියේදී ශතකය රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 20 දින 196කි.

ඔස්ට්‍රේලියාවේ දකුණත් පිතිකරු රිකී පොන්ටිං (උපත 1974 දෙසැම්බර් 19) බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිව 1996 තරගාවලියේ දී ශතකය රැස් කළේය. එවිට ඔහුට‍ අවුරුදු 21 දින 76 ක් විය.

ලෝක කුසලානයේ ශතකයක් රැස් කළ සිවුවැනි ළාබාලතමයා වන්නේ ඉන්දියාවේ දකුණත් පිතිකරු විරාත් කෝලිය. 2011 තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් රැස් කරන විට කෝලිගේ (උපත 1988 නොවැම්බර් 05) වයස අවුරුදු 22 දින 106 කි.

හිටපු සුපිරි දකුණත් පිතිකරු සචින් තෙන්දුල්කාර් (උපත 1973 ‍අප්‍රේල් 24) කෙන්යාවට එරෙහිව 1996 තරගාවලියේදී ශතකයක් රැස් කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 22 දින 300 කි. ඒ අනුව ලෝක කුසලානයේදී ශතකයක් රැස් කළ 05 වැනි ළාබාලතමයාත් සචින්ය.

එක්දින ජගත් තරගයකදී ශතකයක් රැස් කළ ළාබාලතමයා වන්නේ පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩිය. ඔහු ප්‍රකාශිත උප්පැන්නයට අනුව (උපත 1980 මාර්තු 01) ශ්‍රී ලංකාවට එරෙහිව 1996 ශතකය රැස් කරන විට වයස අවුරුදු 16 දින 217 කි. එසේ වුවත් තමන් උපත ලැබුවේ 1975 වසරේදී බව අෆ්රිඩි සිය ජීවිත කතාව ප්‍රකාශයට පත් කරමින් මෑතකදී පිළිගත්තේය. ඒ අනුව පළමුවන ශතකය රැස්කරන විට ඔහු සිටිය යුත්තේ 21 වැනි වියේය.

ඇෆ්ගනිස්තානයේ උස්මන් ගානි (උපත 1996 නොවැම්බර් 20) සිම්බාබ්වේට එරෙහිව 2014 වසරේදී ශතකයක් රැස් කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 17 දින 242 කි. තවත් දකුණත් පිතිකරුවකු වන පාකිස්තානයේ ඉම්රාන් නසීර් (උපත 1981 දෙසැම්බර් 16) සිම්බාබ්වේට එරෙහිව ශතකය රැස් කරන විට අවුරුදු 18 දින 121 ක් වූයේය.

එක්දින ජගත් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ තෙවැනි ළාබාලතම ක්‍රීඩකයා වන්නේත් අවිශ්කමයි. ඔහුට ඉදිරියෙන් දකුණත් පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ වමත් පිතිකරු උපුල් තරංග සිටිති.

චන්දිමාල් (උපත 1989 නොවැම්බර් 18) ඉන්දියාවට එරෙහිව ශතකය රැස් කළේ 2010 වසරේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 20 දින 199 කි. තරංග (උපත 1985 පෙබරවාරි 02) බංග්ලාදේශයට එරෙහිව 2005 වසරේදී ශතකය රැස් කරන ලදි. එවිට ඔහ‍ුගේ වයස අවුරුදු 20 දින 212 කි.

 

Comments