ඔයා අද හරි වෙනස් ආපු වෙලාවේ ඉඳන් මට අමු­ත්තක් දැනෙ­නවා | සිළුමිණ

ඔයා අද හරි වෙනස් ආපු වෙලාවේ ඉඳන් මට අමු­ත්තක් දැනෙ­නවා

ඔහු ඇය පසු­පස ගාට­න්නට වූයේ යෙහෙ­ළිය පිළි­බඳ කල්පනා කර­මිනි. අමාලි කුස­ගි­න්නෙන් පෙළෙන්නේ ද යන්නට වඩා ඔහු කල­ඹා­ලන්නේ කිනම් මොහො­තක හෝ ඇය දකි­න්නට තමාගේ බාර­කා­රිය සමත් වනු ඇත්දැයි යන්නය. පෙරට තබන පිය­ව­රක් පාසා ඔහු ඒ බියෙන් ද සැක­යෙන් ද පීඩා වින්දේය. එහෙත් රූස්ස ගසක මුදු­නට නඟි­න්නට එඩි­තර හා දක්ෂ එකි­යක මේ වේවැ­ලක් වැනි ගැහැ­නි­ය­කගේ දෑස­ටත් අත­ටත් හසු­ව­න්නට ඉඩක් නැතැයි සිත­මින් සැන­සු­ණේය.

“ඔයාගෙ තාත්තට රසට උයන්න පුළු­වන් පරිප්පු විත­රයි අෂේන්. එදා උයල තිබ්බ අල කරි­ය­නම් අන්ති­මයි. කටේ තියන්න බෑ ලුණු. ඒ මදි­වට මිරි­සුත් නෑ. සුදුම සුදු පාටයි. දැක්කාම බඩ දඟ­ල­නවා”

එතල් දිවා ආහා­රය බුදින්නේ නලින්ගේ ඉවි­ල්ලෙහි අඩු ලුහු­ඩු­කම් විවේ­ච­නය කර­මිනි.

“ඔයාගෙ අම්මට රසට උයන්න පුළු­වන්ද අෂේන්?” යි ඇය අසන කල කොලු­වාගේ දෑතෙ­හිවූ බත් පිඟාන බිම පතිත වෙයි. ඇතැ­ම්විට ඒ දෑතේ ඇත්තේ වතුර වීදු­රු­වක් විය හැකිය. ඒ ඕනෑම දෙයක් සැණින් බිම දමන මායා­මය බල­යක් ඇගේ වච­න­වල ගැබ්ව තිබේ.

“ආ... වැට්ටුවා නේද? අයි‍යෝ බලන්න අෂේන් ඔයා කරපු දේ...”

මෙවර බෙරි­හන් දෙන්නේ ඇයයි. ඔහු සඟ­වා­ගත් කෝප­යෙන් ද සියුම් ප්‍රීති­යෙන් ද ඔහේ බලා සිටියි.

“අනේ ආයිත් නම් මම එන්නෙ නෑ. ළමයි දහ දෙනෙක් බලන්න පුළු­වන් ලේසි­යෙන්. ඔයා වගේ වද දෙන්නෙ නෑ අෂේන් වෙන කිසි ළම­යෙක්... ඇත්ත­මයි ඔයා තමා.. ඔයා තමා මේ ලෝකෙ ඉන්න නරක ම ළමයා...”

ඒ කතාව නම් ඉවසා සිටීම ළම­යෙ­කුට පහසු නැත. වාද කර­න්නට තරම් මෝරා නොවැඩි ළමයා ඇය අත වන පිඟාන උදුරා ගනියි. එවැ­න්නක් කිසි­සේත් බලා­පො­රොත්තු නොවූ එතල් ඔහු එය බිම දමා ගසන කල තිගැ­ස්සෙයි.

“නලින්.. ඔයා දැන්ම එන්න. මම තව එක විනා­ඩි­යක් ඉන්නෙ නෑ මේ ළමයා එක්ක. මෙයා ළම­යෙක් ද නලින්? ළම­යෙක් නෙමේ යකෙක්...”

ඇය සිය පියා අම­තන කල පවා අෂේන් බියට පත් නොවෙයි. ඔහු කුරිරු ප්‍රීති­යෙන් දැල්වෙන දෙඇ­සින් ඇය දෙස බලා සිටියි.

අන්ති­මේදී පියාට පම­ණක් නොව මවට ද මැදි­වන ළමයා දළ රළ පෙළ මධ්‍යයේ කුඩා ඔරු­වක් මෙන් නොනැ­වතී පිට­වන වචන කන්ද­රා­වක අත­ර­මං­වෙයි. එත­ල්ගෙන් සමාව අය­දින ලෙස බල­ක­රන අතර පහර කන්නට ද සිදු­වෙයි. නලින් නම් සිය කුඩා පුතුට පහර දීමට තරම් දැඩි නොවෙයි. එහෙත් ඔහුගේ බිරිය අෂේන්ට පහර දෙන්නට පසු­බට නොවෙයි. එවිට “හා හා ගහන්න එපා ගහන්න එපා..” යි ඉල්ලා සිටින්නේ ද එතල් ය. වියළී දර­ද­ඬුව ගිය ගසක් මෙන් හැකිළී සිටිය ද ඇගේ සිත මේ කුඩා පිරිමි ළමයා වෙනු­වෙන් ජනිත වූ ස්නේහ­යක් ඇතැයි නලින් වටහා ගනියි. ඒ සිති­විල්ල පවා ඔහුට සහ­න­යකි.

“අෂේන්.. ඔයා කෑවද මට නොකි­යම?”

එතල් අසන්නේ දිවා ආහා­රය දෙදෙ­නෙ­කුට ප්‍රමා­ණ­වත් නොවන බව දකි­මිනි. හිස දෙප­සට සලත්ම ඔහුට අමාලි සිහි­පත් විය.

“එයා හොරෙන් කන්න ඇති” යි ඔහුට කියැ­විණ.

“මොකක්ද?”

මාළු පිණි කෙරෙහි නොඋ­ව­මනා අව­ධා­න­යක් දැක්වූ එතල්ට ඒ වචන පැහැ­දි­ලිව නොඇ­සිණ.

“මේ.. ඔ.. ඔව්.. මම කෑවා.. බත් කෑවා..”

ඇය විස්මිත බැල්මක් හෙළු­වාය.

“කව­දා­වත් නැතුව? ඔයා වෙන­දට එහෙම කන්නෙ නෑනෙ අෂේන්. හැම­දාම අපි දෙන්නා එක­ට­මනේ දවල්ට කන්නේ.. කොහො­ම­ටත් ඔයා බත් කන්න හොර­යිනෙ... අද මොකද මේ..? හරි පුදු­ම­යිනෙ”

ඔහු සිනා­වක් මුව’ඟ නඟා ගන්නට වෙහෙ­සු­ණේය.

“මට බඩ­ගි­නියි. ඉතිං මං කෑවා...”

“හරි හරි... බඩ­ගිනි වුණු එකත් හොඳයි.. කාපු එකත් හොඳයි. ඒත් ඒ කොයි වෙලා­වෙද? අපි දෙන්න එක­ට­මනෙ හිටියෙ අෂේන්...”

ඔහු ද ඇය දෙස බලා ගත්ව­නම සිටි­යේය.

ඒ ප්‍රශ්න­යට පිළි­තු­රක් ඔහු වෙත ‍ෙනාවීය.

“අනේ මංදා... ඔයා අද හරි වෙනස් අෂේන්.. ආපු වෙලාවෙ ඉඳන් මට මහා අමු­ත්තක් දැනෙ­නවා... මට ඒක හරි­යට කියන්න තේරෙ­න්නෙත් නෑ...”

“මට වතුර ඕන” යි ඔහු වතුර ඉල්ලා සිටියේ පිපා­සය කෙසේ වෙතත් ඒ කතාව ද එතෙ­කින් නව­තා­ලිය යුතු බැවිනි.

“ඔයාගේ තාත්තා තමා ඔයාව නරක් කරලා තියෙන්නේ.. හැම එකම අතට දීලා. ඔයාට වතුර ඕනි නම් ඔයා අරන් බොන්න. මම කනවා. ඔයාට කන්න බෑනෙ කොහො­ම­ටත්. ඔයා කාලනේ ඉන්නෙ. අනිත් එක මෙතන දෙන්නෙ­කුට කන්න දේකුත් නෑ..”

අෂේන් වතුර වීදු­රු­වෙන් අඩක් බිව්වේය.

“අරයා වතුර බිව්වද දන්නෙ නෑ” යි සිහි­පත් වීමෙන් ඔහු නොස­න්සුන් විය.

“ඉතිං කොහෙද ඔය යන්නෙ? වීදු­රුව බිඳි­න්නද හදන්නෙ? ඕක තියලා යන්න වතුර බලා ඉවර නම්.” යි එතල් කිව්වද ඔහු මුළු­තැ­න්ගෙ­යින් පිට වූයේ වතුර වීදු­රුව ද දෑතින් ගනි­මිනි.

“ඔයා මේ ගෙදර බිඳලා කඩලා තියෙන දේවල් හොඳ­ටම ඇතිනෙ ආයෙ අමු­තු­වෙන් මුකුත් නොබි­න්ඳට...”

අෂේන් ගමන් කළේ පරි­ස්ස­මිනි. වීදු­රුව බිඳි­න්නට ඔහුට උව­මනා නොවීය. හැංගි­මු­ත්තම් කෙළියේ නිරත කෙල්ල‍ෙග් දෑත මත එය තබන තෙක් ඔහුට ඉව­සි­ල්ලක් ද නැත. එහෙත් ඇය ගෙතුළ නැති බව දැන ගන්නට ඔහුට වැඩි වේලා­වක් ගත නොවීය. කුඩා නිවෙසේ කරක් ගස­න්නට වැඩි පරි­ශ්‍ර­ම­යක් දැරිය යුතුද නැත.

ඇය ගරා­ජ­යට යාබද ස්ටෝරු කාම­රයේ සැඟව සිටින බවට ඔහු සැක නොක­ළේය. එය වූ කලී .................... සිති­වි­ල්ලකි. ඔහු ද අම්මාගේ ගුටි­යෙන් බේරෙ­න්න­ටත් එතල්ගේ ආණ්ඩු මට්ටු­වෙන් හෙම්බත් වූ විටද දිව­යන්නේ ඒ කුඩා අඳුරු අශෝ­භන කුටි­යට බැවිනි.

“මේ මම...” යි ඔහු අඳුරු කුටි­යට ඇතුළු වෙමින් පහත් හඬින් කොඳු­ළේය. මේ නම් කදිම ක්‍රීඩා­ව­කැයි ඉපි­ලෙ­න්නට පවා ඔහුට පිළි­වන. මීටත් වඩා සිත් ඇඳ බැඳ­ගන්නා සෙල්ල­මක් පිළි­බ­ඳව ඔහුට සිහි කළ නොහැක.

“ඇයි අෂේන් ඔයා මෙහාට ආවෙ? දැං අර ගෑණි ඔයාගෙ පස්සෙන් මෙතෙ­න්ටත් එයි.”

අමාලි අප්‍ර­සා­දය පළ කළාය.

මකුළු දැලින් ද දුහු­වි­ල්ලෙන් ද අප­විත්‍ර වූ යුව­තිය දකිත් ම ඔහු තිගැ­ස්සු­ණේය.

“ඔයා බත් කෑවද?”

හිස සැලූ ඇය ඔහු අතවූ වීදු­රුව උදුරා ගත්තාය. එක හුස්මට එය හිස් කළාය.

“කෝ ඔයාගෙ නැනී?”

“එයා... එයා බත් කනවා”

සුසු­මක් හෙළූ අමාලි කාඩ්බෝඩ් පෙට්ටි­යක් මත හිඳ ගත්තාය.

“ඔයා කීවෙ නෑනේ මං හැංගිලා ඉන්නවා කියලා...”

ඔහු හිස දෙප­සට සැලු­වේය.

“ඇයි ඉතිං ඔයා හැංගිලා ඉන්නේ?”

ආග­න්තුක සම්ප්‍රා­ප්තිය නොඉ­ව­සන කැර­පො­ත්තන් ද මීයන් ද ඒ මේ අත දිව යාමෙන් පැන නැඟී සර සර ය උස්ව නැඟිණ.

ඇගේ දෙනෙත විඩා­පත් වූවා පමණි. ඔහු ඇගේ බැල්ම මඟ හරි­න්නට දැඩිව වග බලා ගත්තේය. කිසි­වක් සිදු නොවූ­වාක් මෙන් හැඳ පැළ­ඳ­ගන්නා සොහො­යුරා දැකී­මෙන් පවා ඇය මහත්සේ නොස­න්සු­න්වූ­වාය.

“අයියේ...” යි විටින් විට ඇය හඬ නැගු­වද ඔහු බිහිරි වූවෙකු මෙන් නිහ­ඬව ම පසු විය.

“මම යනවා” යි සුපු­රුදු පරිදි සමු ගන්න­ට­වත් නොසිතූ සිරි­මාන්න ගෙමි­දු­ලට බැස්සේය.

“අයියේ...”

වේද­නා­වෙන් ද කෝප­යෙන් ද කැකෑ­රෙන ඒ උච්ච ස්වරය ඔහුගේ දෙප­යට විලංගු ලයි.

“ඇයි? මොකද?” යි ඔහු ප්‍රශ්න කළේ නොරි­ස්සු­මිනි. රාජ­කා­රිය දේව­කා­රි­යක් කර ගත් මිනි­සෙ­කුට විනාඩි කීප­යක් වුව අපතේ හැරිය නොහැක.

“අමා ගැන කිසිම ආරං­චි­යක් නෑ. දැං දවස් දෙකක්...”

“ඉතිං?”

ඇගේ දෙනෙ­තට එක්රොක් වූ කඳුළු පවා වියළා දම­න්නට ඒ එක් වච­නය සමත් විය.

“ඇයි දෙයි­යනේ.. ගෑනු ළම­යෙක් නේද? තමුන්ගේ එකම දුව නේද? අයි­යට හිතක් පපු­වක් කියල දෙයක් නැද්ද?”

“හිතක් පපු­වක් විත­රක් නෙමෙයි මොළෙත් තියෙ­න්ඩෝනෑ මිනි­හෙක් වුණාම”

ඇය හැඬුම් මැඬ­ග­න්නට වෑයම් කර­මින් ම ඔහු පසු­පස ඇදු­ණාය.

සිරි­මාන්න ගමන් කළේ මෝටර් රිය වෙත­ටය. හැකි­තාක් ඉක්ම­නින් ඊට නඟි­න්නට ද නැග­ණිය මඟ හරි­න්නට ද ඔහුට වුව­මනා විය.

“මොළේ තියෙන හිංදද තමුන්ගෙ දරුවා ආගිය අතක් නැතුව ඉද්දිත් හොයන්නෙ බලන්නෙ නැතුව ඉස්කෝ­ලෙට යන්ඩ හදන්නෙ?”

“එයාට එහෙම ඉබා­ගාතේ යන්ඩ කිසිම හේතු­වක් තිබ්බෙ නෑ. කාල­යක් තිස්සෙ ජෝඩු දාගෙන රවුං ගහපු කොල්ලට ම කසාද බන්දලා දෙන්ඩ හැදුවෙ කැමැ­ත්තෙන් නෙමේ. වෙන කරන්ඩ දෙයක් නැති­ක­මට. අපේ සතු­ටට වඩා ළම­යගෙ සතුට ගැන හිතුව නිසා.”

ඔහු මෙප­රි­ද්දෙන් තර්ක කිරීම සම්බ­න්ධ­යෙන් සුන­න්දාට මඳක් සතුටු විය හැක. ගෙවී ගිය දවස මුළුල්ලේ ඔහු ගොළුව සිටි­යේය. කොතෙක් වෙහෙ­සු­ණද ඔහුගේ මුවින් එක වච­න­යක් හෝ පිට කර­ග­න්නට ඇය අපො­හො­සත් වූවාය. බ්‍රයන් නිවෙසේ සිටි­යදී අමාලි පම­ණක් අතු­රු­ද­හ­න්වීම ප්‍රහේ­ලි­කා­වක් වූයෙන් සිරි­මා­න්නද එක්තරා අන්ද­මක ශුන්‍ය බවක ගිලී ගියාක් මෙනි. සිහි එල­වා­ග­න්නට ඔවුන්ට තර­මක කාල­වේ­ලා­වක් ගත විය.

“අනේ මගේ කෙල්ල... අයියෝ මොකක්ද මේ වුණේ? අක්කා වගේ ම අමා­ලිත් අපට නැති­වුණා නේද අයියේ....?” යි විලාප නඟ­න්නට පවා බෙහෙ­වින් පමා වූවාය.

“යාළු­වෙක්ගෙ ගෙද­රක යන්න ඇත්තෙ. ඔය හදන්නෙ අපට රිද්ද­න්නනේ. එකා යකා කියන්නෙ නිකං කට කහ­න­ව­ටද...” යි දෝෂා­රෝ­ප­ණය කළා මිසක සිරි­මාන්න සුසු­මක් පවා නොහෙ­ළු­වේය. එහෙත් රෑ නිදි යහ­නට වන් මිනිසා සිය බිරිය සිහි­කොට කඳුළු සැළු­වේය. තමාගේ සුන්දර කුඩා පවුල විනාශ වී ගියේ යැයි පසු­තැ­වු­ණේය. නැග­ණිය අබි­යස දර­දඬු සොහො­යු­රාගේ භූමි­කාව අත් නොහ­රි­න්නට ඔහු සපථ කළාක් මෙනි.

“තවත් ඉතිං කතා කරලා වැඩක් නෑ. මංවත් යනවා පොලී­සි­යට”

ලබන සතියට‍...

අදහස්