හිස් අතින් ගෙදර එන පුත්ත­ලමේ බුලත් ගොවි දුක | සිළුමිණ

හිස් අතින් ගෙදර එන පුත්ත­ලමේ බුලත් ගොවි දුක

* අපේ බුලත් ගන්නේ මුස්ලිම් ගොවීන්. ඒත් බුලත් කඩ­ව­ලට සිංහල මිනිස්සු යන්නේ නෑ.  ඒකෙන් අස­රණ වුණේ බුලත් වවන සිංහල ගොවීන්.
* බුල­තට පන්ද­ලම් බඳින්න ඉනි කැපී­මට තහංචි
* බුලත් වගා වඳ­වේ­දැයි ගොවීහු බියෙන්

බුල­තට අතී­තයේ සිටම අප­රටේ ඇත්තේ ‍ඓතිහා­සික වැද­ග­ත්ක­මකි. නාග ලොවින් ලැබු­ණා­යැයි විශ්වාස කෙරෙන බුලත් කොළයේ අගිස්ස කෑමට පෙර කඩා දැමෙ­නුයේ නයි විෂ දුරු­වීම සඳහා යැයි මත­යක් පවතී. මැණික් පුටු­වක් අර­බයා චුල්ලෝ­දර හා මහෝ­දර සහෝ­ද­ර­යන් අතර ඇතිවූ ගැටුම සම­ථ­යට පත් කිරී­මේදී දෙපා­ර්ශ්වය නියෝ­ජ­නය කර­මින් බුලත් 20 බැගින් තබා කොළ 40ක බුලත් අතක් පූජා කර ඇතැයි පැවසේ.

බුලත් අත­කට කොළ 40ක් ඇමි­ණීමේ සිරිත එතැ­නින් ඇති­වූ­වක් යැයි සැලකේ. මංගල අව­මං­ගල ගෙද­රට නැති­වම බැරි බුලත පසු­කා­ලී­නව මිනි­සුන්ගේ කාන්සිය හා විඩා­වට ඔසු­වක් ලෙස භාවිත කිරී­ම­ටද හුරු­විය. කෙසේ­වුව අප­රටේ ජන­තා­වගේ ජීවිත තර­ම­ටම බැඳී ඇති බුලත ගමේ ගොඩේ වත්ත පිටි­යක නැති­තැ­නක් නැති­ත­රම්ය.

එදා සිට අද දක්වාම ජාති ආගම් භේද­ය­කින් තොරව බුලත් හුරු­ල්ලට හිමි­වන්නේ සුවි­ශේෂී තැනකි. එසේම බුලත් යනු අප­රටේ පාර­ම්ප­රික ගොවි­තැ­නට හුරුවූ බහු­ත­ර­ය­කගේ ප්‍රධාන ආදා­යම් මාර්ග­යකි. ඕනෑම දේශ­ගුණ තත්ත්ව­යක් හමුවේ වුව වැඩි වෙහෙ­ස­කින් තොරව වගා කළ­හැකි බුලත් වගාව රටේ සෑම තැනම පැතිරී ඇත්තේ බුල­තට ඇති ඉල්ලුම මෙන්ම ඉන් සරු ආදා­ය­මක් ලබා­ගත හැකි­වීම නිසාය. දේශීය පරි­භෝ­ජ­න­යට මෙන්ම අප­න­ය­නය සඳහා ද බුලත් වගා කරන මැලේ­සි­යාව, තායි­ල­න්තය හා බංග­ලි­දේ­ශය යන රට­වල් අතර අප රට ප්‍රධා­නය. අප­රටේ බුලතේ ප්‍රධාන ගැනු­ම්කරු වන්නේ පකි­ස්තා­න­යයි. එසේ­වු­වද, රටේ පාර­ම්ප­රික වගා අත­රින් ප්‍රධාන තැනක් ගනි­මින් ගොවීන් රැස­කගේ ජීව­නෝ­පාය සැලසූ බුල­තට අද අත්ව ඇති ඉර­ණම කන­ගා­ටු­දා­ය­කය. කෘෂි­භෝ­ග­ව­ලට මුල්තැන දෙමින් බුලත් වගා කට­යු­තු­වල නිර­තවූ පාර­ම්ප­රික බුලත් වැවි­ලි­ක­රු­වන් බහු­ත­ර­යක් මේ දින­වල දැඩි ආර්ථික අප­හ­සු­තා­ව­ලට ලක්ව සිටිති.

බුලත් අක්කර 50ක්

වානිජ නිෂ්පා­ද­න­යක් ලෙස බුලත් වගා කරන ප්‍රදේශ අත­රින් ගම්පහ, පුත්ත­ලම සහ කුරු­ණෑ­ගල දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි. ඒ අත­රින් කාල­යක් තිස්සේ සාර්ථ­කව බුලත් වගාවේ යෙදුණු පුත්ත­ලමේ බුලත් ගොවියෝ අද බුලත් විකුණා ගැනී­මට නොහැ­කිව දැඩි අප­හ­සු­තා­වට පත්ව සිටිති.

පුත්ත­ලම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශ­යට අයත් මධ්‍යම අට්ට­වි­ල්ලුව, කිවුල හා 09බවුම යන ප්‍රදේ­ශ­වල ගොවීහු රැසක් 2013 වර්ෂයේ සිට මේ දක්වාම සාර්ථ­කව බුලත් වගාවේ නිර­තව සිටිති. ඔවුහු මෑතක් වන­තු­රුම අක්කර 50කට ආසන්න ප්‍රමා­ණ­යක බුලත් වගා කර­මින් සරු අස්වනු ලැබ සාර්ථ­කව ජීව­නෝ­පාය සලසා ගත්හ.ඉන් බහු­ත­ර­යක් ගොවීහු පාර­ම්ප­රික බුලත් ගොවීන්ය. දැන­ට­මත් ඔවුහු වගාව සඳහා විශාල මුද­ලක් වැය කර ඇත්තාහ. බිම් සැක­සී­මෙන් පසු පාත්ති සාදා ඔවුන් වගා ආරම්භ කර ඇත්තේ සිය වගා බිම්වල ඇති මවු ශාක­ව­ලින් ලබා ගන්නා ලද බුලත් දඬු­ව­ලිනි. ඉන්පසු මාස හයක් වැනි කාල­ය­කදී බුලත් වැල හොදින් වැඩෙන අතර, එසේ හොඳින් වැඩුණු බුලත් වැලක ආයු කාලය වසර 4-5ක් වැනි කාල­යක් පවතී. බුලත් වැල සාර්ථ­කව වැඩීම සදහා සෑම බුලත් වැලක් පාසාම ඉනි සිටු­වීම සිදු­ක­රන අතර, එසේ සිටු­වන ලද ඉනි මත බුලත් වැල එතී­මට ඉඩ සැලැ­ස්වීම දලු බැඳීම යනු­වෙන් හඳු­න්වයි. දලු බැඳී­මෙන් සති කීප­ය­කට පසු බුලත් වැලෙහි ස්ථාන කිහි­ප­ය­කින් මුල් ඇදෙන අතර එම මුල් ඇදීම පවුරු බැදීම යනු­වෙන් හැඳින්වේ. බුලත් වැලක පවුරු බැඳී­මෙන් බුලත් වැලට අවශ්‍ය පෝෂ­ණය බාහි­රින් ලබා ගැනී­මක් සිදු­වන අතර, ඉන් වැලෙහි හට ගන්නා බුලත් කොළ විශා­ලවී වෙළද පොළේ හොඳ ඉල්ලු­මක් පව­තින බව ගොවීහු පව­සති.

එසේ පවුරු බැඳීම සඳහා වැඩි වශ­යෙන් යොදා ගැනෙන්නේ අන්න­දර, ගොඩ­ර­ත්මල්, කොර­කහ සහ ගැටුලා ශාක­වල කොවුල්ය. නමුත්, මෑතක සිට මෙකී ලී සොයා ගැනී­මට නොහැ­කි­වීම නිසා බුලත් වගාව පහත වැටී ඇතැයි ගොවිහු පෙන්වා දෙති.

කොවුල් නැති නිසා අස්වනු අඩුයි

ගොවි­යන් පව­සන පරිදි බුලත් වැල එතීම සදහා යොදා ගන්නා මෙම ලී කැපීම සම්පූ­ර්ණ­යෙන් තහ­න­ම් කර තිබීම නිසා වන සංර­ක්ෂණ දෙපා­ර්ත්තු­මේ­න්තුව සහ පොලි­සිය ලී කැපී­මට එරෙ­හිව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කිරීම හේතු­වෙන් සුළු පරි­මාණ බුලත් කොරටු හිමියෝ දැඩි ආර්ථික අප­හ­සු­තා­ව­ලට මුහුණ දී සිටිති.

මේ හේතුව නිසා සිය බුලත් කොර­ටු­වල ඵල­දාවේ සීග්‍ර අඩු­වක් දක්නට ලැබෙන බවට ඔවුහු මැසි­විලි නඟති. බුලත් වගාවේ ආර­ම්භයේ සිට අස්වනු නෙළන කාලය දක්වා වගාව වෙනු­වෙන් විශාල විය­ද­මක් දැරී­මට සිදු­වන අතර වගාව සඳහා විශාල මිනිස් ශ්‍රම­යක්ද අව­ශ්‍යවේ. බුලත් වගා­ක­රු­වන්ට අම­ත­රව වගාවේ නියැ­ළෙ­මින් වක්‍රව දෛනි­කව ජීව­නෝ­පාය සලසා ගන්නා කුලී­ක­රු­වෝද විශාල සංඛ්‍යා­වක් වෙති.

මේ සිය­ල්ලට අම­ත­රව මෑතක සිට බුලත් වගා­වට වැලඳී ඇති තෙල් රෝගය නිසා වගාව මුළු­ම­නින්ම විනා­ශ­යට ලක්ව ඇතැයි ගොවීහු මැසි­විලි නඟති. රෝගය දිලී­ර­යක් හෝ පලි­බෝ­ධ­ක­යක් හෝ නිසා වැල­ඳෙ­න්නක්ද යන්න මෙතෙක් සොයා ගෙන නොමැති අතර රෝගය කුමක්ද යන්න හඳුනා ගැනී­මට හෝ මර්ද­න­යට අවශ්‍ය උප­දෙස් කෘෂි­කර්ම පරි­යේ­ෂණ ආය­ත­න­යෙන් මෙතෙක් නොලැ­බීම බර­ප­තළ ගැට­ලු­වක් බවට ගොවීහු චෝදනා කරති.

බල­ධා­රී­න්ගෙන් විස­ඳු­මක් නැතත් ගොවිහු රෝග­යට පිළි­ය­මක් ලෙස බුලත් වැල මුලින්ම ගලවා දමා පුලුස්සා දැමීම සිදු කරති.

එප­ම­ණක්ද නොව මුළු පුත්ත­ලම වෙලා ගෙන ඇති අධික නිය­ඟ­යෙන්ද බුලත් වගා­ක­රුවෝ බැට­කති. වගා­වට අවශ්‍ය ජලය නොමැ­ති­කම නිසා භූ ගත නළ ළිං ස්ථාන කිහි­ප­යක ස්ථාපිත කර ජලය ලබා ගැනී­මට ගොවීන්ට සිදුව ඇත. ඒ ජලය සඳ­හාද විශාල විදුලි විය­ද­මක් වැයවේ.

වගා ගැට­ලු­ව­ලට විස­ඳුම් නෑ

බුල­ත්ව­ලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යද්දී දිවා රෑ වද විඳි­මින් බුලත් කොරටු සමඟ ඔට්ටු­වන වගා­ක­රු­වන්ගේ මහ­න්සි­ය­ට­වත් නොස­රි­ලන සේ ලැබෙන සොච්චම නිසා බුලත් වගාව මුළු­ම­නින්ම මෙර­ටින් තුර­න්වේ­දැයි බුලත් වගා­ක­රුවෝ බිය පළ කරති.

බුලත් වගා කරු­වන්ගේ ප්‍රශ්න කෙරෙහි අදාළ බල­ධා­රීන් දක්වන කුඩ­ම්මාගේ නොසැ­ල­කිල්ල ද ඊට හේතුවී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සු­ම­කදී පාර­ම්ප­රි­කව බුලත් වගාවේ නියැ­ළෙන එස්.පී.ජී.සරත් චන්ද්‍ර­සිරි මෙසේ පැව­සීය.

“අපට ගොවි­තැනේ තියෙන විශා­ලම ගැට­ලුව තමයි ඉනි සපයා ගැනීම. ඉනි සපයා ගන්න තැනක් නැහැ. කෝටු­ව­ක්වත් කපන්න දෙන්නෙ නැති නීති­යක් තමයි රටේ තියෙන්නෙ. එහෙ­ම­නම් රජය අපට වික­ල්ප­යක් හඳුන්වා දෙන්න ඕනෑ. හැම ඉන්නම මේ බුලත් වගා­වට හරි­යන්නෙ නැහැ. හිට­වන්න යෝග්‍ය ඉනි වර්ග තියෙ­නවා. එව්වා කපා­ගෙන එන­කොට එක්කො වන සංර­ක්ෂ­ණ­යෙන් අල්ල­නවා එහෙම නැත්නම් පොලි­සි­යෙන් අල්ල­නවා.

එනිසා අපිට දැව සංස්ථාව වගේ තැන­කින් පහසු මිළ­කට ඉනි ගන්න තැනක් හඳුන්ව දෙන්න ඕනෑ. එහෙ­මත් නැත්නම් බුලත් ගොවීන්ට රක්ෂි­ත­යක් නොවන තැන­කින් ඉනි කපා ගන්න අව­ස­ර­යක් දෙන්න ඕනෑ. අපි බොහොම අමා­රු­වෙන් මේ ගොවි­තැන කරලා සිංහල අවු­රු­ද්දට බොහොම කෙටි කාල­ය­කින් ආදා­යම් ලබා ගන්නවා. ඊට පස්සෙ දිග­ටම ලැබෙන්නෙ බොහොම අඩු මිලක්.

ඒ නිසා මේ කර්මා­න්තය පව­ත්වා­ගෙන යන්න බැහැ. වැඩ කරන අයට වැටුප් ගෙව්වාම අපිට ජීවත් වෙන්න මදි. ඒ විත­රක් නෙමෙයි බුලත් වගා­වට අවශ්‍ය කරන ජලය සපයා ගැනී­මේදී අපි ගැටලු රැස­කට මුහුණ දෙනවා. මොකද මේ පළා­තට වැස්ස අඩුයි. අපි භූගත ළිංව­ලින් තමයි ජලය ලබා ගන්නේ. ඊට වැය­වෙන විදුලි බිලත් දරන්න අමා­රුයි.

අපට රජ­යෙන් කිසිම සහ­නා­ධාර වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. නමුත් මේ රටේ සියලු සිරි­තට විරි­තට අපි බුලත් සප­යන්නෙ මහත් පරි­ශ්‍ර­ම­යක් දර­ලයි. ඒත් මේ වන­තුරු බුලත් වගා­ව­ට­නම් කිසිම සහ­න­යක් ලැබී නැහැ.” කාබ­නික පොහොර ලෝඩ් එකක් රුපි­යල් විසි­දා­හක් විතර වෙනවා. ඒ විය­දම දරන්න සිද්ධ වෙලා තියෙ­න්නෙත් අපිට. ඒ පොහොර විත­රක් යොදන්න බැහැ රට පොහොර යොදන්න සිද්ධ වෙනවා. ඉතිං ඔය අත­රට කෘමි හානි එනවා ඕවා එක්ක වෙනම ඔට්ටු වෙන්න සිද්ධ වෙනවා. මේ විදි­යට ගියොත් දව­සින් දවස අපට බුලත් කෙරු­වාව එපා වෙලා යනවා.

එස්.පී.ජී.නිසං­සලා සංජී­වනි මහ­ත්මිය බුලත් වගාවේ නිරත වන්නේ වසර 20ක පමණ සිටිය. බුල­තට සෙවණ අවශ්‍ය බව පව­සන ඇය සෙවණ සැදී­මට යන විය­දම අධික බව පව­ස­න්නීය.

හෙවණ නැත්නම් කොළ පොඩියි

“හෙවණ නැති­වු­ණාම කොළය කුඩා වෙනවා එත­කොට ඵල­දාව ඉතා අඩුයි. එත­කොට අපිට සාධා­රණ මිලක් වෙළද පොළෙන් ලැබෙන්නෙ නැහැ. බුලත් කොළය සාමන්‍ය විශාල තර­මට ගන්න­නම් සෙවණ දැලක් උප­යෝගි කර ගන්න සිදු වෙනවා. ඒ විය­දම අපට දරන්න අප­හ­සුයි. රජ­යෙන් මේ සඳහා සහ­න­යක් හෝ ණයක් ලබා දෙන­ව­නම් හොඳයි. කෘෂි­ක­ර්මය මැදි­හ­ත්වෙලා අපට සහ­න­යක් ලබා දී අවශ්‍ය දැනුම සහ බෙහෙත් දෙන­ව­නම් මේ වගාව සාර්ථ­කව සිදු­ක­ර­ගෙන යන්න පුළු­වන්.

අනෙක් කාර­ණය තමයි මේ පාස්කු ඉරිදා වෙච්ච ඛේද­වා­ච­ක­යත් අපේ බුලත් මිලට සෘජු බල­පෑම් එල්ල කළා. අපි ගොඩක් ගනු දෙනු කරන්නෙ පුත්ත­ලම නග­රයේ මුස්ලිම් ව්‍යාපා­රි­ක­යින් සමඟ. ඒකට හේතුව සිංහල වෙළෙන්දො නොමැ­ති­ක­මයි. දැන් ඒ අය ගම්ව­ලට බුලත් ගෙනි­යන්න ආපු­ව­හම ඒ අයට එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ අය අපේ බුලත් ගෙනි­හින් මුස්ලිම් කඩ­ව­ලට දැම්මාම අපේ සිංහල ජන­තාව යන්නෙ නැහැ ඒ මුස්ලිම් කඩ­ව­ලට බුලත් ගන්න. ඒත් ඒ අය දන්නෙ නැහැ මෙව්වා වගා කරන්නෙ සිංහල ජන­තාව කියලා. ගොඩාක් දුරට ඒ ප්‍රශ්නෙත් එක්ක බුලත් මිල ගොඩාක් පහළ බැස්සා.”

රජ­යෙන් කිසිම සහ­න­යක් නැතිව ණයවී බුලත් වගාවේ නිර­ත­වන එච්. එම්. ඉන්දික තුෂාර හේරත්ගේ පර­ම්ප­රා­වම බුලත් ගොවීන්ය.

“මේ වගාව අපි පාර­ම්ප­රි­කව කර­ගෙන එනවා. දැන් ඉස්සර වගේ පහ­සු­කම් අපිට නැහැ. අපි අපේ මහ­න්සි­යෙන් තමා මේ වගාව කර­ගෙන යන්නෙ. රජ­යෙන් අපිට කිසිම සහා­යක් මේ වෙන­කම් ලැබිලා නැහැ. දැන් එන්න එන්නම මේ වගාව කර­ගෙන යන්න බැරි තත්ත්ව­යක් මතු­වෙලා. අපට මේ පාස්කු ප්‍රහා­රයේ බල­පෑම ගැන කෙළින්ම කියන්න බැරි­වු­ණත් ලැබෙන තොර­තුරු අනුව පකි­ස්තා­නය වගේ රට­ව­ලින් අපේ රට­ව­ලට තියෙන බුලත් ඉල්ලුම අඩු­වෙලා. එයත් බල­පාන්නේ අප­ටයි.”

ඍජු­වම බුලත් වගාවේ නොයෙ­දු­ණත් බුලත් කොර­ටු­වල දෛනි­කව සේවයේ යෙදෙන විශාල පිරි­සක් පුත්ත­ලමේ වෙති. දම්මි දිල්රුක්ෂි මහ­ත්මි­යද බුලත් කොර­ටු­වල වැඩ කර­මින් දෛනි­කව ජීව­නෝ­පාය සලසා ගන්නි­යකි.

“අපි වැඩ කරන්නේ දවස් කුලි­යට. අපිට ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි. සම­හර අවු­රුදු කාල­ව­ලදී බුලත් මිල වැඩි­වෙ­නවා. ඊට පස්සෙ එක­පා­ර­ටම මිල පහත වැටෙ­නවා. බුල­ත්ව­ලට රජ­යෙන් ස්ථාවර මිලක් ලබා දෙන­ව­නම් මෙහෙම වෙන්නෙ නැහැ.

සම­හර වෙලා­වට අපි බුලත් කොර­ටු­වක වැඩට ඇවිල්ලා බුලත් කඩලා වෙළද පොළට යැව්වාම අපේ පඩිය බේරු­වාට පස්සෙ මුද­ලා­ලි­ලාට වෙන්නෙ හුළං බොන්න. බුලත් වගා­වට බල­ධා­රින්ගේ අව­ධා­නය දැන්වත් යොමු කරන්න කියා අපි ඉල්ලන්නේ ඒකයි”

කේ. ප්‍රියං­කර කළු­ප­හන

Comments